Home » ‘ෆිල්’ පෙති ගැන ‘මෝදර යුනිට්’ එකට ලැබුණු ඔත්තුව

‘ෆිල්’ පෙති ගැන ‘මෝදර යුනිට්’ එකට ලැබුණු ඔත්තුව

by thanushika
March 2, 2024 12:30 am 0 comment

රටපුරා මත්පෙති නැත්නම් ‘මත්කරල් ජාවාරම‘ හිස ඔසවා ඇති බව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට තහවුරු කරගෙන තිබේ. ඊට ප්‍රධානතම හේතුවද පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත්තේ යුක්තිය මෙහෙයුමේ සක්‍රියත්වයත් සමඟ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල හිඟතාව සහ මිල ඉහළ යාමයි.

එම නිසා මේ වන විට කුඩුකාරයන් මත්පෙති සහ මත්කරල් භාවිතයට බොහෝ සේ පෙලඹි ඇති සෙයකි. විශේෂයෙන් ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී තරුණ තරුණියන් එක්ව පවත්වන සාදවලදී බොහෝ සේ භාවිතයට ගන්නා ‘ෆිල්‘ නමැති මත්පෙති, මදනමෝදක වර්ගද මේ වන විට මත්ලෝලීන් අතර බහුලව භාවිතයට ගන්නා ආකාරයකි.

ඒ අනුව ඉකුත් 25 වැනිදා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ටද ෆිල් නමැති මත්පෙති ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට හැකි වූයේ සැකකරුවකු ද අත්අඩංගුවටද ගනිමිනි.

කොළඹ කොටහේන ප්‍රදේශය ඉලක්ක කරගෙන එම ජාවාරම සිදු කරමින් තිබිණි. කලෙක සිටම සිදු වූ එම ෆිල් වර්ගයේ මත්පෙති ජාවාරමේ සුලමුල අනාවරණය වන්නේ මෙලෙසිනි.

පසුගිය 25 වැනිදා පෙරවරු 11ට පමණ ‘මෝදර යුනිට්‘ ලෙස ප්‍රචලිත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තොරතුරුකරුවකු දිව ආවේ ලැබුණු සාර්ථක තොරතුරක් රැගෙනය.

“සර්… කොටහේනේ ශාන්ත බෙනඩික්ට් මාවතේ 86 වත්තෙ මත්පෙති ජාවාරමක් වෙනවා… රමේෂ් කියන පුද්ගලයා තමයි ජාවාරම කරන්නෙ… සර් මිනිහා එච්චරම පොලිසියට චාටර් වෙච්ච පොරක් නෙවෙයි… හැබැයි කාලයක් තිස්සේ ගේම ගහලා… එයා විකුණන්නේ ෆිල් කියන මත්පෙත්ත සර්… මගේ යාළුවෙකුත් ළඟදි මිනිහගෙන් පෙති අරගෙන තිබුණා. ඒකෙන් තමයි මට ආරංචි වුණේ…“

ලද තොරතුර පිළිබඳව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය දැනුම්වත් කෙරුණේ ඉදිරි විමර්ශන සඳහා උපදෙස් පතාය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නලීන් ජයසුන්දරගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්තගේ මෙහෙයවීමෙන් එම මත්පෙති ජාවාරම වැටලීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයෝ කෙටි වේලාවකදී ක්ෂණික මෙහෙයුමක් දියත් කළහ. ඊට උපපොලිස් පරීක්ෂක අමිල රත්නායක ඇතුළු නිලධාරි කණ්ඩායමක් එක්වූහ.

එම මෙහෙයුම සඳහා වරාය පොලිසියට අනුයුක්ත රාජකාරියේ නිරත පොලිස් නිල සුනඛ 1296 ලියෝගේ සහායද ලබා ගත්තේ ලියෝ සුනඛයා මෙවැනි වැටලීම් සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ට ඉමහත් සේවාවක් සපයන නිල සුනඛයෙක් හෙයිනි.

ඒ අනුව තොරතුරුකරු කී කොටහේනේ බෙනඩික්ට් මාවතේ, 86 වත්තේ රමේෂ්ගේ නි‍ෙවස සොයා ගියහ. පොලිස් නිලධරයෝ ඊට පෙර රමේෂ්ගේ වතගොත ඇතුළු නි‍ෙවසේ තොරතුරු ද සොයාගෙන තිබිණි.

රමේෂ් සිය මව සමඟ එම නි‍ෙවසේ තනිව වෙසෙන අයෙකි. තනි තට්ටුවේ නි‍ෙවසක් වූ රමේෂ්ගේ නි‍ෙවසට පොලිස් නිලධරයෝ ගොඩ වෙද්දී නි‍ෙවසේ සිටියේ රමේෂ් පමණි.

“කවුද ගෙදර තව ඉන්නෙ…?“ පොලිස් නිලධාරියෙක් විමසීය.

