– රොනී මල්ලිකා යුවළ විජය චන්ද්‍රිකාගේ ගෙදර කෑමට යනවා
– පොඩිම තැනක ඉඳලා ප්‍රේමදාස ජනපති වීම ගැන රොනී පුදුම සතුටක් ලැබුවා
– විජේවීරගේ මල්ලිට මහජන බැංකු ජොබ් එක දුන්නේ රොනී
– ප්‍රේමදාස රොනීව මරණ බයට රොනීට රැකවරණය දුන්නේ රජිව් ගාන්ධි
රොනී – පනී මේ හැට හැත්තෑව දශකයේ පුවත්පත්වල ශීර්ෂ පාඨ අතරින් කැපී පෙනෙන ඒවාය. රොනී ශ්‍රීලනිපයට පැන්නත් – යූඇන්පීයට පැන්නත් ආයෙත් ශ්‍රීලනිපයට පැන්නත් කොයි පැත්තට පැන්නත් රොනී අතහැර පැන නොගිය පුද්ගලයෙක් රොනීගේ මරණය තෙක් වසර 50කට ආසන්න කාලයක් සිටියේය. ඔහු නමින් කේ.එච්. විල්ෆ්රඩ්ය.
“මම උපන්නේ දෙවිනුවර ආසනේ. නිල්වැල්ල කියන ගමේ. මම 1973දි කැලණිය විද්‍යාලංකාර මණ්ඩපයට ඇතුල් වුණා. ඒ කියන්නේ අද කැලණිය විශ්වවිද්‍යාලය.”
විල්ෆ්‍රඩ්ගේ බැච්මේට්ලා නොහොත් සමකාලීනයන් වූයේ ඉමිතියාස් බාකිර් මාකාර්, මාලේවන සෝභිත, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ මහාචාර්ය කමල් වලේගොඩ ආදීන්.
එතකොට රොනී අඳුරගන්නේ කොහොමද?
“මම 1975දි UNP යේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට තරග කළා. මම දිනුවා. ඒක ‘දිනමිණ’ පත්තරේ දැම්මා කරුණාසේන කොඩිතුවක්කු. ඒක දැකල රොනී මට කැම්පස් එකට ටැලිග්රෑම් එකක් එව්වා. චාල්ස් ඩ්‍රයිව් ගෙදරට එන්න කියලා. ඒ කාලේ මෝබයිල් තියා ටෙලිෆෝන් තිබ්බෙත් අඩුවෙන්”
චාල්ස් ඩ්‍රයිව් පිහිටි රොනීගේ ගෙදරට ගිය විල්ෆ්‍රඩ්ව රොනී පිළිගත්තේ උණුසුම්වය.
“සහෝදරයා මට ඉතා සන්තෝෂයි දෙවිනුවර ආසනේ කෙනෙක් සරසවියේ ශිෂ්‍ය සංගමයක සභාපති වූ එක ගැන. මාත් එක්ක දේශපාලන වැඩට එන්න.”
දැඩි වාමාංශිකයකු වූ රොනී ද මැල් ජේ.ආර්. ගේ 77 යූ.ඇන්.පීයට එක්වූ කතාව ද අමුතුය.
1970 සමගි ආණ්ඩුවෙන් රොනීට තැනක් හම්බ වුණේ නෑ. දවසක් විපක්ෂ නායකයින්ට ඉන්දියන් තානාපති කාර්යාලයේ රැස්වීමක් තිබ්බා. ජේ.ආර්. එතැනදි රොනී ළඟට ඇවිත් පිටට තට්ටු කළා.
“රොනී අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු කිව්වා.” ඔයාට ශ්‍රී ලංකා එකේ තැනක් නෑ නේද කියලත් ඇහුවා.”
