අනේ පව්!
පනස් වසකටත් පෙර
තුරුණු විය ගත කරපු
ඒ අලුත් ගුරුතුමා
පත්තියට ඇවිල්ලා
සිටීන් ඉඳීන් සිටීන්
ආයුබෝවන්
කෝ ගන්න ගල්ලෑලි
ලස්සනට දැන් ලියමු
දින තුනක් ගත වුණත්
නොකඩවා පැමිණියත්
පට්ටමත් ගැලවෙච්ච
අල්ලකට වැඩි නොවුණ
ගල්ලෑල්ලකි ඒක
බෑ බෑ මෙහෙම බෑ
නොතිබුණොත් දන්නවනෙ
ගේනවා ගේනවා
වරද්දන් නෑ සර්
ලී ඉරන මහ කියත
උකස් කරලා හෙටම
තාත්තා මට කීවා
රෝහිණි ගොතගහපු
ඒ වදන් කීපයට
අලුත් ගුරුතුමාගේ
නෙත් යුවළ තෙත් වුණා
ඩී.ඒ.ටී.බී. දේවසිංහ
ළෙන්ගතු මා සිත
මා තුරුලේදී සෙනෙහස් ගඟුලේ
පහස ලැබු ප්‍රිය දයාවියේ
කසාවතින් ගත සිතද වසාලු
පින්බර වූ මා ප්‍රියාවියේ
මා රසවින්දා යටගිය දවසේ
මහිමය පිවිතුරු ආදරයේ
අදත් එලෙසමයි ආදරයක් නොව
ශ්‍රද්ධාවෙන් මා නමදිනුයේ
රත්නසේකර රූපසිංහ
උමතු දන
කිරි මුහුදෙහි පවා නැති පවසට රසදී
මිරි දිය පොදක ඇති තිබහට පණ වුවදී
තිරි සන් සතුන් ළඟ ඇති සමහර විටදී
පිරි ගුණ ඇත මිනිසුන් ළඟ නැති විහිදී
කුල ගොත් සිත් පුරා වඩවාගෙන නිබඳ
මිල කළ නොහැකි ජීවිත අත්හල සබඳ
කළ ආ විටදි අසරණ වුණු කුල වතුද
මළ දා වළ කපන්නෙත් ඔහු නම නොවෙද
කෙල සන දරු පැටවු යන්තම් මන බඳින
පෙළමින් දිවෙන මත් රකුසන් ගිනි ගැනුන
වැළ ලෙන්නට කලින් වළ දැම්මොත් දෙරණ
නිල බල පෙනෙයි බලගතුකම සිත් පිරුන
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි
මතකය
දැක්කා නොදැක්කා ගානට ඈ යනවා
මක්කා වුණාදැයි මට තේරුම් නැතුවා
එක්කාසුවක් නොම වුන දිවියක් ඇතුවා
රැක්කා මතකෙ අන් කිසිවක් නොම පැතුවා
ඉස්සර දවසෙ ඈ දෙඩවු සෙනෙහෙ වදන්
කොච්චර ලස්සනද තුරු ළිය සෙවෙණ ඉඳන්
ඇස් ඇර බලන කොට හැඟුමන් කරල වහන්
විස්තර පෙනෙයි ආදර කෙත කෙරුණ පුරන්
ඇඬුවා මදියි කියනව සිත සෙනෙහසට
දෙඩුවා වහසි බස් මල්සර විත් පෙරට
නැතුවා ඒ කිසිත් ඉතිරිව තව දුරට
විසුවා තව මදිද ආ වඩමින් පෙමට
සිර මැදිරියක සිරවී ජීවත් වෙමිය
කර මත තියන් ඒ මතකය ඇවිදිමිය
පෙර දා බැඳුණ සෙනෙහස මට නොම නිමිය
හැර දා ගියත් සිත තාමත් නුඹ ළඟය
ගාමිණී ලිවේරා්
බුදු දහම
