Home » ආගමික සිද්ධස්ථානවල විදුලි බිලට සහනයක්

ආගමික සිද්ධස්ථානවල විදුලි බිලට සහනයක්

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

කුත් දා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන් සඳහා දැනට අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩු කළ අතර, එය සියයට 33.3ක අඩු වීමකි. මෙහිදී ආගමික ස්ථානවල විදුලි බිල ද සියයට 33කින් අඩු කිරීමට පියවර ගත් අතර, ඒකක 31 – 60 ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට තීරණය කෙළ්ය. ඒකක 61 – 90 ත් අතර, විදුලි පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කළ අතර, ඒකක 91 – 180 ත් අතර පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කෙළ්ය. 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් හා හෝටල් සහ කර්මාන්ත අංශවල සඳහා සියයට 18කින් විදුලි බිල අඩු කිරීමට කටයුතු කළ අතර, පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩු කිරීමටත්, රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් සහ වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩු කිරීමටත් කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් අප ආගමික පාර්ශ්වයන්ගෙන් විමසීමක් කළෙමු.

ජනතාව විපතට පත්ව ඇති අවස්ථාවක ලැබුණු සහනයක්
– නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටියේ ආර්ථික වශයෙන් ජනතාව විපතට පත්ව ඇති මෙවැනි අවස්ථාවක වැඩි කළ ප්‍රමාණයෙන්ම නොවුණත් මේ ආකාරයට විදුලි බිල අඩු කිරීමට පියවර ගැනීම ඒ අයට යම් සහනයක් සැලසීමක් විදිහට දකින් පුළුවන්. ඒ වගේම ආර්ථික වශයෙන් රට විපතට පත්ව ඇති අවස්ථාවක රජය මෙවැනි පියවරක් ගැනීම පැසසුම් කටයුතුයි. ඒවගේම විදුලි බිල් නොගෙවා කුමන්ත්‍රණකාරී ලෙස පැහැර හරිමින් සිටින පාර්ශ්ව සම්බන්ධයෙන් ද නිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් රට යම් ස්ථාවරයකට පත්වන තුරු මේ ආකාරයට මෙය පවත්වාගෙන යාම යහපත් බව උන්වහසේ පවසති.

ආර්ථික වශයෙන් ඉතාම අමාරු තත්ත්වයකදී ලබාදුන් සහනය අගේ කරනවා
– පාහියංගල ගල්ලෙන් භාරකාරාධිපති, “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි

පාහියංගල ගල්ලෙන් භාරකාරාධිපති, “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් වදාරා සිටියේ රට ආර්ථික වශයෙන් ඉතාම අමාරු තත්ත්වයක පවතින මොහොතක ඒ අමාරුකම් තියාගෙන ආගමික ස්ථානවලට වගේම ජනතාවටත් අනෙකුත් පාර්ශ්වවලටත් සහනයක් සලසමින් විදුලි බිල යම් පමණකට හෝ අඩු කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ආගමික හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වශයෙන් ස්තූතිවන්ත වන බවයි.

මේ ගත් ක්‍රියාමාර්ගය ඇගයීමට ලක් කරනවා
– දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් අප සමඟ අදහස් දක්වමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වදාළේ මෙවැන්නකි.

“ රජයටත් විදුලිබල මණ්ඩලයටත් සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවටත් මේ ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ස්තූතිය පුද කරනවා. නමුත් පසුගිය සමයේ සිදු වුණු වැඩි වීම විවිධ ප්‍රතිශතයන්ට අනුව වැඩි කළත් පොදුවේ බැලුවාම විහාරස්ථානවල විදුලිය අය කිරීම සියයට 500 දක්වා වැඩි වුණා. ඒ තත්ත්වය අපේ සාමාන්‍ය ජන ජීවිතයට වගේම ව්‍යාපාරික ස්ථානවලට කර්මාන්තවලට ඉතාම නරක අන්දමින් බලපෑවා. මේ හේතුව නිසා මේ රටේ කර්මාන්තශාලා 200ට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සිදු වුණා. මේ අවස්ථාවේ ආගමික සංවිධාන, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංවිධානය, සිවිල් සංවිධාන ආදී සංවිධාන රැසක් විදුලි බිල අඩු කරන්න කියලා රජයට බලපෑම් කළත් ඒ අවස්ථාවේදී එය අඩු කෙරුණේ නැහැ. ඒ අවස්ථාවේ රජයට මහජන සංවිධාන පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලයට අලාබයක් නැහැ ලාභ තියෙනවා. ඒ ලාබ එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් නැතිකම සහ විදුලිබල මණ්ඩලයේ පරිපාලනයේ ඇති නොසැලකිලිමත්කම නිසා තමයි මේ අලාබයක් පෙන්නුවේ. ඒ අනුවයි විදුලි බිල ඉහළ දැම්මේ කියලා. ඒ අනුව සියයට 33කින් විදුලි බිල අඩු කරන්න කියලයි මහජන සංවිධාන රජයෙන් ඉල්ලා සිටියේ. නමුත් අඩු කර ඇත්තේ සියයට 21යි. මේ තත්ත්වයෙන් හෝ අඩු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. නමුත් මෙය ප්‍රමාණවත් නැහැ.