“ජේ.ආර්. කිව්වා රොනීගේ උගත්කමට, බුද්ධියට, දක්ෂකමට ගැළපෙන තනතුරක් UNP යේ දෙනවා කියලා. අපි දෙවිනුවර සංවිධාන 450ක් හැදුවා. කාන්තා සමිති, සඟ පෙරමුණ, ශිෂ්‍ය සංවිධාන, ධීවර සංවිධාන ඒකට ඇතුළු වුණා.”
රොනී ද මැල් දෙවිනුවර ආසනයේ මුල්ම දැවැන්ත රැළිය පවත්වා ඇත්තේ තලල්ලේය. ඒ දැවැන්ත රැළියේ රොනී ද මැල් පැය 2ක් අඛණ්ඩව කතාවක් පැවැත්වූයේ 77 මැතිවරණයේදී ප්‍රධාන කථිකයන් 10 දෙනාගෙන් ප්‍රධානම කථිකයා වූයේ රොනීය. ජේ.ආර්. රැස්වීමට ප්‍රථම රොනීට කියන්නේ මෙසේය.
රොනී යූ ආර් ද ෆස්ට් බැට්මන් (ඔබ තමයි ආරම්භක කථිකයා) කීය.
77 මැතිවරණයේදී රොනී බණ්ඩාරනායක පවුල පතුරු ගසන ලදි. 77 නව රජය පිහිටුවීමෙන් පසු මුදල් ඇමැති ලෙස විවෘත ආර්ථිකය හඳුන්වා දීමට භාර දෙන ලද්දේ රොනීටය.
එතකොට වෙළෙඳ ඇමැති ලලිත් ඇතුලත්මුදලි විවෘත ආර්ථිකය හඳුන්වල දෙන්න සමහර අණපනත් අශෝධි කරන එක ලලිත් මඟ හැරීය. මාස 3න් රොනී විවෘත ආර්ථිකය හඳුන්වල දෙන්න සූදානම් කළත් ලලිත් අණපනත් වෙනස් නොකිරීම ගැන ජේ.ආර්. ට පැමිණිලි කරන ලදි. ජේ.ආර්. වහාම ලලිත්ව තම නිවෙසට කැඳවන ලදි.
“ලලිත් දැන් මේ පනත් ටික අහෝසි කරන ගැසට් එකට අත්සන් කරන්න ඕන නැත්නම් අස්වෙලා ගෙදර යන්න පුළුවන්. මං ගාව අස්වීමේ ලියුම තියෙනවා. දිනේ දාන්න විතරයි තියෙන්නේ.”
කලබල වූ ලලිත් ඒ වෙලේම සියලු ගැසට්වලට අත්සන් තැබුවේ රොනී සහ විල්ෆ්රඩ් ඉදිරියේ.
“ලංකාවට විවෘත ආර්ථිකය ගේනකොට ඉන්දියාවෙත් නෑ. රොනී කිව්වේ මේකේ අඩුපාඩු කාලයත් එක්ක කළමනාකරණය කරගන්න ඕන කියලා. ඒකනේ චන්ද්‍රිකා 93දි කිව්වේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා.”
විල්ෆ්රඩ් කියන්නේ ජනාවාස කොමිසම හරහා චන්ද්‍රිකා – රොනී සමඟ දැඩි මිත්‍රත්වයක් පැවති බවය. රොනී ඇමැතිතුමා විජය චන්ද්‍රිකා යුවළත් එක්ක දැඩි මිත්‍රත්වයක් තිබුණා. මල්ලිකා මැඩම් එක්ක පොල්හේන්ගොඩ විජයගේ ගෙදර කෑමට එහෙමත් යනවා.”
මේ අතර 1981 දි ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන ජයග්‍රහණය අත්කර ගත්තේය. ඉන්පසු 1983 ජාතිවාදි කෝලාහලයයි. ඉන්පසු කරළියට ජනමත විචාරණය නොහොත් ලාම්පු කළගෙඩි සෙල්ලමය.
