“සර් මේකප් බඩු හොරාට ගෙනත් විකුණන ‘සෙට් එකක්’ ඉන්නවා. මාර බිස්නස් එකක් තමයි එතන තියෙන්නේ…”
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට මෙම තොරතුර ලැබෙන්නේ ඉතා රහසිගතව සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙනි.
“කොහෙද ඔය කියන කට්ටිය ඉන්නේ…?“
“පිටකොටුවේ තොග වෙළෙන්දො කට්ටියක්. සර්ට ඇරෙන්න අපිට මේව කියන්න වෙන කෙනෙක් නැහැ…“ ඔත්තුකරු එලෙස කීවේය.
නිසි ප්‍රමිතියෙන් යුතු ඒවා නම් හොරට කළ යුතු නැත. ඒ නිසා මෙහි යම්කිසි සැක කටයුතු දෙයක් සිදුවිය හැකිය.
හිසකෙස් කළු කරන ඩයි වර්ග පාවිච්චි කිරීමෙන් කීප දෙනෙකුටම පසුගිය කාලයේ මරු වැලඳ ගැනීමට සිදු වූයේ මෙම ආලේපනවල තිබූ යම්කිසි අහිතකර බලපෑමක් හේතුවෙනි. එසේ නම් ඒවා ප්‍රමිතියකින් තොර විය යුතුය.
පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කීපදෙනෙකු පිටකොටුව දෙවන හරස් වීදියේ මේ කියන වෙළෙඳ ව්‍යාපාරිකයින් පිළිබඳව ආවේක්ෂණ රාජකාරියේ යෙදවීමට කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.
“සර් ලංකාව පුරාම සැලුන්වල කට්ටිය තොග වශයෙන් අරන් යනවා මේ අයගෙන් බඩු… මේවා පාවිච්චි කරන්න හොඳ තත්ත්වයේ ඒවා නෙමෙයි…”
ආවේක්ෂණ රාජකාරියේ යෙදුණු නිලධාරීන්ගෙන් ලැබුණේ සතුටුදායක පිළිතුරකි. මෙම ස්ථානය වැටලීමට සූදානම් වූයේ ඉන් පසුවය.
“මිස් මේවා තමයි දැන් කවුරුත් පාවිච්චි කරන්නේ? බලා ඉඳිද්දී ලස්සන වෙනවා… කළුයි කියල දුක් වෙන්න එපා. මේ ක්‍රීම් එක හම සුදු කරන එකක්…“
මෙම වෙළෙඳුන්ගෙන් රූපලාවණ්‍ය ආලේපන ලබා ගැනීමට ගිය ‘උපාය දූත’ පොලිස් නිලධාරිනියන් හට නොයෙක් දෑ ඔවුන් පවසා සිටියේ කෙසේ හෝ මෙම ආලේපන විකුණා ගැනීමේ අදහසිනි.
පිටකොටුවේ දෙවන හරස් වීදියට කඩා වැදුණු නිලධාරීන් කණ්ඩායම රූපලාවණ්‍ය ආලේපන තොගයක් සමඟ තොග වෙළෙඳුන් හතර දෙනකු අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය.
“මේ හිස් ඩප්පි මොකටද තියාගෙන ඉන්නේ…?“ නිලධාරීන්ගේ ප්‍රශ්න හමුවේ ඔවුන්ට දීමට සුදුසු පිළිතුරක් නොතිබිණි.
එහෙත් මෙම හිස් ඩප්පිවලට රූපලාවණ්‍ය ආලේපන පුරවා බකට්වල තබා විකුණන අයුරු ද දැක ගැනීමට නිලධාරීන්ට අපහසු වූයේ නැත.
“මේ ක්‍රීම් වර්ග මොනවට ද…?“
“ෆාමසිවල කට්ටිය ඒවා ගෙනියනවා සර් ඒකයි…“
“මේවා මේ ගල් වෙලානෙ. මේකෙ බාගයක් නැහැ. තමුන්ල ගෙදර නෝනලටත් මේව දෙනවද නෑනේ. ඉතිං පව් වැඩක් නේද මේ කරන්නේ…“
“ඇත්ත සර් වැරැද්දක් බව පිළිගන්නවා යැයි ඔවුහු පැවසූහ…“
නියපොත්තේ සිට කෙස්ගහ දක්වාම රූමත් බව වැඩිදියුණු කරන මෙම රූපලාවණ්‍ය ආලේපන සියල්ලෙහිම දවටනවල සඳහන් වී තිබුණේ ඒවා පාකිස්තානයේ නිෂ්පාදනය කළ ඒවා බවය.
