Home » මූල්‍ය අර්බුදය විසඳන ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ

මූල්‍ය අර්බුදය විසඳන ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ

සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

– බඩු, විදුලි මිල අඩු කර ජනතාව සනසන යුගය අවසන් වෙමිනුයි යන්නේ
– මූල්‍ය අර්බුදයට එකම විසඳුම බදු වැඩි කිරීම නෙමෙයි
– පාසල් උපකරණ හා සෞඛ්‍යයට සහන සැලසීම ඇත්තෙන්ම හොඳ දෙයක්

ජනාධිපතිවරයා පසුගියදා පැවසුවා පැවැති අර්බුදයෙන් මැදට පැන ගින්න නිවන්න කිසි කෙනකුට හැකි වුණේ නැති බවත් තමා ගිනිගොඩ මැදට ගිහින් ගින්න නිවන්න හැකි වූ බවත්?

අරගලය හමුවේ මුහුණ දීමට ප්‍රශ්න ගණනාවක් තිබුණා. ගෝඨා ගෝ හෝම් කිව්වා, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යා යුතු නිශ්චිත දිනය, නැවත ජනතා මතයකට යා යුතුය කියන මූලික කරුණු කාරණා සමඟ එකඟ වේ නම් අපි ඊට සූදානම් බව එදා කිව්වා. අපි කිසි විටකත් ආණ්ඩුව බාර ගැනීම හෝ මේ අර්බුදය නිමා කිරීම ප්‍රතික්ෂේප කළේ නැහැ. මෙතැනදි වුණේ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුල සමඟ ඇති කරගත් පෞද්ගලික එකඟතාවන් සහ ආරක්ෂාව මත ඔහු එය භාරගැනීමයි. එයින් අදහස් කරන්නේ නැහැ, සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන පෙරමුණ ආණ්ඩුව එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළා කියලා. අපි කිව්වේ ආර්ථික සැලසුමත් සමඟ බාර ගන්නම්. එසේම මූලික කොන්දේසි 4 ක් අවශ්‍ය යැයි කිව්වා. එය ඉෂ්ට කිරීමට එකඟයි නම් අපි බාර ගන්න සූදානම් බවත් කිව්වා. මහජන මතයට බාහිරින් ගිහින් අරගලයේ අරමුණට පටහැනිව ක්‍රියා කිරීමට අපි සූදානම් වුණේ නැහැ.

ඉදිරියේදි විපක්ෂයක් විදියට මේ ආර්ථික අර්බුදයට මුහුණදෙන්න සූදානම් ද?

සමගි ජන බලවේගය හා සන්ධානය ලෙස අපි මේ අර්බුදය තේරුම් ගෙන තියෙනවා. ඇත්ත කතාව කුමක්ද? ජනාධිපතිවරයාම මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළා අපි තවමත් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගිහින් නොමැති බව. මේ තත්ත්වය හරහා සමහරුන්ට අලුත් නිදහසක් ලැබුණු බවට තේරුම් යා හැකියි. එසේ වෙලා නැහැ. අර්බුදය එතැනමයි. අපි විදේශ ණය ගෙවීම් තවමත් ආරම්භ කර නැහැ. එය කල්දමා පමණයි ඇත්තේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කිසිඳු සම්මුතියක් ඇති කර ගැනීමට නොහැකි වී තියෙනවා. විනිමය අර්බුදය තවමත් දරුණුයි. ණය නොගෙවන නිසා අපි ලැබෙන සල්ලි තෙල්, ගෑස් හා ආහාර ද්‍රව්‍යවලට වියදම් කරනවා. තව කොතරම් දවසක් මේ ආකාරයෙන් සිටින්න ද? විසඳුමක් අපි සොයාගත යුතුයි. මූල්‍ය අර්බුදයට එකම විසඳුම බදු වැඩි කිරීම නෙමෙයිනේ.

ඔබ පවසන්නේ ණය ගෙවීම ආරම්භ වූ පසුව ඇතිවන අර්බුදය මීට වඩා තවත් දරුණු වන බවද?

මූල්‍ය අර්බුදය විසඳීමට කිසිඳු නිශ්චිත ජාතික වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ක්‍රියාත්මක කරලත් නැහැ. විනිමය වැඩි කර ගැනීමට, රටේ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමට කිසිඳු ආයෝජනයක් හෝ වැඩසටහනක් නැහැ. දිනෙන් දින දවස ගත වෙනවා. ණය නොගෙවීම ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම තවත් වැඩිවුණොත් අපි වැටෙන්නේ පරණ තැනටමයි. ඒ නිසා සමගි ජන සන්ධානය ලෙස මේ තීරණාත්මක වසරක්. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. කිසිඳු මඟ හැරීමක් කරන්න බැහැ. ඒ නිසා ජනාධිපතිවරණයෙන් පස්සේ රට ගොඩගන්නා ආකාරය ආර්ථික වැඩ සටහනකින් අපි පෙන්වා දී තියෙනවා.

