කෝටිපති ව්‍යාපාරික උපාලි විජේවර්ධන තම පත්තර කොම්පැනිය පටන් ගත්තේ උපාලිගෙන් අද පරපුරට යන තේමාව යටතේය. එහි පළවූ ප්‍රකාශනය වූයේ ‘චිත්‍රමිත්‍ර’ චිත්‍රකතා පත්තරයයි. එහි එක ජනප්‍රිය කතාවක බල්ලාට දමා තිබුණු නම ‘රොනී’ ය. එම චිත්‍ර කතාවේ බොහෝ තැන්වල බල්ලාට ‘රොනී’ නමින් අමතනු දැක බොහෝ දෙනා පැවසුවේ උපාලි විජේවර්ධනත් එවකට මුදල් ඇමතිවරයා වූ රොනී ද මැල් අතර ඇති ආරවුල නිසා මේ බල්ලාට රොනී යනුවෙන් නම් තබා ඇති බවය.
මගේ පියා වූ ගුණදාස ලියනගේ මේ ගැන සටහනක් තබා ඇත්තේ මෙසේය.
‘ඒෂියාවීක්’ සඟරාවේ කතුවරයකු වන ඇස්.ඇප්. අබ්දුල් කරීම් විසින් 1981 මැයි 5 වෙනිදා මට ලියුමක් එවන ලදි. ඒ ලියුම සමඟ ලංකාවේ පළ කරන ‘චිත්‍රමිත්‍ර’ නම් චිත්‍රකතා පත්‍රයේ පිටපතක් ද විය. එම ලියුමෙන් අබ්දුල් කරීම් මගෙන් ඉල්ලා තිබුණේ ‘චිත්‍රමිත්‍ර’ පත්‍රයේ ප්‍රකාශකයා වූ උපාලි විජේවර්ධන මුණගැසී කතා කර, චිත්‍රකතා පත්‍රයත්, ලංකාවේ චිත්‍රකතා සම්බන්ධයෙන් පාඨක ප්‍රතිචාරයත්, අලුතින් අරඹා තිබුණු උපාලි පුවත්පත් ආයතනයත් සම්බන්ධයෙන් ලිපියක් සහිත අදාළ චිත්‍ර, ඡායාරූප ආදිය ද ඉතා ඉක්මනින් ‘ඒෂියාවීක්’ කාර්යාලයට එවන ලෙසය.
සති කීපයකට පසු මට විජේවර්ධන මහතා හමුවීමට අවස්ථාව ලැබුණි. ඒ සඳහා මට උපකාර කළේ එවකට මහ කොළඹ ආර්ථික කොමිසමේ සේවය කරමින් සිටි මා මිත්‍ර විජිත යාපාය. ආර්ථික කොමිසමේ සභාපති හැටියට කටයුතු කළ උපාලි විජේවර්ධන මහතාගේ කාර්යාල කාමරයේදී විජිත යාපා විසින් මට උපාලි මුණගස්වන ලදි. දිනය 1981 මැයි 29 වෙනි සිකුරාදා විය. මාත් උපාලිත් ඊට අවුරදු 20 කට පෙර ලීවර් සහෝදර සමාගමේ එවකට සේවය කළ ආකාරය මා විසින් සිහිපත්කර දීමෙන් පසු උපාලි වඩාත් කුලුපග අන්දමින් මට කතා කළේය. සිය සැලසුම් – අරමුණු කිසිවක් නොසඟවා එළිදරවු කළේය.
ඒ වනවිටත් (ප්‍රධාන පුවත්පත් පටන් ගැනීමට පෙර) උපාලි සිය පුවත්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් කැපකර තිබුණු බවට ලකුණු විය. ඔහුට තිබුණු එකම ප්‍රකාශනය වූ ‘චිත්‍රමිත්‍ර’ පත්‍රයේ පළ වූ එක් කතාවක ‘රොනී’ නමැති බල්ලෙක් සිටියේය. මුදල් ඇමැති රොනී ද මැල් මහතාට පහර දීම පිණිස එම චිත්‍රකතාවේ බල්ලාට ‘රොනී’ යන නම දමා තිබුණු බව පාඨක මතය විය. මම උපාලිගෙන් ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු මෙසේ කීය.
