Home » නීති වෙනස් කරන්න තරුණ නීතිඥයන්ගෙන් What’s New

නීති වෙනස් කරන්න තරුණ නීතිඥයන්ගෙන් What’s New

by Mahesh Lakehouse
March 2, 2024 12:43 am 0 comment

නව නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවත් තරුණ සහ නව පරපුරේ අදහස්වල වැදගත්කමත් හඳුනා ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මඟපෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ආරම්භ කළ ‘What’s New’ ව්‍යාපෘතිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ( 3 වැනිදා) ජනගත කෙරේ.

ශ්‍රී ලංකාව 2048 වසර වන විට සංවර්ධිත රටක් වෙත යෑමේ අරමුණ ඇතිව ප්‍රතිසංස්කරණ සහ නව නීති පුනරුදයක් අත්‍යවශ්‍ය බවට වූ කථිකාව හේතුවෙන් තරුණයන්ට යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමේ සමාජ මාධ්‍ය මෙවලමක් ලෙස ‘What’s New’ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ තරුණ නීතිඥවරුන් පිරිසකගේ මූලිකත්වයෙනි.

2022 වසරේ මෙරට මුහුණ දුන් ආර්ථික අවපාත සමයේදී නීති පද්ධති පරිණාමයක අවශ්‍යතාව දැඩි ලෙස පෙනී ගියේ යළිත් මෙවැනි ආර්ථික අර්බුදයකට රට පත්වීම වැළැක්වීම තහවුරු කරගැනීම සඳහාය. එම අවශ්‍යතාව හඳුනාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙරට නීති ක්ෂේත්‍රයේ නවීකරණය කෙරෙහි අවධානය යොමු කළ අතර, මෙම ප්‍රගතිශීලී නවීකරණ යෝජනා මඟින් ඉතා වැදගත් නීති ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කර ඇත. විශේෂයෙන් වෙළෙඳ ලිබරල්කරණය, බුන්වත්භාවය සහ කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳ නව නීති ඊට ඇතුළත් වේ. මෙම නීති ප්‍රතිසංස්කරණවල වැදගත්කම සහ ඉන් ඵලගැන්වෙන ආර්ථික සංවර්ධනයේ වටිනාකම සමස්ත ජාතික රාජ්‍ය පද්ධතියේ සිට තනි පුරවැසියා දක්වා අදාළ වේ.

මෙරට නීති ක්ෂේත්‍රයට පුනරුදයක් ගෙන ඒම පිළිබඳ කතිකාවතක් ඇති කිරීම හරහා අනාගත නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබා දීම සඳහා තරුණ නීතිඥයන්ට, තරුණ නීතිවේදීන්ට මෙන්ම නීති ශිෂ්‍යයන්ට අවකාශ සැලසීමට ‘What’s New’ ව්‍යාපෘතිය බලාපොරොත්තු වේ. වර්තමාන නීති ආකෘතිය තුළ පවතින හිදැස් හඳුනා ගැනීමටත් ඊට සරිලන විසඳුම් යෝජනා කිරීමටත් ‘What’s New’ ව්‍යාපෘතිය තරුණ නීති වෘත්තිකයන්ට ආරාධනා කර සිටී. ඒ අනුව රට පුරා විසිරී සිටින දක්ෂ නීති වෘත්තිකයන්ගේ අනාගත දැක්ම ඉදිරිපත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කර දීමත් ඒ තුළින් තිරසර සංවර්ධනයක් දක්වා යන ගමනට දායකත්වය ලබා දීමට මෙරට තරුණ පරපුරට ඉඩ සැලසීමත් ‘What’s New’ ව්‍යාපෘතියේ අරමුණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division