වැටුණු කර්මාන්ත ශාලාවලට සාධාරණයක් ඉටු වෙන්න නම් පූජ්‍ය ස්ථානවලට සිදු වෙච්ච මහා පරිමාණ අසාධාරණයට සාධාරණත්වයක් දෙන්න නම් අඩුම තරමින් සියයට 33ක් විදුලි බිල අඩු වෙන්න ඕන. මෙසේ හෝ අඩු කළ එක ගැන බොහෝම ස්තූතියි! එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ එක්කම මහජන සංවිධාන දිගින් දිගටම පෙන්වා දෙන්නේ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි. සුළං, සූර්යතාපය, මුහුදු රැල්ල වැනි ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන විදුලිය උත්පාදනය කරන වැඩ පිළිවෙළකට යා යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

රජය මේ ගත්ත තීරණය ඉතාම හොඳ දෙයක්
– හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක ආචාර්ය සිවසාරී රාමචන්ද්‍ර කුරුකල් බාබු ෂර්මා

හින්දු ආගමික කටයුතු සම්බන්ධීකාරක ආචාර්ය සිවසාරී රාමචන්ද්‍ර කුරුකල් බාබු ෂර්මා පෙන්වා දෙන්නේ “ රජය මේ ගත්ත තීරණය ඉතාම හොඳ දෙයක්. ඒ වගේම මීට වඩි තව අඩු කරන්න පුළුවන් නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. ආගමික ප්‍රජාව මේ ගැන රජයට ස්තූතිය පුද කරනවා. රට ආර්ථිකව සමෘද්ධිමත් වුණොත් තවත් සහන රජයට ලබාදෙන්න පුළුවන්. ඒ නිසා රජය ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න ගමන් ජනතාවට දෙන්න පුළුවන් හැම සහනයක්ම ලබා දෙන්න කටයුතු කළ යුතු බවයි.

වංචා දූෂණ නාස්තිය අවම කිරීමට පියවර ගත යුතුයි
– අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත

අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පවසා සිටියේ “ ජනතාව ආර්ථිකව වශයෙන් විශාල පීඩාවට පත්ව සිටින මෙවැනි අවස්ථාවක මෙම සනය කිසියම් අස්වැසිල්ලක්. ඒත් වෙනදාමෙන් ජනතාව අතේ මුදල් නොමැති නිසා ආගමික ස්ථානවලට ලැබෙන ආධාර උපකාර අවම වී තිබෙනවා. ඒ වට කිසිම බලපෑම කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඔවුන් කැමැත්තෙන් ලබාදෙන දෙයක් තමයි අප ගන්නේ. ඒ නිසා පළමුව ඔවුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙළකට යායුතුයි. ඒ වගේම මේ ආයතන තුළ සිදුවන වංචා දූෂණ නාස්තිය අවම කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා ආදර්ශය ඉහළ සිට පහළට ගමන් කළ යුතුයි. අප වැරදි කර කර අන් අයට ඒක කරන්න එපා කිව්වට වැඩක් නැහැ. ඒ නිසා අපත් ඒ ආදර්ශය පිළිපැදිය යුතුයි. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මීට වඩා උනන්දුවෙන් හා කැපවීමෙන් කියා කළ යුතුයි. එමඟින් මේ වන විට අර්බුදයට ලක්ව ඇති කර්මාන්ත නැවත සක්‍රීය තත්ත්වයට පත් කර රැකියා නොමැතිව දුක් විඳින ජනතාවට සහනයක් උදාකර දිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division