“රොනී ඇමැතිතුමා ජනමත විචාරණයට කෙළින්ම විරුද්ධ වුණා. එතුමා කිව්වේ මහ ඡන්දයක් කියන්න කියලා. දෙවිනුවර ලාම්පුවට ඡන්දය දෙන්න ගහපු පෝස්ටර්වල මුද්‍රණකරු ලෙස කිව්වේ ‘කේ.එච්. විල්ෆ්රඩ් වන මා විසින් බෙදා හරින ලදි කියලා’ ජනමත විචාරණයෙන් දෙවිනුවර ආසනය පරාද වුණා.” ජේ.ආර්. තීරණය කළා දුෂ්කර පළාතක් වෙච්ච බුලත්සිංහලට රොනීව දාන්න. එතකොට හිටිය මන්ත්‍රි ඕ.එස්. පෙරේරා”
මේ වන විට විජය කුමාරතුංගට බන්ධනාගාරගත වන්නට සිදුවිය.
“ජේ.ආර්. විජයට නැක්සලයිට් ලේබලය ගැහුවත් විජය – චන්ද්‍රිකා – මැතිනිය – අනුර එක්ක ඇමැතිතුමා සමීපව ආශ්‍රය කළා.”
“එතකොට රොනී ද මැල් විජේවීරත් එක්ක තිබ්බ සම්බන්ධය මොකක්ද?” මම විල්ෆ්රඩ්ගෙන් අසා සිටියෙමි.
“77 ඡන්ද වැඩිකර ගන්න ක්‍රමයක් ජේ.ආර්. රොනීගෙන් ඇහුවා. හිරේ ඉන්න රෝහණ විජේවීරව නිදහස් කරන්න පොරොන්දු වෙනවා නම් ඒ ඡන්දත් අරන් දෙන්නම් කියලා රොනී කිව්වා.”
පසුකලෙක රෝහණ විජේවීරගේ මල්ලිට මහජන බැංකුවේ රැකියාවක් පවා රොනී ලබා දී තිබුණි.
බන්ධනාගාරගත රෝහණ විජේවීර සමඟ සබඳතා පවත්වා ඇත්තේ මල්ලිකා ද මැල්ය. රෝහණ විජේවීරගේ නංගි කොළඹ පැමිණිවිට නවාතැන්ගෙන ඇත්තේ රොනීගේ චාල්ස් ඩ්‍රයිව් නිවසේය.
රෝහණ විජේවීර බන්ධනාගාරයෙන් නිදහස ලබන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් ගත් පියවර නිසාය. බන්ධනාගාරයෙන් එළියට එන විජේවීරව බලාපොරොත්තුවෙන් රථයට වී සිටියේ මල්ලිකා ද මැල්ය. විජේවීරව මල්ලිකා මැඩම් කෙළින්ම එක්කගෙන එන්නේ තම නිවෙසටය.
“රොනී ඇමැතිතුමා විජේවීරට දවල් කෑමක් ලෑස්ති කරල තිබ්බා. විජේවීරගේ අවශ්‍යතා බලන්න කියල ඇමැතිතුමා කිව්වා ‘විස්කි’ ෂොට් එකක් කෑමට කලින් ඕනෑද අහන්න කියලා. ඒත් විජේවීර ඒක ප්‍රතික්ෂේප කළා.”
රොනී සමඟ සිටි මේ සදාකාලික ලේකම්වරයා කියන්නේ රොනී මුදල් ඇමැති යුගයේ දෙවුන්දර විශේෂයෙන්ම උපාධිධාරින්ට රජයේ රැකියා, කස්ටම්, බැංකු, මුදල් අමාත්‍යාංශ ඇතුළුව 25,000කට වඩා ලබාදුන් බවය. එමෙන්ම ඊටත් වඩා රජයේ රැකියා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බුලත්සිංහල ආසනයටය.
රොනී සහ උපාලි විජයවර්ධන සමඟ තිබූ විරසකය ගැනද විල්ෆ්රඩ්ගෙන් අසන්නට අමතක කළේ නැත.
