දවසකට 75,000 ගානේ කොටු කපන්න මම මගේ දේපළ පවා විකුණුවා. අන්තිමට මට ලක්ෂ 90කට වඩා නැති වුණා
– සූදුවට ඇබ්බැහි වූ කතරගම පුද්ගලයෙක්
නිශ්චිත ලියාපදිංචියක් හා බදු ගෙවීමකින් තොරව රට ඇතුළේ කිසිම ඔට්ටු අල්ලන තැනක් පවත්වා ගන්න බෑ
– පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව
මේ සූදුව දැනට ප්‍රචලිත පළාත්වල ලොතරැයි අලෙවියේ යම් අඩුවක් තිබෙන බව අපට නිරීක්ෂණයවී තිබෙනවා
– සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න
හීන පේව්මන්ට්වල මරා දමමින් තිබුණේය. ඒ ඈත පිටිසර විකල් කළ සූදුවකිනි. සූදුවට තෝරා ගන්නේ ආණ්ඩුවේ ලොතරැයි දෙකකි. ලංකාවේ පළමු සහ ජනප්‍රියම ලොතරැයිය වූ මහජන සම්පත ලොතරැයිය සහ ලග්න වාසනා ලොතරැයිය පදනම් කරගනිමින් සූදුව සැලසුම් කර තිබිණි. ලග්න වාසනා ලොතරැයියේ ලග්නයට ඔට්ටු තැබීම සිදු විය. එය ඉතා අල්ප වශයෙනි. ප්‍රධානම සූදු කටයුත්ත දියත් වූයේ මහජන සම්පත ලොතරැයිය මුල් කරගනිමිනි.
අංක 0 සිට 99 දක්වා කොටු ඉලක්කම් 100ක් වේ. මේ ඉලක්කම් 100 යුතු කොටු 100ක් සහිත කාඩ්, කොළ හෝ පොත් ලෙස මුද්‍රණය කර ඇත. එක කොටුවක ඇති ඉලක්කමක් රුපියල් සීයකි. කොටු සීයේ කාඩ් එකක් රුපියල් දස දහසකි. කොටුව කපන කෙනාගේ නම දුරකතන අංකය කොටු කොළය කළමනාකරණය කරන අය ලිඛිතව සටහන් කර ගනිති. සූදුවේ ජයග්‍රාහකයා තෝරන්නේ මහජන සම්පත දිනුම් ඇදීමේදී එහි තේරෙන අවසන් ඉලක්කම් දෙක එක අංකයක් සේ සලකමිනි. එම අංකය සහිත කොටුව කැපූ කෙනාට රුපියල් 8000ක දිනුමක් හිමිවේ. රුපියල් දෙදෙහසක් කොටු කාඩ් එක කළමනාකරණය කරන පුද්ගලයාටය. බොහෝවිට ඔහු ලොතරැයි අලෙවි කරන කවුන්ටරයක හෝ ජංගම ලෙස මෙම කටයුත්ත කර ගෙන යයි.
කතරගම, බුත්තල, වැල්ලවාය, මොනාරගල, නැදගම, බිබිල, ආඳා උල්පත, මයියංගන, හසලක, බදුල්ල, ප්‍රදේශවල මේ සූදුව නැඟලාම ගොස් තිබිණි.
සූදුවක් ජනප්‍රිය වන්නට බලපාන ප්‍රධාන සාධක කීපයක් වේ. එකක් නම් මේ සූදුවෙන් දිනුමක් ඇදීමේ සම්භාවිතාව ලොතරැයියකට වඩා බොහෝසෙයින් ඉහළ වීමය. එක් කොටුවක් කැපීමෙන් දිනුමක් ලැබෙන සම්භාවිතාව සියයට එකකි. රුපියල් දහසක් වියදම් කර කොටු 10ක් කපන්නාට දිනුම ඇදීමේ සම්භාවිතාව 10න් 1ක් දක්වා අඩු කරගත හැකිය. රුපියල් දහසක් වියදම් කරන්නාට ලැබෙන දිනුම වියදම් කළ මුදල මෙන් අට ගුණයකි. සූදුවකට ඇබ්බැහි වීමේ ගුණය වැඩි වන්නේ මේ දිනුම් ඇදීමේ සම්භාවිතාව වැඩිවීමේ සහ දිනුම්කරු තෝරන ක්‍රමයේ ඇති විශ්වාසනීය සහ විනිවිද ස්වරූපය නිසාය. එමෙන්ම ලොතරැයි කූඩුවක සිට ලොතරැයි 100ක් අලෙවි කරන අලෙවිකරුවකුට රුපියල් 2000ක කොමිස් මුදලක් ලැබෙන්නේ නැත. කොටු සීයක් කපා රුපියල් 2000ක් සොයා ගැනීමේ පහසු ප්‍රවේශය ලොතරැයි කූඩුවල ඉන්නා අලෙවි කරුවන්ට ද ලැබී තිබීම සූදුව ප්‍රචලිත වීමේ පදනමක් පැවතිණි.
