චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියා, මොන චිත්රද… නිකං පොඩි එකා බිත්තියෙ ඉරි ඇඳල වගේ. එතෙර මෙතෙර චිත්‍ර ප්‍රදර්ශන රැසක් පැවැත්වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු ගැන එක්තරා රසිකයෙකුගෙන් ලැබුණු ප්රතිචාරයයි ඒ. ඒ චිත්‍ර මොනවාදැයි බලන්නට අපටත් සිතුණි. අපට ද පෙනුණේ එහා මෙහා ඇඳ ඇති ඉරි කැබලි රැසක් මිස චිත්‍රයක් නම් නොවේ.
මේ චිත්‍ර ශිල්පියා නමින් වින්සන්ට් සුළුදාගොඩය. ඔහුගේ සිතුවම් අලංකාර චිත්‍ර ලෙසින් ඇතැමුන්ගේ ඇස නොගැටුණේ ඇයි?
වින්සන්ට් සුළුදාගොඩගේ සිතුවම්වල ඇත්තේ වර්ණ සංකලනයෙන් අදහස් ප්‍රකාශ කිරීමයි. සම්ප්රදායයෙන් බැහැරට යමින් නව භාව චිත්‍ර කලාවක් ඇති කිරීම ඔහුගේ උත්සාහය විය. ඔහුගේ එම වෑයම සාර්ථක නොව අතිසාර්ථක විය.
පසු කාලීනව බොහෝ රසිකයන්ගේ ඉල්ලීම මත ඔහු සිතුවම් දැක්ම පවත්වන්නට විය. එහෙත් ඔහුගේ සිතුවම් තේරුම් ගැනීමට නම් යම් වේලාවක් එම ස්ථානයේ නැවතී චිත්‍රය දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුය. එහි අරුත දැනගෙන යථාර්ථය තේරුම් ගත හැකි වන්නේ එවිටය. රේඛා බැහැර කිරීම වින්සන්ට්ගේ සම්ප්රදායයයි. එහිදී වර්ණයම ඔහු රේඛාව කර ගනී. ඒ අනුව වර්ණ යෙදූ රේඛාවෙන් ඔහු සිය සිතුවම අලංකාර කර ගනියි.
ඔහුගේ සිතුවම් කොතරම් අගනා බවද කියතහොත් පිලිපීන සිතුවම් අධීක්ෂණය කණ්ඩායමක් විසින් වින්සන්ට්ගේ සිතුවමක් සුරක්ෂිත කළ යුතු බව ඒකමතිකව තීරණය කරන ලදී. ඒ අනුව මහනුවර යුගය සිහිගන්වන සිතුවමක් පිලිපීනයේ මැනිලා ජාතික කෞතුකාගාරයේ ස්ථිර කලාගාරයේ තැන්පත් කරන ලදී. අද දක්වාම ඒ සිතුවම එම කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇත.
වින්සන්ට් අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනි. එහිදී 6 වසරේදී ඔහු ජපන් ලෝක චිත්‍ර තරගාවලියකට ඉදිරිපත් විය. ඉන් ඔහු සම්මානයට පාත්‍ර විය. ඒ ධෛර්යය ඔහුගේ සිතුවම් කලාවේ මූලාරම්භයයි. එතැන් සිට සිතුවම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ඔහු තමාටම ආවේණික වූ චිත්‍ර කලාවක් ගොඩ නඟා ගත්තේය. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය කලා පීඨයෙන් සෞන්දර්යය පිළිබඳ උපාධියක් හැදැරීය. ඒ ලලිතකලා උපාධිය ලැබුවද ඔහුගේ විශේෂිත නිර්මාණකරණය ඉදිරියට ගෙන යන්නට ඔහු කටයුතු කෙළේය. ඔහුගේ සිතුවම් මනාව අධ්‍යයනය කිරීමෙන් පසු පිලිපීන රජයෙන් ඔහුට ශිෂ්‍යත්වයක් හිමි විය. ඒ පිලිපීනයේ මැනිලා නුවර සිලිමන් විශ්වවිද්‍යාලයේදී සිතුවම් උගැන්මටය.
