පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්රයේ වැඩිපුරම අවධානයට ලක් වූ පොත් දෙකක් එකම දිනයේදී එළිදැක්වීම ද විශේෂත්වයකි. පසුගිය 7 වැනිදා පොත් වෙළෙඳසල්වලට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් රචිත කෘතියක් නිකුත් වී තිබුණි. එය නම් කර තිබුණේ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ යනුවෙනි.
අනෙක් පොත වන්නේ කාටූන් ශිල්පීන් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ භූමිකාව අළලා අඳින ලද කාටුන් එකතුවකි. වජිර අබේවර්ධන විසින් සම්පාදිත එම කෘතිය නම් කර ඇත්තේ Press Vs Prez යනුවෙනි.
පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක්කර වජිර විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම සිදුවුණේ පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.
අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් මෙම සියළු විකට නිර්මාණ සිදුකළ නිර්මාණ ශිල්පීන්ට සිය ස්තූතිය පුද කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවූ කාටූන් නිර්මාණ 618ක් පමණ එක් කර මෙම කෘතිය සම්පාදනය කර තිබේ.
ජනපති වජිරව අගයයි
කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ විසින් සිදු කරන ලදී.
මෙම කෘතිය පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසූයේ මෙම කෘතිය සම්පාදනය කළ වජිරවද අගය කළේ ඉතිහාසයද මතක් කර දෙමිනි.
“මෙම කාටුන් නිර්මාණ එකතුව සම්ප්රදායක් ඉටු කිරීමක් බව කිව යුතුයි. එදා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීත් මෙවන් නිර්මාණ එකතුවන් දක්නට ලැබුණා.
ඒ වගේම ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ නිවසෙත් මෙවැනි නිර්මාණ දක්නට ලැබුණා. ඉතින් අද වජිර අබේවර්ධන මැතිතුමාත් පිළිපැද තිබෙන්නෙත් එම සම්ප්රදායයි.
කාටුන් සමඟ ජනපතිගේ අතීත මතක
මෙම නිර්මාණයට අදාළ කාල වකවානුව වන 2021-2023 කාලය දැන් අපට අමතක වෙලා තිබෙනවා. මම වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ කාටුන් නිර්මාණයක් මෙම පොතෙහි ඇතුළත් වෙලා තිබෙනවා මම දුටුවා.
මට එම අවස්ථාවේ දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ කාර්යාලයකදී එය සිදුකිරීමට බිය වුණේ ඒවා ගිනි තබයි කියලා. අනතුරුව අගවිනිසුරුතුමාට දැනුම් දී වාලුකාරාම විහාරස්ථානයේදී මම දිවුරුම් දෙනු ලැබුවා. එවැනි තත්ත්වයකයි එදා අපේ රට පැවතුණේ. ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුව වටකර තිබුණා. හමුදාවේ මැදිහත්වීමෙන් එය නවතා ගැනීමට හැකි වුණා.
ජේ. ආර්. – සර් ජෝන්
මෙම කාලය තුළ රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට අපට සිදුවුණා. ඒ වගේම රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් පියවර ගැනීමට සිදු වුණා. මේ කාලය තුළ විකට චිත්‍ර 2000ක් පමණ නිර්මාණය වෙලා තිබෙනවා. අප ඒකාධිපති රාජ්‍යයක් නම් මෙවන් නිර්මාණ බිහි විය නොහැකියි. මෙම නිර්මාණ බිහිවීම ප්රජාතන්ත්රවාදයේ කොටසක් බව කිව යුතුයි. අපහාස නීතිය ඉවත් කිරීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
අද පොත් ලියන්න පුළුවන්. රූපවාහිනී, ගුවන් විදුලි, චිත්‍රපට ඕනෑම නිර්මාණයක් සිදු කළ හැකියි. ඒ නිදහස තිබෙනවා. මේ රටේ සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 වර්ෂයේදීයි. ඒ කාලයේ සිට මේ රට තුළ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. විපක්ෂය තහනම් කළේ නැහැ. විපක්ෂ නායකයෝ සිරගත කළේ නැහැ. ප්‍රශ්න තිබුණා. නමුත් මැතිවරණයකින් පසු එම ප්‍රතිඵල පිළිගෙන ඒ අනුව පරාජය භාරගෙන බලය භාරදී ඉවත් වුණා. ආසියාවේ එසේ සිදු වූ එකම රට අපේ රට පමණයි. අපි අතර කෙතරම් ප්‍රශ්න තිබුණත් අප ප්රජාතන්ත්රවාදයට ගරු කරන රටක්.