“මොන පිස්සුද මිස්ටර් ලියනගේ, රොනී කියන්නේ මගේ ගෙදර ඉන්න බල්ලගේ නම. රොනිය අපේ ගෙදර ඉන්නෙ රොනී ද මැල් මුදල් ඇමැති වෙන්න හුඟක් කලකට ඉස්සර ඉඳන්.”
“වෙන්න පුළුවන්. රොනී කියල බල්ලෙක් උපාලි විජේවර්ධනගෙ ගෙදර ඉන්න බව රටේ මිනිස්සු දන්නේ නෑනෙ. රොනී සහ උපාලි ගැටුමක් තියෙන බව රටේ කවුරුත් දන්න නිසා කවුරුත් විශ්වාස කරන්නෙ රොනී යන නම චිත්‍ර කතාවේ බල්ලට දැම්මේ මුදල් ඇමැතිට ගහන්නෙයි කියල.” මම කීවෙමි.
ඊට පසු, තවත් බොහෝ දේ ගැන කතා කළ උපාලි විජේවර්ධන මහතා, 1977 එජාපය බලයට පත්වීමෙන් පසු මුදල් ඇමති ධුරයට පත්කළ යුත්තේ ලලිත් ඇතුලත්මුදලි ද නැත්නම් රොනී ද මැල්ද යන්න ග්‍රන ප්‍රශ්නයක් තිබුණු බවත් රොනී ද මැල් මුදල් ඇමැති ධුරයට පත්කළ යුතු බවට ජේ.ආර්. ජයවර්ධන මහතාට තදින්ම කියා සිටියේ තමා බවත් කීය.
“ඒත් මම අද කනගාටුවෙනවා ඒ අවස්ථාවේ ලලිත්ට සහයෝගය නොදීම ගැන”යි ඔහු කෙළින්ම කීවේය යනුවෙන් ඒ සටහනේ ඇත.
ඊට ටික කලකට පසු – 1981 ඔක්තෝබර් 4 වෙනිදා සිට – උපාලි විජේවර්ධන මහතා දිනපතා පත්‍ර පළ කිරීම ආරම්භ කළේය. ‘දිවයින’ සිංහල පත්‍රය වූ අතර ‘අයිලන්ඩ්’ ඉංගිරිසි පත්‍රය විය. දේශපාලන වශයෙන් අගමැති ප්‍රේමදාස මහතාටත් මුදල් ඇමැති රොනී ද මැල් මහතාටත් අනුකම්පා විරහිතව පහර දී ඔවුන් විනාශ කර දැමීම උපාලිගේ පුවත්පත්වල ප්‍රධානම අරමුණ වූ බව පෙනී ගියේය.
1982 දෙසැම්බර් මාසයේ පැවති ජනමත විචාරණයෙන් පසු ජනාධිපති ජයවර්ධන විසින් කරන ලද යම් යම් වෙනස්කම් අතරින් විශේෂම එකක් වූයේ 1983 පෙබරවාරි මාසයේදී රොනී ද මැල් මහතා දෙවිනුවර ආසනයෙන් බුලත්සිංහල ආසනයට පත් කිරීමය. ඒ අවස්ථාවේ උපාලිගේ පුවත්පත් මඟින් රොනීට පහරදීම තවත් උත්සන්න කරන ලදි. බුලත්සිංහල හිටපු මන්ත්‍රී ඕ.ඇස්. පෙරේරා මහතාගේ දියණිය වන ප්‍රියානි පෙරේරා මෙනවියට එම ඡන්ද කොට්ඨාසයේ එක්සත් ජාතික පාක්ෂිකයන් කොටසක් ද සංවිධාන කරගෙන රොනීට විරුද්ධව පෙළපාළි යාමටත් තවත් නොයෙක් දේ කිරීමටත් උපාලි විජේවර්ධනගේ පූර්ණ අනුග්‍රහය ලැබුණු බව ප්‍රකට රහසකි. එම තත්ත්වය යටතේ උපාලිගේ පුවත්පත් මෙල්ල කර දැමීම හෝ විනාශ කර දැමීම ප්‍රමුඛතාව දී කළ යුත්තක්ය යන හැඟීමක් රොනීගේ හිතේ තදින් ක්‍රියා කළ බවක් පෙනෙන්නට තිබුණි.