“උපාලි රුහුණ උදානය කියලා දැවැන්ත ව්‍යාපෘතියක් පටන්ගත්තා. රොනී ඇමැතිතුමා H.R. විජේසිරි රුහුණු උදානය බල රහිත කරන්න භාර දුන්නා. අපි බැහැල වැඩකළා. අන්තිමට රුහුණ උදානය පුස්සක් වුණා.”
විල්ෆ්රඩ් පවසන්නේ මහ කොළඹ ආර්ථික කොමිසමේ සාකච්ඡාවලට එහි සභාපතිවරයා ලෙස උපාලි විජේවර්ධන පැමිණි බවය.
“මොනා කළත් උපාලිට ජේ.ආර්. ගේ මස්සිනා නිසා ලොකු බලයක් තිබ්බා. ඒ මොනවා වුණත් මුදල් ඇමැතිගේ නිර්දේශය ගන්න රොනී ඇමැතිතුමා හම්බවෙන්න ඕන. මං තුන් සැරයක් දැකල තියෙනවා. උපාලි එනවා.”
ජනමත විචාරණය ගැන රොනී සිටියේ බලවත් අප්‍රසාදයෙනි. 1987 දි මහජන බැංකු නිලධාරින් විසිරයාමේ උලෙළකදී රොනී මෙවැනි කතාවක් කරන ලදි.
“මම හෘද සාක්ෂියට එකඟව කියන්නේ අපි ජනමත විචාරණය නොතිබ්බා නම් හොඳයි. ඒකෙන් අපේ පක්ෂයට ලොකු හානියක් වුණා.”
පසුදින පුවත්පත් රොනීගේ මේ කතාව අත දිගහැර පළකොට තිබුණා. වහාම රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රොනීගේ එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස දැන්වුවත් රොනී එය ප්‍රතික්ෂේප කරන ලදි.
“ප්‍රේමදාස, ගාමිණි, ලලිත්, හමීඩ් ගෙදරටම ඇවිල්ල කිව්වා ප්‍රකාශය අස්කරගන්න බැරිනම් කනගාටුව ප්‍රකාශ කරන්න කියලා. ඇමැතිතුමා බෑ කිව්වා. ඇමැතිතුමා 1988 ජනවාරි 18 වැනිදා ඉඳන් ස්වාධීන මන්ත්‍රිවරයෙක් වුණා.”
අන්තිමට එජාපය විනය පරීක්ෂණයක් පවත්වන්න ගියවිට රොනී පක්ෂ මන්ත්රිකමෙන් ද ඉල්ලා අස්විය.
මේ අතර ජනාධිපතිවරණ සටනට ආර්. ප්‍රේමදාස එජාපය තෝරාගන්නේ මේ අතරය. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලත් සැණින් ප්‍රේමදාස කතා කළේ රොනීටය. ඇමතුම ගත් මල්ලිකා මැතිනිය RP ට (රණසිංහ ප්‍රේමදාස) කතා කරන්න අවශ්‍ය බව රොනීට දැන්වීය.
“මට එයත් එක්ක කතාවක් නැහැ. කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ.” රොනී පැවසීය.
පසුව එළඹෙන්නේ ආර්. ප්‍රේමදාස සහ සිරිමාවෝ බණ්ඩාරනායක ජනපතිවරණ සටනයි. සිරිමාවෝගේ ජනපතිවරණ සටනේ ප්‍රධාන කථකයා වූයේ රොනී ද මැල්ය. බණ්ඩාරවෙල රැස්වීමට මෙන්ම සීවී ගුණරත්නගේ රත්මලාන රැස්වීමට ද රොනී කතාකරන විට වෙඩි වරුසාවක් එල්ල විය.
“රොනී ඇමැතිතුමා UNP ය විවේචනය කළත් පුද්ගලයින් විවේචනය කළේ නැහැ.” විල්ෆ්රඩ් කීය.
