Home » වෙනත් කණ්ඩායමක ගිහින් එල්ලෙන්න ඕන කියන අදහසක අපි නෑ

වෙනත් කණ්ඩායමක ගිහින් එල්ලෙන්න ඕන කියන අදහසක අපි නෑ

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

– නිදහස ජනතා සභාවේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

නිදහස ජනතා සභාව මේ වන විට සක්‍රිය ද?

නිදහස ජනතා සභාව කියන්නේ දේශපාලන පක්ෂයක් නොවෙයි; ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඒකාබද්ධව ගොඩනැඟුණ සංවාදයක්. නිදහස ජනතා සභාවේ එක් අවස්ථාවක සංවාදයක් සිදු වුණා. එහිදී සාකච්ඡා වුණා, ඊළඟ ජනාධිපතිවරයා හෝ වෙනත් දේශපාලන වැඩසටහනක් සඳහා වෙනත් දේශපාලන ධාරා සමඟ එකතු වෙනවද කියලා. අපි ඒක සම්බන්ධයෙන් දිර්ඝව සාකච්ඡා කරමින් සිටි පිරිසක්. මේ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධනේ යම් දේශපාලන එකඟතාවයක් ඇති කරගත යුතුයි කියලා මතයේ ඉන්න අය ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා මේ තියෙන අභියෝග හමුවේ වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ එකතු විය යුතුයි කියලා. අපේ කණ්ඩායම දේශපාලන පක්ෂයක් නොවෙයි.

මේ වන විට නිදහස ජනතා සභාවෙන් ඉවත්ව පිරිසක් වෙනත් දේශපාලන පක්ෂවලට එකතු වෙලා නේද?

ඒ සඳහා ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. සමහර අය එවැනි ප්‍රකාශ කරනවා. නිදහස ජනතා සභාවේ හිටපු හුඟක් අය දේශපාලනිකව යම් පරිචයක් තිබුණ පිරිසක්. ඒ අයට කැමැති තීරණ ගන්න පුළුවන්. කණ්ඩායමේ කිහිප දෙනෙක් සජබ සමඟ ගමන් කරනවා. ඒ වගේ ම දුෂණ විරෝධී සන්ධානයට උදව් කරන පිරිසකුත් ඉන්නවා. අපි දේශපාලන ධාරා කිසිවකට නොයා අර්බුදය හමුවේ දේශපාලන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සංවාදයක ඉන්නවා. අපි මේ මොහොතේ මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඇති කර ගැනීමේ සංවාදයක් සිටිනවා.

සජබ සමඟ නිදහස ජනතා සභාව සාකච්ඡා කළා නේද?

සජබ සහ ජාතික ජන බලවේගය සමඟ අනෙකුත් ආණ්ඩු පක්ෂය නොවන දේශපාලන ධාරාවන් සමඟ අපි සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව අපි සාකච්ඡා කරමින් සිටියා දිගටම. එහිදි සජබ සමඟත් අපි සංවාදයක් ඇති කර ගත්තා. දේශපාලන එකඟතාවක් අවශ්‍යයි. සජබ සාමාජිකත්වය ගන්න ඒ වෙලාවේ සූදානම් වුණේ නැහැ.

සජබ කැඩිලා නැද්ද? ජවිපෙ බෙදිලා නැද්ද?
– පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජය එදිරිමාන්න

ඔබේ පක්ෂ නිර්මාතෘවරයා මෙරටට පැමිණ තිබෙනවා. අලුත් සැලසුම් මොනවාද?

අපේ තියෙන අලුත්ම සැලසුම ඊළඟ ඡන්දය ජයග්‍රහණය. ඒ ඡන්දය සඳහා වන ඉතාම සාධාරණ දේශපාලන මූලෝපායන් අපි සතුව තිබෙනවා. ඒ මූලෝපායන් මේ වෙලාවේ අනාවරණය කරන්නේ නැහැ. මේ රටේ දේශපාලනය තුළ පොහොට්ටුවේ ප්‍රතිවාදීන්ට ඉතාම බරපතළ ස්තූතියක් කරන්න තියෙනවා. අපි හිතුවාටත් වඩා බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ යළි පැමිණීම ගැන වැඩිපුරම කතා කළේ පොහොට්ටුවේ අපි නෙමේ ප්‍රතිවාදීන්.

ආයෙ පොහොට්ටුවට නැඟිටන්න බැහැ කියලා ජවිපෙ කියන්නෙ පක්ෂයේ අලුත් සැලසුම්.