රොනී ද මැල් මහතා බුලත්සිංහල ආසනයේ මංගල චාරිකාව කළේ පෙබරවාරි 13 වෙනිදාය. මහගම, පොලේගොඩ හන්දියේ පැවති පිළිගැනීමේ රැස්වීමකට මැල් මහතා සහභාගී වූ අවස්ථාවේ එහි රැස්ව සිටි හිතවත්තු එදා ‘දිවයින’ පත්‍රය පෙන්වා බුලත්සිංහලයට පැරචුට්කාරයකු බසින හැටි දැක්වෙන කාටුනයක් සහ තවත් විරෝධතා ප්‍රවෘත්ති එහි පළ කර තිබුණු ආකාරය රොනීට පෙන්වා දුන්හ. ‘දිවයින’ පත්‍රය සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැතිනම් බුලත්සිංහල ආසනයේ යහතින් වැඩ කරන්නට නොලැබෙන බවද තවත් පුරෝහිතයෙක් කීය. එවකට වෙෙළඳ ඇමැතිධුරය දැරූ ලලිත් ඇතුලත්මුදලි මහතා ද රොනී විරෝධී සටනට අනුග්‍රහය දක්වන බවට ද කසුකුසු ඇසුණි. රොනී සහ ලලිත් යන දෙදෙනා අතර කවදත් හොඳ හිතක් නොතිබුණු නිසා ඒ ආරංචිය ද විශ්වාස කිරීමට හේතු තිබුණි.
පොලේගොඩ හන්දියේ රැස්වීමේදී බලවත් කෝපයෙන් යුතුව වේගවත් කතාවක් කළ රොනී ද මැල් මහතා, තමාගේ ආසනය තුළ කිසිවෙකු ‘දිවයින’ ඇතුළු උපාලිගේ පත්තර මිල දී ගැනීම හෝ කියවීම ඒ මොහොතේ සිට නතර කළ යුතු බවත් කිසිම වෙළෙන්දකු උපාලිගේ පුවත්පත් විකුණා අසුවුවහොත් ඔවුන්ට පාඩමක් උගන්වන බවත් කියා සිටියේය. එපමණක් නොව උපාලිගේ පත්තර එකතු කර ගිනිබත් කිරීමේ මහා වැඩපිළිවෙළක් ඉදිරි දින කීපය තුළ බුලත්සිංහල ආසනයෙන් ආරම්භ කරන බවද මැල් මහතා කීවේ අත්පොළසන් හඬ මැදය.
ඒ කතාව කර පැය කීපයක් ඇතුළත ලොකු පෙරළියක් ඇති විය. ඊට ටික වේලාවකට පසු උපාලි විජේවර්ධන මහතා ගමන්ගත් ගුවන්යානය මලක්කා සමුද්‍ර සන්ධියට කඩා වැටුණු බවටත් උපාලි හෝ ඔහු සමඟ යානයේ ගමන් ගත් කිසිවකු ගැන තොරතුරක් නැති බවටත් එදා රාත්‍රියේ ලංකාවට ලැබුණු ප්‍රවෘත්තිය පසුදා උදේ සිට රටපුරා පැතිර යන්නට පටන් ගත්තේය.
රොනී ද මැල්ට ලංකාවේ පත්තර කර්මාන්තය ගැන තිබුණේ පුදුම උණකි. රාජ්‍ය බැංකු තුනකට සඟරාවක් සඳහා බරපැන දරන්නට අණ කරන ලද්දේ මුදල් ඇමැති රොනී ද මැල්ය.
