Home » ලංකාවට තොගේට ‘අයිස්’ බෙදූ ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදක

ලංකාවට තොගේට ‘අයිස්’ බෙදූ ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදක

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට මෙරට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට නොදැවෙනි මෙහෙයුමක් ඉන්දියාව තුළ ද මේ වන විට ක්‍රියාත්මක වන්නේ මත්කුඩු ජාවාරම ඉන්දියාවට ද දැන් හිසරදයක් බවට පත්ව ඇති බැවිනි. මත්කුඩු ජාවාරමට ඉන්දියාව තුළ ඝෘජුවම ඇඟිල්ල දිගුවන්නේ ද දේශපාලඥයන් දෙසටය. ඉන්දියානු මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට තුළ මත්කුඩු ජාවාරමට එරෙහි මෙහෙයුම් දැඩි කර ඇත්තේ ද එබැවිනි.

අපේ රටේ තරම් තිස් හතළිස් දහසක් තවමත් ඉන්දියාව තුළ සිදු කෙරෙන මත්කුඩු ජාවාරම සම්බන්ධ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බවක් දැනගන්නට නැත. ඉන්දියානු මාධ්‍ය වාර්තාවන්ට අනුව අත්අඩංගුවට ගෙන සිටින්නේ තුන් හාරදහක් පමණි. ඒ මත්කුඩු ලෝලීන් නොව, ඡාවාරම්කරුවන්ය. එම මෙහෙයුමේදී දිල්ලි පොලිසිය හා ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) එක්ව සිදු කරනු ලැබූ මෙහෙයුමකදී හෙළි කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ චෙන්නායි හි ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ජෆාර් සාදික් ඉන්දියාවේ මත්කුඩු ජාවාමේ මහමොළකරුවෙක් ලෙස කටයුතු කරන බවය. DMK ලෙසින් ප්‍රසිද්ධ ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍රා කසාගම් පක්ෂයේ චෙන්නායි බටහිර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සංවිධායක ලෙස කටයුතු කරන ජෆාර් සාදික් මත්කුඩු ජාවාරමේ මහමොළයක් වීම අපේ රටට වැදගත් වන්නේ වෙන කිසිවක් නිසා නොව, අපේ රටට අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් බෙදා හරිනු ලබන ජාවාරමක එක් කොනක ඔහුගේ නම ගෑවී ඇති බැවිනි. මේ දේවල් හෙළිකර ඇත්තේ ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ විසිනි.

ඉන්දියානු මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ විටෙයන් විට සිදු කරනු ලැබූ වාර්තාවන්ට අනුව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම දේශපාලඥයෙක් ද වන ජෆර් සාදික් ගැන තොරතුරු ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් හෙළි කර ගනු ලබන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනක ප්‍රතිඵලයක් ලෙස අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු හරහාය.

තමිල්නාඩුවේ චෙන්නායි සිට මදුරෙයි දක්වා ධාවනය වෙමින් තිබුණු ශීඝ්‍ර‍රගාමී දුම්රියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුව ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් පරීක්ෂාවට ලක්කර ඇත්තේ කල්තියා බුද්ධි අංශවලින් ලැබී තිබුණු තොරතුරකට අනුවය. එම පුද්ගලයා චෙන්නායිවලින් දුම්රියට ගොඩවූ අවස්ථාවේදී සිට ඔහු මදුරෙයිවලින් දුම්රියෙන් බසින මොහොත දක්වාම ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඇස ගසාගෙන සිට ඇත්තේ ගමනාන්තය පැහැදිලිවම හඳුනා ගන්නටය. මදුරෙයි දක්වාම මෙම පුද්ගලයා ගමන් කළ බැවින් අවසානයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ මදුරෙයි දුම්රිය ස්ථානයේදීය. ඒ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමඟිනි. මෙම අයිස් තොගය තිබෙන්නේ ඔහු අතවූ ගමන් මල්ලෙහි සඟවාය. ඒ පැකට් 15ක් ලෙස අසුරාය.

