සොරකම්, කොල්ලකෑම් මෙරට කොතෙක් සිදු වුවද එම අපරාධ සිදු කරන පුද්ගලයන්ට පොලිසියෙන්නම් ගැලවීමක් නැත. සොරකම්, කොල්ලකෑම් සිදුකොට සතර දිග්භාගයේ කොහේ හෝ ගොස් සැඟවුණද පොලිස් නිලධාරීන් එකී පුද්ගලයන් කොටුකර ගන්නේ සිදු කරන සූක්ෂ්ම විමර්ශනවල ප්‍රතිඵල ලෙසිනි.
විශේෂයෙන් යුක්තිය මෙහෙයුමේ ‘සක්රීයත්වය‘ සහ දක්ෂ පොලිස් නිලධාරීන්ගේ ඇප-කැපවීමත් සමඟ සොරුන්ට, කොල්ලකරුවන්ට නිදැල්ලේ සිටීමේ අවස්ථා අවම වී තිබේ. මේ එවැනි කතාවකි. වාර්තා වන්නේ මොනරාගල මූලස්ථාන පොලිසියෙනි.
මේ සොරකමේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු මොනරාගල මූලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නේ සති දෙකක් ඉක්ම යන්නටත් මත්තෙනි. ඒ රට පුරා ගොස් සිදු කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
මොනරාගල නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ තොග සහ සිල්ලර වෙළෙඳසලක සිදුවූ රුපියල් හතළිස්හත්ලක්ෂ පනස්දහසක මුදල් සොරකමේ සැකකරුවන් මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීවගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු ලසන්ත ජයසිංහ ඇතුළු කණ්ඩායම විසින් කොටුකරගත් මෙහෙයුම පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
මොනරාගල නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසලින් පිහිටි කුමාරදොළ පාරේ ස්ථාපිතකර ඇති එච්එස්පී වෙළෙඳසල නගරයේ ප්‍රමුඛතම තොග සහ සිල්ලර වෙළෙඳසලකි. එහි හිමිකරු 55 හැවිරිදි ජීවන ජයන්තය.
ඉකුත් ජනවාරි 23 වැනිදා හිරු එළිය වැටෙද්දීම ජීවන මොනරාගල පොලිසියට දිව ආවේය.
“සර්, කුමාරදොළ පාරේ තියෙන මගේ කඩේ හොරු කඩලා… රුපියල් 47,50,000ක් තිබුණා. ඒක අරගෙන ගිහින්… සීනියි හාලුයි ගන්නයි ඒ සල්ලි ටික එකතු කරලා තිබුණේ… මං ඊයේ හවස කඩේ වහලා යනකොටත් සල්ලි ටික තිබුණා… අද උදේ ඇවිත් බලනකොට සල්ලි ටික නෑ… මං හිතන්නේ කඩේ පිටිපස්සෙන් තියෙන කවුළුවෙන් තමයි හොරු පැනලා තියෙන විත්තිය පේන්නෙ… අනේ සර් මගේ කඩේ කඩපු එවුන් කොහොමහරි සොයලා දෙන්න…“
මොනරාගල මූලස්ථාන පොලිසියේ පැමිණිලි සටහන් පොතේ ජීවනගේ පැමිණිල්ල සටහන් වූයේ ඉන් අනතුරුවය.
මෑත කාලයේ මොනරාගල නොව රටේම සිදුවූ විශාල මුදල් සොරකමක් වූ එම සොරකමේ සැකකරුවන් කොටුකර ගැනීමේ පුළුල් විමර්ශනයකට මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව සියලු නිලධාරීන්ට කඩිනමින් අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය ද දැනුවත් කළේ අවැසි උපදෙස් පතාය.
ඒ අනුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජීවනගේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වෙමින් එහි මූලික විමර්ශන සඳහා උප පොලිස් පරීක්ෂක කරුණාදාස ඇතුළු කණ්ඩායමක් යොමු කරද්දී මොනරාගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකො) නිලධාරින් ද යොදවා අපරාධකාරයන් කොටුකර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ඇරැඹීය.
