ලේක්හවුස් හිටපු සභාපතිවරයකු වූ ලූෂන් රාජකරුණානායක මහතාගේ අවසන් කටයුතු අද (03 – ඉරිදා) පස්වරු 4ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ. දේහය අවසන් කටයුතු සඳහා ඒ.එෆ්. රේමන්ඩ් හී තැන්පත් කර ඇත.
ලූෂන් රාජකරුණානායක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙහිම ශාස්ත්‍රීය පරිචයක් තිබූ විද්වත් වෘත්තිකයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි ප්රවීණතම මාධ්‍යවේදියෙකි. මිය යනවිට හේ 85 වැනි වියෙහි පසුවූයේය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් සහ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයෙන් සිප් සතර හැදෑරූ ලූෂන් රාජකරුණානායක මාධ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්නේ 60 දශකය මුල් භාගයේ දී ය. ඒ Times of Ceylon ආයතනයෙනි.
මනා පෞරුෂයක් සහිතව මාධ්‍ය හැසිරවූ ලූෂන් රටේ සිටි ප්‍රමුඛතම තීරු ලිපි රචකයෙක් වූයේය. මාධ්‍ය නිදහස වෙනුවෙන් විශාල හඬක් නැගූ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වූයේය. කැපී පෙනෙන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් ලෙසද ඔහු කලක් කටයුතු කර තිබිණි.
ජනාධිපතිවරුන් කීප දෙනෙකුගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළේය. ඔහු අවසන් වරට සේවය කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේය. එවකට ජනාධිපති කාර්යාලයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහු සිය කටයුතු කළේය.