බොරුවක් මායාවක් නැත බිඳ කුදු
ලොව හැම සත්හට මාතාවක බඳු
ඊයේ අද මෙන් හෙට දින එක බඳු
සම්මා සම්බුදු ආගම පිරි සිදු
එක රටකට එක දැයකට හිමි නෑ
කුලයට බලයට ධනයට යට නෑ
අණ කෙරුමක් බල කෙරුමක් එහි නෑ
මගෙ ආගම සම ආගම් ලොව නෑ
නා නා ඇදහිලි ලොව ඇති වෙන වා
ඇති වී නැතිවී යළි මතු වෙන වා
එනමුත් මගෙ ආගම ලොව පින වා
කවදත් එක විදියට පවතින වා
පරාක්‍රම ගුණසේකර
මිනිසුනි
ඉරහඳ අහස යට අඳුරේ ඉන්න එපා
හොඳ සහ නරක දෙක පටලා ගන්න එපා
මිනිසත්කමට නොහොඹින දේ කරනු එපා
මිනිසුනි මිනිස්කම අතහැර යන්න එපා
මවු පිය දෙදෙන අමතක කර ඉන්න එපා
ආගම දහම බොරුවෙන් රවටන්න එපා
ඉපදුන දැයට ගුණ මකුවෙක් වෙන්න එපා
මිනිසුනි මිනිස්කම අතහැර යන්න එපා
ගස්වැල් ගලන ඇළ දොළ වනසන්න එපා
හැඩ වැඩ සොඳුරු දේ වනසාලන්න එපා
සිංහල බිමට නින්දාවක් වෙන්න එපා
මිනිසුනි මිනිස්කම අතහැර යන්න එපා
ගාමිණී චන්ද්‍රසේන
යුක්තිය මේ ඔබේ කනිසමයි
පෙනී නොපෙනී දැනී නොදැනී ගතේ දැවටී ගියා සේ
හැඟී ගිය මුදු නොමැත මෙතුවක් කොහේදි හෝ හමුවුනේ
අරෝවකි මෙය කාට පවසන්නද කියා නැත වැටහුනේ
අවැසි මොහොතෙයි ඔබේ සෙනහස පැතූ සැමටම නොලැබුනේ
අරුත් උදයේ පටන් හිරු බැස යනතුරු නිති වෙහෙසුනේ
සඳකිරණ මැද සොයා දස අත බැලුමුත් පල නැතිවුනේ
සෙවුමුත් මඳ සුළගෙ හැම තැන හමු වුනේ නැත කිසි දිනේ
මන්ද මාරුතයේ ගසාගෙන යන්න ඇති දෝ සැක සිතේ
අයුක්තියේ මහ පවුර අතරින් දෝංකාරය ඇසෙනවා
එතැන කොටුවී ඔබ සිටින බව හොඳාකාරව දැනෙනවා
එලා රතු පලසක් බලාගෙන දෙනෝ දහසක් සිටිනවා
වඩිනු මැන යුක්තිය දොරට දැන් ඔබේ කනිසම තමා
දීප්ත කරුණාරත්න
සුබ පැතුම් දියණියේ
කිරි කැටි බිලිඳියක ලෙස ලොව ජනිතවෙලා
සැමගේ ආදරය මැද සුරතල් වීලා
දින දින ලොකු මහත් වී නෙත් පියන් සලා
ඔබ දැන් පවුලටම ‘ලොකු දියණියක්’ වෙලා
යෙහෙළියො පිරිවරා කෙළි සෙල්ලම් කෙරුවා
‘අයියා’ දඟ කළත් නිති සෙව්වා බැලුවා
ඉගෙනුම සියලු කටයුතු නොඅඩුව කෙරුවා
කාටත් නායකත්වය දී වැඩ කෙරුවා
අම්මා තාත්තා දෙවියන් සේ සලකා
යහ ගුණ දිවි දෙවැනි කොට නිතරම සලකා