චෙන්නායි හි පදිංචිකරුවෙක් වූ 42 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා නමින් ක්ලෙමන් ප්‍රකාශ්ය. දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මදුරෙයි සිට කිලෝමීටර් 456ක් දුර ගෙවා නැවත ඔහුව චෙන්නායි වෙතම රැගෙන යාමට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීන් පියවර ගන්නේ වැදගත් තොරතුරු රැසක් හෙළිවන්නට වූ බැවිනි. පැය හත අටක ගමනකින් පසුව චෙන්නායි වෙත රැගෙන ආ ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් අයිස් කිලෝ 06ක් සොයා ගන්නට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබුණේය. එම අයිස් තොගය සොයා ගන්නේ අත්අඩංගුවටගත් ක්ලෙමන් ප්‍රකාශ්ගේ නිවෙස ආසන්නයේ ඇති කසළ අංගණයට විසි කර තිබියදීය. ප්‍රකාශ් පොලිස් අත්අඩංගුවට පත්වූ බව දැනගත් සැණින් එම මත්ද්‍රව්‍ය තොගය කසළ අංගණයට විසි කර ඇත්තේ ඔහුගේ බිරියය. ඒ අනුව ඇයව ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 180ක් ලෙසිනි. වත්මන් විනිමය අනුපාතයට අනුව එය ගැළැපූ කල එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 666ක් පමණ වනු ඇත. එහෙත් අපේ රටේ නම් අයිස් කිලෝ එකක මෙරට වීථි වටිනාකම සැලකෙන්නේ රුපියල් කෝටි 02ක් පමණ උපරිමයක් ලෙසිනි. ඒ බව තහවුරු වන්නේ මෑතකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අල්ලා ගත් අයිස් කිලෝ 09 වටිනාකම ගැන පොලිසිය කළ නිල ප්‍රකාශයෙනි. ඊට අනුව අයිස් කිලෝවක ගාණ මීටත් වඩා අඩුය.

මෙසේ ඉන්දියාවෙන් අල්ලා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක වටිනාකම ගැන මෙවන් ගැළපීමක් සිදු කිරීමට සිදුව ඇත්තේ ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් සිදු කළ මෙම මත්ද්‍රව්‍ය වැටලීමේ කොනක් ශ්‍රී ලංකාව ද ගෑවී ඇති බැවිනි. ඒ මදුරෙයි වෙත දුම්රියෙන් රැගෙන යමින් තිබුණු එම අයිස් කිලෝ 30 හි ගමනාන්තය ශ්‍රී ලංකාව වන බැවිනි.

චෙන්නායි සිට දුම්රියෙන් මදුරෙයි වෙත රැගෙන ආ එම අයිස් කිලෝ 30 එතැන් සිට රැගෙන යාමට නියමිතව තිබී ඇත්තේ රාමේෂ්වරම් දක්වාය. ශ්‍රී ලංකාවට රැගෙන යාමට මෙම අයිස් තොගය බෝට්ටුවක පැටවීමට නියමිතව තිබී ඇත්තේ ධනුෂ්කෝඩෙයි වලිනි. එසේ පැටවෙන අයිස් තොග ධිවර බෝට්ටුවලින් රැගෙන එනු ලබන්නේ මෙරට උතුරු මුහුදු තීරයටය. ඒවා ගොඩ බෑවෙන්නේ මන්නාරම ආශ්‍රීත වෙරළ තීරයේය.

අයිස් පමණක් නොව, මත්ද්‍රව්‍යයක් ලෙස මේ වන විට අපේ රටේ පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව බහුලව භාවිත කරන වේදනා නාශක ඖෂධ කරල් මෙන්ම කේරල ගංජාද තොග පිටින් මෙරටට රැගෙන එන්නේ ද මෙම මුහුදු මාර්ගය ඔස්සේය. පකිස්තානයේ සිට හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන ඒමට පෙර හෙරොයින් ද තොග පිටින් ගෙන ආවේ මෙම මුහුදු මාර්ගය ඔස්සේ හලාවත තොඩුවාවටය.

ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් කළ මෙම වැටලීමේදී හෙළි කරගත් තොරතුරුවලට අනුව චෙන්නායි කේන්ද්‍රකරගත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු ලෙස හඳුනා ගනු ලැබුවේ ජෆාර් සාදික්ය. ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීම පවා සිදු වන්නේ යැයි කියැවෙන්නේ ඔහුගේ ජාලයෙනි. ජෆාර් සාදික් පදිංචිව සිටින චෙන්නායි මයිලාපූර් හි පිහිටි නිවෙස ද පසුගිය සතියේ ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් වටලනු ලැබීය. ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමටය. එහෙත් ඒ වන විටත් ඔහු සිටියේ ගේ දොර අතහැර පලාගොසිනි. මාලිගාවක් බඳු එම නිවෙස පරීක්ෂා කළ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඊට මුද්‍රා තබන්නේ ඉදිරි විමර්ශන කටයුතු සඳහාය. ඒ අතර ජෆාර් සාදික්ට අයත් බැංකු ගිණුම් පරීක්ෂා කළ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් එම ගිණුම්වල තිබුණු ඉන්දියානු රුපියල් කෝටි 2,000ක මුදලක්ද තහනම් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇතැයි අනුමාන කරමිනි. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6,400කි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනුව ජෆාර් සාදික් හා ඔහුගේ සහෝදරයන් දෙදෙනා ගෙවී ගිය තෙවර තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ටොන් 3.5ක් විවිධ රටවලට අලෙවි කර තිබේ. ඒ බව හෙළිවී ඇත්තේ නවසීලන්ත රේගු නිලධාරීන්, ඔස්ට්‍රේලියානු පොලිසිය හා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ ඒජන්සිය විසින් ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට ලබා දුන් තොරතුරු ඔස්සේය. මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ඔවුන් මෙම රටවලට ප්‍රවාහනය කර ඇත්තේ ඖෂධ හා වියළි පොල් කැබලි තුළ සඟවාය. කාලයක් තිස්සේ සංවිධානාත්මකව කෙරුණු මෙම ඡාවාරම ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීන් විසින් තවදුරටත් හෙළි කර ගනු ලබන්නේ මදුරෙයි දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවටගත් ක්ලෙමන් ප්‍රකාශ්ගෙන් හෙළිවන තොරතුරු හඹා යමිනි. ශ්‍රී ලංකාවට අයිස් තොග පිටින් ප්‍රවාහනය කරන මාර්ගය ගැන පවා මෙහිදී මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය හෙළි කරගනු ලබන්නේ ඒ පිටුපස සිටින ඉන්දියානුවන් රැසකගේ තොරතුරුද සමඟිනි. ඒ අතර ඉහළින්ම සිටින ප්‍රධාන ජාවාරම්කරු ලෙස හඳුනා ගෙන සිටින්නේ ජෆාර් සාදික්ය.

මෙම පුද්ගලයා චිත්‍රපට නිෂ්පාදනයට පිවිස ඇත්තේද මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් වැය කරමිනි. ව්‍යාපාරිකයෙක් ලෙස මත්කුඩු ජාවාරම හරහා ඉහළට ආ ඔහු පසුව චිත්‍රපට නිෂ්පාදනය ඔස්සේ කළු සල්ලි සුදු කර ඇත්තේ චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස යම් කීර්තියක් ද ලබා ගනිමිනි. ඔහු ඊළඟ පිම්ම පනින්නේ දේශපාලනයට පිවිසෙමිනි. ඩී. එම්. කේ පක්ෂයේ සාමාජිකයෙක් මෙන්ම සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන ඔහුව දැන් එම පක්ෂයෙන් නෙරපා දමා හමාරය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ නොවන්නට ඔහු තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ අනාගත මන්ත්‍රීවරයෙක් හෝ ඇමැතිවරයෙක් වන්නට තිබී ඇති ඉඩකඩ බොහෝය.

මෙසේ සුදු පිරුවට හැඳි ව්‍යාපාරික හා දේශපාලන වෙස්ගත් තවුගේ අඩුවක් අපේ රටේ ද නැති තරම්ය. මාකදුරේ මධුෂ් ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පසු දේශපාලනඥයන් පිරිස් හා මත්කුඩු ජාවාරම ගැන බොහෝ තොරතුරු වමාරා තිබුණේය. මාකඳුරේ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියා ලෙස එකල කටයුතු කළේ යැයි කියා හෙළි වූයේ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ්ය. අදවන විට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන අදෘෂ්‍යමාන හස්තය ලෙස සැලකෙන්නේ ද මෙම පුද්ගලයාය.

