රිදුණු බිඳුණු සිතක් වුවද රසාලිප්ත කරන්නට නිවැරදි මාත්‍රාවන්ගෙන් සැදුම්ලත් ගී පදවැල් අතර සැඟවූ නාද රටාවන්ට ඇත්තේ අසීමාන්තික බලයකි. එවන් සංගීත කලාවට ලොබ බඳින රසික හදවත් දිනාගත් මේ යුගයේ විශිෂ්ට නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමින් අගයන සම්මාන රාත්‍රියක එළැඹුම එළැඹෙන මාර්තු මස 6 වැනිදා නෙලුම් පොකුණ එළිමහන් රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය සංගීත උපදේශක සභාවේ සභාපති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මේ කතාබහට එක්වන්නේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළ පිළිබඳවයි.
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ කියන්නේ මොකක්ද?
සංගීත ක්ෂේත්‍රය තුළ දක්ෂ නිර්මාණකරුවන් හඳුනාගෙන ඔවුන්ව රාජ්‍ය මට්ටමින් අගයන, සම්මානයට පාත්‍ර කරන අවස්ථාවක් තමයි මේ සම්මාන උලෙළේදි සිදුවන්නේ. මෙවර රාජ්‍ය අනුග්‍රහය යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන, සහකාර අධ්‍යක්ෂ කසුන් සෙනෙවිරත්න යන අයගේ මඟපෙන්වීම යටතේ ශ්‍රීලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරගේ මූලිකත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය සම්මාන උලෙළක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.
මෙවර සම්මාන උලෙළ තරමක් සුවිශේෂී ස්වභාවයක් ගන්නවා නේද?
ඔව්. පසුගිය වසර කිහිපය තුළ අපේ රටට වරින් වර මුහුණදීමට සිදුවූ අර්බුදකාරී තත්ත්වයන් සහ වසංගත තත්ත්වය වැනි කරුණු හේතුවෙන් මෙම උලෙළ 2017 වර්ෂයෙන් පසුව පැවැත්වීමට නොහැකි වුණා. නමුත් මෙවර සම්මාන රාත්‍රිය අපි උදාකරගන්නේ එම අභියෝග ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. ඒ වගේම සුවිශේෂීම කරුණ විදිහට මෙවර අපේ අවධානයට යොමු වුණේ විශේෂයෙන්ම 2018, 2019, 2020 වර්ෂවල නිර්මාණ සහ එම නිර්මාණකරුවන් පමණයි. ඒ වගේම සමස්ත නිර්මාණ අප වෙත ලබා ගැනීමේ කාර්යය සිදු කළේ ඊමේල් හරහා වීමත් විශේෂත්වයක්.
මෙවර සම්මාන සඳහා නිර්දේශ කිරීමේදී තරග ශීර්ෂ ගණනාවක් කෙරෙහි අවධානය වී තිබෙනවා නේද?
ඔව්. මෙවර අපි භාෂා මාධ්‍ය ත්‍රිත්වයම නියෝජනය වන පරිදි තරග ශිර්ෂ 34ක් යටතේ නිර්මාණකරුවන් තෝරා ගැනීම සිදු කළා. මේ මොහොතේ විශේෂයෙන්ම මතක් කළ යුතුයි රාජ්‍ය සංගීත උපදේශක සභාවේ සමන්ත පෙරේරා, රංජිත් බාලසූරිය, රවින්ද්‍ර අලගියවන්න, ශිරාන් රත්නායක, ආනන්ද විජේසිරි, සුමතිපාල පෙරේරා, ප්‍රියනාත් රත්නායක, ජයම්පති අල්ගම ඒවගේම ජනනාත් වරකාගොඩ යන සියලු දෙනාම මෙම තරග කටයුතු සංවිධානය සහ අධීක්ෂණය වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දැරුවා. නමුත් අපි කිසිවෙක් මෙහි විනිශ්ච මණ්ඩලය වෙනුවෙන් කටයුතු කළේ නෑ, ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ දක්ෂ වෙනත් විනිසුරු මඩුල්ලක් හරහා ඉතාම සාධාරණ අයුරින් තමයි ජයග්‍රාහකයන් තෝරා ගැනීමට කටයුතු කළේ.
මෙම සම්මාන රාත්‍රිියේදී විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනැමීමට නියමිතයි නේද?
මීට පෙර නිසි රාජ්‍ය සම්මානයකට පාත්‍ර නොවු අපේ රටේ දක්ෂ සංගීත නිර්මාණකරුවන් දෙදෙනෙක් වන දමිළ සහ සිංහල සංගීත කලාව වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළ ඇන්තනී සුරේන්ද්‍රත්, ඉතාම පැරණි යුගයේ සිට මේ දක්වාම සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කළ දේවානන්ද වෛද්‍යසේකරවත් සංගීතාභිමාන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීමට නියමිතයි.
රාජ්‍ය සංගීත සම්මාන උලෙළ හරහා රටට හඳුන්වා දුන් ප්‍රවීණ නිර්මාණකරුවන් බොහෝමයක් සිටිනවා නේද?
ඔව්. බොහෝමයක් ඉන්නවා. වෙනදා වගේම මෙවරත් ආධුනික නිර්මාණකරුවන්ටත් ඔවුන්ගේ දක්ෂතාව මත සම්මානයට පාත්‍ර වීමට අවස්ථාව උදා කර දී තියෙනවා. ඊට හොඳම උදාහරණයක් තමයි 2012 වර්ෂයේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළ සඳහා හොඳම ගේය පද රචනයට හිමි නිර්මාණය ලෙස ‘මේ තරම් සියුමැලිද කළුගල්‘ ගීතය නිර්දේශ වීම සහ එහි පද රචක රජී වසන්ත වෙල්ගම සම්මානයට පාත්‍ර වීම. ඒ වගේම හොඳම සංගීත නිර්මාණය වෙනුවෙන් එහි සංගීත නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායක සම්මානයට පාත්‍ර වුණා. මේ දෙපළම රාජ්‍ය සංගීත සම්මාන උලෙළ හරහා තමයි ජනතාව අතරට ගියේ. මේ වගේ බොහෝ පිරිසක් අද වෙනකොට ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගොස් හමාරයි.
මෙම සම්මාන රාත්‍රියට රසික ජනතාවටත් සම්බන්ධ වීමට අවස්ථාවක් තිබෙනවද?
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමැති විදුර වික්‍රමනායක සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු පිරිස වීම විශේෂත්වයක්. ඒවගේම එළැඹෙන මාර්තු මස 06 වැනිදා නෙලුම් පොකුණ එළිමහන් රංග පීඨයට පැමිණෙන සුභාවිත ගීතයට ඇලුම් කරන රසික රසිකාවියන්ටත් පවතින ඉඩකඩ අනුව මෙම අවස්ථාවට සම්බන්ධවීමට අපි අවස්ථාව ලබාදී තියෙනවා වගේම අපි ඔවුන්ට මෙම අවස්ථාවට ඉතා ආදරයෙන් ඇරයුම් කරනවා.
දසුනි වත්සලා වික්‍රමසිංහ