– කුරුණෑගලින් කොළඹට පැන්න සෙබළා ඇල්ලුවේ දෙල්කඳ ජොගින් පාර්ක් එකේදී
– ඝාතනයට සැක තුනක් මීට කලින් අත්අඩංගුවට
ඔහු පුංචි බණ්ඩාය. නමින් පුංචි වුවද වැඩවලින් නම් පුංචි බවක් පෙනෙන්නට තිබුණේදැයි සැක සහිතය. ඒ ඔහු විදේශීය ආයතනයක අතරමැදියෙකු ලෙස කටයුතු කළ නිසාය. එහෙත් ඒ නිර්නාමිකවය. උගත් බුද්ධිමතුන් මෙන්ම තරුණ තරුණියන්ද නිරන්තරයෙන් විදේශ රැකියා සොයා ගැනීමට පෙලඹී ඇති බැවින් ‘පුංචි බණ්ඩාගේ’ පසුම්බියේද බර ගතිය වැඩිවෙමින් තිබුණේ ඔහුට ද නොදැනීමය.
ඔහු මඟින් විදේශගත වීමට කුරුණෑගල ප්‍රදේශයේ බොහෝ පිරිසක් බලා සිටියේ ඔහුගේ කටයුතු පිළිබඳ අනේක විශ්වාසයෙන් යුතුවය. පුංචි බණ්ඩාගෙන් යම් කිසි මුදල් ප්‍රමාණයක් ලැබෙන්නට තිබූ පුද්ගලයෙකු කාලයක් තිස්සේ ඔහු සොයා ආවේ මේ අතරතුරය. එහෙත් පෙනෙන්නට තිබුණේ එම මුදල නොලැබී යන ලකුණුය. ඒ වෙනුවට රට රැකියාවක් ලබා දෙන බවට පුංචි බණ්ඩා ඔහුට පොරොන්දුවක් ලබා දුන්නේ මේ කරච්චලයෙන් බේරීමටය. එහෙත් පුංචි බණ්ඩා හිතාමතා තමන් රවටා ඇතැයි ඔහුට සිතුණේ පොරොන්දු වූ ආකාරයට වැඩේ නොකෙරෙන විටය. නිරපරාදේ රට රැකියා සිහිනයද දිනෙන් දිනම ඈතට ගසාගෙන ගියේ සියලු බලාපොරොත්තු සුනු විසුනු කරමිනි. ඔහු දුක් වූයේ එම මුදල් දුක් මහන්සියෙන් උපයා ගත් ඒවා නිසාය. පුංචි බණ්ඩා කපටිකමක් වංචාවක් සිදු කළ බවට ඔහු චෝදනා කළේය. සිතින් ශාප කළේය. ඔහුගේ සිතේ ටිකෙන් ටික බණ්ඩා කෙරෙහි මෝදු වුයේ වෛරයකි.
“එක හීනෙන්ම එළිවෙන්නේ නැනේ… කරන්නංකො මාත් හොඳ වැඩක්…“
ඔහු දැඩි තීරණයකට ආවේ එලෙසය. ඔහුගේ මතකයට ආවේ හමුදාවෙන් පලා ආ සෙබළෙකු පිළිබඳවය ගාල්ලේ, ඉමදූවේ පදිංචිකරුවකු වන ඔහු 42 හැවිරිදිය. වසර හතක් පමණ යුද හමුදාවේ සේවය කර ඇති ඔහු නාවික හමුදාවේ සේවය කළ සහෝදරයා බෝම්බයකට හසුව මියගිය බැවින් එම මළ ගෙදරට සහභාගි වීමෙන් පසුව රැකියාවට නොයා සිටින නිසා වැඩක් ගත යුතු යැයි සිතුණේ ක්ෂණිකවමය.
“මචං පොඩි වැඩක් තියෙනවා. පනස් දාහක් නිකම්ම අතේ. වැඩි මහන්සියක් වෙන්න දේකුත් නෑ. මොකද ඒකා හද්ද නාකියා…”
හමුදා මිතුරා සමඟ සංවාදයේ යෙදුණු ඔහු හීන් හිනාවකින් මුව සරසා ගත්තේ හිතේ කැකෑරෙමින් තිබූ වෛරය මොහොතකට බිම තබමිනි.
කුරුණෑගල, ලේල්වල ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක වැඩ කළ ගැටව් දෙදෙනෙකු ද එකතු කරගත් හමුදා සගයා රාජකාරියට සූදානම් වූයේ අදිමදි නොකරමය. බර ඉසිලීමේ ඩම්බෙල් එකේ අඩි 1 1/2 පමණ වන යකඩ බාර් එකක් ද සොයා ගත්තේ අත පාළුවට මෙන් රැගෙන යාම සඳහාය.
