– අද ජාතික ජන බලවේගය හරහා ජවිපෙ රටට විශාල හානියක් කරනවා
– පක්ෂයේ සමහර නායකයෝ කොණ්ඩෙයි රැවුලයි වැව්වට සිස්ටම් චේන්ජ් කරන්න බෑ
– ඒ අයගේ දරුවන් යන්නේ ජාත්‍යන්තර පාසල්වලට
ජාතික ජන බලවේගය ලෙස ක්‍රියාත්මක වන්නේ ජනතා විමුක්ති පෙරමුණේම බළල් අතක් මිස නව දේශපාලන ප්‍රවාහයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට කිසිදු අයුරක සෙතක් සලසන දේශපාලන පක්ෂයක් නොවන බවත් නවමඟ ජාතික ව්‍යාපාරයේ ලේකම් මොරටුවේ අනිල් ශාන්ත ප්‍රනාන්දු පවසයි. ප්රගතිශීලී ජනතාවට නව දේශපාලන ප්‍රවාහයක් ලෙස පෙන්වීමට උත්සාහ කළ ද ජාතික ජන බලවේගය හා සම්බන්ධ වීමට පෙර හොඳින් අවධානය යොමු කළ යුතු බව ද ඔහුගේ මතය වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ වසර 21ක් පූර්ණ දේශපාලනඥයකු ලෙස කටයුතු කළ තමන් ජනතා විමුක්ති පෙරමුණ ගැන දන්නා බවත් පූර්ණ කාලීනව දේශපාලනය කර තමන්ට හිමිවූයේ මාක්ස්වාදය හා සමාජවාදය ගැන දැනුම පමණක් බවත් ඔහු අවධාරණය කරයි.
සිළුමිණ හා සංවාදයකයට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට හඳුන්වා දෙන සමාජවාදයක් පක්ෂය තුළ නොමැති අතර, එම පක්ෂය තනිකරම ලිබරල්වාදයට ගැතිකම් දක්වන පාක්ෂිකයන් සූරාකන අසාධාරණයට එරෙහි වන්නන්ට යළි සමාජගත විය නොහැකි පරිදි එළව එළවා පහර දෙන පක්ෂයක් බව ද ඔහු පැවසුවේය. වසර 21ක ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධව සිටි දේශපාලන ගමන් මඟ හා අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රමවේදය ගැන ඔහු සිය අදහස් මෙසේ ගෙන හැර දැක්වූයේය.
‘‘අද ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය හරහා සිදු කරන මේ දේශපාලන ගමන් මඟ ඔස්සේ සිදු කරන්නේ රටට විශාල හානියක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනයට ඇති ඉඩකඩ එයාල අහුරලා තියෙන්නෙ.
ජනතා විමුක්ති පෙරමුණ 1994 වසරේ අලුත් දේශපාලන ගමන් මාර්ගයට ආපු වෙලාවෙ ඉඳල මේ දක්වා මාක්ස්වාදය යන්න නිවැරැදි කර ගත්තේ නැහැ. නිවැරැදිව කියෙව්වෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ලිබරල්වාදයට විරුද්ධයි කියල මොකක්ද කරන්නෙ. ලිබරල්වාදී පක්ෂ කණ්ඩායම් එක්ක එකතුව කටයුතු කිරීමයි.
දැන් මේ රට තුළ නව වාමාංශිකත්වයක් නිර්මාණය විය යුතුයි. එය සිදු නොවුණහොත් වමේ දේශපාලනයට ඉදිරියට යන්න බැහැ. රට තුළ වාමාංශික කතිකාවක් ඇති විය යුතුයි.
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙච්ච සහෝදර සහෝදරියන් කී දෙනෙක් 88/89 වකවානුවේ තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා ද? ඒ මාක්ස්වාදය විශ්වාස කරල වාමාංශික දේශපාලන ව්‍යුහයක් නිර්මාණ කිරීම වෙනුවෙන්නෙ. අනේක විධ දුක් ගැහැට විඳිමින් ඒ තත්ත්වයට ආවෙ. නමුත් ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය කරල තිබුණෙ ජනතාව එක්ක වාමාංශික දේශපාලන ගමනක් යන්න නෙමෙයි. එයාලට ඕන කෙළේ සභාග ක්‍රියාදාමය හරහා ලිබරල්වාදය නඩත්තු කිරීමයි.