පොහොට්ටුවට නැඟිටින්න බෑ කියන එක නෙමෙයි. මුලින්ම ආවේ රාජපක්ෂලට නැඟිටින්න බැහැ කියන අදහස. හැබැයි 2015දී වැටුණ ඒ දේශපාලන කඳවුර 2018 පෙබරවාරි 10 නැවත නැඟිට්ටා. ආණ්ඩු කරන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම බිමට සමතලා වන මට්ටමේ ජයග්‍රහණයන් 2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දයේදී අපි ලැබුවා. ඉන් පසුව එළඹුණු ජනාධිපතිවරණය අපි දැවැන්ත පරතරයක් සහිතව ජයග්‍රහණය කළා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් ඇතිව ජයග්‍රහණය කළා.

ඇත්තටම පොහොට්ටුව කෑලි කිහිපයකට කැඩිලා ගිහින් නේ?

ඔව්. කැඩිලා තියෙනවා. ලංකාවෙ දේශපාලන පක්‍ෂ සියල්ලම. ඇයි ඒක පොහොට්ටුවට විතරක් ගන්නේ. සජබ කැඩිලා නැද්ද. ජවිපෙ පහුගිය ඉතිහාසය පුරාම බෙදිලා ගිහිල්ලා නැද්ද. ආණ්ඩුවේ විදිහට නැත්නම් පොදු ජන පෙරමුණේ අපිත් එළියට ගිය කණ්ඩායම් යළි කැඩිලා නැද්ද? අපි තීරණය කරන්න ඕනේ කැඩිලා යන ප්‍රමාණය සමාජයේ මොන වගේ තීරුවක් බෙදා ගන්නවද කියන එක. ඔබට පේනවද මේ ප්‍රධාන බලවේග කඩාගෙන එළියට ගිය අය මේ රටේ ඡන්ද පදනමින් කොටසක් දිනා ගත්ත බවක් පේන්නෙ නැහැනේ.

ජවිපෙ ඉදිරි පෙළ දේශපාලන ගමනක් යන බව ඔබ පිළිගන්නවා කියල ද කියන්නේ?

ජයග්‍රහණය කියලා කියන්නේ එයාලා යන්න ආස ගමන. මේ රටේ ඡන්ද පදනමින් ප්‍රතිශතයක් ඓතිහාසිකවම දිනාගෙන හිටියනේ. අනුර කුමාර දිසානායක සහෝදරයා 2019 ජනාධිපතිවරණට 3%යි. වෙනදා පැවති ඡන්ද පදනමට සාපේක්ෂව ඔවුන්ට තමන්ගේ ඡන්ද පදනමේ යම් වැඩිවීමක් තිබෙනවා. ඒ වැඩිවීම සාපේක්ෂ වෙන්නෙ ජවිපෙ පෙර පැවති ඡන්ද පදනමට මිසක් පොහොට්ටුවට හෝ වෙනත් දේශපාලන බලකඳවුරක ඡන්ද නෙවෙයි. මැතිවරණයකින් පසුව ජවිපෙ ඡන්ද ගණන් කළහම අර රැස්වීම්වල ඉන්න සෙනඟ, ඇයි ඡන්ද පෙට්ටිය ඇතුළේ නැත්තේ.

ආණ්ඩුව මැතිවරණය පැවැත්වීම කල් දැමීමට නොයෙක් උත්සාහ දරන බව විපක්ෂය කියනවා?

ඡන්දය නොතියන ඉතිහාසය මේ ආණ්ඩුවට අදාළ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඡන්දෙ තියන්න අවශ්‍ය වෙලාවට පෙරත් ඡන්දය තියපු නායකයෙක්. අපේ දේශපාලන කඳවුර එනම් පොහොට්ටු පක්ෂය මැතිවරණ කල් දැමීම කියන පාප කර්මයට කිසිම ලෙසකින්වත් සම්බන්ධයක් නැහැ.

ඡන්ද නොතියපු ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා 
– සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර්

දකුණු ආසියාවේ සියලු රටවල් අපිව පසු කරලා ඉදිරියට ගිහින් කියලා ඔබ කියන්නේ මොන පදනමින්ද?

එය රජයේම ප්‍රකාශයක්. දකුණු ආසියාව එකම බංකොලොත් රට ශ්‍රී ලංකාව බවට පත්වෙලා කියලා නිල ප්‍රකාශයක් කළේ ආණ්ඩුව. ඒක අපිට කරන්න පුළුවන් ප්‍රකාශයක් නෙමෙයි.

ගෙවුම් ශේෂ අතිරික්තයක්, අපනයනය වැඩි වීමක්, භාණ්ඩ ආනයනය සීමා ඉවත් කිරීම, සංචාරක කර්මාන්තය යථාවත් වීම මේ වන විට සිදු වෙලා තියෙනවා. එසේ නම් ඒ ප්‍රකාශය සත්‍ය වන්නේ නැහැ නේද?