අර්බුදයෙන් ජය ගැනීමේ විපක්ෂයේ ආර්ථික සැලැස්ම පැහැදිලි කළොත්?

පළමු දේ අපි මේ මූල්‍ය අර්බුදයට මුහුණ දෙන වැඩසටහන හා ජාතික ආදායම වැඩි කර ගැනීමට අපි කළ යුතු දේ. අපේ විදේශ වෙළෙඳාම තවදුරටත් හඳුනාගෙන ජාතික නිෂ්පාදනය වැඩි කරගත යුතු වෙනවා. මෙය පැය 24 කින් කළ හැකි දෙයක් නෙමෙයි. නමුත් ඒ සඳහා මූලික ආරම්භය දිය යුතුයි. විවිධ නිදහස් රටවල වෙළෙඳ ගිවිසුම් හරහා අපිට අත්කරගත හැකි වාසි සොයා බැලිය යුතුයි. නමුත් ආණ්ඩුව මේ ගැන සිතා නැහැ. වෙළෙඳ පොළවල් ආක්‍රමණය කිරීමට ක්‍රියාකළ යුතු අතර පවතින අපනයනය වර්ධනය කළ යුතුයි. ජී. එස්. ටී. ප්ලස් සහනයට පාලමක් සැකසී තියෙනවා. විනිමය ආදායම වැඩිකර ගැනීමට, සේවා ආදායම වැඩි කරගත යුතු වෙනවා. තවමත් අපි සිටිනනේ සාම්ප්‍රදායික තත්ත්වයේ. ඒ මැද පෙරදිගට සේවකයන් යැවීම. මේ සඳහා තාක්ෂණික අංශයෙන් සිදු කළ යුතු පුහුණුවීම් සිදු කළහොත් අඩුම තරමින් වසර දෙකකින් හෝ ලොකු වෙනසක් ඇති කළ හැකියි. තුන්වැන්න සංචාරක ව්‍යාපාරය. මෙය ප්‍රමාණාත්මකව වැඩි වූ බව ඇත්ත වුවත් ගුණාත්මක බවින් වැඩි විය යුතුයි. සංචාරකයින් මුහුදු වෙරළේ ඇවිදීම සංචාරක ව්‍යාපාරය නොව ඊට වඩා වියදම් කරන සංචාරක ව්‍යාපාරයකට අපි යා යුතුයි. ආසියාවේ පිහිටීම සාර්ථකව මෙයට භාවිත කළ යුතුයි. දේශීය වශයෙන් ආදායම වැඩිකර ගැනීමට වියදම පාලනය කරගත යුතුයි. වියදම, නාස්තිය හා අනවශ්‍ය වියදම් පාලනයට ආණ්ඩුව ගොස් නැහැ. 2024 අයවැය ආරම්භ කර පරිපූරක ඇස්තමේන්තුවක් යැවෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලක්ෂ 12 කින් වැඩිකළ බවට. එයින් පෙනෙනවා, රාජ්‍ය මූල්‍යයට වන්නේ කුමක්ද කියා. මෙය බරපතළ ප්‍රශ්නයක්. මේවා පාලනය කරගත හැකි දේවල්.

ඔබ එසේ පැවැසුවත් රාජ්‍ය ආදායම 50% කින් වැඩි වෙලා. දැන් විපක්ෂය විවිධ හේතු සොයන්නේ තමන්ට සටන් පාඨ අඩු නිසාවත් ද?

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ආණ්ඩුවේ එකම උපක්‍රමය වුණේ වැට් බද්ද. වැට් හරහා ආදායම වැඩි වූ බව ඇත්ත. මහ ජනතාව මේ හරහා විශාල පීඩනයකට ලක්වුණා. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට වැට් බද්ද අවශ්‍යයි. නමුත් එය ජනතාවට දරාගත හැකි පරිදි විය යුතුයි. රාජය ආදායම වැඩි කරගැනීමට ඇති එකම විසඳුම වැට් බද්ද පමණක් නෙමෙයි. මිලියන 22 මේ වැට් බදු හරහා විඳවනවා. නමුත් බදු ආදායම රඳවා පැහැර හරින විශාල පිරිසක් ඉන්නවා. ආනයන අපනයන හරහා බිඳ වැටීමක් තියෙනවා. අපිට හරි දත්ත නැහැ. අපනයනය හා ආදායම හරහා අපේ රටට ලැබිය යුතු ආදායම හරියකාරව ලැබෙන්නේ නැහැ. ඊට මහ බැංකුවේ විධිමත් ක්‍රියාමාර්ගයක් නැහැ. ඇත්තමට බදු ගෙවිය යුතු කාණ්ඩයක් හඳුනා ගැනීම තවමත් දුර්වලයි. රේගුව, දේශිය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු යන මේ ආයතන තුනේ ආදායම තව 50% කින් පමණ වැඩි කරගත හැකියැයි අපි විශ්වාස කරනවා.

පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ වැට් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරලා? ආණ්ඩුව මේ වන විට විදුලි බිලත් විශාල ලෙස අඩු කළා.