“අම්මා ඉන්නවා සර්… මේ වෙලාවෙනම් නෑ… ළඟ මළ ගෙදරකට ගිහිල්ලා…“ රමේෂ් එලෙස පැවසීය.

“අපට ගේ සර්ච් කරන්න ඕන…“ උපපොලිස් පරීක්ෂක අමිල කීවේය.

“සර් මං කිසිම වරදක් කරපු කෙනෙක් නෙවෙයිනේ… ඇයි මේ…?“ යැයි රමේෂ් කීවේ කිසියම් කුකුසකින් බව පොලිස් නිලධාරින්ට වැටහිණි.

“හරි කමක් නෑ… තමුන් කිසිම දේකට බයවෙන්න එපා… මුකුත් නැත්නම් තමුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ…“ පොලිස් නිලධරයෝ පැවැසූහ.

නි‍ෙවස පරීක්ෂා කෙරිණි. එහිදී ඇඳක් යට පරීක්ෂා කරද්දී කවරයක ඔතා තිබූ පාර්සලයක් පොලිස් නිලධාරින්ගේ උකුසු ඇසට හසුවිණි.

“මේ මොනවද…?“ පොලිස් නිලධරයෝ රමේෂ්ගෙන් විමසූහ. ඔහු ගොළු විය.

එම කවරය විවර කර බැලූ විට දුටු දෙයින් පොලිස් නිලධාරින්ගේ තොරතුරුකරු දුන් තොරතුර ‘ටක්කෙටම’ නිවැරදි බව තහවුරු විය. එහි තිබුණේ ‘ෆිල්‘ නමැති මත්පෙතිය. එම මත්පෙති මෙරට භාවිතය තහනම්ය. වර්තමානයේ බොහෝ සේ ෆේස්බුක් සාද ඇතුළු අන්තර්ජාල මාධ්‍යයෙන් ඔස්සේ තරුණ තරුණියන් එක්ව පවත්වන සාදවලදී මත්වීම සඳහා මෙකී මත්පෙති බහුලව භාවිත කරන මත්පෙති වර්ගයක් ලෙස වර්තමානයේ ආරක්ෂක අංශ විසින් එම මත්පෙති හඳුනාගෙන තිබේ.

“තමුන්ට කොහෙන්ද මේවා…?“ පොලිස් නිලධාරියෙක් රමේෂ්ගෙන් එලෙස විමසීය.

“සර්… මට මේ පාර්සලේ හම්බ වුණේ… මිදුලේ තිබිලා… පස්සෙ තමයි මං ගෙට ගත්තේ… එච්චරයි මං දන්නෙ සර්…” යැයි රමේෂ් එලෙස පොලිසියට කීවද එය බොරු බේගලයක් බව පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේය.

එම මත්පෙති පාර්සලයේ පෙති 2180ක් විය. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකය. ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස ගෙන්වන මෙකී මත්පෙති අධික මිල ගණන්වලට අලෙවි කරමින් මත්පෙති ජාවාරම ඔස්සේ ජාවාරම්කරුවන් ඉමහත් ලාභ උපයන බව මේ වන විට පොලිසිය අනාවරණය කරගෙන සිටී.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින්ගේ අත්අඩංගුවට පත් සැකකාර ශිවස්වාමි රමේෂ් 38 හැවිරිදි අවිවාහකයෙකි. ඔහුට සහෝදරයෙක්ද සිටී. එම සහෝදරයා විදෙස් රටකය.

කිසිම විටෙක පොලිසියටද හසු නොවී ඉතා සූක්ෂ්ම ලෙස රමේෂ් කලක් තිස්සේ එම මත්පෙති ජාවාරම සිදු කරගෙන ගොස් තිබිණි. රමේෂ් මීට වසර කීපයකට පෙර කොළඹ නගර ශාලාව ආසන්න ප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙඳසලක සේවයෙහි නියුතුව සිටි අයෙකි. පසුව ඔහු විදුලිබල මණ්ඩලයට අනුයුක්ත කොන්ත්‍රාත් සමාගමකද සේවය කර තිබිණි.

අත්අඩංගුවට ගත් රමේෂ් කොටහේන පොලිසිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි.

ඒ අනුව මෙකී මත්පෙති ජාවාරමේ සුලමුල ළඟදීම හෙළි වනු ඇත. මෙකී මත්පෙති ජාවාරමේ යටගිය තොරතුරු මෙන්ම ප්‍රධානීන් කවුරුන්ද යන්න අනාවරණය කරගත හැකි වනු ඇතැයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නලීන් ජයසුන්දරගේ අධීක්ෂණයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්තගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක අමිල රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන26030 අනුරුද්ධ, 32998 ගයාශාන්, 97160 ධනංජය, 8301 රණවීර යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division