පසුගිය වසරේ අගෝස්තු 19 දා පුංචි බණ්ඩාගේ ‘ග්‍රහ චාරය’ කැරකුණේ නොපිටට විය යුතුය. එදින රාත්‍රී ඔහු නිවැසියන් සමඟ නින්දට ගියත් යම් කිසි අමුත්තක් සිදු වෙමින් තිබුණ බව කිසිවෙකුටත් හැඟී ගියේ නැත. ත්‍රිරෝද රථයක නැඟී ඉගිළුණු ‘යක්ෂයින් තිදෙනා’ ගණ අඳුරේ පුංචි බණ්ඩාගේ නිවෙසේ තාප්පය අසලින් බැස ගත්තේ දත් විළිස්සාගෙනය. ගේට්ටුවට ගසමින් කතා කළද කිසිවෙකුත් දොර ඇරියේ නැත. ඉන් නොනැවතුණු අලුගෝසුවන් තාප්පයෙන් වත්තට පැන දොරට පයින් ගැසුවේ කඩා පනින හමුදාවක් පරිදිය. දොර කඩා ගෙට වැදුණු මොවුන් බය බිරාන්තව සිටි නිවැසියන්ට සද්දෙ දමා වැඩ පෙන්වද්දී පුංචි බණ්ඩා පිහියක් රැගෙන ආවේ එකෙක් දෙන්නෙක් ‘බාවා දැමීම’ සඳහාය. එහෙත් පිහියට ඉස්සර වීමට ඉඩ නොතබා මැරයෝ පුංචි බණ්ඩාගේ හිස අත ගෑවේ අත තිබූ පොල්ලෙන් වීම සියල්ල උඩු යටිකුරු කරන දමිළ චිත්‍රපට දර්ශනයක් මෙන් විය.
නිවැසියන්ගේ විලාපය මැද හිස බදාගෙන පුංචි බණ්ඩා ලේ විලක් මැද ඇද වැටෙද්දී තාප්පයෙන් පාරට පැනගත් මැරයෝ ත්‍රිරෝද රථයේ නැඟී පලා ආවේ කොළඹටය. එතැනින් ගාල්ලට පැනගත් ‘ප්‍රධානියා’ කිසිවක් සිදු නොවුණු ගානට වැඩ කටයුතු කරද්දී සහායට පැමිණි දෙදෙනාද ‘වාෂ්ප’ වී ගියේ සීරුවටය.
“ඒයි මචං වැඩේ හරි. අරූ මැරිලා. ඕක දැඟලුවේ ඔය ටික කරගන්න තමයි. මගේ සල්ලි දුන්නනං මේ මොකුත් නෑනේ…“
ප්‍රධානියාට දුරකතන ඇමතුමක් ලැබුණේ ඝාතනයේ ‘කොන්ත්රාත්කරුගෙනි’.
රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩාගේ අවසානය සනිටුහන් වන්නේ ඒ ආකාරයටය. හැත්තෑපස් හැවිරිදි වියේ පසු වූ ඔහු කුරුණෑගල, වඳුරාගල, ඇල්ලවත්ත, අංක 2/100 ලිපිනයේ පදිංචිව සිටියේය. පුංචි බණ්ඩාගේ මරණයෙන් පසුව තිදෙනා එකිනෙකා සමඟ තිබූ සම්බන්ධතා මුළුමනින්ම නතර කළේ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වන ලෙසය. දින සති ගෙවී මාස දෙකක් පමණ ගත වී ගියේ කාලයට සියල්ල අමතක කිරීමට ඉඩ හරිමිනි.
“අන්න අරුන් දෙන්නව කුරුණෑගල පොලිසියෙන් අල්ලගෙන. උඹත් පරිස්සම් වෙලා හිටපං…“ ඝාතනයේ කොන්ත්‍රාත්කරුගෙන් ඝාතනයේ ප්‍රධානී හිටපු සෙබළාට ඒ ඇමතුම ආවේ අනතුරු අඟවමිනි.
“මෙහෙ ඉඳලා හරියන්නෙ නෑ. කොළඹට පැනගන්න ඕනෑ…“
මේ ඝාතනයේ ප්‍රධානියා වන හිටපු සෙබළා අගනුවර යන්නේ වැඩි ආරක්ෂාව පතාය. දෙල්කඳ ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක ලේකම් තනතුරක් සොයාගන්නා ඔහු පොලිසියට වසන් වෙමින් කල් ගත කරන්නට වූයේ දැහැමෙන් සෙමෙන්ය.
දෙල්කඳ ‘ජොගින් පාර්ක්’ එකේ ශාරීරික අභ්‍යාසවල යෙදීම ඔහුගේ දෛනික රාජකාරියේ ප්‍රධානම අංගයක් වී තිබිණි. සෑම උදෑසනකම මුල් කාලය ඒ සඳහා වෙන් කිරීම වැරදුණේ නැත.
කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ලබා ගත් තොරතුරු අනුව හිටපු සෙබළා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන්නේ මේ අතරය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර වෙතද මෙහි විමර්ශන කටයුතු භාර විය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් ඒකක 02 හි උපපොලිස් පරීක්ෂක නිහාල් සහ සැරයන් 61249 ලංකා, 60161 වසන්ත, මෙන්ම කොස්තාපල්වරුන් වන 88994 කසින්දීන්, 100315 එදිරිසිංහ, 104619 කිත්සිරි හා රියැදුරු 100964 මධුසංක යන නිලධාරින් එකා මෙන් දිවා රෑ වෙහෙස වූයේ මෙම වැඩකාරයාගේ හැඩ බැලීම සඳහාය. ඔවුන්ට ඒ දවස උදා වූයේ 23 දා උදෑසනය. ඒ මිරිහාන, දෙල්කඳ ජොගින් පාර්ක් එකේදීය.
මාස හයක් තිස්සේ පොලිසියට කට්ටි පැන්න හිටපු සෙබළා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලදරුවන්ට කොකා පෙන්නා කට්ටි පැනීමට ඉඩ නොමැති බව වැටහුණේ මාංචු කුට්ටම දෑතට වැටෙන විටය.
මාස හතරක පමණ කාලයක් කොළඹ ගෙන්දගම් පොළොව ස්පර්ශ කළ සැකකරු කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත භාර දෙන්නේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. මේ ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා අල්ලා ගැනීම සඳහා විමර්ශන මේ වන විට පැවැත්වෙයි.
විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