ආබාධිත රණවිරුවන් ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් 2,500ක් පමණ මේ වන විට ඔයිල් පාම් වගාවේ නිරත වී සිටින බවත්, ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි මෙම වගාව පිළිබඳ තහනම තවත් පමා නොවී ඉවත්කර දෙන්නේ නම්, තම ආර්ථිකය ද ශක්තිමත් කර ගෙන රටේ ආර්ථිකයට ද දායක විය හැකි බවත්, කුඩා සහ මධ්‍ය පරිමාණ වැවිලි කරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිමල් විජේසිංහ පවසා සිටියේ,
“ඔයිල් පාම් වගාව පිළිබඳ ඇති මිත්‍යා මත නිසා රටක් ලෙස අප විශාල පාඩුවක් අත්විඳිනවා. ලෝකයේ බොහෝ රටවල් සිය නිෂ්පාදන ආර්ථිකය සඳහා ඔයිල් පාම් ගසෙන් ලබා ගන්නා, පාම් ඔයිල් යොදා ගන්නවා. අපේ රටෙත් ඇතැම් නිෂ්පාදන සමාගම් පාම් ඔයිල්, පිටරටින් ආනයනය කර, සබන්, ටූත් පේස්ට්, බිස්කට්, කිරිපිටි ආදිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මේ වගා කිරීමේ තහනම ඉවත් කර දෙන්නේ නම් විදේශ වීමේ ඉතිරි කරගෙන රට තුළම මෙම තාල වර්ගයේ ගසෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකියි.
මෙම ගස් නිසා වතුර හිඳී යනවා යැයි පවතින මිථ්‍යා මතය පුස්සක් බවට පත්කරමින් අවුරුදු 30කට වැඩි වයසක් ඇති ඔයිල් පාම් වගාවන් මේ කළුතර දිස්ත්‍රික්කයේ තිබෙනවා. එම වතුවල ගස්ලබු, ඉඟුරු, කුරුඳු, කොකෝවා වැනි යටි වගාවන් ඉතා සාර්ථකව සිදු කෙරෙනවා.
ඔයිල් පාම් ගසක් සිටුවා වසර හතරේ පටන් 40 දක්වා ඵලදාව ලබා ගත හැකියි. එය ඉතා වටිනා ආර්ථික බෝගයක්. තේ සහ රබර්වලට සාපේක්ෂව නිෂ්පාදන වියදම ඉතා අඩුයි…” යනුවෙනි.
එම සංගමයේ ලේකම්, සුනීතා කුමාරි පවසා සිටියේ, තේ වගාවේ නිරත වන බොහෝ අම්මලාගේ දරුවන් මේ වනවිට ළමා අපචාරවලට ගොදුරු වෙලා. මොකද, මේ පළාතේ දලු කඩන්න අම්මලා උදේ රැයින් ගියාම, ගෙදර එන්නේ හවස බව ගමේ හැම කෙනෙක්ම දන්නවා. දරුවෝ ගෙවල්වල තනිවෙනවා. මේ නිසා අපචාරවලට දරුවෝ ගොදුරු වෙනවා. නමුත් ඔයිල් පාම් වගාව දැම්මම බලන්න දෙයක් නැහැ. ගහ හැදෙනවා. ඵලදාව බිම තිබුණත් කවුරුත් අරන් යන්නෙත් නැහැ. ළමයින් එක්ක ඉඳගෙන කරන්න පුළුවන් වගාවක් මේක. ගමේ ආර්ථිකය නංවන්න පුළුවන් හොඳම ආර්ථික බෝගයක් මේ ඔයිල් පාම් කියන්නේ.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, වගා තහනම ඉවත්කර අප වැනි සුළු වගාකරුවන්ට මේ වගාව කරගෙන යන්න ඉඩ දෙන්න කියලයි…”.