පොලිස් නිලධාරින් වෙළෙඳසල පරීක්ෂාවට ලක්කළේය. වෙළෙඳසල ප්‍රධාන පාරේ සිට නැතිනම් ඉදිරිපසින් පෙනෙන්නේ තනි තට්ටුවේ වෙළෙඳසලක් ආකාරයෙනි. වෙළෙඳසල පිටුපසින්ද මාර්ගයකි. එය මොනරාගල බස් නැවතුම්පොළ වටා යන මාර්ගයයි. එම මාර්ගයේ සිට වෙළෙඳසල පෙනෙන්නේ තට්ටු දෙකේ වෙළෙඳසලක් ලෙසිනි. ඒ එම වෙළෙඳසල බෑවුමක ඉදිකර තිබෙන හෙයිනි.
වෙළෙඳසල පිටත නිරීක්ෂණය කළ පොලිස් නිලධාරින්ට පිටුපස සිට බලන විට දෙවන තට්ටුවට වන්නට පිහිටි කුඩා කවුළුවක්ද නිරීක්ෂණය විය. එය කුඩා කොටු දැල් ගසා තිබූ කවුළුවකි. වෙළෙඳසලට රිංගු පුද්ගලයා එම කවුළුවෙන් ඇතුළට ගොස් ඇති ආකාරයද පොලිස් නිලධාරින්ගේ උකුසු ඇස්වලට හසුවිණි.
වෙළෙඳසල තුළ වූ සීසීටීවී කැමරාවන්ද පරීක්ෂා කෙරිණි. එහි සටහන්ව තිබුණේ වෙළෙඳසල තුළට රිංගූ පුද්ගලයා දුම්වැටි බණ්ඩල ප්‍රමාණයක් කබඩයකින් රැගෙන බිම තබා පැක් කරන ආකාරයකි. එසේම එම දුම්වැටි තොගය බහාගෙන යාමට බෑගයක් සොයන අයුරක්ද දිස්විණි. එම පුද්ගලයා සියල්ල සිදු කරන්නේ ජංගම දුරකතනයේ ආලෝකයෙනි. ඔහු ක්ෂණයෙන් සීසීටීවී කැමරාව දකින ආකාරයද එහි සටහන් විය. කැමරාව දුටු එම පුද්ගලයා ඒ අසල වූ ස්විචයද දුටුවේය. එතැනින් පසු සීසීටීවී කැමරා අක්‍රිය විණි.
එලෙස සීසීටීවී සහ වෙළෙඳසල අවට නිරික්ෂණය කරමින් මූලික විමර්ශන සිදු විය. සීසීටීවී කැමරාවේ සටහන් වූ පුද්ගලයාගේ ඡායාරූපයක් ගෙන මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු ලසන්ත සිය පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ එම ඡායාරූපයේ සිටි පුද්ගලයා හඳුනා ගැනීමට දැලක් එළීය.
“සර්, ඔය පොටෝ එකේ ඉන්න කෙනාගේ හැඩරුවට සමාන කෙනෙක් මාගන්දනමුල්ල පැත්තෙනම් ඉන්නවා… කිසිම සැකයක් නෑ සර් එයාම තමයි ඔය…“
එසේ කී පෞද්ගලික තොරතුරුකරුවා එම පුද්ගලයාගේ නම්ගම් සියල්ල පොලිසියට පැවැසීය. ඔහු උදය පුෂ්පකුමාර නමැත්තෙකි. එම හෝඩුවාව ඔස්සේ පොලිස් පරීක්ෂක තරිඳු ලසන්ත ඇතුළු කණ්ඩායම ඔහු ගැන අවධානය යොමු කරමින් එම පුද්ගලයාගේ නිවස සොයා ගියේය. එම නිවසේ සිටියේ කාන්තාවකි. තමන් උදයගේ බිරිය බවද ඇය කීවාය.
“සර් එයා 23 වැනිදා පාන්දරම කොළඹ ගියා. එයා වැඩ කරන්නෙ කොළඹනේ… මළගෙයක් තිබුණා… මාමත් එක්ක මළගෙදර ගිහින් 12ට විතර ආවා… ඇවිල්ලා පාන්දර පහට විතර ගියා…“ ඒ බිරිය කී කතාවය.
“මහත්තයා කොළඹ මොනවද කරන්නෙ…“ පොලිස් නිලධාරින් විමසීය.
