Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

මෙවර කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහයට පදනම් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි මහාචාර්ය හරිනි අමරසූරිය මැතිනිය විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද පහත දැක්වෙන ප්‍රකාශය සම්බන්ධයෙනි.

‘ ආර්ථිකයට දත්ත නිර්ණායක අවශ්‍ය වුවත් එපමණින්ම ආර්ථිකය ගැන සාකච්ඡා කළ නොහැකිය. ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා ආර්ථිකය පැවැතිය යුතුයි. ජන ජීවිතය තුළ ඇති වන සත්‍ය අත්දැකීම් වසන් නොකළ යුතුයි. ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව විතරක් නොවෙයි. ජනතාවට වෙනත් විකල්ප තිබෙනවා. එම විකල්ප තෝරා ගන්නට ජනතාවට ඉඩ ලබා දිය යුතුයි. විකල්පයක් නැතැයි කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. කවුරුවත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරා ගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කී කතාව සත්‍යයක් නොවෙයි.‘

උගත් විද්වත් මහාචාර්යතුමිය ආර්ථික විද්‍යා මහාචාර්යවරියක නොවන නිසා ඉහත ප්‍රකාශය කරන්නට ඇත්තේ තම තම නැණ පමණින් අවංකව යැයි අපි සිතමු. නමුත් මෙලොව ඕනෑම ආර්ථිකයක තීන්දු තීරණ ගනු ලබන්නේත් එදිනෙදා ජීවත්වීම සඳහා මිනිසුන් හැසිරෙන්නේත් සංඛ්‍යා දත්ත හා ඉලක්කම් පදනම් කර ගනිමිනි.

මක්නිසාද යත් ලොව ඕනෑම රටක වෙසෙන මනුෂ්‍යන්ට කුසට අහරක්, ගතට වතක්, හිසට සෙවණක් වැනි මූලික මිනිස් අවශ්‍යතා මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආගමික, සමාජ සංස්කෘතික යනාදී වශයෙන් අනේකවිධ වූ වුවමනා අවශ්‍යතාවයන් පවතින හෙයිනි. පොදුවේ ගත් කළ සමාජ ක්‍රමයක මිනිස් අවශ්‍යතාවන් සියල්ල තෘප්තිමත් කිරීමට තරම් සම්පත් ප්‍රමාණයක් මේ ලොව නැත. වාතය, ජලය, හිරු එළිය වර්ෂාව යනාදී ස්වභාවික භාණ්ඩ ස්වල්පයක් නොමිලේ මිනිසාට ලැබුණද මිනිස් වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අනෙක් සියලුම භාණ්ඩ හා සේවාවන් නිදපවා ගත යුතුය. නිෂ්පාදනය සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය වැනි විවිධ සම්පත් උපයෝජනය කරගත යුතුය. මේ අසීමිත මිනිස් වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ලෝකයේ ඇති සම්පත් සීමිතය. මේ නිසා ලොව සෑම රටක්ම හිඟකම නැමැති පොදු ගැටලුවට මුහුණ දෙයි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉඩම් හිඟය, ගෙවල් හිඟය, පාසල් හිඟය, ගුරුවරු හිඟය, මුදල් හිඟය යනාදී වශයෙන් ඇසෙන්නේ සමස්ත ලෝකයටම පොදු වන හිඟකමේ ප්‍රශ්නයයි. ධනයෙන් බලයෙන් ආඪ්‍ය ඇ‍ෙමරිකා එක්සත් ජනපදය ගත්තත්, චීනය, රුසියා, ජපානය, එංගලන්තය, ඉන්දියාව ගත්තත් මේ සෑම රටකම ඒ සමාජයේ සියලු අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය සම්පත් නැති බැවින් ලොව සෑම රටක්ම තේරීමක් කළ යුතුය. සෑම රටකම මුලින්ම තෝරා ගත යුත්තේ නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද? කොපමණක්ද? කෙසේද? කා සඳහාද යනාදියයි. මේවා ලෝකයේ සෑම සමාජයකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්න වේ.