මේ සුදුව මෙහෙයවන්නකු මුලින්ම අත්අඩංගුවට ගැනෙන්නේ වර්ෂ 2017 දී රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙනි. පොලිසිය විසින් සූදු කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වරද පිළිගත්තේය. සුළු දඩයක් නියම වූයේය. එහෙත් එය එතරම් විශාල සිද්ධියක් ලෙස එකල සැලකුණේ නැත. මෙම සූදුව සම්බන්ධව තරමක් බරට සමාජ සංවාදයක් උපදින්නේ පසුගිය වසරේ අගොස්තු මාසයෙන් පසු මොනරාගල, බදුල්ල සහ මහියංගණ ප්‍රදේශවල ලොතරැයි අලෙවියට බරපතළ පහරක් එල්ලවීමත් සමඟය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු මහින්ද දිසානායක සිළුමිණට පැවසුවේ සෑම දිනකම සමහර නගර ආශ්‍රිතව පාරවල්වල පුටු තබාගෙන “කොටු කපන සූදුවේ” සූදු මෙහෙයවන්නන් 500ක් පමණ සිටින බවය.
“උදේට පාන් මුදලාලිගෙන් පාන් ගන්න එනවා වගේ පොත් තියාගෙන වාහන තියාගෙන සූදුව මෙහෙයවනවා. බිබිල ප්‍රදේශයේ සමහර කාන්තාවෝ ඉන්නවා හසලක ඉඳලා බිබිලේ දක්වා හැමදාම ඇවිත් සූදුව මෙහෙයවන.” ඔහු පැවසුවේය.
සූදුකරුවන් අත්අඩංගුවට ගැනීම නිරතුරුව සිද්ධ විය. නමුත් තීරණාත්මක සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 15 වැනිදාය.
කොටු කපන සූදුකරුවන් තිදෙනෙක් කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු වරද පිළිගත් චුදිතයන්ට රුපියල් 25.000ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය විසින් නියම කළේය. මෙම වරද සම්බන්ධව ඉතිහාසයේ නියම වූ වැඩිම දඩ මුදල එයය. වරදකරුවන් තිදෙනා අතර කාන්තාවන් දෙදෙනකු ද වූහ. තිදෙනාම කතරගම පදිංචිකරුවන්ය.
ඉකුත් 21දා බිබිල ප්‍රදේශයෙන් කොටු කපන සූදුවට සම්බන්ධව 10 දෙනෙක් අත් අඩංගුවට ගැනුණි. බිබිල පොලිසිය පැවසුවේ අවුරුදු 25 -67 අතර පසුවන එම කණ්ඩායමේ පස්දෙනකුම බිබිලේ සහ මැදගමුව පදිංචි කාන්තාවන් බවය. පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ ලොතරැයි කූඩුවල සිට සූදු මෙහෙයවන්නට ගොස්ය. සැකකරුවන් එදිනම බිබිලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. දස දෙනාම වරද පිළි ගත්හ. මෙවරත් එක් අයකුට නියම වූයේ රුපියල් 500ක දඩයකි. ඊට අමතරව මාස දහයක අත්හිටවු සිරදඬුවමකි. එම සිරදඬුවම වෙනුවට පෙබරවාරි 21 වැනිදා සිට ජූලි 01 තෙක් පැය 200 ප්‍රජා සේවයක් අධිකරණය විසින් නියම කොට තිබිණි. ඉකුත් 22දා ද කොටු කපන සූදුවේ නිරත වූ අයෙක් අත්අඩංගුවට පත් වුණේය. ඒ බිබිලේ නගර සීමාවෙන් පිටය.