අපි සතයක්වත් ණය නොගෙවා තියෙද්දි ගෙවුම් ශේෂ අතිරික්තයක් ගැන කතා කරනවා. මේ වගේ කෘත්‍රිම මවාපෑම්වලින් ජනතාව රවට්ටන්න පුළුවන්ද? ගෙවිය යුතු ණය කන්දරාව එක සතයක්වත් රටක් හැටියට තවම ගෙවලා නැහැ. ආණ්ඩුව 2027 වෙනකම් ණය ගෙවීම් කල්දාගන්න අපි කටයුතු කරනවා. මේක තමයි යථාර්ථය. ඇයි මේ ජනතාවට සුරංගනා කතා කියන්නේ

අපේ රටේ කර්මාන්ත අද කොච්චර ප්‍රමාණයක් වැහිලා තියෙනවද. ආනයන සීමා ඉවත් කිරීම කියන කාරණයේදී නිෂ්පාදන කාර්යය සඳහා භාණ්ඩ අවශ්‍ය වන මාධ්‍ය සාකච්ඡා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හම්බවෙලා ඒගොල්ලන්ගේ අඳෝනා ඉදිරිපත් කළ නිසා කිහිපයක් එහෙම කරලා තිබුණට ආර්ථිකයට ලොකු බලපෑමක් මෙයින් සිදු වෙලා නැහැ.

සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම යටතේ ඒවා මාධ්‍යයෙන් නම් කෙරිලා තියෙනවා. දහස් ගණන් සංචාරක ක්ෂේත්‍රයෙන් ජීවත් වෙන ජනතාව රට අත්හැරලා දානවා යථාර්ථය හොයලා බලන්න.

බදු සහ විදුලි බිල අඩු කරලා තියනවා?

කෝටි ගණන් බදු ගෙවල නැති පොලු තියලා තියෙන ගජ මිතුරන්ගේ බදු ටික අයකරගන්න උත්සාහයක් නෑ. ඒ ගැන අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළහම ඒවා හෙළි කරන්නේවත් නෑ. මුළාවක් කරන්නේ, ගජ මිතුරු ධනවාදයක් මේ රටේ තියෙන්නේ. විදුලිබිල සියයට තිස්පහක් අඩු කරන්න ඕන. එහෙම කළේ නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණ මුලින් තියන්නත් පුළුවන් කියලා ආණ්ඩු පක්ෂය කියන්නෙ?

මහ මැතිවරණය මුලින් තියන්න පුළුවන් කියලා ආණ්ඩු පක්ෂය කියයි. මහ මැතිවරණය මුලින් තියෙනවද; පස්සෙ තියෙනවද කියන එක නෙමෙයි ජනතාවට නියමිත මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවයි අපි අවධාරණය කරන්නේ. මේ විදිහට මාධ්‍ය මඟින් පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිනවයි කියලා තර්ජනය කරලා, ඒවා පෙන්නලා පාර්ලිමේන්තුව හීලෑ කරගන්න උත්සාහ කරන්නේ. මන්ත්‍රීවරුන් මේක තේරුම් ගන්න ඕනේ. මැතිවරණ පවත්වනවාට වඩා මේ ආණ්ඩුව ප්‍රෝඩාකාරී ව්‍යාපෘතියක් ගෙනියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදි මහා ගැලවුම්කාරයෝ වගේ පෙනී සිටියේ. මානව නිදහස, ලිබරල්වාදය ගැන කතා කළේ.

මේ මොහොතේ රට මුහුණ දීලා තියෙන ප්‍රධාන අභියෝගය කුමක් කියලද ඔබ හිතන්නේ?

ප්‍රජාතන්ත්‍රවාදී මුහුණ දීලා තියෙන අභියෝගය තමයි ප්‍රධාන අභියෝගය. මේ ව්‍යවස්ථාදායකය හදනවා විධායකය යටපත් කර ගන්න. විධායකය හදනවා ව්‍යවස්ථාදායක යටපත් කරගන්න. මැතිවරණ කොමිසම ඉල්ලුවට පළාත් පාලන ඡන්දවලට ඒත් සල්ලි දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතිවාසිකම් ආණ්ඩු මායිම් කරන්නේ නැහැ.

පොහොට්ටුව පොළවේ ගැහැව්වේ පක්ෂයේ අයමයි
– ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න

ජවිපෙට රැස්වීම්වල ඉන්න සෙනඟ, ඡන්ද පෙට්ටිය ඇතුළේ නැහැ කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියනවා?

