ටෙලි නිර්මාණ ඉතිහාසය වර්ණවත් කරමින් ලාංකේය කලා ක්ෂේත්‍රයට තවත් වටිනාකමක් එක්කරන සම්මාන රාත්‍රීන් අතරින් රයිගම් ටෙලීස් සම්මාන උලෙළට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ ගේ මූලිකත්වයෙන් 2004දී ඇරඹි රයිගම් ටෙලීස් සම්මාන උලෙළට නව සම්ප්‍රදායක් එක්කරමින් සම්මාන සඳහා නිර්දේශිත නාම කල් තියා ප්‍රසිද්ධ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ 2013 වසරේදී ය. එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ රයිගම් ටෙලීස් සඳහා ජාත්‍යන්තර සම්මාන සම්ප්‍රදායේ මුහුණුවර ගෙන ඒමයි.
සංයමයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව විසි වසරක් පුරා මෙතෙක් ආ රයිගම් ටෙලීස් ගමන් මඟට ඇත්තේ ද අභියෝගාත්මක අතීතයකි. රූපවාහිනී මාධ්‍ය කලාවෙහි දස්කම් පාන විශිෂ්ටයන් අගයමින් මෙවන් සම්මාන උලෙළක් පවත්වනු ලබන්නේ ද ප්‍රේක්ෂකගේ රසවින්දනය වර්ධනය කිරීම උදෙසා වඩාත් විශිෂ්ට නිර්මාණ බිහිකරවීමට උත්තේජනයක් සැපයීමේ පරමාර්ථයෙනි.
ඕනෑම වැඩසටහනක් දීර්ඝ කාලීනව පැවැත්වීමේදී කාලයත් සමඟ අත්වැල් බැඳගනිමින් එක් එක් අවධීන් පසු කිරීමේදී එයට විශේෂිත සංකේතාත්මක නාමයක් ලබාදීම ද සාමාන්‍ය සිරිතකි. වසර 25ක් පිරීම රජත හෙවත් සිල්වර් ජුබිලිය වනවා සේම වසර 50 පිරීම ස්වර්ණ හෙවත් ගෝල්ඩන් ජුබිලිය ලෙස හඳුන්වයි. මෙවර ඔවුන් පසුකරනු ලබන්නේ විසි වසරක අභිමානයකි. එය දංකොටුව පෝසිලේන් සමාගම හා අත්වැල් බැඳගනිමින් චයිනා හෙවත් පෝසිලේන් ලෙසින් සංකේතවත් කරමින් චයිනා ජුබිලිය නමින් නම් කර තිබීම ද සුවිශේෂත්වයකි.
මාර්තු 30 වැනිදා ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත විසි වැනි රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය සඳහා නිර්දේශිත නාම එළිදැක්වීමේ සැඳෑව පසුගිය මාර්තු 1 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවතියේ ඩයලොග් ටෙලිවිෂන් අනුග්‍රහයෙනි. ද කිංඩම් ඔෆ් රයිගම් සමාගමේ සභාපති රවී ලියනගේගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම රාත්‍රිය වර්ණවත් කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සිරී රණසිංහ මහතා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙන්ම කලාකරුවන් රැසක් ද සහභාගී වූහ.
මඟුල් බෙර හඬ මධ්‍යයේ ආරාධිත පිරිසගේ සම්ප්‍රාප්තියෙන් පසුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල්පහන දැල්වීමෙන් අනතුරුව රයිගම් ටෙලීස් සම්මාන උලෙළ මෙහෙයවන ලද්දේ පූර්ණිකා පීරිස් සමඟින් තිසංක ගමගේය. අභියෝගාත්මක ආරම්භය සිහිපත් කරමින් එහි අරමුණ පැහැදිලි කරදුන්නේ සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ මහතාය. විනිශ්චය මණ්ඩලයේ සභාපති බුද්ධදාස ගලප්පත්ති මෙන්ම ප්‍රධාන ආරාධිත ලෙස ඇරයුම් ලැබූ ප්‍රවීණ පුවත්පත් කතුවර සිරි රණසිංහ මහතා පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව නිර්දේශිත නාම සංකේතවත්ව ප්‍රකාශයට පත් කරනු ලැබීය. පැමිණ සිටි පිරිසගේ රසවින්දනය උදෙසා විශේෂාංග කිහිපයක් සූදානම් කර තිබීම ද ආකර්ෂණීය දසුනක් විය.
20 වසරක් පුරාවට ආ ගමන් මඟේ අභිමානය සනිටුහන් කරමින් සමරු ග්‍රන්ථයක් පිරිනැමීම ද මෙවර රයිගම් ටෙලීස් නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ උලෙළේ දී සිදු විය.
රයිගම් ටෙලීස් සම්මාන පිරි නැමීම අදියර හතකින් ක්‍රියාත්මක වන අතර ජූරියේ සම්මාන ඇතුළු සම්මාන හැට තුනකින් සමන්විතය. එය සංකේතවත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
නාමලී ගමගේ, ඡායාරූප - නිශ්ශංක විජේරත්න