ගණිකා වෘත්තිය නීතිගත කර හන්දියක් හන්දියක් පාසා ගණිකා මඩම් දාන්න කියල ද කියන්නේ?
ජාතික ජන බලවේගයේ සමන්මලී ගුණසිංහ සිදුකරන ලද ප්‍රකාශයක් පාදක කරගෙන, ජාතික ජන බලවේගය ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයැයි හාහූවක් නිර්මාණය වුණා?
ගණිකා වෘත්තිය අපේ රටේ තහනම් දෙයක් නෙමෙයි. පාලනයක් පමණයි සිදුවී ඇත්තේ. නීතිමය තහනමක් නොමැති නිසා එය පැහැදිලි කිරීමක් සිදුවිය යුතුයි. නමුත් ඒ අය කියනවා නම් මෙය නීතිගත කර හන්දියක් හන්දියක් පාසා ගණිකා මඩම් දාන්න කියල. ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධියේ මේ කටයුත්ත කිරීමට ඉඩ සකස් කරදීම තුළ අපේ රටේ කාන්තාවන්ට ඇති සියලු ප්‍රශ්න විසඳෙනවාද යන්න ගැන සැකයක් මතු වෙනවා. අද කාන්තාවන්ගේ ගැලවුම්කාරයා කියා ගන්නා පක්ෂය එදා කාන්තාවන්ගේ ඇස්වලට කඳුළු ගෙනාවා. අද ඔවුන් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියා. ගණිකා වෘත්තියෙන් දරුවන්ට කන්න දෙන්න කැමැති අම්මලා ඉන්නවද? මේ අය හැමදාම මේ රටේ කාන්තවන්ට ස්වාමි පුරුෂයන් නැති කළා. ආදරණීය දරුවෝ නැති කළා.
ගණිකා වෘත්තිය නීතිගත කිරීම කාන්තා ප්‍රශ්න විසඳීමේ එකම මඟ නොවන බව ඔබ අවධාරණය කර තිබුණා?
අපේ රටේ කාන්තාවන්ට තියෙන ඇත්තම ප්‍රශ්න මොනවාද කියන එක අපි තේරුම් ගත යුතු වෙනවා. මේ අය කාන්තාවන්ගේ අයිතිය ගැන දැන් කතා කරන්නෙ සියල්ල කණපිට පෙරළලා. කාලයක් ඉන්දියාවෙන් ලූනූ ගෙනත් විකුණපු මිනිහත් මැරුවා. ගත්තු කෙනාත් මැරුවා. ඉන්දියන් සාරිය ගත්තු කෙනා වගේම ඉන්දියන් බඩු විකුණපු මුදලාලිවත් මැරුවා. ඒ අය කාන්තාවන්ගේ දෑස්වලට ගෙනා කඳුළු කොපමණද? 88-89 භීෂණය කාලයේ මේ රටේ කොතරම් ඝාතන සිදුවුණා ද? අවසානයේ හැම පැත්තෙන්ම පීඩාවට පත් වුණේ මේ රටේ කාන්තාවෝ. ඒ නිසා ඒ අය ගැන කතා කරන්න ඔවුන්ට අයිතියක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්. කාන්තාවන්ගේ ඇත්ත ප්‍රශ්න අපි හඳුනා ගත යුතු වෙනවා. අද අපේ රටේ කාන්තාව ආර්ථික, සාමාජීය වශයෙන් සවිබල ගැන්විලා නැහැ. ඒවාට විසඳුම් ගෙන ඒමයි නායකයන් විසින් කළ යුත්තේ. කාන්තාවක් ගණිකා වෘත්තිය වෘත්තියක් ලෙස තෝරා ගන්නේ වෙන විකල්පයක් නොවුණු තැනයි.
වර්තමාන කාන්තාව දැඩි ජීවන අරගලයක නියැළිලා. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාවගේ තත්ත්වය ඔබ දකින්නේ අසුබවාදීවද?
අද කාන්තාවන්ගේ ගැටලු එන්න එන්නම වැඩි වෙලා. ආර්ථික අර්බුදයත් සමඟ වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ කාන්තාවන්. තමන්ගේ දරුවන්ට කෑමට දුන් පසු ඇයට කන්න කෑම නැතිවෙන්න ඇති. අධ්‍යාපනයට දරුවන්ට අවශ්‍ය පොත් අරගෙන දෙන්න විදියක් නැතිව ඉතාමත්ම පීඩාවට පත්වන්නේ කාන්තාවන්. ඇය වර්තමානයේ ගත කරන්නේ දැඩි පීඩාකාරී ජීවිතයක්.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විදෙස්ගත වන කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ ගිහින්. වත්මන් රජය පවා ඉදිරියේදී කාන්තාවන් ගෘහ සේවයට යැවීම නතර කිරීමට තීරණය කර තිබෙනවා?