මේ වන විට පිළිලයක් සේ වැඩි පැතිරී යන කොටු කපන සූදුව ඈත ගම්බිම් විකල් කර ඇති අයුරු ඇසුවෙමු. මිනිස්සුන්ගේ ජීවිත හීන මොනතරම් සිල්ලටර වැටී ඇති දැයි අපට දැනුණේ මේ සූදුවේ නිමග්න වී සූදුව මෙහෙයවන පුද්ගලයෙක් සමඟ සිදු කළ විවෘත සංවාදයකිනි. ඉදල්කුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙක් වන ඔහුත් මේ සූදුවට ප්‍රවේශ වන්නේ දරාගත නොහැකි ආර්ථික දරිද්‍රතාවට විකල්ප සොයමිනි. බිඳවැටෙන ආර්ථිකයක් සහිත රටක අනෙක් කිසිම සදාචාරාත්මක වටිනාකමක් ආරක්ෂා වන්නේ නැත.
“ මං විතරක් නෙමෙයි… සෑම ප්‍රදේශයකම දවසකට 500 -600 අතර පිරිසක් මේ කොටු කැපීමේ සූදුව කරගෙන යනවා. ඇත්තම මේක ගොඩක් පහසුවෙන් සල්ලි හොයන්න පුුළුවන් වැඩක්. මිනිස්සු පිස්සුවෙන් වගේ සූදුවත් එක්ක ඉන්නේ. ගෙදරින් දරුවන්ට බඩු ගේන්න දෙන රුපියල් 500ට 1000ටත් මහත්වරු සූදු පොළට ඇවිත් කොටු කපනවා. කතරගම නම් වැඩිපුරම මේ සූදුවට ඇබ්බැහි වෙලා ඉන්නේ කාන්තාවො. ඒ අය වැඩි දෙනෙක් පොළේ බඩු විකුණන අය, පලා මිටියක් විකුණලා ඒ සල්ලවලින් කොටු කපන්න තරම් ඒ අය සූදුවට ඇබ්බැහි වෙලා. දුප්පත් අසරණ මිනිස්සු විතරක් නෙමෙයි.. මැණික් මුදලාලිලා, එළවළු මුදලාලිලා පවා දවසකට ලක්ෂයක විතර කොටු කපනවා. තමන්ගේ හෝටල්, හම්බ කරගෙන කන ත්‍රීවිල් පවා විකුණලා ඒ මුදලින් කොටු කපපු අය ඉන්නවා. අපිට හොඳ ආදායමක් ලැබෙනකොට එයාලාගේ ලක්ෂ ගණන් නැතිවෙනවා. හසලකෙන් කතරගමට ඇවිත් කොටු කපපු මැණික් මුදලාලි කෙනෙක් නැවත ගමටවත් යන්න බැරිව අසරණ වුණා මතකයි. මේකයි වැඩේ… කරන දෙයක් සීමාවක් ඇතුළේ කරන්න මිනිස්සුත් දැනගන්න එපා ද? සූදුව කියන්නෙ හරි දෙයක් නෙමෙයි. ඒත් මිනිස්සු මේ විදිහට විනාස වෙන්නේ කෙළවරක් නැති තණ්හාව නිසා. ඒක ඉතින් සූදුව මෙහෙයවන අයට හොඳයි…” දීර්ඝ කතාවක් අතර ඔහු අපට කීවේය.
