දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “හඳපාන්ගොඩ හඳයාගේ” මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට මෙහෙයවන පුද්ගලයකුගේ බිරිය, ඇගේ මස්සිනා සහ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් නවදහස් හාරසීයක් සමඟ පසුගියදා කහතුඩුව පොලිසිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්තේ කහතුඩුව පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරු මතය.
කහතුඩුව පොලිස් වසමේ ‘තලගල’ යකහලුව ප්‍රදේශයේ යතුරුපැදියක යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව කොස්තාපල් (97337) ඒකනායකට ලැබී තිබූ තොරතුරක් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකරට දන්වා ඇත්තේ ඒ පිළිබඳව සත්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුවය. අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙන්නේ කහතුඩුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති සහ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇම්.කේ. ජගත් විසිනි.
ඒ අනුව පොලිස් නිලධාරි කණ්ඩායම කිරිවත්තුඩුව, තලගල, යකහලුව ප්‍රදේශයට ගොස් ස්ථාන කිහිපයක ආවේක්ෂණ රාජකාරි සිදු කරන ලදී. මාර්ගයේ ධාවනය වන සියලුම යතුරුපැදි පිළිබඳව තොරතුරු සිය ජංගම දුරකතන හරහා එකිනෙකා අතරේ සන්නිවේදනය කරගනිමින් සිටියදී කොස්තාපල් ඒකනායකගේ තොරතුරට අදාළ අංකය සහිත යතුරුපැදිය මාර්ගයේ ධාවනය වනු පොලිස් නිලධරයෝ නිරීක්ෂණය කළහ.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධරයෝ මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියට සංඥාකොට නවතා එය පරීක්ෂා කරන අතරතුරදී සෙසු නිලධාරීන්ටද ක්ෂණිකව මෙම ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පසුව සෙසු නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ අත්අඩංගුවට ගත් 20 හැවිරිදි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අලෙවිය සඳහා රැගෙන යමින් තිබු හෙරොයින් පැකට් දෙකක් පොලිසිය සොයාගත් අතර පසුව සැකකරු යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි විය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇත්තේ මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙම අයිස් මත්ද්‍රව්‍ය අයත් බවත් ඒවා තමා විසින් මෙසේ ප්‍රවාහනය කරන බවත්ය. ඒ වෙනුවෙන් ඔහුට ඉන්ධන සහිත යතුරුපැදියක් ලබා දී දෛනික වෙළෙඳාම අනුව වැටුපක්ද ගෙවන බවය. නමුත් මොහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් අකමැත්තෙන් මේ සඳහා යොමු වී ඇති බවකි. ජාවාරම්කරු බිය ගන්වා බලහත්කාරයෙන් මේ සඳහා පොලඹවා ගත් බව ඔහු පොලිසියට පවසා තිබේ.
එසේම මෙලෙස යතුරුපැදියෙන් රැගෙන යන මත්ද්‍රව්‍ය ඇණවුම් දුරකතනය හරහා ජාවාරමේ හිමිකරුට ලැබීමෙන් පසුව එම ඇණවුම මෙසේ තමා විසින් රැගෙන යන බව ඔහු පොලිසියට පවසා තිබේ. එලෙස හෝමාගම, කහතුඩුව සහ මොරගහහේන පොලිස් වසම්වල මෙම ජාවාරම දෛනිකව ක්‍රියාත්මක කරන බව මෙහිදී පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව නිලධාරීන් සැකකරුට පවසා ඇත්තේ තවත් මත්ද්‍රව්‍ය තොගයක් එම ස්ථානයට රැගෙන එන ලෙස පවසමින් ජාවාරම්කරුට ඇමතුමක් ලබා දෙන ලෙසයි. එහෙත් ඊට සැකකරු මැළිකමක් දැක්වීම නිසා පොලිසිය පවසා ඇත්තේ ජාවාරම්කරුව ඇමතුමක් දී මෙම ස්ථානයට ගෙන්වා දෙන්නේ නම් ඔහු නිදහස් කරන බවයි. ඊට රැවටුණු සැකකරු ඔහුගේ දුරකතනයෙන් ඇමතුමක් ලබා දී තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන ලෙසට ජාවාරම්කරුට දන්වා පසුව ඇණවුම් කළ මත්ද්‍රව්‍ය ඔහු රැඳී සිටි ස්ථානයට ගෙන්වා ගෙන තිබේ. එහිදී මෝටර් රථයකින් කාන්තාවක් සහ පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ තිබිණි.
එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෝටර් රථය වටලා එහි පැමිණි රියැදුරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2900 අත්අඩංගුවට ගෙන තිබේ. පසුව තවදුරටත් සැක සිතුණු පොලිසිය කාන්තා පොලිස් නිලධාරිනියක් ලවා මෝටර් රථයේ පැමිණි කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී තවත් අයිස් මිලිග්‍රෑම් 6500 පොලිසියට සොයා ගැනීමට හැකි විය.
ඒ අනුව මෝටර් රථයත්, යතුරුපැදියත්, ජංගම දුරකතන හතරක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 9400 පොලිස් භාරයට ගැනිණි.
සැකකරුවන් පැමිණි මෝටර් රථයේ අධික වටිනාකමින් යුත් “කානි කෘෂෝ” වර්ගයේ සුනඛයෙකු ද පිටුපස නංවාගෙන පැමිණ තිබූ අතර එසේ සුනඛයා මෝටර් රථයේ නංවාගෙන පැමිණ ඇත්තේ ඔවුන්ගේ ජාවාරම කරගෙන යෑමට පහසුවක් වන පරිද්දෙනි. එම සූක්ෂ්ම උපක්‍රම ඔවුන් භාවිත කර ඇත්තේ විවිධ අරමුණු සහිතවය. යම් අයෙකු දුටුවහොත් ඔවුන් ප්‍රභූ පවුලක පිරිසක් බවට හැඟවීමට හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී මෝටර් රථය පරීක්ෂා කිරීමට පොලිසිය නැවතුවහොත් සුනඛයාට ප්‍රතිකාර කිරීමට රැගෙන යන බව පවසා පොලිසියෙන් මිදී යාමට සුනඛයා රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ විවිධ උපක්‍රම භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇත්තේ හෝමාගම පොලිස් වසමේ දොළහේන සිංහාරන පාර ප්‍රදේශයේ පදිංචි නිමේෂ් හෙවත් “කොත්තුවා” නමැත්තකු විසින් බව පොලිසිය කියයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “හඳපාන්ගොඩ හඳයා” නමැත්තාට අයත් එකක් බවත් එම ජාවාරම මෙරට මෙහෙයවන කිහිප දෙනා අතර ‘කොත්තුවා’ ප්‍රධානියකු ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් විසිහය හැවිරිදි කාන්තාව ප්‍රධාන ජාවාරම්කරුගේ බිරිය වන අතර ඇගේ 36 හැවිරිදි සොහොයුරියගේ සැමියා මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් තිදෙනාම පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් මෝටර් රථය සහ යතුරුපැදිය විමර්ශන සඳහා පොලිසිය භාරයේ රඳවා ගැනිණි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලංගගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඇම්.කේ.ජගත්ගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක කූරඹගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු වික්‍රමරත්න, සැරයන් (38690) ප්‍රනාන්දු, කොස්තාපල්වරුන් වන (93586) දිල්ෂාන්, (97337) ඒකනායක, (97284) ප්‍රේමසිංහ (104937) වික්‍රමසිංහ, කාන්තා කොස්තාපල් (11819) සෙව්වන්දි ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පැවැත්වූහ.
කොට්ටාව - ප්‍රදීප් කුමාර