Home » අත දරුවන් වඩාගෙන කුඩු ජාවාරම් කළ අඹු සැමියෝ

අත දරුවන් වඩාගෙන කුඩු ජාවාරම් කළ අඹු සැමියෝ

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

– දඹදෙණියෙන් කුඩු ගෙන එද්දී ඇල්ලුවේ වෙන්නප්පුවෙන්

ක්ෂණිකව මුදල් ඉපයීමේ එක් ප්‍රධාන මාර්ගයකි මත්ද්‍රව්‍ය ජාවාරම. යුක්තිය කරළියට ආවේ ඊට වැටකඩුලු බැඳීමටයි. යුක්තිය ශක්තිමත්ය. සිය ගණන් දිනපතා යුක්තියට කොටු වෙති. දැන් මත්ලෝලීන්ගේ ‘සික්‘ එක රතු කට්ටේය. මත් ජාවාරම්කරුවන්ට යුක්තිය හිසරදයකි. පොලිසිය විවිධ වෙසින් පෙනී සිටිමින් ඔවුන් කොටු කරගැනීමට මාන බලති. කුඩ්ඩෝ ද කුඩු සපයන්නෝ ද එය දනිති. ඔවුන් පොලිස් ඉවෙන් මිදීමට විවිධ උපායන් සොයති. ඒවා අත්හදා බලති. බොහෝ කුඩ්ඩන්ට ඇබ්බැහිකම අත්හැරිය නොහැකි තරමට ඊට ගිජු වී සිටී. ඇතැමුන්ට නීතියට තිබෙන බිය තුරන්ව ගොස්ය. යුක්තියේ වැට කඩුලු මායිම් නොකර කුඩ්ඩන්ට ජාවාරම්කරුවන්ද සැපයුම් ලබා දීමට කටයුතු කරති. යුක්තියට කොටුවී තමන්ගේ ජීවිතය සිර මැදිරිවලට සීමා වීමද තැකීමක් නොමැත.

ජාවාරම්කරුවෝ සිය ජාවාරම් නිරුපද්‍රිතව සිදු කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් සොයමින් සිටිති. පීඩාවට පත්වන හානි වන දේ ගැන තඹ දොයිතුවකටවත් මායිම් නොකරති. අඹු දරුවන්ගේ ජීවිත පවා තැකීමක් නොකරති. කිසිත් නොදන්නා කිරි සප්පයන් පවා ජාවාරමට සම්බන්ධ කර ගැනීමට තරම් ඔවුන් පහත් තත්ත්වයට වැටී ඇත. මේ කියන්න යන්නේ ඊට ආසන්න සිදුවීමකි.

මේ කතාව කුඩ්ඩන්ගෙන් ඇණවුම් ලබාගෙන ‘ඊසි කෑෂ්’ ක්‍රමයට කුඩු ජාවාරම් පවත්වාගෙන යන අයට සැපයුම් සිදු කරන තරුණ යුවළක් ගැනය. පොලිසිය නොමඟ යැවීමට තම කිරිසප්පයන්ව අත දරාගෙන ත්‍රිරෝද රථයෙන් ගොස් ජාවාරම සිදු කරන මෙම යුවළ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝය. පොලිසියේ ඇස යොමු නොවන්නට යුක්තියේ මෙහෙයුම ඉස්ටිකරයක්ද ත්‍රිරෝද රථයේ පිටුපස අලවාගෙනය. ඉකුත් දාහත්වැනි දින හෙරොයින් මත්ද්‍රව්‍ය ඇණවුමක් යුවළට ලැබෙන්නේ වෙන්නප්පුව ප්‍රදේශයෙනි. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 200ක ඇණවුමක්ය.

වෙන්නප්පුව ප්‍රදේශයේදී පොලිසියට කොටු වූ ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු භාවිත කරන්නන්ගෙන් ඉතා සූක්ෂ්ම ලෙස දුරකතන අංක ලබා ගෙන සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම මත්ද්‍රව්‍ය සැපයුම පිළිබඳව තොරතුරක් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට ලබා ගැනීමට හැකි වූයේ පසුගියදාය. හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාරගේ සහ වෙන්නප්පුව වැඩබලන සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්තගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ අඹු සැමි යුවළ අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කෙරිණි.

ඔවුන් පැමිණෙන ඉසව්ව හඳුනාගෙන වෙන්නප්පුව ‘තල්දෙක’ මංසන්දියේ පොලිස් මාර්ග බාධකයක් යෙදීමට කටයුතු කෙරිණි. ඔවුන් ගමන් මාර්ගය වෙනස් කරාවි යැයි අනුමාන කරමින් දඹදෙණිය ප්‍රදේශයේ සිට වෙනප්පුව දක්වා ස්ථාන කිහිපයක සිවිල් ඇඳුමින් සැරසුණු යතුරුපැදි සහිත පොලිස් නිලධාරීන් යෙදවීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය.