මේ වනවිට ගෘහ සේවයට කාන්තාවන් යැවීම නතර කිරීමට රජය තීරණය කර තිබීම හොඳ දෙයක්. නමුත් බොහෝ කාන්තාවන් රට යන්නේ ආර්ථික ප්‍රශ්න හා ගෘහස්ත හිංසනය නිසා. ඒවාටත් විකල්ප ලැබිය යුතුයි. එහිදී පුහුණු වෘත්තිකයන් ලෙස විදේශගත වීමට ක්‍රමයක් සැලසිය යුතුයි. පිලිපීනයේ විදෙස් රටවලට කාන්තාවන් යන්නේ හෙදියන් ලෙසයි. නමුත් අපේ අය යන්නේ නුපුහුණු ගෘහ සේවිකාවන් ලෙසයි. ඒ තත්ත්වයෙන් මිදී පුහුණු ගෘහ සේවිකාවක් ලෙස අවස්ථාව ලබා දෙනවා නම් ඔවුන්ගේ වෘත්තිය සුරක්ෂිතයි. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයයි.
සජබ ආණ්ඩුවක් හරහා කාන්තාවන්ට නිසි තැන මෙන්ම යහපත් ජීවන තත්ත්වයක් ලබාදිය හැකි යැයි විශ්වාස කරනව ද?
සජිත් ප්‍රේමදාස මහතා නිතර පවසන්නේ වෘත්තීය බවට ප්‍රමුඛතාව ලබා දී ඊට සරිලන අධ්‍යාපනයක් ලබා දිය යුුතු බවයි. එසේම නුපුහුණු කාන්තාවන් විදෙස්ගත නොවීම සඳහා එතුමා වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කර තියෙනවා. කාන්තාවන් රටේ ආර්ථිකයට නිවෙසේ සිට දායක වන ග්‍රාමීය ආර්ථිකයක් සකස් කරන්නටත් බලාපොරෙත්තු වෙනවා. නිවෙසේ සිට ඇය ආර්ථිකයට දායක වනවා නම් ආර්ථිකය සවිබලගැන්වෙනවා පමණක් නොව පවුල් කුටුම්බයත් ආරක්ෂා වෙනවා.
කාන්තා අයිතීන් සුරැකීමට අපේ රටේ නීතිය ප්‍රමාණවත් නැති බව බොහෝ දෙනා පවසනවා? සජබ ආණ්ඩුවක් හරහා මේ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකිද?
කාන්තා අයිතීන් සඳහා නීති තිබුණත් සිදු වන්නේ ඒවා ක්‍රියාත්මක නොවීමයි. අද කාන්තා හිංසන නඩු උසාවිවල ගොඩගැහිලා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා කර තිබුණා, වෙනම අධිකරණ පද්ධතියක් සකසන්න. නමුත් මේ ආර්ථිකයත් සමඟ එය කවදාවත් සිදු නොවන දෙයක්. ඒ නිසා සතියට එක් දිනක් හෝ කාන්තාවන් හා දරුවන් සඳහා වූ නඩු මේ අධිකරණවලම අසා තීන්දු දීමට ඉල්ලීමක් කළා. මේ සඳහා ඇති නීතිරීති ප්‍රමාණවත්. දරුවකු ලිංගිකව හිංසනයට ලක්වූ විට, ඒ නඩු කටයුත්ත ප්‍රමාද වූ විට ඇතිවන තත්ත්වය කෙබඳු ද? අඩු වයසින් දරුවන් ඉපදීම, මාතෘත්වයක් දැරීමට නුසුදුසු මවක් බිහිවීම වැනි තත්ත්වයන්වලදී පවතින නීතිරීතිවල අඩුපාඩු පවතිනවා. ඒවා නැවත සකස් විය යුතු තැන්.
වර්තමාන පාර්ලිමේන්තුවේ ඉහළ කාන්තා නියෝජනයක් දැකිය හැකියි. නමුත් කාන්තාව වෙනුවෙන් කෙරෙන දායකත්වය ගැන කතාබහ පවතින්නේ අවම මට්ටමකයි?
කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කරදිය යුත්තේ පිරිමින්ගෙන්. එසේම එය කාන්තා මන්ත්‍රිවරියන්ගේම අයිතියක් වගකීමක් පමණක් නෙමෙයි. පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෝ එන්නේ කාන්තා ඡන්ද අරගෙන. ඒ නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනාත්මකව කටයුතු කළ යුතු වෙනවා. අපේ කාන්තාවන් 12 දෙනා පක්ෂ භේදයකින් තොරව එකතු වී කටයුතු කරනවා. කාන්තා සංසදයේ එකමුතුකම ඉතා හොඳින් තියෙනවා.
සුභාෂිණි ජයරත්න