“එතකොට ජේ.ආර්. එක්ක මොනවගේ සම්බන්ධයක් ද තිබුණේ?” මම අසා සිටියෙමි.
ඔය කියන කාලේ වෙනකොට ලලිත් – ගාමිණි පක්ෂය කඩන් ගිහින් රොනී රට ගියාම ජේ.ආර්.ට ගේනවා අඩි 2ක විතර ඩයබිටික් චොකලට් එකක්. ජේ.ආර්. පිජාම එක පිටින් නිදාගෙන හිටියත් මං ඕක ගෙනිච්චොත් ඇහැරිලා එනවා.”
එසේ JR ට රොනීගේ චොකලට් දෙන්න ගියවිටක විල්ෆ්රඩ් JR ගෙන් අසා සිටියේ ගාමිණි හා ලලිත්ගේ දේශපාලන ඉරණම ගැනය.
“ඒවා ඔය ළමයාට වුවමනා නැහැ!”
ජේ.ආර්. පැවසීය. මේ කතාව අසා රොනී මල්ලිකා යුවළ හිනාවුණේ උඩ පනිමින්ය. මේ වනවිට රොනී සිටියේ එංගලන්තයේය. ලලිත්, ගාමිණි රාජාලිය පත්තරය මුද්‍රණය කළවිට එය ප්‍රේමදාස ජනපතිගෙන් බේරාගන්නට සඟවා තබා ඇත්තේ රොනීගේ ගෙදර ලිෆ්ට් එකේය.
“දැන් ඔය රොනී රට පැන්නේ කොහොමද?”
“ප්‍රේමදාස ජනාධිපතිවරණය දිනාගෙන එනකොට ජේ.ආර්. බයවුණා. රොනිව මරයි කියලා උදේ තුනට රොනී එයාර්පෝට් ගියා. රජිව් ගාන්ධි ගාවට තමයි ගියේ ඉන්දියාවේ.”
ඉන්පසු රොනී ටික කලකින් ලන්ඩනයේ තම දියණියගේ නිවසට පදිංචියට යන ලදි. රෝහණ වීජේවීර ඝාතනය කළ අවස්ථාවේ රොනී දැඩි ලෙස කනගාටුවට පත්විය. “පුරවැසියකුට ඇති අයිතිවාසිකම් විජේවීරටත් තියෙන්න ඕන. මේ අමානුෂික ඝාතනය මම අනුමත කරන්නේ නැහැ.” රොනී විල්ෆ්‍රඩ්ට පැවසීය.
ප්‍රේමදාස ජනපති වීමෙන් පසු රොනී මුදල් ඇමැති කාලේ රාජ්‍ය මුදල් අවභාවිතය ගැන නඩු පවරන ලදි. රොනී වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් වූයේ නිමල් සිරිපාල සහ ලසන්ත වික්රමතුංගය. මහා භාණ්ඩාගාරයේ රජයේ සාක්ෂිකරු අධිකරණයේ පවසා ඇත්තේ රොනී ඇමැති කාලයේ ලබාගත් සියලු මුදල් රිසිට්පත් සමඟ හිඟ මුදල පියවා ඇති බවය. අවසානයේ නඩුවෙන් ජනපති ප්‍රේමදාස පරාද බවට නඩු තීන්දුව නිකුත් කරන ලදි. විල්ෆ්‍රඩ්ට සන්තෝෂය වැඩිකමට අත්පුඩියක් ගැසීම නඩුකාරයාගේ අවධානයට යොමුවිය.
“මං මීටර් 500ක් දිව්වා. IDD Call එකක් ගන්න. ඒ කාලේ මොබයිල් නැහැ.”
“සර් ටී.බී. වීරසූරිය නඩුකාරතුමා ඔබතුමාව නිදොස් කොට නිදහස් කළා.” විල්ෆ්රඩ් එංගලන්තයේ සිටි රොනීට කියාගෙන කියාගෙන ගියේය.