එදින බුද්ධි තොරතුරේ සඳහන් නියමිත වේලාවට ත්‍රිරෝද රථයේ දරුවන් දෙදෙනාද රැගෙන මේ අඹු සැමියන් වෙන්නප්පුව බලා පිටත්වීමට කටයුතු කළහ. මත්ද්‍රව්‍ය ඇණවුම් කළ පුද්ගලයාගේ ‘වෙලාවට අනුව’ මේ දෙදෙනා පිටත් වීමට කටයුතු කළහ. මේ ගමන අතරමඟදී රැඳී සිටි යතුරුපැදිකරුවන්ගේ ග්‍රහණයට හසු කර ගැනීමට අපහසු නොවන්නේ ත්‍රීරෝද රථයේ ස්වභාවය සහ අංකය කලින් දැන සිටි නිසාවෙනි. ඒ අනුව මාර්ග බාධකයට යතුරුපැදි පොලිස් නිලධාරීන් යුවළගේ පැමිණීම දැනුම් දීමට කටයුතු කරන ලදි.

ත්‍රිරෝද රථය ‘පොලිස් බැරියර්’ එකට ළඟා විය. නිලධරයෝ එය නැවැත්වූහ. පොලිසිය ප්‍රශ්න කිරීමටත් පෙර අතදරුවෙකු වඩාගෙන සිටි කාන්තාව ඉස්සර වූවාය.

“සර් පොඩ්ඩට බේත් ගේන්න යනවා. එයාට ටිකක් අමාරුයි” යැයි සැක නොසිතන ලෙස දුක්මුසු ස්වභාවයෙන් ඇය පොලිස් නිලධාරීනට කීහ.

“ආ කමක් නෑ. කරුණාකරලා බහින්නකෝ” පොලිස් නිලධාරීන් කීවේය.

ඒ සමඟම ස්වාමිපුරුෂයා “කමක් නෑ සර් චෙක් කරන්න. අපි දරුවට බේත් ගන්න යන්නේ” යැයි කීවේය. ඔහුගේ උත්සාහය වූයේ පොලිසිය නොමඟ යැවීමයි. ඉන් පසුව දිගින් දිගටම පරීක්ෂා කිරීමේදී සැකකරුගේ සාක්කුවේ තිබී මත්කුඩු පැකට් හමු විය. පොලිස් නිලධාරීන් හමුවේ නිරුත්තර වීම හැර ඔවුන්ට කිසිවක් කළ නොහැකි විය.

මේ අඹු සැමි යුවළ 26 සහ 28 වියේය. දරුවන් දෙදෙනා මාස 06 සහ අවුරුදු එකහමාරක ගැහැනු දරුවන්ය. අඹු සැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ට පැකට් කර තොග වශයෙන් ඇණවුම් මත අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වේ. මොවුන් කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි විය.

කොළඹින් තොග වශයෙන් ගෙනෙන හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් තිස්දහසකට මිලදීගෙන එය පැකට් වශයෙන් සකස් කර රුපියල් හතළිස් පන්දහසකට විකිණීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි විය. සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නොමැති බවද මෙහිදී හෙළි වී ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ කාත්තාවගේ ප්‍රකාශ තුළින් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිට දැඩි සැකයක් මතු විය. පොලිස් කාන්තාවන් යොදා ඇගේ මුළු ශරීරයම පරීක්ෂාවට ලක් කළේය. කාන්තාවගේ හැසිරීම් රටාව සම්බන්ධව තවදුරටත් සැක සිතී අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරීමට කටයුතු කළේය. අධිකරණ වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය බිය විය. වෛද්‍යවරයා හමුවේ සියලු තතු වැමෑරුවාය.

ඇය මත්කුඩු පැකට් ගිල ඇති බව වෛද්‍යවරයා හමුවේ කියා සිටියාය. ඉන් අනතුරුව ඇය මාරවිල රෝහල වෙත යොමු කෙරිණි. දින දෙකක් රෝහලේ රැඳී සිටින අවස්ථාවේ අවස්ථා දෙකකදී ඇය ශරීර කෘත්‍යය සිදු කිරීමෙන් පසු හෙරොයින් ග්‍රෑම් එක බැගින් සකස් කළ පැකට් දෙකක් සොයා ගැනීමට හැකි විය. අධිකරණ නියෝග මත සැකකාර යුවළ රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දුන්නේය. දරුවන් දෙදෙනා පරිවාස භාරයේ තැබීමට ද නියම කළේය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර සහ වෙන්නප්පුව වැඩ බලන සහකාර පොලිස් අධිකාරී එස්. ඩී. ආර්. ප්‍රියන්තගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, සැරයන්වරුන් වන (8457) සේනක, (75775) තරංග, (72471) නිශාන්ත, කොස්තාපල්වරුන් වන (83062) කුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (12766) සන්දීපිකා, (12861) දිල්රුක්ෂි යන අය මෙම වැටලීම සිදු කළහ.

මිහිර විජේසේකර මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division