අලුත් සඟරාව මහජන බැංකු මූලස්ථානයේ අරඹන්නේ ‘කල්පනා’ නමිනි. ප්‍රධාන කර්තෘ වූයේ ගුණදාස ලියනගේය. සඟරාවේ කතුකම තාත්තා භාරගත් පසු මුලින්ම ගෙදරට ආවේ ඩේවිඩ් කරුණාරත්න පත්‍රකලාවේදියාය. ඔහු එවක ජනපති ජේ.ආර්. ගේ ප්‍රවෘත්ති නිලධාරියා විය.
“ගුණේ වැඩේ කා ගත්තා. මිසිස් බණ්ඩාරනායක ගුණේව නිදහස් පක්ෂයෙන් රොනීට විරුද්ධව බුලත්සිංහලට දාන්න හිටි බව ජේ.ආර්. මට කිවුවා.
ඒ අවස්ථාවේ එතැන සිටි ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර සහ කරුණාසේන ජයලත් ද එම කරුණ අනුමත කරන ලදි.
හැත්තෑ හත බිහිවුණ ආණ්ඩුවේ ජේ. ආර්. ගේ ප්‍රබලයන් වූයේ ප්‍රේමදාස, ගාමිණි, ලලිත් ආදීන්ටත් වඩා ජේ. ආර්. ගේ ආර්ථික න්‍යාය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලද්දේ රොනී ද මැල් විසිනි. රොනී මෙරට ආර්ථිකය නිදහස් කරමින් දේශීය නිෂ්පාදන වළපල්ලට යැවුවේ යැයි ඇත්තේ ප්‍රකට කියමනකි. එහෙත් රොනී එදා පෙන්වා දුන්නේ ආනයන ආදේශන කර්මාන්ත හා අපනයනාභිමුඛ කර්මාන්ත ගොඩනංවා ගැනීමට නිදහස් ආර්ථිකය යොදා ගන්නා ලෙසය.
බොහෝ දෙනා රොනීට කියන්නේ ගී කියන කන්ද සිට බජට් එක හැදූ රොනී කියාය. එහෙත් රොනී ද මැල් ගී කියන කඳු දෙකකට වරක් මැදිවී සිටි බව බොහෝදෙනාට අමතකය.
එකදහස් නවසිය හැටේදී ‘ලංකාදීප’ කර්තෘ කමින් ඉල්ලා අස්වූ ඩී.බී. ධනපාල මහතා “දවස” ආයතනය පටන් ගන්නා තුරු කල්මැරීම පිණිස “දිවයින” නමින් සතිපතා පත්තරයක් පළ කළේය. එම පත්‍රයේ පළ වූ එක් ලිපියක මාතෘකාව වූයේ “ගී කියන කඳු දෙකකට අධිපති රොනී” යන්නය. මෙයින් එක ගී කියන කන්දක් නම් කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ පිහිටි අක්කර දහස් ගණනකින් යුත් වතුයායයි. අනික් ගී කියන කන්ද නම් කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ සිට මුළු ලංකාවටම ගී කියන ගුවන්විදුලි මධ්‍යස්ථානයයි. එවකට තරුණ සිවිල් සේවකයෙකුව සිටි රොනී ද මැල් මහතා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ ලොක්කා හැටියට පත්කරනු ලැබ සිටි බව කියන්නට එම “දිවයින” ලිපිය පළකර තිබුණි.
රොනීට මේ ගී කියන කන්ද ලැබුණේ දෑවැද්දටය. 1952 අවුරුද්දේ රොනී ද මැල් විවාහ ජීවිතයට ඇතුළත් විය. මනාලිය වූයේ මල්ලිකා ප්‍රනාන්දු මෙනෙවියයි. ඇය එවකට ලංකාවේ සිටි ලක්ෂපතියන් ටික දෙනාගෙන් කෙනකු වූ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මහතාගේ දියණියකි. පානදුර බස් සමාගමේ අයිතිකරුව සිටි ලියෝ ප්‍රනාන්දු මහතා මියයන තුරුම බුත්තල මන්ත්‍රීවරයා ද විය. අක්කර 3,300 කින් යුත ගී කියන කන්දේ අයිතිකරු වූයේ ද ලියෝ ප්‍රනාන්දු මහතාය. රොනී ද මැල් මහතා කී කියන කන්දට අධිපති වූයේ මෙම විවාහ මංගල්‍යය නිසාය.