මේ සියලු විකට චිත්රවලින් පෙන්වන්නේ රට තුළ තිබෙන නිදහසයි. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය, ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන විට මෙම විකට චිත්‍ර වැඩි වෙනවා මිස අඩු වන්නේ නැහැ. මේ ප්රජාතන්ත්රවාදී නිදහස අප ඉදිරියට ගෙන යා යුතුයි.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා පැවසීය.
ගෝඨාගේ පොතට දැඩි ඉල්ලුමක්
මේ අතර එදිනම පොත් වෙළෙඳසැල්වලට නිකුත් වූ අලුත්ම පොතක් පිළිබඳවද මෙහිදි කතාබහ විය. ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් රචනා කරන ලද ග්‍රන්ථය පිළිබඳවයි. එම පොතෙහි නම ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ එදින උදෑසන සිට මෙම පොත මිලදී ගැනීම සඳහා ප්‍රධාන පෙළේ පොත් වෙළෙඳසැල් අසල පෝලිම් ද දක්නට ලැබිණි.
තේ පානය කරමින් සිටින අතරතුර පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් කීවේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාගේ පොත ද අදම මිලදී ගෙන කියවිය යුතු බවයි.
ජනපති රනිල් සුලෝහිත සංග්‍රාමයට
ගුවන් හා නාවුක හමුදා උත්සව කිහිපයකට සහභාගි වීම වෙනුවෙන් ත්‍රිකුණාමලයට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ තඹලගමුවට ගොස් ගොවි ජනතාව මුණ ගැසීමට ද අමතක නොකළේය. කොළඹ පැමිණි ඔහු බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව වෙත ගියේ තරුණ නීතිඥවරුන් සංවිධානය කර තිබූ හමුවකට එක්වීමටය.
Whats New ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනේදි රටේ ආර්ථික දියුණුවට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ගැන කතා කළේය. තරුණ නායකයෙකු වූ රන්දුල අබේධීර මෙය සංවිධානය කොට තිබුණි. ගොවුණු මාස 14 තුළ අලුත් නීති 42ක් පාර්ලිමේන්තුවේදි සම්මත කර ගත් බව කී ජනපති රනිල් තවත් නීති 62ක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද කීවේය. ඒ අතර ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්රමය ක්‍රිකට් තරඟය නැරඹීමට ඔහු ගියේ පාසල් දෙකේ ආරාධනාව පිළිගනිමිනි.
ඔහු තරගය නරඹා ක්‍රීඩාගාරයේ සිට පහළට එද්දී ආදී ආනන්දියෙකු වූ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මුණ ගැසුණේ විදුලි සෝපානය ආසලදීය. “ඉස්සර රෝයල් තෝමියන් මැච් එකේදි විතරයි ඔබතුමාව දැක්කේ. දැන් ආනන්ද නාලන්දා මැච් එකෙත් ඉන්නවානේ.” දිනිත් චින්තක කීවේ සිනා සෙමිනි.
“ජනාධිපති හැටියට මම කාවවත් තරහ කරගන්න කැමති නෑ. ඒ නිසා ඔන්න ඔයාලගේ මැච් එකත් බලන්න ආවා.” එසේ කියමින් සිනාසුන ජනපති ඉන් පිටව ගියේ ඔහුට තට්ටුවක් ද දමමිනි.
මහ බැංකු නිලධාරින් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට
සඳුදා පස්වරුවේ සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැතුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. කැබිනට් මණ්ඩල හමුවට මහ බැංකුවේ ප්‍රධානීන් ගෙන්වා තිබුණේ වැටුප් වැඩිකර ගැනීම ගැන විමසීමටය. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු කණ්ඩායමක් පැමිණි අතර මහ බැංකු සාමුහික ගිවිසුම ප්‍රකාරව මෙම වැටුප් වැඩිකිරීම කළ බව ඔවුන් සඳහන් කර තිබුණි.
