Home » ලංකාවේ පළමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ෆැක්ටරිය හැදූ බණ්ඩාරවෙල අල ගොවියෝ

ලංකාවේ පළමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ෆැක්ටරිය හැදූ බණ්ඩාරවෙල අල ගොවියෝ

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

රි හමන් පාරක් තොටක් නැතිව, කද මලු හිසේ කරේ තබාගෙන හැතැක්ම ගණන් මහ පාරට ඇවිදපු මිනිස්සු හිටි ගමක අල ගොවීන්, ලංකාවේ ප්‍රථම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කර්මාන්තශාලාව හදාවි යැයි කවුරුවත් නොසිතන්නට ඇත. එහෙත් එය එසේම වූයේය. ඒ, බණ්ඩාරවෙල කහත්තේවෙල ගමේ ය.

එපමණක් නොව, 2018 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පළමුවැනි කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය වූයේ ද මේ කහත්තේවෙල ගම්මානයම ය.

මේ කෘෂි ගම්මානයේ ගොවීහු වගාවෙන් ඔබ්බට ඉදිරි පියවරක් තබමින්, SAPP ආයතනයේ සහ රජයේ ද සහාය ඇතිව ගමේ පන්සල හෙවත් ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී එම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කර්මාන්තශාලාව ආරම්භ කළහ.

මෙම ව්‍යාපෘතියට, ක්‍රියාවෙන් කැපවීමෙන්, මඟ පෙන්වීමෙන් සහ අනුශාසනාවෙන් උපරිම සහයෝගය ලබා දුන්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හෙවත් බණ්ඩාරවෙල කහත්තේවෙල, ශ්‍රී සංඝරාජ පිරිවෙණාධිපති කහත්තේවෙල රතනසිරි ස්වාමීන් වහන්සේ ය.

උන්වහන්සේ සෑම විටම ගමේ තරුණ පිරිසට මඟ පෙන්වන පහන් ටැඹ විය.

පහුගිය අවුරුද්දේ දිනෙක කර්මාන්ත ශාලාව විවෘත වූයේ මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයා අතිනි.

ඒ අනුව දැන් මේ කෘෂි ගම්මානයේ ගොවීන්ගේ අර්තාපල් අස්වනු සඳහා අලුත් මානයක් විවර වී තිබේ. හොඳ මිලක් පමණක් නොව, ගමේ අර්තාපල් අස්වැන්න ද Value Added නිෂ්පාදනයක් බවට පත්ව තිබේ.

මෙතෙක් මේ පළාතේ ගොවීන් බීට්රූට්, කැරට්, ලීක්ස්, බෝංචි ඇතුළු බොහෝ එළවළු වර්ග වගා කළත්, ඉදිරියේදී වැඩි වශයෙන් අර්තාපල් වගා කිරීමට ඔවුන් වෙත උත්තේජනයක් ඇති කරන්නට ද, මෙම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කර්මාන්ත ශාලාව ප්‍රබල හේතුවක් බවට පත් ව තිබේ.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් යනු, තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රිය සහ විශාල ඉල්ලුමක් සහිත කෙටි ආහාරයක් වන නමුත් ලංකාවේ අර්තාපල්වලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෑදීමට නොහැකි යැයි මතයක් පවතින පසුබිමක, කහත්තේවෙල අල ගොවීන් එම අභියෝගය ජය ගෙන තිබෙන්නේ රටට ම පූර්වාදර්ශයක් සපයමිනි.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ආනයනය සඳහා සෑම වසරකම ඩොලර් බිලියන ගණනක් අපෙන් පිටරටට ඇදී යන අතර, අල වගා කරන රටක් ලෙස අපිට ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගන්න බැරි ඇයි? යන මතය කහත්තේවෙල ගොවි සමාගම තුළ ගොඩනැඟුවේ, සමාගමේ සභාපති පුෂ්ප නුවන් කොළඹගේ ප්‍රමුඛ සාමාජික ගොවීන් විසින්ම ය. ඔවුන් ඒ සඳහා පිළිතුර සොයා ගත්තා පමණක් නොව, එය ප්‍රායෝගික ක්‍රියාවක් බවට ද පත් කළේ සාමූහිකව ය.