“එයා සර් කොම්පඤ්ඤවීදියේ බෝඩිමක නතර වෙලා ‘සයිට්‘වල වැඩට යනවා… පහුගිය දෙසැම්බර් 31 වැනිදා ආපු ගමන් ගමේ ඉඳලා තමයි 23 වැනිදා පාන්දර ගියේ…“
එක්දරු පියකු වන 41 හැවිරිදි උදයකුමාර කොළඹ ඉදිකිරීම් වැඩබිම්වල අත්උදවුකරුවෙකි. ඔහු ගැන පොලිස් නිලධාරින් දැඩි සේ සොයා බලන්නට විය. එදා උදය සමඟ මළගෙදර ගිය බව බිරිය කී ‘මාමා‘ගෙන්ද ප්‍රශ්න කෙරිණි. ඔහු මොනරාගල පාසලක ආරක්ෂක නිලධාරියෙකි.
“මායි උදයයි 22 වැනිදා හවස 6ට විතර මළගෙදරක ගියා සර්… එදා උදය ඇහුවා බොමුද කියලා… අපි දෙන්නා බාර් එකට ගිහිල්ලා පොඩි අඩියක් ගැහුවා… පස්සෙ මළගෙදර ගිහින් පොඩි වෙලාවක් ඉඳලා අපි දෙන්න ගෙවල්වල ගියා සර්…“
මාමා එලෙස පවසන අතරේ පොලිස් නිලධාරින් සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ පුද්ගල ඡායාරූපයද ඔහුට පෙන්වීය. ඔහු එම ඡායාරූපයේ සිටින පුද්ගලයා හඳුනා ගනිමින් කීවේ ‘ඒ උදය කුමාර‘ බවයි.
අනතුරුව පොලිස් නිලධාරින් උදය කුමාරගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරද්දී ඔහු 23 වැනිදා අලුයම පිටත්ව ගිය බව සත්‍යයක් බව හෙළි විණි. එසේම ඔහු අලුයම දෙකට පමණද දුරකතනය ක්‍රියා කර තිබූ බවද අනාවරණය විය.
වෙළෙඳසලේ මුදල් සොරා ගත්තේ උදය බවට වූ සැකය තීව්ර වෙමින් තිබිණි. මොනරාගල අපරාධ විමර්ශන අංශ නිලධාරීහු ඔහු ගැන සෝදිසියෙන් සිටියහ. දිගින් දිගටම උදයගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් විමර්ශන සිදු කෙරිණි. එමඟින් අනාවරණය වන්නේ උදය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සිටින බවය.
අනතුරුව පොලිස් පරීක්ෂක තරිඳු ලසන්ත සමඟ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් කොම්පඤ්ඤවීදියට පැමිණියේ උදය සිටින ස්ථානය සොයා ගැනීමේ අරමුණෙනි. දින තුන හතරක් ගෙවිනි. නිලධාරි කණ්ඩායම උදය නතර වී සිටි කොම්පඤ්ඤවීදියේ වෑකන්දවත්ත ප්‍රදේශයේ පිහිටි නවාතැන සොයා ගත්තේය.
එම ස්ථානය සොයා පොලිස් නිලධාරින් ගියද උදය එම නවාතැනේ නොසිටියේය. එහෙත් ඔහුගේ මිතුරෙක් පොලිස් නිලධාරින්ට හමු විය. ඔහු චාමරය. චාමරගේ ගම ද උදයගේ ගම වන මොනරාගල මාගන්දනමුල්ලය.
“උදය කෝ…“ පොලිස් නිලධාරියෙක් චාමරගෙන් ඇසීය. “අනේ සර්… උදය ඉන්න තැන හරියටම දන්නෙ නෑ… එයාගේ හිතවතියක්නම් ඉන්නවා… මහරගම රෝහලක වැඩ කරන… එයත් එක්ක ඉන්නවද දන්නෙ නෑ…“ යැයි පැවසූ චාමර, උදයගේ එම හිතවතියගේ නම්-ගම් සියල්ල පොලිස් නිලධාරීන්ට හෙළි කළේය. එසැණින් පොලිස් නිලධාරි කණ්ඩායම හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ලක්මාලි නමැති මම කාන්තාව සොයා මහරගමට ගියේය.