වැටුප් වැඩි කර ගැනීම ගැටළුවක් නොවුන ද මෙතරම් ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් මණ්ඩල සාමාජිකයන් මහබැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කළෝය. එහෙත් ඔවුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රජයට කළ හැකි දෙයක් නොවන්නේ මහ බැංකුව නව පනතක් මගින් ස්වාධීන ආයතනයක් කළ බැවිනි.
ජනපති පාර්ලිමේන්තුවට
බදාදා ජනපති පාර්ලිමේන්තුවට ගියේ රටේ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහයක් කිරීමටය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයටත් පෙර ජනාධිපති කාර්යාලය වෙත පැමිණ එහි සිටි මන්ත්‍රිවරුන් හා කදේට වැටුණේ සුපුරුදු පරිදිය. මුලින්ම මහාචාර්ය ආශු මාරසිංහ ජනපතිට ස්තූති කළේ ආනන්ද – නාලන්ද ක්‍රිකට් මහ සටන නැරඹීමට පැමිණීම ගැන කියමිනි.
“සර් එනවා කියලා කලින්ම අපිට කිව්වා නම් අපිත් ඇවිල්ලා ඉන්නවානේ සර්ට චියර් එක දාන්න.” ආශු කීවේ කවුරුත් සිනහා ගන්වමිනි. හදිසියේ තමන් එහි පැමිණි බව ජනපති කියද්දී ආශු යළිත් කීවේ වේත්‍රධාරි කුෂාන් ජයරත්නගේ පුත්‍රයා ද එදින ක්‍රීඩා කළ බව ය. පැමිණ සිටි කුෂාන්ට ද සුබ පැතු ජනපති පාර්ලිමේන්තු සභා ගැබ වෙත ගියේ සිය ප්‍රකාශය කිරීමටය. ඒ අතරතුර මන්ත්‍රිවරු නැඟූ ප්‍රශ්නවලට ද ඔහු පිළිතුරු සැපයුවේය.
ජනපති සිය කතාව නිමවා පිටතට පැමිණෙද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හර්ෂ ද සිල්වාට හා නාලක ගොඩහේවා මන්ත්‍රිවරුන්ට දුන් පිළිතුරු ගැන ප්‍රශංසාවෙන් කතා කළෝය. හර්ෂගේ මුදල් ඇමැතිකම නාලක ගොඩහේවාට දෙන්න යන එක ගැන විපක්ෂයේ ප්‍රශ්නයක් තියෙනවා.” මන්ත්‍රිවරු කීවේ සිනාසෙමිනි.
වසර 5ක් යනකම් ණය ගෙවන්නෙ නැහැ
“අවුරුදු 5ක් යනකම් ණය ගෙවන්නේ නෑ කියලා ජනාධිපතුමා කිව්වා. පක්ෂ විපක්ෂ සියළු දෙනා එකතු වෙලා අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරමු කිව්වා. 2042 වෙන කොට ණය ගෙවලා ඉවරයි කිව්වා. මේ සියල්ල කරද්දී විපක්ෂයට අනාගතේ රටේ තැනක් නැති වෙනවා.” ඇමැති ප්‍රසන්න කීවේ කවුරුත් සිනහ ගස්සවමිනි.
“ඔව් ජනාධිපතිතුමා හැමදාම කිව්වේ 2048 වෙනකොට ලංකාව දියුණු වෙන එක ගැනනේ. එහි අවස්ථා සම්බන්ධයක් තමයි අද කිව්වේ. 2048 වෙන කොට ලංකාව සියලු ණය ගෙවා දැමූ දියුණු රාජ්‍යයක්.” මන්ත්‍රි වජිර ද කතාවට එකතුවූවේ එලෙසිනි.
නිලධාරින් පුදුම කළ TNA මන්ත්‍රී කවුද?
මේ අතර බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මුණ ගැසීමට දෙමළ සන්ධාන මන්ත්‍රී කෝවින්දන් කරුණාකරන් පැමිණියේ රාජකාරි කටයුත්තකටය. එය නිමවා පිටව යද්දී ඔහු හා කතාවට වැටුනේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය. මෙහිදී ඔහු අපූරු විග්‍රහයක් නිලධාරීන් හමුවේ කළ අතර එය කවුරුත් නොසිතු පිළිතුරක් බැවින් සැවොම විශ්මයට පත්වූහ.