නෑයන් සියලු අය දෙන ‘ඔවදන්’ සලකා
ඔබ ජීවිතය ‘ජයගනු’ ඇත මතු සලකා්
රූපසිරි කේ. ලියනගේ
ඔබට ඇවැසි නම්
ඔබට ඇවැසි නම්
මගෙ හිත
තිබූ තැනින් තියන්න
වේදනාව සඟවාගෙන
හෙට වෙනතක්
බලන්න
විල් උතුරා දිය පිරුණත්
මත් බිඟුහට වඩින්න
නෙළුමකටත් පණිවුඩ ඇත
ලොවට හොරෙන් ලියන්න
අවසන් සැනසුම
සඳේ සොම්කැන් දහර අවුදින්
රැයේ ගණදුර තුනී කෙරුවද
නොමැත පැහැදිලි දසුන් දක්නට
දිවා කල හිරු මඬල විලසට
හදේ තෙරපෙන අඳුරු සිතුවිලි
වගෙයි සඳකැන් දහර විලසට
නෙතේ කෙළවර කඳුළු බිඳුවක්
තිබේ තණපත තුෂර විලසට
තවත් බැහැ බර දරාගන්නට
බොහෝ වෙහෙසයි මගේ හදගැබ
සිතට සැනසුම සතුට කොතැනද
සොයමි නිදි නැති රැය පුරාවට
එච්.ඩී. අනුර ජයන්ත
ගැටලුවක්
ඊයේ උදේ පෙන්වාගෙන හිනා කට
මා ඉදිරියට ආ සමහර දෙනා මට
අද එයි කිනිසි දල්වා මගෙ විනාසෙට
විසඳනු බැරිම ගැටලුව එය වුණා මට
ඇම්. ප්‍රේමා වෑදණ්ඩ
රට නඟමු
නොදියුණු සමාජයෙ මතකයෙ හෙවණ වැද
හදවතෙ රැඳුණ සැමරුම් ඵලකයම ඇද
නිබඳව රැඳී ඇති ඉස්සර මතක පොද
දිග හැර පෙන්වූයේ මේ දියුණුවද අද
ඉස්සර අතීතයෙ මනු දම් රැඳි අයුරු
නිමවු කාලයේ දිවි ගමනේ සොඳුරු
පලවා හැර දමා යා හැකි නම් අඳුරු
ඉදිවෙන හෙටක පැතුමන් අරඹමු සොඳුරු
ආයාසයක් ගෙන හෝ යහ ගුණ පුරමු
ජීවන ගමනෙ ඇති හොඳ පමණක් ගනිමු
නිසි මඟ තනා ගුණ නැණ පාලම හදමු
නැති නම් මේ බිමට හෙට වෙන දෙය සිතමු
මාලිනී ජයසේකර
සඳවත
නිවසේ සඳ පහන නිවා
සුරතල් පුතු අඳුරේ සංකාවෙ තියා
සඳවත රෑ වැඩ මුරයේ
නිදිවරමින් දාබිදු වගුරනවා
සුරතල් පුතු රෑ සීතේ
ඉකිබිඳිමින් මවු උණුහුම යදිනා සඳ
කෙලෙසින් පුතු සනසම්දෝ
මා හද සෝකෙන් සසලෙනවා
සඳවත දිවිබර උහුලන්නේ
පුතු කුස ගින්දර නිවලා
පුතු හිස කිරුළු පලඳන්නයි
ඒ බව දැන පුතුනේ ඉවසාපන්
තුෂාන් විශ්වජිත් ගමගේ
සොඳුරු
හුදෙකලාව
සඳකැන් ගලමින්
කිරි වතුරේ නැහැවෙන
අහස පොළොව
පිරිමදියි නෙත
නිශාන්තයට පිටුපා
හමන සුළං රොද
ගයයි ගීතයක්
පුරවාලමින සවනත
කලාමැදිරි එළි රැහැයි හඬ
තාරකා මල් සමඟ
සතපවයි හදවත
මේ පාළු දනව්වේ
චාන්දනී දේවිකා පුංචිහේවා