ඔහු එහිදී තම සිතුවම් කලාවේ උපරිම දස්කම් පිලිපීන රසිකයන්ට මෙන්ම අධ්‍යයන ක්ෂේත්රයේ ඇදුරන්ටද පෙන්වා දුන්නේය. තමා රේඛාවලින් තොරව කරනු ලබන සිතුවම්හි අරුත් බව ඔහු පෙන්වා දුන්නේය. එපමණක් නොව තමාට රේඛා නොවන සිතුවම්ද නිර්මාණය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. අද දක්වාම මැනිලා කෞතුකාගාරයේ ඇත්තේ එවන් රේඛා නොවන සිතුවමකි.
පිලිපීනයේ ජාතික කෞතුකාගාරයේ ඔහුගේ කලා කෘතියක් තබා තිබීම ශ්‍රී ලාංකික කලාකරුවෙක් වශයෙන් ඔහු පමණක් ලැබූ ජයක් නොවේ.
ඔහු ජපානය බල්ගේරියාව, ජර්මනිය, ඉතාලිය. පිලිපීනය, චෙකොස්ලොවේකියාව වැනි රටවල් රැසක චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. දෙස් විදෙස් රටවල් රැසක ඔහු මේ වන විට චිත්‍ර ප්‍රදර්ශන 50ක් පමණ පවත්වා ඇත.
එමෙන්ම ජපානයේ නිෂි හරිමා සංස්කාතික මධ්‍යස්ථානයේද ඔහුගේ සිතුවමක් ප්‍රදර්ශනයේ තබා ඇත. ඒ නිර්මාණය ඔහු කාන්තාව යැයි නම් කර ඇත.
වින්සන්ට් සුළුදාගම1987 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන ලැබූ අතර 1988 වසරේ ගම්උදාව භූමියේදී රාජ්‍ය සම්මානයක් ලැබුවේය.
ඔහුගේ චිත්‍ර නිර්මාණ තුළ ඇත්තේ චිත්රයකින් අප බලාපොරොත්තු වන සරල චමත්කාරය නොවේ. ‘මිනිසාගේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වන ලෝකය මිරිඟුවකි. එය දාර්ශනික වශයෙන් මෙන්ම දැක එහි පවත්නා මිරිඟු බව දැක්වෙන ස්වභාවය ඉදිරිපත් කරන්නට සුළුදාගොඩ නිතර කටයුතු කර තිබේ.
එහිදී ඔහු චිත්‍ර ශිල්පියකු වශයෙන් පමණක් නොව දාර්ශනිකයෙකු ලෙසින් පවා දැක ඒ සියල්ල, තර්කය හා බුද්ධිය මත නැඟී සිටිමින් එ තුළින් එළි දැක ඇත. ඇස ගැටෙන වස්තුව එහි යථා ස්වභාවය නොවන බව පසක් කර දෙන්නට ඔහුගේ මේ නිර්මාණ සමත්ව තිබේ.
බොහෝ දෙනා වින්සන්ට්ගේ සිතුවම් භාවනාවක් සඳහා අගනා කමටහන් බඳු යැයි ද පවසා ඇත.
ඒ ඔස්සේ යමින්දෝ මෙවර ඔහුගේ සිතුවම් දැක්ම ‘ භාවනාවක ශාන්තිය‘ නමින් මාර්තු 8 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී පැවැත්වේ. මෙවර තම සිතුවම් දැක්ම ගැන අදහස් දක්වමින් වින්සන්ට් සුළුදාගොඩ පවසා සිටියේ කොවිඩ් සමයේ තමන් එතෙර සිට විඳි අත්දැකීම් මේ සිතුවම් දැක්මට එක්කරගත් බවයි.
තාරක වික්‍රමසේකර