එවර රොනී විල්ෆ්‍රඩ්ට අභියෝගයක් ද භාර දුන්නේය.
“විල්ෆ්රඩ් මං ලංකාවට එනවා හැබැයි මිනිස්සු 25,000ක් එයාර්පෝට් එකට එක්කං එන්න අභියෝගෙ භාර ගන්නවා නම්.”
“සර් මං අභියෝගෙ භාර ගන්නවා. ඉස්සෙල්ල මැඩම්ව එවන්න සංවිධාන කටයුතුවලට.” විල්ෆ්රඩ් පැවසීය.
ඉන්පසු රොනී නැවත ලංකාගමනය ගැන දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක විය. මාතර හා කළුතර දිස්ත්‍රික්ක ඉන් ප්‍රධාන විය.
‘රොනී දෙසැම්බර් 18 ලංකාවට’ තේමාව විය. හතළිස් දහසකට අධික ජනකායක් රොනී පිළිගන්නට ගුවන්තොටුපළ රොද බඳින්නට විය. විවෘත වාහනයකින් පැමිණි රොනී ඔසවාගත් ආධාරකරුවන් චාල්ස් ඩ්‍රයිව් ගෙදරට රොනී ඇතුළු කළේ ඔසවාගෙන විත් ගේට්ටුව උඩිනි. හවස රොනී රටපුරා තම රථයෙන් විල්ෆ්රඩ් සමඟ ගමන් කරමින් තමන්ට ජනතාව අලවා තිබූ පෝස්ටර් බලා සන්තෝෂ විය.
මේ අතර ප්‍රේමදාස ජනපති සමඟ නැවත රොනී සම්බන්ධතා ගොඩනඟා තිබුණේ එංගලන්තයේ සිටි පිංසිරි හරහාය. එහෙත් ලංකාවට පැමිණි රොනීට කිසිදු දේශපාලන හව්හරණක් හෝ තනතුරක් නොදී අවලංගු කාසියක් බවට පත්කරන්නට ජනපති ප්‍රේමදාස සටකපට විය. තම ඡන්ද රජදහන වූ බුලත්සිංහලට ගිය රොනී ඇතුළු පිරිසට බුලත්සිංහල එවකට මන්ත්‍රී වූ සරත් රණවක ඇතුළු පිරිසගේ මැර ප්‍රහාර හමුවේ මිනීමැරුම් පවා සිදුවිය. ඒ ගැන කලකිරුණු රොනී 2003 දී ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය.
මහින්ද රාජපක්ෂ ජනපති වූ යුගයේ මුදල් හා ආර්ථික කටයුතු උපදේශක ධුරයක් රොනීට ලබාදෙන ලදි. එහෙත් තනතුර රොනීට ඇල්ලුවේ නැත.
“විල්ෆ්රඩ් මේ මට රස්සාවක් වැඩක් නෑ. මගෙන් මොන උපදේශයක්වත් ගන්නේ නෑ. මෙන්න මේ අස්වීම මහින්දට දෙන්න” කියූ රොනී නැවත ලන්ඩන් බලා පිටත්විය.
“විල්ෆ්රඩ් අපේ ගෙදර ඉඳන් මගේ වැඩ කරන්න. මම පඩි ගෙවනවා.” රොනී විල්ෆ්‍රඩ්ට කීය.
නැවත ලංකාවට පැමිණි රොනී නිදහසේ තම නිවසට වී කාලය ගත කළේය. රනිල්, මහින්ද, චන්ද්‍රිකා, දිනේෂ් ආදී කවුරුත් රොනී බලන්නට නිවසට ආ ගිය වාර අනන්තය.
2019 දි ඇමැතිතුමාට ඇවිදින්න අමාරු වුණා. අපි වීල් චෙයාර් එකක් අරන් දුන්නා.”