කර්මාන්ත ශාලාව විවෘත කළ දිනයේ මේ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා ද සිය සතුට පළ කර තිබූ අතර, රජයේ සහාය අවශ්‍ය සෑම මොහොතකම ඔවුන්ට ලබා දෙන බවද ප්‍රකාශ කර තිබුණේ ය.

කෙසේ වෙතත් රැකියා සොයා ගමෙන් කොළඹට එන තරුණ පිරිස අතරේ, කොළඹින් බණ්ඩාරවෙල සිය මවගේ ගමට ගිය තරුණයකු වන පුෂ්ප නුවන් කොළඹගේ හෙවත් මංජු, අද මේ දැවැන්ත ව්‍යාපෘතියේ බර සෑහෙන ප්‍රමාණයක් කරට ගත් ‘ජනතා ගොවි සමාගමේ’ සභාපතිවරයා ය. තරුණ ව්‍යවසායකයකු පමණක් නොව, අල ගොවීන් 250ක ගේ ආර්ථිකයට වගකීමෙන් බැඳුණු නායකයා ද ඔහු ය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා, මංජු අම්මාගේ ගමට ගියේ මහා පරිමාණයෙන් එළවළු ව්‍යාපාරවල යෙදෙන රත්නසිරි මාමා ළඟ රැකියාවක් බලාපොරොත්තුවෙනි. මාමා ඔහුට දුන්නේ නැවත අය කර ගන්නා රුපියල් 20,000ක ණය මුදලකි. එතැන තිබුණේ ව්‍යවසායකත්ව පාඩමකි. එතෙකින් නොනැවතුණු ඒ මාමා බොරලන්ද ගමේ එළවළු ගොවීන් ද හඳුන්වා දුන්නේය. ඔවුන්ගෙන් දිනපතා මුදල් ගෙවා එළවළු රැගෙන මාමාගේ ම එළවළු කඩයට කිලෝවකින් රුපියලක දෙකක ලාභයක් තබා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කරන්න යැයි කීවේය. එසේ පටන් ගත් ගමනේ මංජු උපයා සපයා ගත් දේ බොහෝ ය. බණ්ඩාරවෙල තමන්ටම කියා එළවළු එකතු කිරීමේ මධ්‍යස්ථානයක්, සංචාරක හෝටලයක්, ගේ දොර ඉඩකඩම්, වාහන ඇතුළු බොහෝ දෑ ඒ අතර ය.

“ඇත්තටම උසස් පෙළ නිම කරපු තරුණයෙක් විදියට බණ්ඩාරවෙලට ගියාම මට දැනුණා සම්පත් රැසක් තිබෙන පළාතක් බව. මාමා මට දීපු ණය ප්‍රාග්ධනයක් කරගෙන මගේම ව්‍යාපාරයක් ඇරැඹුවා. එළවළු වෙළෙඳාම කරද්දී මම අත්දැකපු දේ තමයි, ගොවියා එළවළු හදනවා. මුදලාලිට දෙනවා. ණය වෙනවා. බේත්, පෝර ටික ගන්නවා. ආයෙත් ණය වෙනවා… ගොඩ ඒමක් නැති ජීවිතයක්.

මේ ගැන අපේ ගොවි සමාගමේ අනුශාසක ස්වාමීන් වහන්සේ එක්ක කතා කළා. හාමුදුරුවන්ට හොඳ දැක්මක් තිබුණා. උන්වහන්සේ තමයි අපේ හැම සංකල්පයක් ම ප්‍රායෝගිකයක් වන තුරු පිටිපස්සෙන් ඉන්න විශාල හයිය. අන්තිමේ අපි බිස්නස් මොඩල් එකක් හැදුවා. එයට අනුව අපේ සංගමයේ ඉන්නේ නිකම්ම නිකන් එළවළු ගොවියො නෙවෙයි, ගොවි ව්‍යවසායකයෝ.