අපට ඇසෙන මුත් නොදැනී ලිස්සා යන කොටු කපන සූදුවේ ගැඹුරු සමාජ ව්‍යසනයේ තරම හඳුනා ගන්නට එ් ව්‍යසනයේ අන්තය ස්පර්ශ කළ යුතුය. කතරගම ඒ මහා ව්‍යසනය විසින් ගිලගෙන ඇති ආකාරය අපව කම්පා කරන්නේය. මේ වනවිට කතරගම පමණක් 2000කට ආසන්න පිරිසක් මේ සූදුවට හුරු වී සිටිති. ඒ අතර උදේ රජයේ රැකියාවට ගොස් හවසට කොටු කපන්න එන පිරිස් වෙති. පොළේ එළවළු විකුණන මුදලාලිලා, පෙදරේරුවෝ, චූන් පාන් විකුණන්නෝ ද වෙති. කතරගම පූජා භූමියේ හිඟාකන යාචකයන් පවා හිඟමනේ ගිහින් එකතු කරගත් මුදලින් කොටු කපති. ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් රීරි මාංශ අලෙවි කර ලබා ගන්නා මුදල කොටුවක් මත සලකුණු කරනු දුටුවෙමු. කුඩා දරුවො ටියුෂන් පන්තියට දෙන මුදල වංචා කර කොටු කපන බව හෙළි විය. වාර්තා වන බිහිසුණුම ඛේදවාචකය නම් කතරගම සමහර භික්ෂූන් වහන්සේලා ද මේ සූදුවට ඇබ්බැහි වීමය.
අප දකිමින් සිටින්නේ මත්කුඩු භාවිතය හා සමාන බිහිසුණු ඇබ්බැහියක ලක්ෂණ ය. මේ තත්ත්වයට බලපාන සමාජ ආර්ථික පරිසරයක් ද ඇති බව විශ්වාස කරමු. කතරගම ජීවිත ගැට ගැසී ඇත්තේ කතරගම මහා දේවාලය පදනම් කරගනිමිනි. මේ එන බැතිමතුන්ට සේවා සපයමින් ජීවිත ගැට ගසා ගන්නා කතරගම මිනිස්සුන්ගේ ජීවිත රිද්මය බිඳවැටෙන්නේ පවතින ආර්ථික අර්බුදය නිසා කතරගමට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රමාණය සියයට 75කින් අඩුවීමත් සමඟය. අනීතික සූදුව කතරගමදී මතුවන්නේ මේ බිඳවැටුණ ජීවිතවලට එන බලාපොරොත්තුවක් ලෙසය.
අප හිතනවාට වඩා සූදුව ජාලගතය. ප්‍රචාරණය ඉතාම සැලසුම් සහිතය. මේ රටේ ප්‍රායෝගිකම ප්‍රචාරණ ක්‍රමය කට කතාවය. සංවිධානාත්මක සූදු කරුවෝ ඒ සඳහා කාන්තා පිරිසක් යොදවා සිටිති. මේ ප්‍රචාරණය දියත් කිරීමේ ප්‍රධාන භූමිකාව සිදු කරන කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය වරදකට හසුවී මේ වනවිට ඉන්නේ බන්ධනාගාරගතවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ යම් බලපෑමක් මෙම සූදුව හා බැඳී ඇති ආකාරය ද නිරීක්ෂණය වෙමින් ඇත. සූදුවේ නිරත වන සූදු සංවිධාකයන් දැනට 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් කතරගම සිටිති. ඔවුන්ගෙන් අයෙක් නිවෙස්වලටම ගොස් කොටු කපා මුදල් එකතු කරගන්නා පිරිස්ය. කතරගම මෙන්ම සෙල්ලකතරගම ද මහා පරිමාණ සංවිධානාත්මක සූදු කරුවන් සිවුදෙනෙක් වටා ප්‍රධාන සූදු ජාලය ක්‍රියාත්මක වේ.
මේ ගවේෂණය තුළ සුදුවේ ගිලී එය තුළම ව්‍යසනයට ලක් වූ වින්දිතයන් කීප දෙනකුගේ ජීවිත අත්දැකීම විවර කර ගැනීමට හැකි විය. නම් ගම් අනාවරණය කිරීමට මැළි වන මේ මිනිස්සු ස්වකීය බිඳ වැටීම කියන්නේ සියල්ල අහිමිකරගත් පසුය. ඒ වේදනාව ගිලී ගිය දුඹුරු පැහැ ඇස් මත සටහන් කරගත් මැදිවියේ මිනිසෙක් අපට සිය අත්දැකීම කීවේය.