“2019 දි චානක සිල්වාගේ නෝනාගේ මළගෙදර ගිහින් ආවෙත් මාත් එක්ක.”
“විල්ෆ්රඩ් මං මළාම යුරෝපීය ඇඳුම් අන්දන්න එපා. සුදු නැෂනල් එක අන්දන්න, පිට්ටනි, නගරශාලාවල මිනිය ප්‍රදර්ශනය එපා, රුහුණු විශ්වවිද්‍යාලයේ ආදාහනය කරන්න.”
තම අවමඟුල් කටයුතු ගැන සාකච්ඡාවට රුහුණු සරසවියට ගිය විට උපකුලපතිවරයා රොනී මහත් හරසරින් පිළිගන්නා ලදි.
ගමනට එක් වූයේ රොනී, විල්ෆ්රඩ්, තාරා දුව හා බෑනා පමණි.
තම සිරුර තැබිය යුතු තැනට රොනි ගියේ හැරමිටිය ඇන ඇනය.
“මෙතැන මගේ බොඩි එක තියන්න වටේට සුදු රෙදි කවර දාපු පුටු තියන්න. මේ පැත්තෙන් තමයි රථ පෙරහැර එන්න ඕන ඉර අව්ව වැටෙන්නැති විදියට හට් ගහ්න VIP කට්ටිය, හාමුදුරුවන්ට, දේශපාලකයන්ට, පවුලේ ඥාතින්ට හිතවතුන්ට වෙනම වෙනම හට් ගහන්න. විල්ෆ්රඩ් පාලන සභාවේ අනුමැතිය ලිඛිතව අරන් මට ගේන්න.” රොනී පැවසීය.
ඉන් පසු රොනී තම අන්තිම කැමැත්තට ලිඛිතව අත්සන් තැබීය. අන්තිම කැමැත්ත අනුව කතා පැවැත්විය යුතු අයට ආරාධනය කොට ඇත්තේද රොනී ද මැල් විසින්මය.
මුලින්ම ගියේ මංගල සමරවීරට ආරාධනා කරන්න. මගේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් මංගල කතාව පවත්වන්න ඕන කියලා කිව්වා.
ඊට කලින් මගේ මළගෙදර ඔබතුමාට කතාවක් කරන්න වෙයිද දන්නෑ කියලා විහිළුවකුත් කළා. දෙන්නාම හිනා වුණා. කිව්ව වගේම මංගල කලින් මළා. මංගල නැතිවුණ නිසා මම ඩලස්ට කතාවට දැන්මා. මහින්ද රාජපක්ෂට කතාව භාරදුන්නාම “රොනී අයියේ මං ජීවතුන් අතර හිටියොත් කතාව කරනවාමයි කිව්වා.”
එතකොට දිනේෂ් ඇමැතිට කතාව පැවරුවේ කොහොමද? මම විල්ෆ්රඩ්ගෙන් අසා සිටියේය.
“දිනේෂ් ඔයාගේ තාත්තා මගේ දේශපාලන ගුරුවරයා තාත්තා නියෝජනය කරන්න මගේ අවමඟුලේ කතාවක් කරන්න කිව්වා”
“සර් අනිවාර්යෙන්ම ඔබතුමාගේ ඉල්ලීම හදවතින්ම පිළිගන්නවා. ලංකාවේ කොහේ හිටියත් එනවා කතාවක් පවත්වන්න කියලා දිනේෂ් කිව්වා.
ඊට පස්සේ සජිත් ප්‍රේමදාසටත් කතා කරලා ඔං මැරුණදාට මාතර ගෙනියනවා. අවමංගල්‍ය උත්සවයේ කතාවක් කරන්න කිව්වා”
එතකොට වත්මන් ජනාධිපති රනිල්ට ආරාධනා කළේ කොහොමද? ප්‍රශ්නයට විල්ෆ්රඩ් පිළිතුරු දුන්නේ මෙසේය.