ඒ අනුව ජනතා ගොවි සමාගම කියන්නේ, Public Liability හෙවත් පොදු වගකීමේ සමාගමක්. මම වගේම මේකේ ඉන්න හැමෝම කොටස්කරුවෝ. ගොවි සංවිධානයකින් මේ සමාගම වෙනස් වන හේතුව තමයි, ගොවි සමිතියකට කවදාවත් ව්‍යාපාරයක් කර ලාභාංශ උපයන්නට බැහැ. නමුත් මේක ගොවීන්ගෙන් ම සැදුම් ලත්, ලාභ උපයන ව්‍යාපාර සමාගමක්.

අපේ ගොවීන්ගේ සියලු එළවළු අස්වනු අප වෙත ලැබෙනවා. ලංකාවේ විශාලම සුපර් මාර්කට් ජාලයකට, ශ්‍රී ලංකා කේටරින් සහ යුද හමුදාවට අවශ්‍ය එළවළු බෙදා හරින්නේ අපි. එසේ ගොවීන්ගෙන් ලබා ගෙන බෙදා හරින එළවළු ප්‍රමාණය, මාසයකට ටොන් 50ක් පමණ ලංකාවේ පළමු වැනි අල තීරු කර්මාන්ත ශාලාව අපි ආරම්භ කරන්නේ, අපේ මෙම ගොවි සමාගමේ කොටස්කරුවන්ගේ එකතුවෙන් සහ රජයේ SAPP ව්‍යාපෘතියේ සහයෝගයෙන්. එම ව්‍යාපෘතියේ සභාපතිනිය ආචාර්ය යසන්තා මාපටුන අපේ ගොවි සමාගමට විශාල සහයෝගයක් ලබා දුන්නා. ආධාර මුදල් ලබා දීමෙන් නොනැවතී ITI වැනි උසස් පර්යේෂණ ආයතනයකින් මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගන්නට අප යොමු කළේත් එතුමිය යි. රාජ්‍ය සේවයේ සිටින මෙවැනි හොඳ නිලධාරින් නිස වටිනා ව්‍යාපෘතියක් සාර්ථක කර ගන්නට ලැබුණා. ගමට ආර්ථිකයක් හැදුණා.

අපගේ ගොවීන් සියලු දෙනාගේ අල අස්වනු කිලෝවක් රුපියල් 300ක ස්ථාවර මිලකට මිලදී ගන්නට මෙම ව්‍යාපෘතිය ඔස්සේ අප ඔවුන් හා ගිවිසුමකින් බැඳී සිටිනවා.

දැනට සාමාන්‍ය වෙළෙඳපොළට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගෙන්වන්නේ ඉන්දියාවෙන් සහ නෙදර්ලන්තයෙන්. අල තීරු ගෙන්වීම සඳහා වාර්ෂිකව පිට රටට වැය කරන මුදල ඩොලර් මිලියන 21ක් පමණ වනවා. නමුත් අපිට පුළුවන් ලංකාවේ හොඳම අලවලින් හදන ඉස්තරම් ම කොලිටියේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, තරු හෝටල් සහ ඉහළ පෙළේ අවන්හල් සඳහා ලබා දෙන්න පුළුවන්. දැනටමත් ශ්‍රී ලංකන් කේටරින් ආයතනය අපගේ මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, මිලදී ගන්නවා.

අපේ රටේ සීත පළාත්වල සනීපෙට වැවෙන ග්‍රුනෝලා ප්‍රභේදයේ හොඳම අර්තාපල් අස්වනු ලැබෙද්දී, නිකරුණේ විදේශ විනිමය පිට රටට වැය කරන්න අවශ්‍ය නැහැ.

මේ ව්‍යාපෘතියේ දී අප ඉලක්ක කරන්නේ ඉහළ වෙළෙඳපොළයි. නමුත් අර්තාපල් ගෙඩියේ දෙපැත්තෙන් ඉතිරි වන දිගින් අඩු අල තීරු, බේකරි කර්මාන්තයට අවශ්‍ය පිරවුම සඳහාත්, කුඩා ව්‍යවසායකයින් සඳහාත්, අප ලබා දෙනවා. එවිට ඔවුන් ව්‍යාපාරයක් ලෙස එම අල තීරු බැද අලෙවි කරනවා.