ශ්‍රී ලංකා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් සඳහන් කරන්නේ මෙම රසදිය අධික ලෙස අඩංගු රූපලාවණ්‍ය ආලේපන භාවිත කිරීමෙන් ශරීරයේ සම, පෙණහළු, වකුගඩු, අක්ෂි පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ස්නායු පද්ධතිය ආදී අවයවලට හානි සිදුවන බවත් වකුගඩු අක්‍රිය වී සංකූලතා ඇතිවීමට හේතු වන බවත්ය.
එමෙන්ම ගැබිනි මවුවරුන් හා කිරි දෙන මවුවරුන් මෙම රූපලාවණ්‍ය ආලේපන භාවිත කිරීමෙන් උපදින දරුවන්ගේ විවිධ ස්නායු ආබාධ මෙන්ම බුද්ධි මට්ටමේ හීනතාවන් ඇතිවන බවට ද වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.
මෙම රූපලාවණ්‍ය ආලේපන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙන්ම නීත්‍යානුකූල අවසරයකින් තොරව ආනයනය කර තොග වශයෙන් රට පුරා බෙදාහැර තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථය පෙරදැරිකර ගෙන මිස මනුෂ්‍යයන්ගේ හෙට දවස ගැන සිතා නොවන බව පැහැදිලිය.
මෙහිදී ශරීරයට අහිතකර රූපලාවණ්‍ය ආලේපන වර්ග 1143ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර වටිනාකම ලක්ෂ දහයක් බව පොලිසිය පවසයි.
මෙම රූපලාවණ්‍ය ආලේපන තොගය අතර වෛද්‍ය නිර්දේශ මත ඖෂධවේදීන් නිකුත් කළ යුතු ඖෂධ තොගයක්ද නීති විරෝධි අයුරින් ආනයනය කර නීති විරෝධී අයුරින් අලෙවිකර ඇති බව ද මෙහිදී අනාවරණය කරගැනීමට නිලධාරීහු සමත් වූහ.
මෙවැනි වැටලීමක් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදු කළ පළමුවන අවස්ථාවද මෙය වන බවට කිසිම සැකයක් නැත. දුටුවන් වශී වන රූපයකට උරුමකම් කීමට පෙලඹෙන කාන්තාවන් නිරන්තරයෙන් මිලදී ගන්නා මෙම අහිතකර රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ කළගෙඩිහේන, මොරටුව හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වන තොග වෙළෙඳුන් සිවුදෙනා සමඟ අත් අඩංගුවට ගත් රූපලාවණ්‍ය තොගයද පිටකොටුව පොලිසියට භාර දීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කටයුතු කළේ ඉදිරි විමර්ශන කටයුතු සඳහාය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ අධීක්ෂණය හා නියෝග අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත, උපපරීක්ෂක රත්නායක, ප්‍රේමසිරි, ජයරත්න, සැරයන්වරුන් වන ජයලාල්, පුෂ්පකුමාර, කාන්තා සැරයන් නයෝමි, කොස්තාපල්වරුන් වන විජේරත්න, බාලසූරිය, උදය කුමාර, අමිල, අෂාන්, ලෝගනාදන්, අකිල, අමිල, දිසානායක, ලක්ෂිත, දිල්ශාන්, නෙරංජන්, අබේකෝන්, ප්‍රනාන්දු, කේ. සුමාරන්, වෙන්මදිරාජා, ජයසේකර, කාන්තා කොස්තාපල්වරියන් වන දිල්කි, දිල්හාරා, දිල්හරා, මෙලනි, රිහාරි, සමිතා, කොස්තාපල් රියදුරු උදාර, උදේශි, මල්ලවාරච්චි, රුද්‍රිගෝ, රත්නායක, සිල්වා යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