මත්කුඩු බිඳක් අතින්වත් නොඅල්ලා මත්කුඩු ජාවාරම සිදුකරන දැවැන්තයන් අතර ඉහළින්ම වැජඹෙන පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා කාලයක් තිස්සේම මෙරට ප්‍රභූන් පවා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් මත්කුඩු ජාවාරම මෙහෙයවනු ලැබුවෙකි. මෙරට මත්කුඩු ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන මේ පුද්ගලයා ද ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදක ජෆාර් සාදික්ට නොදෙවෙනිය. ප්‍රකෝටිපතියෙක් වන මේ පුද්ගලයා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් කළු සල්ලි මෙරට චිත්‍රපට දෙකක් නිෂ්පාදනයට ද වැයකර තිබුණේය. ඒ “සෙල්වම් හා පරාවර්තන“ නමැති චිත්‍රපට දෙක නිෂ්පාදනය කිරීමටය. මෙම චිත්‍රපට දෙක අතරින් සෙල්වම් චිත්‍රපටය ඔහු නිෂ්පාදනය කරනු ලබන්නේ බලවතුන්ගේ ආශීර්වාදය ඇතිවය. යුද්ධය නිමාවී කෙටි කලක් තුළ ඔහු විසින් ලොකු මුදලක් යොදවා කළ එම චිත්‍රපට දෙකට සම්මානයට පවා ප්‍රාප්ත වූ බැවින් කෝටිපති ව්‍යාපාරිකයා කරලියට එන්නේ චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසිනි. මේ පුද්ගලයා ඉතා කිට්ටුවෙන් බලවතුන් ද ඇසුරු කරන්නට වූ බැවින් ඒ ඔස්සේ දේශපාලනයටද ඉතා සූක්ෂම ලෙස පැමිණෙමින් සිටියේය. එයත් හරියට ජෆාර් සාදික් ලෙසිනි. හැබැයි මුජහිඩ් මේ දේවල් කළේ සාදික්ට කලිනි.

ව්‍යාපාරික වෙස්ගෙන සිටින මොහොමඩ් මුජහිඩ් මෙරට මත්කුඩු ජාවාරමේ ගොඩ් ෆාදර්වරයෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා හෙළි කර ගන්නේ 2014 වසරේදීය. ඒ වන විට ඔහු චිත්‍රපටි දෙකක්ද නිෂ්පාදනයකර රටින් පලාගොස් හමාරය. මේ පුද්ගලයාට බලවතුන්ගේ සම්බන්ධකම් පැවතියේ මෙරට පමණක් නොව, ඩුබායි හා මලයාසියාවේ ද ඔහුට ඉහළ දේශපාලන සම්බන්ධකම් ඇති බව බුද්ධි අංශ විසින් එකල හෙළි කරගෙන තිබුණි. මලයාසියාවේ පුරවැසිකම ද ලබාගෙන සිටින ඔහු මලයාසියාවේ පුරවැසියකුට හිමි ඉහළම ගෞරව සම්මානයෙන් පවා පිදුම් ලබා ඇත්තේ එකී සම්බන්ධකම් හේතුවෙනි. එම සම්මානය ඔහුට ලැබී තිබුණේ 2012 වසරේදීය.

මෙරට තරු පන්තියේ හෝටලයකට නොදැවෙනි තරමේ පහසුකම් ඇති මලයාසියාවේ පිහිටි නිවෙසක හිමිකරුවෙක් වන ඔහුගේ එම නිවෙසේ දොරවල් අපේ රටේ දේශපාඥයන්ට මෙන්ම පොලිසියේ ලොකු උදවියට පවා ඇරී තිබී ඇත. එම පොලිස් නිලධාරීන් අද වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් හමාරය. ඒ අය ගැන එකල බොහෝ කථා කියැවිණි.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව මරණීය දණ්ඩනයෙන් සිර දඬුවම් නියමව සිටියදී මෑතකදී බන්ධනාගාරයේදී මිය ගිය මොහොමඩ් සියාම් නොහොත් වෝඩ් ප්ලේස් සියාම් යනු මොහොමඩ් මුජහිඩ්ගේ මස්සිනාය. මරණීය දණ්ඩනයෙන් මස්සිනාව ගලවා ගන්නට පවා ඔහු එකල ලොකු ගේමක් ගසා තිබුණේ පොදු සමාව මතය. ඒ වෙනුවෙන් ඔහු විශාල මුදලක් වැයකර තිබුණු බව එකල ප්‍රසිද්ධ රහසකි. සියාම්ගේ වැඩේ ගැස්සී යන්නේ මුජහිඩ් මත්කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළි කර ගැනීමත් සමඟ ඔහු රටින් පලායන බැවිනි.

මුජහිඩ්ගේ මත්කුඩු ජාලය හෙළි වන්නේ 2014 වසරේ ජූලි 22 වෙනිදාය. ඒ සිලෝන් ටී නාමයෙන් ඔස්ට්‍රේලියාවට හෙරොයින් කිලෝ 200 ක් යැවීමට ඇති සූදානමක් ගැන අමරිකානු මත්ද්‍රව්‍ය පාලන ඒජන්සියකින් මෙරටට කළ දැනුම්දීමකට අනුව සිදු කරනු ලබන වැටලීමක් ඔස්සේය. එම මෙහෙයුම සිදුවන්නේ සැලසුම් සහගතවය.