මෙම ව්‍යාපෘතිය තුළ මාසෙකට අල තීරු ටොන් 30ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව අප සතුයි. එමෙන්ම, අල අස්වනු හිඟ කාලයට අවශ්‍ය අල තීරු කලින් සකස් කර ශීත ගබඩාවල තබා ගන්නටත් අප සැලසුම් කර තිබෙනවා. මොකද, සකස් කළ අල තීරු වසර දෙකක් කල් තබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම අල තීරු බැදීමෙන් පසුව එන වර්ණය, සුවඳ සහ ක්‍රිස්පි ගතිය පිටරට අල තීරුවලටත් වඩා උසස් බවට සූපවේදීන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් රටක් හැටියට ඇයි තවමත් ආනයනය මතම යැපෙන්නේ. දේශීය දේ මිලදී ගත්තොත් පමණයි කර්මාන්තයක් හැදෙන්නේ. අල ගොවියා දියුණු වෙන්නේ. අල තීරු විතරක් නෙවෙයි, ඔබ දේශීය අල කිලෝවක් මිලදී ගත්තත් ඒ සල්ලි එන්නේ ගමට. ගොවියාට. එයින් ගමේ ආර්ථිකය හැදෙනවා. මේ රටේ පුරවැසියන් තේරුම් ගන්න ඕනේ යථාර්ථයත් මේකයි.

නමුත් අපගේ අල ගොවීන් මුහුණ පෑ ඉතා කනගාටුදායක සිදුවීමක් තිබෙනවා. එනම් අප දන්නා කාලයේ පටන් මේ පළාතේ අල ගොවීන් තමන්ගේ බීජ අල ටික නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය වගාව සිදු කළේ බණ්ඩාරවෙල දියතලාවේ, යුද හමුදා ඉඩමකට අයත් ‘නරියා කන්දේ’ පහළ කොටසේ. එය ඔවුන් හඳුන්වන්නේ ‘කඳු කන්නය’ නමින්. මෙම කන්දේ පාරිසරික දේශගුණික සහ පසේ තිබෙන ගුණාත්මකභාවය, හොඳ බීජ අල නිෂ්පාදනය සඳහා තෝතැන්නක්. නමුත් දැන් එම ඉඩම් යුද හමුදාව අත්පත් කරගෙන. ඒ, වතුර බට සහ බීජ වගාව පිටින්ම. ගොවිතැන අහිමි වූ ගොවීන් 200කට ආසන්න පිරිසක් මේ නිසා අනාථ වී තිබෙනවා.

ඇත්තටම නිකම් කැලෑව බෝ කරගෙන තිබෙනවාට වඩා මේ අල බීජ ටික හදාගන්න අවශ්‍ය වන්නේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස 4ක කාලයක් පමණයි. ඒ මාස 4ට පමණක් වත්, ගොවීන්ට බීජ අල ටික වගා කරගන්න අවස්ථාව දෙනවා නම් ලොකු දෙයක්.

මහපොළොව තිබිය දී, අවශ්‍ය පරිසර සාධක තිබිය දී, සාර්ථක බිමක් කැලෑවක් බවට පත් වන්නට ඉඩ දී, වාර්ෂිකව පිටරටින් ඩොලර් බිලියන ගණන් වැය කොට බීජ අල ගෙන්වන එක මොන තරම් අපරාධයක් ද?

මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එකකට එකක් බැඳුණු මේ සියලු දේවල් සාර්ථක කරගන්න පුළුවන් නම් රටට ම වුණත් අවශ්‍ය අල තීරු නිෂ්පාදනය කරන්න අපේ ගොවි ජනතාවට පුළුවන් වේවි.

ඇත්තටම අපේ සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් ලක්ෂ 670ක්. දැනට ලක්‍ෂ 550ක වැඩ අවසන්. අපේ ව්‍යාපෘතිය 100%ක් සම්පූර්ණ වූ විට SLS සහිත ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීමේ හැකියාව තිබෙනවා. දැනටමත් පිටරටින් ගෙන්වන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලට ප්‍රමිති සහතිකයක් නැහැ.