“මඩකලපුවේ දෙමළ ජනතාව 75%ක් ඉන්නවා. මුස්ලිම් අය 25%ක් ඉන්නවා. අපේ ජනතාව හිතන්නේ ජනාධිපතිතුමා එක්ක සටනට සජිත් හා අනුර යන දෙන්නා එයි කියලයි. අපේ අය අනුර මහත්තයට දෙන්න බයයි කාරණා දෙකක් උඩ. එකක් ඉන්දු ලංකා ගිවිසුමට දැක්වූ විරෝධය. අනෙක උතුරු නැෙඟනහිර පළාත් දෙකක් කරන්න කටයුතු කළේ එයාලා. ඉතින් මේ ප්රශ්නය අපේ මිනිස්සුන්ට තියෙනවා. සජිත් මහත්තයගේ තාත්තා මැරුවේ එල්.ටි.ටි.ඊ එක නිසා එයා අපේ මිනිස්සු එක්ක තරහයි. ඒක අපේ අය දන්නවා. ඒ නිසා දෙමළ ජනතාවට දැන් තියෙන එකම විකල්පය රනිල් මහත්තයා විතරයි.” මන්ත්‍රිවරයා දුන් පිළිතුරත් සමඟ නිලධාරීන් මුහුණට මුහුණ බලා ගනිද්දි ඔහු එතනින් නික්ම ගියේය.
රනිල්, මහින්ද හා බැසිල් හමුවක්
බ්‍රහස්පතින්දා පෙරවරුවේ සුසන්ත පුංචිනිලමේ හිටපු ඇමැතිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේ සාක්ෂිකාරයෙකු ලෙස අත්සන් කිරීමට ගිය රනිල් එය නිමවා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා කතා කිරීමටය. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද විවාහ මංගල්‍යට පැමිණෙද්දී ජනපති රනිල් ඉන් පිටව ගොස් තිබුණි.
විවාහ මංගලෝත්සවයේදි දෙදෙනා මුණ නොගැසුණ ද එදින රාත්‍රියේ ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේදි ඔවුන් මුණ ගැසුණෝය. ඊට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය. රාත්‍රියේ පැවැති මෙම හමුවේදි ඉදිරි දේශපාලන කටයුතු ගැන දෙපාර්ශවයේ අදහස් හුවමාරු වූ අතර ඉදිරියේදි යළිත් මුණ ගැසීමේ අරමුණින් දෙපාර්ශ්වයේ සාකච්ඡා අවසන් වූවේය.
රනිල් – දිනේෂ් සතරකන් මන්ත්‍රණයක
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ 75 වන ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 02 වන දා ය. එහි විශේෂත්වයක් වූයේ ඔහුගේ දේශපාලන දිවියට 50 වසරක් පිරීම සහ පාර්ලිමේන්තුවට පිවිස වසර 40ක් ගතවීමත් සමඟ එළඹී උපන් දිනය වීමයි. සැමරුම පිළිබඳ විමසීමේදී දිනේෂ්, සිය කාර්ය මණ්ඩලයට දුන්නේ සෘජු උපදෙසකි.
“ආගමික වතාවත් මූලික කරගෙන චාම්ව, සරලව සංවිධාන කරන්න”
සෙනසුරාදා සවස අරලියගහ මන්දිරයේ චාම් තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණි. ඒ, පවුලේ ඥාතින්, පාසලේ ආදී ශිෂ්‍යයන්, කාර්ය මණ්ඩලය ආදී සමීපතමයන් පමණක් සම්බන්ධ කරගනිමිනි. පාසල් අවධියේ කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිටි මිතුරන් අතර වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මද වෙලාවකින් එහි ළඟාවීම විශේෂ සිද්ධියක් විය.
“දිනේෂ්ට සුබ පතන්න ආවේ”
එසේ කියාගෙන එන ජනපති අසලට ගිය දිනේෂ් “අදත් එදා වගේම තමයි” යැයි කියා ජනපතිට අසුන් ගැනීමට ස්ථානය පෙන්වීය.