“මම කතරගම පදිංචිකරුවෙක්. නගරයේම තියෙන කොටු කපන තැනක මම දවස් 90ක් එක දිගට 75,000 ගානේ කොටු කැපුවා. අවසන් ඉලක්කම වුණු 00 දෙකට. අන්තිම දවස්වල කොටු කැපුවේ මගේ සන්තකයේ තිබ්බ සමහර දේවල් උකස් තියලා. එහෙම කරලා නැත්තටම නැති වුණු දවසට අනිත් දවසේ ඒ කියන්නේ 91 වෙනි දවසේ ඒ 00 දෙකට දිනුම ගිහින් තිබුණා. ඒ වෙනකොටත් මට ලක්ෂ ගාණක් නැති වෙලා ඉවරයි. දවසකට 75,000 ගානේ කොටු කපන්න මම මගේ දේපළ පවා විකුණුවා. අන්තිමට මට ලක්ෂ 90 ගාණක් නැති වුණා.”
“ඉතින් එක දිගටම පරදිනකොට හිතුවේ නැද්ද මේක හරියන්නේ නෑ කියලා.” මම විමසුවෙමි. “ ඒක වෙනම දෙයක් නෝනා… කොටු කපන්න ගත්තම අද දිනුම තියෙයි; හෙට දිනුම තියෙයි කියලා දවස ගානේ හිතෙනවා. කොටු කපන්නමයි හිත. පටන් ගත්තට පස්සේ නවත්වගන්න හරිම අමාරුයි. අපි නරක විදිහට ඇබ්බැහි වෙනවා. උදේ පාන්දර යන්නේ සූදු පොළට. “ජීවිත බලාපොරොත්තු කොටුවක් මත තබා කපා විනාශ කරගත් ඔහු හිස් සුසුමක් ගුවනට යවමින් අපට කීවේය.
මේ සූදුවෙන් ව්‍යසනයට ලක් වූ පුද්ගලයන් ගැන ඇසෙන කතා සිත් කම්පා කරන්නේය. හඳුනා ගත් එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් දිනකට රුපියල් 50,000 බැගින් කොටු කපා තිබුණි. ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු, තමන් විසින් මේ තාක් උපයා ගත් ලක්ෂ 100ට අධික වත්කම් මුදල් කර සූදු කෙළියේය.
නාගාහවිටියෙන් අපට හමුවන වසන්ත ත්‍රී රෝද රථ රියැදුරෙකි. මේ කතාවේ පැතිරුණු මරණීය අඳුර සිය අත්දැකීම් සමඟ ඔහු අපට හෙළි කරන්නේ අපවත් තිගස්වමිනි. “මම කොටු කපන්න ගත්තේ රුපියල් 100 ක් ගෙවලා. මට රුපියල් 8000ක් ලැබුණා. ඒ නිසා දෙවැනි දවසේ රුපියල් 200 කොටු කැපුවා. කිහිප පාරක් දිනනකොට වැඩිපුර ගෙවලා කොටු කැපුවා. මට කුඹුරු පිටි තිබෙනවා. අන්තිමට තිබෙන දේපළත් විකුණලා දවසට 70,000- ලක්ෂය වෙනකල් කොටු කැපුවා. පැරදිච්ච මුදල් කොහොම හරි හොයන්න ඕනේ කියලා ඊට වඩා ගාණක් දාලා කොටු කැපුවා. කතරගම නගරයේ ප්‍රසිද්ධ බේකරියක් තියෙනවා. ඒක ඉදිරිපිට තමයි ප්‍රධාන තිප්පල තියෙන්නේ. දවසකට සිය ගණන් එතෙන්ට එකතු වෙනවා. උදේ පාන්දරයි. ආපහු හවස 4ටයි.
ලැන්ඩ්රෝවර් වාහනවලින් එන අයත් තමන්ගේ වාහනේ ලක්ෂ දෙක තුනට උගස් තියලා ඔට්ටු අල්ලනවා. ඒ මොනවා කළත් සිය දෙනෙක් ඔට්ටු ඇල්ලුවොත් 98ක්ම පරාදයි. ඒත් අත්හරින්න හිතෙන්නේ නෑ..” ඔහු කියන්නේ සූදු මෙයෙහවන්නන් අතර දවසකට විසි තිස් දහස ආදායම් ලබන අය සිටින බවය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්නය. මේ අනීතික සූදුව විසින් ජාතියට කරන ව්‍යසනය සම්බන්ධව ඔහු අපට කීවේය.