මෙම මත්කුඩු ඇණවුමේ අතරමැදියා ලෙස කටයුතු කරනු ලැබුවේ අමෙරිකානු ඒජන්සියට සම්බන්ධ තුර්කි ජාතිකයෙකි. මුජහිඩ් සමඟ ගනුදෙනුව කතාබහ කිරීමට එම ඔත්තුකරු මෙරටට පවා පැමිණ තිබුණේය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අනු දැනුම ඇතිවය. ඒ වන විටත් සිලෝන් ටී නාමයෙන් මත්කුඩු තොගයක් මහනුවර කටුගස්තොට පැත්තේ ස්ථානයක තිබෙන්නේ ඇසුරුම් වෙමිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒ තැන වටලා හෙරොයින් කිලෝ 53 ක් සොයා ගන්නේ සිලෝන් ටී නාමයෙන් මත්කුඩු බෙදා හිරීමේ ජාත්‍යන්තර ජාලයක තොරතුරු ද හෙළි කර ගනිමිනි.

මෙම වැටලීම සිදුවන විට ඒ ගැන ඉව වැටී මුජහිඩ් සිටියේ මලයාසියාවට පලා ගොසිනි. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුට එරෙහිව නිල් වරෙන්තුවක් ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කරන විට ඔහු මලයාසියාවෙන් ද ඔහු පනින්නේ ඩුබායි රාජ්‍ය වෙතය. ඒ වඩාත්ම ආරක්ෂිත ස්ථානය ලෙස ඔහු ඩුබායි තෝරා ගන්නා බැවිනි. සිය අඹු දරුවන් සමඟ මේ වන විට ඩුබායි හි රැඳී සිටින ඔහු මෙරට මත්කුඩු ජාලයම හසුරුවමින් සිටින්නේ පකිස්තානයේ සිට මෙරටට එවන සෑම මත්කුඩු බිඳුවකම පාහේ හිමිකරු බවට පත්වෙමිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු මෙන්ම බුද්ධි අංශ තොරතුරුද සඳහන් කරනු ලබන්නේ මෙරටට මත්කුඩු කිලෝ සිය ගණනින් පකිස්තානයේ සිට කෙළින්ම රැගෙන ඒමේ මාර්ගය විවර කරනු ලැබුවේ මුජහිඩ් බවය. ඒ තුළින් බිඳ වැටෙන්නේ ඉන්දියාවේ සිට මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මෙරටට මත්කුඩු රැගෙන ආ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලයකි. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන ඔස්ට්‍රේලියාව, සීසෙල්ස්, මාලදිවයින, අප්‍රිකානු රටවලට හෙරොයින් බෙදා හැරීමේ නව මාර්ගයක් පවා නිර්මාණය කරනු ලබන්නේ මොහොමඩ් මුජහිඩ්ය. අදටත් මොහොමඩ් මුජහිඩ්ගේ එම මත්කුඩු ජාලය ක්‍රියාත්මකය.

මොහොමඩ් මුජහිඩ් හෙරොයින් තොග පිටින් මෙරටට එවා තරුණ ජීවිත බිලි ගන්නා විට ජෆාර් සාදික් මෙරට තරුණ පරපුර බිලි ගන්නේ අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට බෝට්ටු මඟින් එවමිනි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විමර්ශන ඒජන්සිවලට මේ වන විට පෙනී ගොස් ඇත්තේ ඇෆ්ගන්වල නිෂ්පාදනය කරනු ලබන හෙරොයින් තොග පිටින් පකිස්තානය හරහා ලෝකය පුරා බෙදා හරින විට අයිස් තොග පිටින් බෙදා හැරීමේ ඒකාධිකාරය හිමිකර ගැනීමට ඉන්දියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ලොකු තරගයක් මේ වන විට ඇතිවී තිබෙන බවය. මේ වන විට ඉන්දියානු මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවා ඒ ගැන විමසිලිමත්ව සිටිනු ඇතැයි කියැවෙන්නේ එම අයිස් නිෂ්පාදනය කරනු ලබන තිප්පොළ සොයා එය වටලන්නටය. ඒ පිටුපස ද සිටින්නේ යැයි අනුමාන කෙරෙන්නේ ජෆාර් සාදික්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division