මොරටුවේ පදිංචිකරුවකු වූ ආර්.ජේ. ද මැල් මහතා වැවිලිකරුවකු මෙන්ම මිනිරන් පතල් අයිතිකරුවෙක් ද විය. ඔහුගේ බිරියට කුළුඳුල් දරුවා උපන්නේ 1925 අප්‍රේල් මස 11 වෙනිදා මොරටුවේදීය. ඒ පිරිමි දරුවෙකි. රොනල්ඩ් ජෝසප් ගොඩ්ප්‍රී ද මැල් දරුවාට තබන ලද සම්පූර්ණ නමය. රොනී ද මැල් නමින් ප්‍රසිද්ධියට පත්වූයේ එම දරුවාය. රනිල්ට බාල මල්ලි කෙනෙකු සිටියේ රයිල් නමිනි.
රොනී දේශපාලනයට එන්න තීරණය ගත්තේ වයස 8 දීය.
“ඔව් ඒ කාලේ ශාන්ත තෝමස් විද්‍යාලෙ කතාවක් කරන්න ආව ඒ විද්‍යාලයෙම ආදි ශිෂ්‍යයෙක්ව හිටපු ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා. එදා බණ්ඩාරනායක මහත්මය කරපු කතාව අහල මාව වශී වෙලා ගියා. දේශපාලනය කොයිතරම් හොඳ දෙයක් ද කියල මට හිතුණා. ඒ නිසාම අනාගතයේදි දේශපාලනඥයෙක් වෙන්න තීරණය කරල ඒ අනුව හැඩ ගැසුණා.”
වයස 22 සිවිල් සේවකයකු හැටියට මුලදී ඩඩ්ලි සේනානායක මහතාගේ යටතේ සහකාර ලේකම් හැටියට කළ සේවය රොනී ද මැල් මහතාගේ හිතේ තදින්ම සටහන් වී තිබුණේ විශේෂ හේතු කීපයක් නිසාය. කෘෂිකර්ම හා ඉඩම් ඇමැති හැටියට කටයුතු කළ තරුණ ඩඩ්ලි සේනානායක මහතා සමඟ රාජකාරි කිරීමට රොනී මහත් ඇල්මක් දැක්වීය.
රොනීගේ අවමඟුලේ පිලිප් ගුණවර්ධන සිහි ගන්වමින් දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාට කතාවක් ද වෙන්කොට තිබුණි. රොනී – පිලිප් සම්බන්ධය බොහෝ දෙනා නොදන්නා කරුණකි.
බණ්ඩාරනායක මහතා බලයට පත්වීමෙන් පසු වඩාත් කැපී පෙනෙන සිවිල් සේවකයකුගේ තත්ත්වයට පත් රොනී, පිලිප් ගුණවර්ධනගේ ප්‍රගතිශීලි පියවර හැම එකක්ම වාගේ පිටිපසින් සිටියේය. කුඹුරු පනත සහ විවිධ සේවා සමූපකාර පනත එයින් කීපයකි. මහජන බැංකුව පිහිටුවීම සඳහා වූ මුල් පනත ද පිළියෙල කරන ලද්දේ රොනී විසිනි. එහෙත් එය ක්‍රියාත්මක වීමට පෙරාතුව පිලිප්ට අස්වීමට සිදුවීම නිසා පසුව වෙනස්කම් ඇති විය.
එකදහස් නවසිය පස් ගණන්වලදී බණ්ඩාරනායක මහතාගේ රජය බස් ජනසතුවට සැරසෙන විට මේ රටේ තිබුණු ලොකුම බස් කොම්පැනිවලින් එකක් වූයේ රොනී ද මැල් මහතාගේ මාමණ්ඩියගේ (ලියෝ ප්‍රනාන්දු මහතා) පානදුර බස් කොම්පැනියයි. එහෙත් පවුලේ අයිතිවාසිකම් අමතක කර දමා රොනී කෙළින්ම ජනසතුව වෙනුවෙන් සටන් කළේය.