“ගිය අවුරුද්ද ගැන කියන්නම්. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති අරමුදලට 2023 දී බිලියන 3.5 අරමුදලක් ලබා දී තිබෙනවා. ලොතරැයියක් නිර්මාණය කරලා රජයක් බලාපොරොත්තු වෙන්නේ ජාතික සංවර්ධන, සුබ සාධන අරමුදල්වල ශක්තිමත් කර ගැනීම. එය තනිකරම රඳා පවතින්නේ ලොතරැයි අලෙවිය මත. දැනට මේ පේන තත්ත්වය භයානක වන්නේ එය වර්ධනය වන්නට හැරියොත් රටේ ජාතික අරමුදල්වලට විශාල ගැටලුවක් නිර්මාණය වෙන නිසා. මේ සූදුව දැනට ප්‍රචලිත පළාත්වල ලොතරැයි අලෙවියේ යම් අඩුවක් තිබෙන බව අපට නිරීක්ෂණය වී තිබෙනවා. මේ තත්ත්වය ගැන අපි අදාළ පොලිස් බල ප්‍රදේශවලට දැනුම් දීලයි තියෙන්නේ. “ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධ රේඛීය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශ ය. සාමාන්‍යාධිකාරිවරයා පවසන්නේ මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර පවතින නීතිය සංශෝධනය කළ හැකි ආකාරය සම්බන්ධව සංවාදයක් උපදවා ඇති බවය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී හෂිනි ජයසේකර පවතින තත්ත්වය සම්බන්ධව පැහැදිලි විවරණයක් කළාය.
“ජාතික ලොතරැයි මණ්ඩලය පිහිටුවලා තියෙන්නෙ ලොතරැයි අලෙවි කර ඒ අලෙවි අදායම ඒකාබද්ධ අරමුදලට බැර කිරිමේ පරමාර්ථය එක්ක. අපි ටිකට් එකේ අලෙවි ආදයමෙන් දායකත්වයක් තමයි ඒකාබද්ධ අරමුදලට දෙන්නේ. ඒකාබද්ධ අරමුදල කියන්නේ රටේ අධ්‍යාපනය, කෘෂිකර්මය, සංවර්ධනය, රාජ්‍ය සේවය පවත්වා ගන්නා ජාතික අරමුලට. 2023දී අපි ඍජුව ඒකාබද්ධ අරමුදලට දීලා තිබෙනවා රුපියල් බිලියන් 5.3ක්. වක්‍රාකාරයෙන් බිලියන 1.7ක්. සමස්ථයක් ලෙස බිලියන 7.1ක්.
ලොතරැයියක් කියන්නෙ කඩදාසියක්. ආරක්ෂක ඛේත සහිතව ලොතරැයියක් කර විකුණන මේ කොළයක් හරහා මිනිස්සු මිල දී ගන්නේ හීනයක්. මේක වගකීම් සහිත සමාජ ක්‍රියාවලියක් වන්නේ ඒ නිසා. ඒ තත්ත්වයි මේ සූදුව ඇවිත් විනාශ කර තියෙන්නේ. මේ සූදුව නිසා ඇත්තටම අාදායමේ බිඳ වැටීමක් තිබෙනවා. ආදායම අඩු වෙනකොට අප මුලින්ම කළේ අපේ අලෙවි නියෝජිත ජාලය දැනුම්වත් කරා මේ වගේ නීති විරෝධී දේවල් කරන්න ඉඩ තිබෙන්න එපා කියලා. ප්‍රචාරක දැන්වීම පවා වෙනස් කරන්න තීන්දු කළා. ඒ වගේම මේ ලොතරැයි අවභාවිතාව ගැන සමාජය දැනුම්වත් කරන කටයුත්තක් සැලසුම් කළා.