මේ ලිබරල්වාදයේ විශේෂ ලක්ෂණයක් වෙන්නෙ අමානුෂිකත්වය, විවිධ දූෂණ, මූල්‍ය වංචා, අමානුෂික ඝාතන, කම්කරුවන් සූරාකෑම වගේ සමාජය අපගමනයට යොමු කරන සංකල්පයන්. ඒ සියල්ලම අඩුවක් නැතිව ජනතා විමුක්ති පෙරමුණ සතු වුණා. ඒ නිසා තමයි අදටත් ජනතා විමුක්ති පෙරමුණට ඉස්සරහට එන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නෙ.
පක්ෂයේ සමහර නායකයො කොණ්ඩෙයි, රැවුලයි වැවුවට ඒවා ඩයි කරගෙන ආවට සිස්ටම් චේන්ජ් කරන්න බැහැ. පක්ෂයේ ප්රබලයන්ගේ විවිධ අක්‍රමිකතා නිසා පසු පෙළේ හිටපු ජවියෙ අතකොලු පක්ෂයේ බලය අල්ලා ගත්තා. මොකද පක්ෂයේ මුල් පුටුවල අය බය වුණා, ඒ දූෂණ එළියට ගියාත් ඒකෙන් තමන්ට හානි වෙයි කියල, ඒ වාසිය අරගත්ත අය තමයි අද පක්ෂයේ මෙහෙයුම්කරුවන් වෙලා තියෙන්නෙ.
මම විශේෂයෙන්ම මේ ඉල්ලීම කරන්නෙ, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙනුයි කලාකරුවන්ගෙනුයි, ඔබ ජාතික ජන බලවේගයේ වේදිකාවට නඟිනවා නම් දෙපාරක් තුන්පාරක් හිතල බලන්න නඟින්න පෙර මේ කොහාට යන ගමනකටද ආවඩන්නේ කියලා. මේ අයගේ ප්‍රධාන ඉලක්කයක් තමයි කලාකරුවන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන්, ඒ අයට රටේ ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය කියන බළල් අත හරහා තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්නවා.
අපට දැන් කරන්නට ඇත්තේ ලිබරල්වාදය ඇතුළේ සිටින ජනතා විමුක්ති පෙරමුණ නඟා සිටුවීම නෙමෙයි. අලුත් වමේ බලවේගයන් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ පක්ෂය පවා පිහිටුවා ගත්තෙ. ජනතා විමුක්ති පෙරමුණෙන් අසාධාරණයට ලක් වුණු ජනතා විමුක්ති පෙරමුණට තම දිවියම පූර්ණ දේශපාලනය වෙනුවෙන් කැප කරපු ඒ වගේම වමේ බලවේගයක් අපේක්ෂා කරන සියලු දෙනාම නව බලවේගයක් හා එක්විය යුතුයි.
විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙනුත් මම ඉල්ලා සිටින්නේ ඔබ බුද්ධිමත්, ආපසු හැරී බලන්න. හදිසි වෙන්න එපා අවබෝධයෙන් යුුතුව කටයුුතු කරන්න. මේ ඉල්ලීම කරන්නේ ජීවිතයේ තරුණ වයසේදීම ජනතා විමුක්ති පෙරමුණට පූර්ණ කාලීනව බැඳිලා අවුරුදු 21ක් ඒ කියන්නෙ තරුණ ජීවිතයම කැප කරලා කටයුතු කරපු කෙනෙක්. මට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වෛරයක් නැහැ. නමුත් ඒ පක්ෂය හරහා තමන්ගේ ලිබරල්වාදය ගෙනියන වම අතුගා දමන්න පාර කපන පුද්ගයන් එක්ක මත ගැටුමක් තියෙනවා. වමේ දේශපාලනය කියන එක රටකට අත්‍යවශයි. එය උපයෝගී කගෙන සිදු කරන්නා වූ මේ බළලුන් ලබා කොස් ඇට බෑවීම නැවැත්විය යුතුයි.
සමස්ත ලක්වාසීන් තේරුම් ගත යුතුයි. මේ බළල් අතේ ගොදුරක් නොවන්නට. ජනතා විමුක්ති පෙරමුණට මම අභියෝග කරනවා මම මේ කරන චෝදනා බොරු නම් අධිකරණයේ නඩු පවරන්න කියල. මම අධිකරණයේදී පිළිතුරු දෙන්නම්. 1998 වසරේ සිටම මම පූර්ණ කාලීන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ නිරතව සිටියේ, කිසිදු රැකියාවක් ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. අද මම අම්මත් එක්ක ජීවත් වෙන්නෙ කුඩා ඉඩමක එක් පලයක වහලක් තියෙන පොඩි ගෙදරක. මට හම්බ වුණු දෙයක්වත් මම හම්බ කරගත්ත දෙයක්වත් නැහැ.