මහාචාර්ය අමරසූරිය මැතිනිය අපොස උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළත් ඔබතුමියගේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළත් ඒ සියලු ප්‍රශ්නවලට මූලික‍ පදනම වන්නේ අසීමිත මිනිස් වුවමනා, හිඟ කම, තේරීම යනාදියයි.

පද්ධතියක ජීවත් වන සියලු මිනිසුන් කරන්නේ තෝරා ගැනීම්ය. පරිභෝජන අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට වෙළෙඳසලකට ගිය විට තමන් සතු මූල්‍ය වත්කම් යොදා ගෙන කුමන භාණ්ඩ ගන්නවාද, කුමන භාණ්ඩ අත්හරිනවාද යන්න තෝරා ගත යුතුය. උසස් අධ්‍යාපනය ලබනවාද, රැකියාවකට යනවාද යන්න තෝරා ගත යුතුය. වී ගොවිතැන් කරනවාද බඩ ඉරිඟු වගා කරනවා ද යන්න තෝරා ගත යුතුය. බේකරිකරුවෙක් පාන් පමණක් නිපදවනවා ද වෙනත් රසකැවිලිත් හදනවාද තෝරා ගත යුතුය. මේ ඕනෑම තෝරා ගැනීමකදී ආවස්ථික පිරිවැයක් (Opportunity Cost) ඇති වේ. ආවස්ථික පිරිවැයක් දරන සෑම අවස්ථාවකදීම මිලක් ඇති වේ. එතැන් සිට සියලු ක්‍රියාවන් සිද්ධ වන්නේ ඉලක්කම්වලිනි. මිල ප්‍රකාශ කරන්නේ රුපියල් ශතවලිනි. නිෂ්පාදනය සඳහා සම්පත් මිලදී ගැනීම තක්සේරු කරන්නේ ඉලක්කම්වලිනි. නිෂ්පාදනය, බෙදාහැරීමේ පිරිවැය තක්සේරු කරන්නේ ඉලක්කම්වලිනි. පරිභෝජනය කරන්නේ ඉලක්කම් අනුවය.

අප ජීවත් වන ඕනෑම සමාජ ක්‍රමයක ප්‍රධාන ආර්ථික ක්‍රියාවන් තුනකි.

ඒ 1. නිෂ්පාදනය 2. හුවමාරුව 3. පරිභෝජනය වේ. මෙකී ක්‍රියා තුනෙන් තොර සමාජයක් නැත. මේ සෑම සමාජයකම නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය පිළිබඳ සියලු තීරණ ගන්නේ ඉලක්කම් මගිනි. ඉලක්කම් දත්ත විශ්ලේෂණය කොට විග්‍රහ කර ගැනීමට අසමත් වෙතොත් එතැනදී ඇතිවන්නේ කලකිරීම අසහනය, හා වෛරයයි. ඒ නිසා දත්ත ඉලක්කම්වලින් තොරව සමාජයක් ගැන කතා කරන කිසිවකුටවත්, දේශපාලනය කළ හැකි වෙතත් දේශපාලන කතා පැවැත්විය හැකි වෙතත් රටක් තබා ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කළ නොහැකි බව කෞටිල්‍යගේ මතයයි.

ගරු මහාචාර්යතුමිය කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහයට පිළිතුරක් ලියා එවන්නේ නම් එය ලබන සතියේ මෙම තීරුවේ පළ කළ හැකිය.

අද කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය කෙල්වින් සාමිගේ (Lord Kelvin) පහත දැක්වෙන ප්‍රකාශයෙන් නිම කරමි.

‘‘ඔබට ඔබ කතා කරමින් සිටින දෙය මැනිය හැකි විට හා දත්තයන් ප්‍රකාශ කළ හැකි විට ඔබ ඒ පිළිබඳ යමක් දනී. නමුත් ඔබ කියන දේ දත්ත මඟින් ප්‍රකාශ කළ නොහැකි විට හෝ මැනිය නොහැකි විට ඔබේ දැනුම ඉතා අල්ප හා සෑහීමකට පත් නොවන ආකාරයේ වේ. එය දැනුමේ ආරම්භය වන්නට පුළුවන. නමුත් ඔබගේ සිතුවිලි කිසිසේත් විද්‍යාත්මක තත්ත්වයකට උසස් වී නොමැත. ‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division