පාසල් උපකරණ, සෞඛ්‍යය ඇතුළු ඒවාට සහනයක් සැලසීම ඇත්තෙන්ම හොඳ දෙයක්. මේවා කරන්නේ ජනතාවගේ පීඩනය තේරුම් ගෙනද නැතිනම් මැතිවරණයක් වෙනුවෙන් ආණ්ඩුවේ සටන් පාඨයක් ද යන්න තේරුම් ගත යුතු වෙනවා. කෙසේ වෙතත් මේ සටන් පාඨ ගෙනත් ජනතාව සනසන යුගය දැන් අවසන් වෙමිනුයි තියෙන්නේ. එවැනි අදහසකින් මෙය ක්‍රියාත්මක කළා නම් මෙය ප්‍රතිඵල රහිත දෙයක් වේවි. ඒවා ජනතාව දන්නවා. නමුත් තවමත් කියන්නේ මේ සහනාධාරය ලබා දෙන පමණක් බවයි . ක්‍රියාත්මක කරන දිනයක් හෝ නැහැ. මහ ජනතාවට සමීපව බලපාන කාරණාවලදි මේ සහනාධාරය අවශ්‍යම දෙයක්.

මහ බැංකුවේ විශාල පරිමාණයෙන් වැටුප් වැඩිවීම ගැන විපක්ෂය දැඩි ලෙස විරෝධය දක්වා තිබුණා?

මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන විවිධ තර්ක විතර්ක ගේනවා. මහ බැංකුවේ තර්කය තමන් ස්වාධීන ආයතනයක් නිසා බැංකු පනත අනුව ඒ දේ කළ බව. නමුත් අපි මෙතැනදි රටේ බිඳවැටුණු ආර්ථිකය පැත්තෙන් බැලිය යුතුයි. මහ බැංකුවම ප්‍රකාශ කරන්නේ රාජ්‍ය වියදම් සීමා කළ යුතු බව, වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව, කැප කිරීම් කළ යුතු බව. එසේ පවසා තමන්ගේ වැටුප් වැඩි කිරීම කළා නම් එය නරක පූර්වාදර්ශයක්. මහ බැංකුව පවසන්නේ තමන්ගේ වැටුප් වැඩි කරගෙන ඇත්තේ ඒකාබද්ධ අරමුදලකින් නොවන බව. රටේ ඇති සියලු අරමුදල් ජනතාවගේ අරමුදල්. ඒකාබද්ධ අරමුදල ඔවුන්ට ඕනෑ ආකාරයෙන් පරිහරණය කරන්න බැහැ. විනිවිද බවක් හා සාමූහික වගකීමක් තිබිය යුතුයි. එසේ නොවුණොත් සමස්ත රාජ්‍ය අංශයට වන්නේ කුමක්ද? බැංකු පද්ධතිය මේ තර්කය ගෙනාවොත් සිදුවන්නේ කුමක්ද? සැමටම වගවීමක් තිබිය යුතුයි. නමුත් මේ රටේ වෘත්තිකයන්ට ඉහළ වැටුපක් තිබිය යුතුයි. එසේ නැතහොත් බුද්ධි ගලනය දිගින් දිගට සිදුවිය හැකියි. මේ මොහොතේ අපේ රටේ ආර්ථික හා මූල්‍යමය තත්ත්වය හිසේ තබාගෙන වැඩ කළොත් හොඳයි.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂ විපක්ෂ තමන්ගේ ගොඩ වැඩි කිරීමේ සටනක නියැළිලා. බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතිනවා?

මැතිවරණ කාල සීමාවකදී මේ වගේ දේවල් විය හැකියි. ඉතිහාසය පුරාවටම වෙලා තිබෙනවා. සෑම කෙනාගේම හෘද සාක්ෂිය කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසුයි. මැතිවරණ කාලසීමාවකදි දේශපාලන තිරයේ මාරුවීම් සිදුවිය හැකි වුවත් සමඟි ජන සන්ධානයක් ලෙස අපි හොඳ ශක්තිමත්ව ඉන්නවා. අඩුපාඩුකම් තියෙනවා. අපි සියයට සියයක් හරි නැහැ. අඩුපාඩු තිබුණත් එය හදාගෙන ඉදිරියට යාමට හා රට වෙනුවෙන් කැපවිය යුතු පිරිසක් සමගි ජන සන්ධානයේ ඉන්නවා. විපක්ෂ නායක රට වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරනවා. විපක්ෂ නායකවරයා ලෙස ලංකාවේ කිසිඳු විපක්ෂ නායකවරයෙක් මේ ආකාරයෙන් වැඩ කරලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය පැහැදිලි ලෙසම ජයගත හැකි බවට අපේ විශ්වාසයක් තියෙනවා. අභියෝග තිබුණත් මතවාද මතභේද තිබුණත් අපේ දර්ශනය විවේචනය කළත්, පොදු මතයකට අපි එකඟ වෙනවා. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. සමගි ජන බලවේගයේ අරමුණ ජනාධිපතිවරණ සටන ශක්තිමත් කර ජයග්‍රහණය කිරීමයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division