ඒ වගේම පොඩ්ඩක් හිතල බලන්න තමන් පූර්ණ කාලීන දේශපාලනයේ ඉන්නවා කියන, ඒ වගේම තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප, පළාත් සභා මන්ත්‍රී වැටුප ඒ වගේම පළාත් පාලන වැටුප පවා පක්ෂයේ අරමුදලට බැර කරන බව කියන ජවිපෙ පළමු පෙළේ නායකයන් අද සිටින තැන් ගැන.
ඒ අයගේ දූ දරුවන් යන්නේ ජාත්‍යන්තර පාසල්වලට.
මේ පක්ෂය ගොඩගන්න නම් පක්ෂයේ මුල් පුටුවල ඉන්න සියලු දෙනා ඉවත් කළ යුතුයි. වාමාංශික අදහස් පමණක් ඉදිරියට ගෙන යන සමාජවාදය යන්න හඳුනන නායකයන් පිරිසක් බිහි වුණොත් විතරයි මේ පක්ෂය ගොඩගන්න පුළුවන් වෙන්නෙ.
අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ එක්තරා පිරිසකගේ බූදලයක් වගේ. ඊට යම් හෝ විරුද්ධ මතයක් පළ කරන, එහෙම නැත්නම් ඒ අසාධාරණයට එරෙහිව යම් හෝ නැඟී සිටියහොත් වෙන්නෙ ඒ තැනැත්තට විතරක් නෙමෙයි පවුල් පිටින් වන්දි ගෙවන්න. මගේ දරුව මම අවුරුදු ගාණකින් දැකල නැහැ, මගේ භාර්යාව එක්ක මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. අපේ පෞද්ගලික ජීවිත සම්පුර්ණයෙන්ම ජවිපෙ ඇතුළෙ ඉන්න ලිබරල්වාදී සංකල්පයට ආවඩන අය විසින් ගිල ගත්තා. ඒ අයට සමාජවාදයක් අවශ්‍ය නැහැ. බලය විතරයි අවශ්‍ය වෙන්නෙ. නැත්නම් සමාජවාදයට පිටුපාන පක්ෂ එක්ක සභාග හදන්න යන්නේ නැහැනෙ.
මම ලේකම් ලෙසින් හා ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තීයෙවේදීන්ගේ සංගමයේ මංජුල ප්‍රනාන්දු සභාපති ධුරයට පත් කරගෙන නවමග ජාතික ව්‍යාපාරය අවුරුදු 3කට කලින් ආරම්භ කෙළේ මේ ව්‍යසනයට පිටිවහලක් විදිහට. පක්ෂය තවමත් ලියාපදිංචි කරේ නැහැ.
මමත් සුදුසුකම් ඇති නිසා පෞද්ගලික පාසලක ගුරු වෘත්තියේ යෙදුණා. ඊට අමතරව උපකාරක පන්ති කරමින් ආදායමක් උපයා ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ නමින් එක පැළැන්තියක් විතරක් සතුටින් ඉන්නවා. ඒකද ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය කියල මම අහනවා. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන 1994 ඉඳල අද දක්වාම දේශපාලන මණ්ඩලයේ හිටපු සියලු සාමාජිකයන්. ඒ කිසි කෙනකුට වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ අය තමයි ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු සමාජවාදී සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කළේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ ධනේෂ්වර ආයතන ගැන අපේ ඇත්තෙන්ම විශ්වාසයක් නැහැ. මතක ඇතිනෙ ඒකෙ කොමසාරිස්වරියක් කරපු හරිය. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණේ ආදායමක් නැති සුර සැප විදින අය ගැන අපි පැමිණිලි කරන්න යන්නෙත් නැහැ. නමුත් ඇත්තෙන්ම අපේ පැමිණිල්ලක් අවශ්‍ය නැහැ. ඒ අයගේ ප්‍රකාශ ඔස්සේම අවශ්‍ය නම් කටයුතු කරන්න පුළුවන්. ඒත් ඉතින් වෙන කෙනකුගේ නමින් තිබෙන දේපළ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න අමාරුයි. ‘‘
සේයාරුව – ෂාන් රූපස්සර
තාරක වික්‍රමසේකර