ඉන්දියාවේ පැවති “සියාරා කෙටි චිත්‍රපට උළෙල” සඳහා අපේ රටේ නිර්මාණකරුවකු වන කණිෂ්ක විජිත් විසින් නිර්මාණය කොට ඉදිරිපත් කරන ලද “කතා කරන ඇස්” කෙටි චිත්‍රපටය සඳහා පසුගියදා සම්මාන රැසක් හිමිවිය. ශ්‍රී ලංකාවේ ගැමි ජන ජීවිතය, මනුස්සකම හා ගුණදහම් කැටි කොට ගනිමින් කළ මෙම නිර්මාණය පාරම්පරික වෙද ගෙදරක්, අතරමං වූ මිනිසෙක්, විවිධ පුද්ගල චරිතවලින් යුතු විය.
මේ තරගයට ඔබ ඉදිරිපත් වුණේ කොහොමද…?
මේ තරගය සඳහා මුලින්ම අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කෙටි චිත්‍රපටයේ පිටපත ඉංග්‍රීසි මාධ්‍යයෙන් යොමු කළ යුතුයි. දෙවනුව ඔවුන්ගේ දැනුම් දීම මත තරග කොන්දේසි අනුගමනය කරමින් ඔවුන් ලබා දෙන කාලසීමාව ඇතුළත කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඔවුන් වෙත අන්තර්ජාලය මඟින් යැවීමෙන් අනතුරුව තරගය පැවැත්වෙනවා. පසුව සම්මාන උත්සවය පැවැත්වෙනවා.
ඔබ ඉදිරිපත් කළ නිර්මාණය අවසාන වටය දක්වා ආවා ද…?
තුන්වැනි වටය දක්වා මං කළ නිර්මාණය ආවා. ඒකෙදි සම්මාන පහක් අපට ලැබුණා. මිනිසත්කමට එහා ගිය මනුස්සකම තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා කියන්නයි මට ඕනෑ වුණේ.
මේ නිර්මාණයට දායක වුණු පිරිස කවුද….?
චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මම. වෙස් ගැන්වීම් හා පසුතල නිර්මාණයත් මගේමයි. ඒ සඳහා චතුරංග සහාය ලබා දුන්නා. කැමරාකරණය පහන් සහ හේෂාන් සිදු කළා. මගේ අදහසට අනුව චමින්ද සමන් පිටපත ලිවුවා. දිල්ෂාන් මලිත සංගීත නිර්මාණය කළා. පොලොන්නරුවේ ස්ථාන කිහිපයක රූගත කිරීම් කළා. රංගනය හා මේ කලාව හදාරන දක්ෂයෝ කිහිපදෙනෙක් එකතු කරගෙන මම මේ නිර්මාණය කළා. හේමාල් ටීචර් සහ පුබුදු මේ නිර්මාණයේ බරපැන සඳහා සහාය වුණා.”
කතා කරන ඇස් මොන වගේ කතාවක් ද…?
ඒක දිග කතාවක්. ඒත් කෙටියෙන් ඉදිරිපත් කළ යුතු වුණා. කැලේ අතරමං වෙලා නාගයෙක් දෂ්ට කරලා වැටිලා සිටියදී කැලේට දර කඩන්න ආව ආබාධිත තැනැත්තෙක් ඔහුව වෙද ගෙදරට එක්කගෙන යනවා. යන එන මඟක් නැති නිසා ඔහුට වෙද ගෙදර නවාතැන් ලැබෙනවා. දරුවෙක් එක්ක තනිවුණු වෙද ගෙදර දියණියගේ රැකවරණය සලසමින් හේනක් වගා කරගෙන ටික කාලයක් ඔහු ඉන්නවා. ලද දෙයින් සතුටු නොවන වෙද ගෙදර දියණියට ඔහුගේ රැකවරණය ප්‍රමාණවත් නොවෙනවා. වෙද ගෙදරින් නික්මෙන ඔහුට අම්බලමකදි තරුණියක් මුණ ගැසෙනවා. ඇසක් අහිමි වන ඇයගේ දරුවාට ඔහු තම ඇසක් ලබා දෙනවා. අවසානයේදී සසුන්ගත වෙනවා. මේ කතාව ගලා යාමේදී ඔහුට හමු වන අයගේ මනුස්සකම් සහ ඔහු තුළ වූ මනුස්සකම පිළිබඳ කතාව තුළ සියුම් ව විග්‍රහ කරන්න මම උත්සාහ කළා. සම්මානවලින් පේන්නේ ඒ උත්සාහය සාර්ථක වූ බව යි.
අපේ රටේ නිර්මාණකරුවන්ට ඔබ මේ මඟින් ලබා දෙන පණිවුඩය කුමක්ද…?
මේ වගේ තරග ජාත්‍යන්තර වශයෙන් බොහෝමයක් තියෙනවා. නමුත් අපේ රටේ වැඩි දෙනෙක් ඒ ගැන දැනුම්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි. කලාව හදාරන සැබෑ දක්ෂයෝ අපේ රටේ ඉන්නවා. ඒ අයට නිසි අවස්ථා උදා වෙනවා කියලා නම් පේන්න නැහැ. ඉතින් ඒ ගැන විමසිලිමත් වෙලා නිසි අවස්ථාවන් උදා කරගෙන රටට කීර්තියක් අත් කර දෙන්න සහ තම තමන්ගේ නිර්මාණාත්මක අත්දැකීම් පුළුල් කර ගන්නවා නම් වටිනවා. අපි වගේ අය මේ වගේ සම්මාන දිනාගෙන ආවත් ඒ ගැන හරි වටිනාකමක් පේන්න නැහැ. නමුත් කලාකරුවන් එකට එකතු වුණොත් අපටත් යම් අගය කිරීමක් රට ඇතුළෙනුත් ලැබෙනවා. දක්ෂතා තියෙන නවකයින්ටත් අවස්ථාව ලැබෙනවා.
මේ තරගයට රටවල් කීයක් ඉදිරිපත් වුණා ද…?
රටවල් දහසයකින් නිර්මාණ හැටක් විතර මේ තරගය සඳහා ඉදිරිපත් කර තිබුණා. වට තුනක් තරගය පැවැත්වුණා. තුන්වෙනි වටයේ හොඳම අධ්‍යක්ෂණය මේ නිර්මාණය උදෙසා හිමිවුණා. හොඳම පසුතල නිර්මාණය හා වෙස් ගැන්වීම් සඳහාත් මේ නිර්මාණයට සම්මාන ලැබුණා. හොඳම සමාජයීය වටිනාකමක් සහිත තේමාව උදෙසා සම්මානයත් මේ නිර්මාණය දිනා ගත්තා. එම වටයේ හොඳ ම තාත්ත්වික රංගනය උදෙසා මේ නිර්මාණයේ රඟපෑ දෙදෙනෙක් සම්මාන ලබනවා. රඟපෑමට සම්බන්ධ වුණු සැමට ඇගයීම් සම්මාන ලැබුුුණා.
තුෂාරී කළුබෝවිල