“සර්… උදය සමඟ මගේ සම්බන්ධයක් තිබුණ බව ඇත්ත. එයා මගේ බැංකු ගිණුමක් තමයි පාවිච්චි කරන්නේ… ඒකට ඒටීඑම් කාඩ් එකකුත් මං එයාට අරන් දීලා තියෙන්නේ. සර් මගේ තව එකවුන්ට් එකක් තියෙනවා. පහුගිය ජනවාරි 23 වැනිදා පාන්දර මගේ එකවුන්ට් එකට උදය ලක්ෂ දෙකක් දාලා තිබුණා. පස්සෙ මට කෝල් එකක් දීලා කිව්වා ලක්ෂයක් ඔයා ගන්න… මට ලක්ෂයක් තියලා තියන්න පස්සේ ගන්නම් කියලා…“
එසේම ලක්මාලි නමින් තිබෙන උදය පාවිච්චි කරන ගිණුමටද අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් ගිණුම්ගත කර ඇති බවද ලක්මාලි පොලිස් නිලධාරීන්ට කීවේ එම ගිණුමේ සියලු ගනුදෙනු තම ජංගම දුරකතනයට එස්එම්එස් ඔස්සේ ලැබෙන බවද කියමිනි. ලක්මාලිට දුන් මුදලින් ඇය ඒ වන විට රන් මාලයක් සහ පෙණ්ඩනයක්ද මිලදීගෙන තිබුණාය.
ලක්මාලි එසේ පාපෝච්චාරණය කරද්දී පොලිස් නිලධාරින් නැවත කොම්පඤ්ඤවීදියට පැමිණ උදය නැවතී සිටි ස්ථානයට ගියේය. එහිදී උදයගේ තවත් මිතුරෙක් හමු විය. ඔහු අසංක ලක්මාල්ය. ඔහු තිස්ස පදිංචිකරුවෙකි. ඔහුගෙන්ද උදය ගැන විමසීය.
“උදය ඉන්න තැනක් දන්නෙ නෑ සර්… හැබැයි කෝල් එකක් නම් පහුගිය දවසක ආවා එදා කිව්වෙ මගේ එකවුන්ට් එකට රුපියල් හාරලක්ෂ හැත්තෑදාහක් දැම්මා කියලා. ඒ සල්ලි තාම එකවුන්ට් එකේ තියෙනවා සර්… ආයෙත් දවසක් මට කතා කරලා කිව්වා හතරයි හැත්තෑවෙන් දෙකයි හැත්තෑවක් එයා දෙන එකවුන්ට් අංකෙට දාන්න කියලා… ඒ වෙලාවේ මං ඇහුවා ‘මචං උඹ කොහේද ඉන්න කියලා…‘ උදය කිව්වා සර් කුරුණෑගල, පොල්පිතිගම දේවාලෙක ඉන්නේ කියලා…“
අසංකගේ එම හෙළිදරව්ව පොලිස් නිලධාරීන්ට නියම හෝඩුවාවකි. ක්ෂණයෙන් මොනරාගල පොලිස් නිලධාරි කණ්ඩායම කොම්පඤ්ඤවීදිය පොල්පිතිගම බලා ගොස් එම ප්‍රදේශයේ තිබෙන දේවාල ගැන සෝදිසි කරන්නට විය. එදින රාත්‍රී දේවාල කිහිපයක් පරීක්ෂා කළද උදය ගැන කිසිම තොරතුරක් නොවීය.
පසුදාට හිරු උදා විය. එනම් පසුගිය පෙබරවාරි 5 වැනිදා නැවත එම ප්‍රදේශයේ තිබෙන තවත් දේවාල ගැන පොලිසිය සෝදිසි කළේය. ඒ වන විට පොලිස් නිලධාරින් දේවාල හත-අටක්ම පරික්ෂාකර තිබිණි. පොලිස් නිලධරයෝ පොල්පිතිගම පතිරැන්නේගම, මීඔය දේවාලයකට ගොඩ වැදුණේ ඉන් අනතුරුවය. කාන්තාවක පවත්වාගෙන යන එම දේවාලයේ සිටි උදය පොලිස් අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ හැංගිමුත්තන් සෙල්ලම් අවසන් කරමිනි. දේවාලයේ කිසිවෙක් වන තෙක් උදයගේ තරම දැන සිටියේ නැත.
“අපි සේරම හොයා ගත්තා… කොහොමද තමුන් මේ පළාතේ දේවාලෙකට රිංගුවේ…?“ යැයි වැටලීමට එක්වූ නිලධාරියෙක් උදයගෙන් ප්‍රශ්න කෙළේය.