ආණ්ඩු හදපු අයත් ජනතාව පත්කරගත්ත අයත් පරාජය වෙනවා. ඒක ඉතිහාසයේ මැතිවරණ දිහා බැලුවාම ඔප්පු වෙලා තියෙනවා. ඇත්තටම මේ වන විට ජාජබ සම්බන්ධයෙන් ලංකාවේ කරපු සමික්ෂණවලින් බුද්ධි අංශ වාර්තාවලින් මෙවර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් පැහැදිලි කරලා තියෙනවා. මැතිවරණය ජයග්‍රහණය කරන්න හැකි ජනතා බලයක් අපිට තියෙනවා.

ඔබේ පක්ෂ නායකයා කියනවා; පොහොට්ටුව ගොඩඟන්න කවුරු ආවත් බැහැ කියලා?

ඔව් සක්කරයා ආවත් පක්ෂය ගොඩගන්න බැහැ තමයි.පොහොට්ටුව අවසන් ගමන් ගිහිල්ලා ඉවරයි. මතකයක් පමණයි. සහමුලින්ම අමතක වෙලා යනවා ජනතාවට. ඉවරෙට ඉවර වෙලා තියෙන්නේ. අද ඒ පක්ෂය මහපොළොවේ නැහැ; පොහොට්ටුවේ අයම තමයි පක්ෂය අල්ලලා පොළොවේ ගැහුවේ. පක්ෂය කෑලි කෑලිවලට කඩාගෙන ගිහිල්ලා. විමල් විරවංශ මහත්තයා කෑල්ලක් කඩාගෙන ගිහිල්ලා. ඩලස් මහත්තයා තවත් කෑල්ලක් කඩාගෙන ගිහිල්ලා. තවත් පිරිසක් ස්වාධීනව ඉන්නවා. අපි ඕනම මැතිවරණයකට සූදානම් වෙලා ඉන්නේ. රජය මැතිවරණ සුදානම් කළා බයේ තිබ්බේ නැහැ.

ආණ්ඩුව මැතිවරණ කල් දාන්න උත්සාහ කරනවා කියලා ඔබේ පක්ෂය චෝදනා කරන්නේ ඇයි?

ඉතිහාසය පුරා අපි ඒක දැක්කා. සමූපකාර ඡන්දයක් වත් දිනාගන්න පුළුවන් මට්ටමක නොවෙයි ආණ්ඩුව අද ඉන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණය තියන්න පුළුවන් කියලා එක වෙලාවකට කියනවා. මැතිවරණයවලට බයේ මේ සියලු දේවල් කියන්නේ. අපි පක්ෂයක් ලෙස ඉදිරි සැලසුම් කර තියෙනවා. නවීනත්වයට ගැළපෙන නවීණ ලෝකයේ ක්‍රමවේද අධ්‍යයනය කර විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව නිෂ්පාදන ආර්ථිකයකට අදාළ වැඩපිළිවෙළක් අපි සකස් කර තියෙනවා. නව දේශපාලන ක්‍රමයක්, අලුත් ආර්ථික ක්‍රමයක් මේ රටට අපි හඳුන්වා දෙනවා.

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් කරන්න ජාජබ සැලසුම් තියෙනවාද?

පැහැදිලිවම අපි ළඟ තියෙනවා. නිදහස ලබා ගත්ත දවසේ ඉඳලා එක සිස්ටම් එකක තමයි මේ රට තිබුණේ. ඒ සිස්ටම් එක මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන එකක් නොවෙයි. තියන ආර්ථිකය අකුලා දාන එකක් තියෙන්නේ. අපි ණය මත ආධාර මත පමණයි යැපිලා තියෙන්නේ තියෙන්නේ. දේපොළ විකුණ ගත්ත ධනය මත යැපිලා තියෙන්නේ. නිසි ක්‍රමවේදයක් නැහැ. වසර 76 ඉක්මවූ පාලනයක් තුළ දුෂණය වංචාව නාස්තිය කියන එකෙන් ඉහවහ ගිහිල්ලා තියෙනවා. රටම අකර්මණ්‍ය වෙන්න මේ දේවල් බලපානවා. ඒ නිසා මේ ආර්ථික ක්‍රමවේද වෙනස් විය යුතුයි. අවුරුදු 76 පවත්වා ගෙන ආව ජරාජීර්ණ දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න අවශ්‍යයි. සමාජය පවත්වා ගෙන ආව ක්‍රමයත් වෙනස් වෙන්න අවශ්‍යයි. ජාති ආගම් සහ වර්ගවාදී සමාජ ක්‍රමයක් පවත්වා ගෙන ආවා. ඒ දේවල් වෙනස් වූ තැනයි නව ක්‍රමයක උපත ලැබෙන්නේ. අලුත් සිස්ටම් එකක් ගේන්න පුළුවන් වෙන්නේ එය හඳුනා ගත් අයට පමණයි. පහුගිය අරගලයෙන් පෙන්නුම් කළා මේ ක්‍රමවේද වෙනස් විය යුතුයි කියලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division