“එක පන්තියේ එක ළඟ හිටිය දෙන්නා රටේ ජනාධිපතියි, අගමැතියි” පවුලේ වැඩිහිටි හිතවතෙකු කීවේ මිතුරන් දෙදෙනා එක ළඟ අසුන් ගෙන සතුටු සාමිචියේ යෙදෙන ආකාරය දෙස බලමිනි.
ලබන වසරේ තියෙන ආණ්ඩුව ගැන ජනපති කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා ගම්පහ දිස්ත්‍රික් මහජන නියෝජිතයන් සමඟ දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවකට සහභාගී විය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. මෙම රැස්වීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්ර්තික් නායකයන් තිදෙනාම සහභාගී වීම විශේෂත්වයකි. ඒ ඇමැති ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන තිදෙනාය.
“ලබන වසරේත් රටේ තියෙන්නේ අපේ ආණ්ඩුවක්. ඒ නිසා ආණ්ඩුවේ මහජන නියෝජිතයන් බය නැතුව ගමට ගිහිල්ලා වැඩකරන්න. ගමේ මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය කියන්න” ජනාධිපතිවරයා කීය.
ජනපති රනිල් ප්‍රසන්නට කීවේ මොනවාද?
” ගමේ සංවර්ධනයට සල්ලි වෙන් කළේ අවුරුදු දෙකකට පස්සේ. ඔයාල ගමට ගිහිල්ලා කෙලින්ම ගමේ සංවර්ධනය පටන් ගන්න.” ඔහු යළි කීය.
“ඔයාල ගමට ගිහින් වැඩ කරන්න. කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන් කාටවත් යන්න බැරි තැනක් නෑ. මුදල් අරගෙන වියදම් කරන්න. අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩ කටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා.” කී ජනාධිපතිවරයා
“ඔයාලට එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි යනුවෙන් පුංචි විහිළුවක් ද කළේය.
“ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත් කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතුවලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.” යනුවෙන් ජනාධිපතිවරයා කීවේ ඇමැති ප්‍රසන්න දෙස බලමිනි.
ප්‍රසන්න බැසිල්ට කටුනායකදීම කිව්වේ මොනවාද?
මාස කිහිපයක් අමෙරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගිය (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත්තේය. “ කොහොමද ප්‍රසන්න” බැසිල් කීවේ ඇමැති ප්‍රසන්නගේ අත අල්ලා ගනිමිනි.
“වැඩ ටික කරගෙන ඉන්නව සර්.. දැන් ඉස්සරහට වැඩටික කරගෙන යමු සර්” ඇමැති ප්‍රසන්න ද සිනාසෙමින් බැසිල්ට කීය.
ප්‍රසන්න – බැසිල් රහස් කතාබහක්
අනතුරුව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක හා මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන බැසිල්ගෙන් සමුගෙන අනෙකුත් මන්ත්‍රිවරුන් රැඳී සිටි ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට ගියහ.
ඒ අතරවාරයේදී බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරතවිය. එය ඒ දෙපළටම සීමාවූවකි.
ලාන්සාගේ ගැන්සිය ලොබියේ වැඩ
නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු ආලින්දයේ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ.
“ජනාධිපතිතුමා ඇවිල්ල රටේ ආර්ථිකයේ ඇත්ත තත්ත්වය මෙහෙම පාර්ලිමේන්තුවට කියන එක හොඳ දෙයක්..එතකොට මිනිස්සු තේරුම් ගනී කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල”පියංකර ජයරත්න කිවේය.
“ඔව් අපිත් ජනාධිපතිතුමාට කිව්වේ එකයි අපි ජනතාවට වැඩ කරනවා වගේම දේශපාලනය කරන්නත් ඕනෑ…මිනිස්සුන්ට බොරු කියල රවට්ටලා ගේම් ගහල බලය ගත්තු කාලේ දැන් ඉවරයි ඉස්සර කලේ මිනිස්සුනට බොරු ආර්ථික කරුණු කියල බිල්ලෝ මවල බලය ගත්තු එක ”නිමල් ලාන්සා පැහැදිළි කිරීමක් කළේය.