“අනේ සර්, මගේ වයිෆ්ගේ යාළු ගෑනු කෙනෙක් ඉන්නවා… අපේ ගමේමයි… එයා තමයි මේ දේවාලේ හොයලා දුන්නේ…“ උදය පොලිස් නිලධරයන්ට කීවේ මුමුණමිනි.
“දැන් ඇත්ත කියනවා… කොහොමද මේ හොරකම කළේ…“පොලිස් නිලධරයෝ උදයගෙන් එලෙස විමසීය.
තමනට පොලිසියෙන් කිසිම ගැලවීමක් නොමැති වග උදයට වැටහිණි.
“මං ඇත්තම කියන්නම් සර්…“ යැයි පවසමින් ඔහු පොලිස් නිලධාරින් ඉදිරියේ සියල්ල පාපෝච්චාරණය කළේය. ඒ අනුව උදයගේ ප්‍රකාශයෙන් හෙළි වන්නේ මෙවැන්නකි. උදය කුමාර 41 හැවිරිදිය. ඔහුගේ බිරිය කඩුවෙල පදිංචිකාරියකි. උදය කොළඹ ඉදිකිරීම් වැඩබිම්වල අත්උදවු දෙන්නෙකි. ඔහු සහ ඔහුගේ මිතුරන් වන චාමර, අසංක දැඩි සේ මත්ද්‍රව්‍ය මෙන්ම මත්පැනට ලොල් වූවෝය. ඉකුත් දෙසැම්බර් 31 වැනිදා ගමට ගිය උදය දින කිහිපයක් ගමේ ගත කළේය.
“සර් මං ඔය සිද්ධියට පහුවදා කොණ්ඩෙ කපන්න ගියා. එදා ඔය කඩේ ළඟ තියෙන බාර් එකෙන් බියර් එකක් අරන් එතැනම තියාගෙන බිව්වා… බියර් එක උඩට උස්සලා බොනකොට උඹට වෙන්න තියෙන ඔය කඩේ කවුළුව දැක්කා සර්…“
එදා දුටු එම කවුළුවෙන් වෙළෙඳසලට පැන ‘ගේම‘ක් දීමට උදය සිතා ගත්තේය. දිනය පසුගිය ජනවාරි 22 වැනිදාය. එදා රාත්‍රී උදය සිය ‘මාමා‘ සමඟ ආසන්න මළගෙදරක ගොස් තමාගේ නිවස අසලට පැමිණියේය. උදයට සිහිපත් වූයේ බීර පානය කරන විට දුටු කවුළුවයි. ඒ වන විට මධ්‍යම රාත්‍රිය උදා වෙමින් තිබිණි.
එම වෙළෙඳසල අසලට ගොස් යකඩ ඇඳක් ආධාරයෙන් කවුළුවට නැඟ වෙළෙඳසල තුළට රිංගු උදය,
“මං සිගරට් බණ්ඩල් ටිකක් අරන් එළියට එන්න හැදුවේ… පස්සෙ තමයි සර් සල්ලි ටික දැක්කේ… ඒ ටික මල්ලකට දාගෙන පැයකින් වගේ එතැනින් පැනලා ගියා…“ යැයි උදය පාපෝච්චාරණය කළේය.
මුදල් සොරාගෙන නිවසට ගිය උදය ඉන් ලක්ෂ 15ක් බිරියට දී ඔහු කොළඹ යාමට පිටත් විය. ඒ අතර බිරියට හොර රහසේ තවත් රුපියල් ලක්ෂ 20ක මුදලක් නිවසේ ඉහළ චිමිනියේ සැඟවීය.