ෆිෆ්ත් ලේන් ගෙදරටම ගියා රනිල් හම්බවෙන්න.
“මං මැරුණාම ආදහනය රුහුණු විශ්වවිද්‍යාලයේදී අවමඟුල් උත්සවයේ රනිල් කතාවක් කරන්න ඕනෑ.
“මම හිටියොත් එනවා. ඇවිල්ල කතාවකුත් කරනවා කියලා රනිල් කිව්වා.
මං මළ දවසක රනිල් ජනාධිපතිවරයෙක් වශයෙන් කතාවක් පවත්වනවා නම් මං කැමතියි කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. ඔය ආරාධනය කරන කොට රනිල් මන්ත්‍රි කෙනෙක් විතරයි. විල්ෆ්රඩ් රොනිගේ මරණය සිදු වු ආකාරය සිහිපත් කළ ආකාරයද අමුතුය.
“අන්තිම දවස් තුනේ ඇමැතිතුමාට කන්න බැරි වුණා. එතුමාට ප්‍රතිකාර කළේ බන්දුල විජේසිරිවර්ධන වෛද්‍යවරයා. ඒත් අන්තිමට හොඳ වුණා. දැඩි සත්කාරයේ හිටියේ හොඳට කථා කළා දොස්තර කිව්වා වෙහෙස හින්දා කතා කරන්න එපා කියලා. ඇමැතිතුමාගේ දුව ටාරා ගංගාරාමයේ බෝධි පූජාවක් තිබ්බා.
මමත් ඒ වේලේම බත්තරමුල්ල මයුරපාද පිරිවෙනේ ඖෂධ පූජාවක් තිබ්බා. රොනී ඇමැතිතුමා අපි බෝධිපූජා තියන අතරේ පෙබරවාරි 27 වැනිදා උදේ 8.30 ට ජන්මාන්තරගත වුණා. මම ජනාධිපති තුමාට කතා කරලා කිව්වාම අවමඟුලට අවශ්‍ය දේවල් අඩංගු ලිපියක් එවන්න කිව්වා. මම එවලේම අවශ්‍ය දේවල් ලියු ලිපිය සමන් ඒකනායකට වට්ස්ඇප් කළා.
රොනී ඇමැතිතුමා මට කියල තිබුණේ තමන්ගේ දරුවන් කිව්වත් අන්තිම කැමැත්ත වෙනස් කරන්න එපා කියලා. එතුමාගේ අවමංගල්‍යයට කළගුණ දත් බුලත්සිංහල ජනතාව මාතර ජනතාව රේගුවේ, බැංකුවල, සුරාබදුවල රැකියා ගත් උදවිය රුහුණේ උපාධිධාරයන් වගේම දේශපාලකයන් හිතවතුන් පාක්ෂිකයින් වගේම රටේම ජනතාව සහභාගී වුණා.
රොනී ද මැල් ජීවිතය දැක්කේ කොහොමද?
මල්ලිකා මැඩම් මියගියේ 2009 ඔක්තෝබර් 12 වැනිදා. එදා තමයි මං දැනගත්තේ රොනී ද මැල් කියන්නේ ඕනම දෙයක් දරා ගැනීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් බව. එතුමා ඉපදීම මරණය දෙස බැලුවේ උපේක්ෂා සහගතව. එතුමාගේ අන්තිම කැමැත්තේ තිබුණ නිසා තමයි පාර්ලිමේන්තුවට දේහය ගෙනියන්න දුන්නේ නැත්තේ. රොනී ද මැල් මැතිතුමාගේ භෂ්මාවශේෂ අපි මාර්තු මස 9 සෙනසුරාදා මල්ලිකාද මැල් මැතිනියගේ නෑබොඩ ග්ලෙන්ඩන් වත්තේ තියෙන ස්මාරකයේ තැන්පත් කරන බව අවසන් වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
වජීර ලියනගේ