ජාතික ලොතරැයිය මණ්ලය ස්ථාපිත කර තියෙන්නේ 1963 අංක 11 දරන මුදල් පනතින්. ඒ පනතින් ස්ථාපිත වුණාම වගන්ති අංක 21 යටතේ තිබෙනවා ලොතරැයි අවභාවිත කරන අවස්ථාවල අත්අඩංගුවට ගත හැකි ප්‍රතිපාදන. ඒ යටතේ තමයි මේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ. ලොතරැයි ව්‍යාපාරය මුදල් පනත යටතේ තිබෙන නිසා අපි සංකල්ප පත්‍රිකාවක් හදලා තිබෙනවා මුදල් පනත සංශෝධනය විය යුතු ආකාරය. එය මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශයට යොමු කරලා, කෙටුම්පත් කර ඉක්මනින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.” ඇය කීවාය.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව විමසුවෙමු. “1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත කියලා තිබෙනවා. එය 2001 අංක 07න්, 2006 අංක 14න් 1023 අංක 19න් සංශෝධිතයි. මේ පනත අනුව ඔට්ටු ඇල්ලීම් ස්ථාන ලියාපදිංචි කර අදාළ බදු ගෙවීම් කර පවත්වන්න පුළුවන්. එවැනි නිශ්චිත ලියාපදිංචියක් හා බදු ගෙවීමකින් තොරව රට ඇතුළෙ කිසිම ඔට්ටු අල්ලන තැනක් පවත්වා ගන්න බෑ. ඒ වගේම 1889 අංක 17 තිබෙනවා සූදු පනත. 1946 අංක 3න් සංශෝධනය වෙනවා. ඒ පනත අනුව නීති විරෝධී ලෙස සූදුවේ නිරත වෙන කෙනකුට තියෙන්නේ රුපියල් සීයක වගේ දඩයක්. මාස හයක් දක්වා බන්ධනාගාරගත විය හැකි අවස්ථාවකුත් තිබෙනවා. සූදු පොළක් කළමනාකරණය කිරීම කියන කාරණාව. පොදු සූදු පොළක් ලෙස පවත්වාගෙන යන තැනැත්තෙක් රුපියල් 500ක දඩයක් සහ අවුරුද්දකට බන්ධනාගාරගත කරන්න පුළුවන්.
මේ තැන් වරෙන්තුවක් ඇතිව හෝ නැතිව පරීක්ෂා කිරීමට පොලිසියට පමණක් නොවෙයි, ග්‍රාම නිලධාරීන්ට, නගර සභා නිලධාරීන්ට අවසර තිබෙනවා. සූදුවේ යෙදෙන අයයි කළමනාකරණය කරන අයයි අත්අඩංගුවට ගන්න පුළුවන්. නඩු භාණ්ඩ ලෙස මුදල්, සූදුවට යොදාගත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න පුළුවන්.
නමුත් ප්‍රශ්නය තියෙන්නේ වෙන තැනක. පොලිසිය නිරන්තරයෙන්ම මේ වගේ සූදු පොළවල් වටලනවා. නීති විරෝධී සූදුවක් කරනවා කියලා දැගත්ත සෑම අවස්ථාවකම වාගේ පොලිසිය ක්‍රියාත්මක වෙනවා. මේ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කළාට පස්සේ දඩය රුපියල් සියය නම් ඔවුන් ඒ වරදින් වළක්වා ගන්න බෑ. මේ දඬුවම් ප්‍රමාණවත් විදිහට යාවත්කාලීන කර නීති සංශෝධනය වීම වැදගත් බව සිහි කළ යුතුයි. “පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
අප හමුවේ ඇත්තේ ආර්ථික ව්‍යසනයක අතුරුඵලයකි. බිඳවැටුණ ආර්ථිකයක් සහිත සමාජයක අපේක්ෂා අලෙවි කිරීම පහසුය. ඒ සුලබව හමුවන්නේ අපේක්ෂා රහිත මිනිසුන් නිසාය. කොටු කපන සූදුව ඉස්මතු වන්නේ එතැනය. ඔවුහු ගිලී යන ජීවිතය ගොඩගැනීම සඳහා අසුවන ඕනෑම තැනක එල්ලෙති. අවසානයේ සියලුම අපේක්ෂා සමඟ ගිලි යති. මෙවැනි සිදුවීම් හුදෙකලා නොකර සමාජයක් ලෙස පුළුල් දැක්මක් සහිත ප්‍රතිසංස්කරණ සොයා යමින් පිළිතුරු සෙවීම කළ යුතු බව සිතෙන්නේ එබැවිනි.
ටානියා මෝසස්