තවත් රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් ලක්මාලි ඇතුළු මිතුරු මිතුරියන්ගේ ගිණුම්වල තැන්පත් කළ උදය ලක්ෂ 12ක පමණ මුදලක් රැගෙන 23 වැනිදා සවස් වෙද්දී කොම්පඤ්ඤවීදියට ළඟා විය. ජනවාරි 24 වැනිදා මහ රාත්‍රියේ උදයගේ මිතුරන් දෙදෙනා වන චාමර සහ අසංක සමඟ උදය හොරණ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මොනරාගල සිය නිවසට පැමිණියේ චිමිනියේ සැඟවූ මුදල් රැගෙන යාමටයි. ඒ වන විට 25 වැනිදා පාන්දර 5.30ට පමණ විය. නිවසේ අයටද හොර රහසේ එම මුදල් තොගය ගත් උදය නැවත එසැණින් කොළඹ බලා පිටත් විය. ඒ යන අතර අසංකගේ යෝජනාවකට උදය එම මුදල්වලින් ඉඩමක් මිලදී ගැනීමට සිතුවේය. ඒ අනුව කොළඹ යන අතරම අසංකගේ ඥාතියකුගේ ලුණුගම්වෙහෙර ඉඩමක් බැලීමටද තිදෙනා ගියේය. එදිනම රුපියල් නව ලක්ෂ පනස් දහසක මුදලකට එම ඉඩම ගත් උදය එහි බලපත්‍ර පිටපතද රැගෙන යද්දී කහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථය අනතුරකට පත්වූයේ රථය පැදවූ චාමරට නින්ද යාම නිසාවෙනි.
ඒ මොහොතේ මෝටර් රථය තුළ චාමර, අසංක සහ උදය සිටියද අනතුරෙන් පොලිස් පරික්ෂණවලට ඉදිරිපත් වූයේ දෙදෙනෙක් පමණි. උදය අතකට සිදුවූ තුවාලද සමඟින් එම ස්ථානයෙන් පලා ගියේය.
කොම්පඤ්ඤවීදියට ගිය උදය අනතුර ගැන බිරිය දැනුවත් කළේ තමන්ගේ අතකටද තුවාල සිදුවී ඇති බව කියමිනි.
එම සිදුවීම ගැන උදයගේ බිරිය අවට වැඩිහිටි කාන්තාවකට කීවාය.
“නංගි මම දන්න දේවාලයක් තියෙනවා පොල්පිතිගම… එහාට එක්ක ගිහින් ඔය තියෙන අපලවලට ආරක්ෂාවක් කරගමු… එතකොට ඔය ප්‍රශ්න සේරම හරියාවි…“ යැයි එම කත කීවාය.
ඒ අනුව උදයගේ බිරිය, දරුවා සහ එම කත පොල්පිතිගම දේවාලයට ගියහ. දේවාල කපු මෑණියන්ගේ උපදෙස් මත පොල්පිතිගමින්ම වෑන් රථයක් කුලියට ගත් උදයගේ බිරිය උදය රැගෙන යාමට කොම්පඤ්ඤවීදියේ නවාතැනට පැමිණියාය. උදය කැටුව පොල්පිතිගම දේවාලයට ගිය පිරිස ඔහු එහි නතර කළේය. බිරිය ඇතුළු පිරිස නැවත මොනරාගල මොනරාගල ගියාය.
උදයගේ ප්‍රකාශ අනුව උදයට අමතරව චාමර සහ අසංක පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී පොලිස් නිලධාරින් උදයගේ නිවසටද පැමිණියේ සොරකම් කරන ලද මුදල් සොයා ගැනීමේ අටියෙනි. එහිදී පොලිසියට සත්‍ය වසන් කිරීම නිසා උදයගේ බිරිය 35 හැවිරිදි හර්ෂණී ද අත්අඩංගුවට ගත්තේ උදයට සැඟවී සිටීමට දේවාලය සොයා දුන් නන්දසීලිද සමඟිනි. හර්ෂණිට දුන් ලක්ෂ 15න් ඒ වන විට ලක්ෂ පහක් ඇය වියදම් කර තිබූ අතර ලක්ෂ 10ක් අවට නිවෙසක වළලා තිබියදී සොයා ගැනීමටද පොලිසියට හැකි විය.
ඒ අනුව සති දෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් අයිආර්සීකාරයෙක් හෙවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙක් වන ප්‍රධාන සැකකරු උදය ඇතුළු සැකකරුවන් පස්දෙනා සමඟ මුදලින් ලක්ෂ 22ක් පමණ සොයා ගැනීමට පොලිසියට හැකි විය.
මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්. වීරසේකරගේ සහ මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් මත මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීවගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තරිඳු ලසන්ත ජයසිංහ, සැරයන්වරුන් වන (1607) සනත්, (40870) අබේවර්ධන, (6139) සමන්ත, (61433) අමිල, කොස්තාපල්වරුන් වන රුවන් (39963), සංජීව (84815) යන නිලධාරිහු වැඩිදුර පරිකෂණ සිදු කරති.
•ඡායාරූප – වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ
අමිල මලවිසූරිය