අපේ ගොවීන් උදේ ගලවන අල හැන්දෑ වෙද්දී කර්මාන්තශාලාව තුළ ඉතා නැවුම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් බවට පත් වනවා. නැවුම් දේශීය අර්තාපල්වලින් හදන මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දරුවන්ගේ පටන් ඕනෑම පුරවැසියකුට බය නැතුව ආහාරයට ගන්න පුළුවන්. ඇත්තටම මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගත්තේ Industrial Technology Institute හෙවත් ITI ආයතනයෙන්. මේ සඳහා එම ආයතනයේ ආචාර්ය තාරක ගුණවර්ධන ඇතුළු කණ්ඩායම අවුරුදු තුනක් පර්යේෂණ කළා. ඇත්තටම ක්‍රිස්පි ගතිය සෑහෙන වෙලාවක් පවතින සහ සෑම අල කූරක්ම හොඳින් රන් පැහැ ගැන්වෙන සහ සුවඳ රැඳෙන ජාත්‍යන්තර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ප්‍රමිතියට ලංකාවේ ග්‍රැනෝලා ප්‍රභේදයේ අලවලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගන්න විදියයි, ඔවුන් පර්යේෂණ කළේ. ඉන් පස්සෙයි අදාළ යන්ත්‍ර සූත්‍ර ඔවුන් අපට නිර්දේශ කළේ.

ඒ විතරක් නෙවෙයි, අපේ තරුණ පිරිස මේ සඳහා වැඩ පටන් ගන්නේ පාන්දර තුනට. මොකද, ඉහළ යන අධික විදුලි බිල ඉදිරියේ අපිට විශාල කැප කිරීම් කරන්නට සිදු වනවා. peak hours නොවන මහ පාන්දර තුනේ පටන් ඔවුන් නිදි වරාගෙන වැඩ කරන්නේ ඒ නිසා.

ඇත්තටම අපේ ගොවි ව්‍යවසායකයන් අතර හොඳ තරුණ කණ්ඩායමක් සිටිනවා. මේ ඇතැම් අය ලැබුණු රජයේ රැකියා අවස්ථාද අත්හැර ගම නඟන මේ වැඩේ එක්ක හිටියා. ඒ අතරින් චානක සම්පත්, ලක්මාල් යාපා, ලක්ෂිත ශ්‍රීමාල් සහ සාලිය ඒකනායක යන මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු මුල පටන්ම එක වගේ කැපවීමෙන් මහන්සියෙන් මේ වෙනුවෙන් වැඩ කළා.

කෘෂිකර්ම අමාත්‍යතුමා සහ ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ, දියුණු කළ හැකි දේශීය කර්මාන්තයක් අප සතුව තිබියදී එය වැටෙන්නට දෙන්න එපා! ආනයනය කරන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සඳහා බදු යම් ප්‍රමාණයක් වැඩි කරන්න සහ දේශීය කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කර දෙන්න කියන එකයි. මොකද මේ ලංකාවේ පළමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් නිෂ්පාදන කර්මාන්ත ආයතනය. මේ කර්මාන්තයෙන් එක මුදලාලි කෙනෙක් පොහොසත් වෙන්නේ නැහැ. මුළු ගමක් පළාතක් නඟා සිටුවන ව්‍යාපෘතියක් මේ.

මේ ලැබෙන ධෛර්යයත් එක්ක අපි තව නොබෝ දිනකින් පොටේටෝ වෙජස්, ෆ්‍රෝසන් බ්‍රොකලි, ෆ්‍රෝසන් කෝලි ෆ්ලවර්, ෆ්‍රෝසන් කැරට් නිෂ්පාදනය සහ අයිස් කියුබ් ව්‍යාපෘතිය ආරම්භ කරනවා. මේ සියල්ල තුළින් අපි බලාපොරොත්තු වන්නේ හැමදාමත් ණය වෙන ගොවියා, හොඳ ගොවි ව්‍යවසායකයකු දක්වා ඉහළට ඔසවා තැබීමයි…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division