එපමණකින් නොනැවතුණු ඔහු පසු කාලයේ මහ වතු අධිරාජ්‍යයක අධිපතියා වශයෙන් සිටගෙන වතු ජනසතුවට පක්ෂව සටන් කළේය. රක්ෂණ සමාගම්වල සහ වැල්ලවත්ත රෙදි මෝලේ ද රොනීගේ පවුලේ අයට විශාල වශයෙන් කොටස් තිබුණු නමුත් ඔහු ඒවා ජනසතු කිරීමට ද පක්ෂව සටන් කළේය.
රොනී 1965 මහ මැතිවරණයේදී බිබිල ආසනය තරග කළත් ජයගත නොහැකි විය. එහෙත් 1967 දෙවිනුවර අතුරු මැතිවරණයෙන් ජයගෙන හා පුරා කියා පාර්ලිමේන්තුවට ආ රොනී එදා සිට දිගටම එම අසුන රැක ගත්තේය. 1975 දී ජේ.ආර්. ජයවර්ධන මහතාත් සමඟ අත්වැල් බැඳගත් රොනී ද මැල් මහතා 1977 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. අලුතෙන් පිහිටුවන ලද රජයේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමැතිකම ඔහු වෙත පවරන ලදී.
රුහුණු විශ්වවිද්‍යාලය රොනීගේ සිතුවිල්ලක් විය. මේ එම විශ්වවිද්‍යාලය ආරම්භයට පෙර රොනී පැවැත්වූ කතාවක් එදා ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කර තිබූ අයුරු මෙසේය.
පවුල් බලය හා රදලවාදය මෙරටින් තුරන් කිරීම ජේ.ආර්. ජයවර්ධන රජයෙන් ඉටුවූ උසස්ම සේවයක් ලෙස සැලකිය හැකිය. රදල වාදයත් පවුල් වාදයත් තිබෙනතාක් කල් බුද්ධිමතුන්ට තැනක් නොලැබෙන අතර බුද්ධිමතුන්ට තැනක් ලබා ගැනීමට නම් බුද්ධිමතුන්ගේම නායකත්වයක් මෙරට ඇති කළ යුතු බවට සිරිමා බණ්ඩාරනායක රජය රුහුණේ බුද්ධිමතුන් කෙරෙහි විශේෂ බියක් තිබුණු නිසා එදා රුහුණට විශ්වවිද්‍යාලයක් දුන්නේ නැහැ.
අද රුහුණේ පාසල්වල ශීඝ්‍ර දියුණුවක් දක්නට ලැබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ කලා, විද්‍යා, ධීවර, කෘෂිකර්ම හා වෛද්‍ය අංශ සඳහා රුපියල් කෝටි සියයක වියදමින් අවශ්‍ය ගොඩනැඟිලි තනාගෙන යනවා. එම ගොඩනැඟිලි 1983 වර්ෂයේ මැදභාගයේදී විවෘත කරනවා. රුහුණේ ඕනෑම දරුවකුට උසස්ම අධ්‍යාපනය ලබා ගෙන විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ පිටරට ගොස් පශ්චාත් උපාධි ලබාගෙන තම තමන්ගේ රුචිකම් හා දක්ෂතා අනුව මේ රටේ අගමැති හෝ ජනාධිපති හෝ වීමට මේ රජය මඟ පාදා තිබෙනවා.”
ඔහු ගොඩනැඟූ රුහුණ සරසවි බිමේම රොනී අවසන් ගමන් යාම දෛවෝපගත සිදුවීමක් නොවේද?