සජිත් වෘත්තීය සමිති නායකයින් සමඟ
ආණ්ඩුව ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරිම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ. පසුගියදා රාජ්‍ය සම්පත් සුරැකීමේ ව්‍යාපාරය මේ පිළිබඳව සාකච්ඡා කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මුණ ගැසුණේය. එම අවස්ථාවට එක්වුණ බැංකු සේවක සංගමයේ අනුප නන්දුල ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව මැතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ රාජ්‍ය ව්‍යවසාය විකිණීම ගැන සඳහනක් නොවුණ බවයි.
අනූප නන්දුල කීවේ ලංකා විදුලි බල මණ්ඩලය , රක්ෂණ සංස්ථාව , ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන 40කට අධික රාජ්‍ය ව්‍යවසාය එකට එකතුව රාජ්‍ය සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ගොඩනැඟුවේ ජනතාවගෙන් බවයි.
‘‘ප්‍රතිව්‍යුහගතකරණයට අපේ විරෝධයක් නෑ. නමුත් ඒ මුවාවෙන් සිදුකරනු ලබන විකිණීමටයි අපි විරුද්ධ‘‘ මේ අවස්ථාවට එක්ව සිටි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කීවේය.
මේ පිළිබඳව රාජ්‍ය සම්පත් සුරැකීමේ ව්‍යාපාරය 11 වැනිදා පස්වරු 2.30ට මහජන පුස්තකාලයේදී දේශපාලන පක්ෂ නායකයන්ගේ , වෘත්තිය සමිති නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වන බවත් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කරන බවත් අනුප නන්දුල කීවේය.
ගෝඨාගේ පොත නාමල් කඩෙන් ගනියි
පසුගිය කාලයේ අරගලය නිසාවෙන් තනතුරෙන් ඉවත්වූ ගෝඨා පසුගිය බ්‍රහස්පතින්දා පොතක් එළි දැක්වූයේය. නාමල් බ්‍රහස්පතින්දා උදෑසනම අවදිවී කෙළින්ම ගියේ නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ පොත් අලෙවිසැලක් වෙතය. එහි එන විටත් ගෝඨාගේ පොත ගන්න පාඨකයින් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියහ.
නාමල් මෙහිදී පැමිණ සිටි පිරිස සමග අල්ලාප සල්ලාපයේ යෙදී පොත මිලදී ගත්තේය. ඇයි මේ පොත කඩෙන් ගන්නෙ ඉල්ල ගන්න එපැයි බාප්පගෙන් එතැන සිටි අයෙක් නාමල්ගෙන් විමසීය.“ නෑ නෑ පොත් සාප්පුවෙන් ගන්න එක හොදයි කියලා හිතුණා “ නාමල් සිනාසෙමින් උත්තර දුන්නේය. “ ඔව් ඔව් ඒකත් හොඳයි තමයි“ එම පාඨකයාත් නාමල් සමග පැවසීය.
ඇමැතිවරු අජිත් රාජපක්ෂගේ පිටට තට්ටු දමති
පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරුන් අදහස් දක්වන්නට වූ අතර අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා දැඩි ලෙස චෝදනාවක් කළේය.
‘ගරු ජනාධිපතිතුමනි, එක් කැබිනට් අමාත්‍යවරයකුට ගැටලුවක් ගැන කතා කරන්න සති තුනක් තිස්සේ උත්සාහ ගන්නවා. ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැහැ. මැසේජ් ගැහුවා. කිසිම රිප්ලයි එකක් නැහැ. මට විතරක් නෙමෙයි අනෙක් හුඟක් මන්ත්‍රිවරුන්ටත් ඒ ඇමැතිතුමාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වැඩ කරන එක හොඳ නැහැ. ඒකෙන් වෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්වාසය බිඳ වැටෙන එක“ යනුවෙන් අජිත් රාජපක්ෂ පැහැදිලි කරන්නට විය.
එම රැස්වීමෙන් අනතුරුව අජිත් රාජපක්ෂ වෙත පැමිණි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අජිත් රාජපක්ෂගේ පිටට තට්ටුවක් දමමින් විමසුවේ ඒ මම නෙමෙයිනෙ මල්ලි කියාය. ඒ සමඟම පැමිණි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ද කියා සිටියේ ඒක මට අදාළ නෑනෙ නේද මල්ලි කියාය.