මහජන බැංකුව අද මෙරට ප්‍රධාන බැංකුවක් වී තිබේ. එහෙත් මේ බැංකුව ගොඩනඟන්නට රොනී ද මැල් කළ සේවය අද බොහෝදෙනාට අමතක වී තිබේ. මේ ගැන රොනී ද මැල් සටහන් කොට ඇත්තේ මෙසේය. 1956 න් පසුව පිලිප් ගුණවර්ධන මහතා මේ රටේ කෘෂිකර්ම හා ආහාර ඇමති පදවියට පත්විය. එම වකවානුව තුළ පිලිප් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශය යටතේ තරුණ සිවිල් සේවකයකු හැටියට සේවය කිරීමේ භාග්‍යය මට ද ලැබුණි. කුඹුරු පනත සහ විවිධ සේවා සමූපකාර ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ එම කාලය තුළය.
මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කර රට ස්වයංපෝෂිත කිරීමට එක්දහස් නවසිය පනස් අටේ වර්ෂයේදී අපි කෘෂිකර්මාන්ත සැලැස්මක් ඉදිරිපත් කළෙමු. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් බැංකුවක් පිහිටුවීමේ යෝජනාව පළමුවන වතාවට ඉදිරිපත් කරන ලද්දේ එම සැලැස්ම තුළිනි. මෙම බැංකුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත සකස් කිරිමේ වගකීම පැවරුණේ මටය. සමූපකාර සංවර්ධන බැංකු පනත වශයෙන් එම කොටුම්පත අපි ඉදිරිපත් කළෙමු.
එකොළොස් වරක් අය වැය වාර්තා ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙස රොනී ද මැල් ඉතිහාසගතව ඇත. එමෙන්ම මෙරට දේශපාලනයේ පක්ෂ මාරුව ආරම්භකරු වන්නේ රොනී ද මැල්ය. මුදල් ඇමැති වීමෙන් පසු සිරිමාවෝ නිදහස් පක්ෂයට රොනී නිර්දය ලෙස පහර දුන්නේය. එසේ කියු රොනී රණසිංහ ප්‍රේමදාස සමඟ ගැටී ජනපතිවරණයේදී මැතිනියගේ වේදිකාවට නැග්ගත් මැතිනිය පරාජයට පත්විය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති විය. විදේශයක සිටි රොනිට ජනපති ප්‍රේමදාස ලංකාවට ගෙනාවේය. බොහෝ දෙනා සිතුවේ අගමැති ධුරයට රොනී පත්කරන බවය. ලංකාවට ආපු රොනීව බුලත්සිංහල එන්නට එවකට ඒජාප මන්ත්‍රී සරත් රණවක ඉඩ දුන්නේ නැත. රොනීට ගහපු තොරන් කඩා දැමූ සරත් ප්‍රහාරයෙන් අන්තිමට කිහිප දෙනකුට දිවි අහිමි විය. රණසිංහ ප්‍රේමදාස ජනපතිගෙන් අන්තිමට කිසිදු තනතුරක් රොනීට ලැබුණේ නැත. බොහෝ දෙනෙකු කිවේ ප්‍රේමදාස ජනපති රොනීට උඩටම උස්සා අත හැරිය බවය. එය රොනීගේ දේශපාලනයේ අවසානයද විය.
රොනී ද මැල්ගේ අභාවයත් සමඟ මෙරට දේශපාලනයේ එක් යුගයක් ඉතිහාසයට එක්වනු නියතය. රොනී මුදල් ඇමති වුවද කිසි දින මුදල් වංචාවකට හෝ අල්ලස්, කොමිස් ගැනීමක් ගැන තම නාමය ගාවගත්තේ නැත. රොනී ද මැල් පිරිසිදු චරිතයක් ලෙස ඉතිහාස ගත වනු ඇත්තේ ඒ නිසාමය.
මගේ පියාගේ අවමංගල්‍යයේ කතා කරන්නට පියා තෝරාගෙන සිටි එකම දේශපාලනඥයා රොනී ද මැල්ය. ඊටත් වඩා අපට උදේ සවස රොනී ද මැල් සිහිවන්නේ කොළඹ කුලී ගෙවල්වල ඉපදුන අපට 2% පොලියට සේවක ණයක් මහජන බැංකුවෙන් අනුමත කොට අපේම නිෙවසක් ගොඩනඟා ගැනීමේ සිහිනය සඵල කළේ එතුමා බැවිනි.
වජිර ලියනගේ