“කටේ කිරි සුවඳ යන්නට
පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි
නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලේ වතුර
ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ
නමින් රජ වුණා”
පෘතුගීසින් පෙරදිග රටකදී යුද්ධයකින් දැවැන්ත පරාජයක් ලැබූ පළමු අවස්ථාව මුල්ලේරියා සටනයි. රාජසිංහ රජුගේ විශිෂ්ට රණකාමීත්වය වගේම සිංහල හමුදාව සතු අවි ආයුධ සහ ඉතා සැලසුම් සහගත යුද උපක්‍රම ඒ ජයග්‍රහණයට හේතු වූ බව කිව හැකියි
– පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ
ඒ මෙරට බොහෝදෙනාගේ කනට හුරු පුරුදු ගීතයකි. ලාංකේය ඉතිහාසයේ සිදුවූ ඓතිහාසික සටනක් පිළිබඳ කියැවෙන එම ගීතයට අනුව සිංහල යුද සේනාවකින් අති දැවැන්ත පරාජයක් ලැබුවේ පෘතුගීසීන්ය. ඉතිහාසය යනු හැමවිටම අතීතය පිළිබඳ කරන අධ්‍යයනයක් පමණක්ම නොවේ. විටෙක එය වර්තමානයට පන්නරයක් මෙන්ම අනාගතයට ආලෝකයක් සපයන්නකි. ලාංකේය ඉතිහාසය පුරාම විටින් විට එවැනි අලෝක ධාරා දිස්වුවද අනාගත පරපුරට එහි ආලෝකය විඳින්නට ලැබෙන්නේ බොහෝ අල්ප වශයෙනි.
“එකළොස්වැනි වියේ සිට සිය ජීවිත කාලය තුළම රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් කළ සීතාවක රාජසිංහ රජු ඉතිහාසයේ කිසිදු රජෙකුට දෙවැනි නොවන වීරයෙකි. ඇතැම් අය විවිධ අදහස් පළ කරමින් ඒ වීරත්වය සුළුකොට තැකීමට උත්සාහ කිරීම අවාසනාවක්” ඒ, පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ හඬය. එම වදන්වල සත්‍යයක් නැතිවා නොවේ. එම ඓතිහාසික යුද ජයග්‍රහණයට දායක වූ සීතාවක රාජධානි යුගයේ නිෂ්පාදිත සිංහල තුවක්කු, සිංහල කඩු ඇතුළු යුද උපකරණ, කිරුම් මිනුම් හා කැණීම් උපකරණ ආදි පුරාවස්තු මෙන්ම, සීතාවක රාජධානියට අයත් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් තුළින් සහ මහජනතාව සන්තකයේ පවතින දෑ අතුරින් හඳුනාගත් ප්රාග් ඓතිහාසික යුගයට අයත් ශිලා මෙවලම් ඇතුළු සෙසු වටිනා දෑ එකම තැනකදී දැකගත හැකි කෞතුකාගාරයක් නොමැති වීම අඩුපාඩුවකි.
ඒ අඩුව සපුරාලමින් ඓතිහාසික සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ඉකුත් මාර්තු 5 වැනිදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි විය. අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අනුව සීතාවක රාජධානියට අයත් කෞතික වස්තූන් සහ ප්‍රදේශ ඒකාබද්ධ කර සංරක්ෂණය කර අනාගත පරපුරට දැකගැනීමට සැලැස්වීම එහි අරමුණයි.
සීතාවක රාජධානිය බිහිවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වුවද එම රාජධානියෙහි ප්‍රාදේශීය අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීම සඳහා මේ දක්වා ස්ථානයක් ස්ථාපිත කර නැති අතර සීතාවක ප්‍රධාන තැපැල් කාර්යාලයට යාබදව පිහිටි, දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිල නිවෙසේ එකී කෞතුකාගාරය ස්ථාපිත කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. එය කාලීන අවශ්‍යතාවක් බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ද අදහසයි.
“අනුරාධපුර සංස්කෘතියට අදාළ ඇතැම් සාධක ඓතිහාසික සීතාවක ප්‍රදේශයෙන් දැකගත හැකියි. මායාදුන්නේ රජු රාජධානිය පිහිටුවා ගත් ගොඩනැඟිලිවල පුරාවස්තු සංරක්ෂණය කරමින් තිබෙනවා. මෙවැනි කෞතුකාගාරයක් ඉදිවනවා නම් එය පුරවස්තු ද දැකගත හැකි ස්ථානයක ස්ථාපිත වීම වඩාත් සුදුසුයි. සීතාවක රාජධානිය ගැන කතා කිරීමේදී අපට ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් පළමුවැනි රාජසිංහ රජු අමතක කරන්න බැහැ. ක්‍රි.ව 1581-1592 දක්වා රට පාලනය කළ ඔහුගේ යුද පරාක්‍රමය ඉතා විශිෂ්ටයි. පෘතුගීසින් සමඟ මෙන්ම රටේ තැනින් තැන පැන නැඟුණු ප්‍රාදේශීය නායකයන් සමඟත් රාජසිංහ රජු නොයෙක් අවස්ථාවල ගැටුණා. ඒ අතරෙන් මුල්ලේරියා සටන විශේෂයෙන් වැදගත් වෙනවා. එතෙක් ලෝකයේ රටවල් ගණනාවක් ආක්‍රමණය කළ පෘතුගීසින් පෙරදිග රටකදී යුද්ධයකින් දැවැන්ත පරාජයක් ලැබූ පළමුවැනි අවස්ථාව මෙයයි. ඒ සටනින් පෘතුගීසින් 1,600ක් පමණ මරණයට පත්වූ අතර එම ජයග්‍රහණය සඳහා රාජසිංහ රජුගේ විශිෂ්ට රණකාමීත්වය වගේම සිංහල හමුදාව සතු අවි ආයුධ සහ විශේෂයෙන්ම රජුගේ ඉතා සැලසුම් සහගත යුද උපක්‍රම හේතු වූ බව කිව හැකියි ” පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ කීවේ ඒ අතීතය කරා අප ගෙන යමිනි.
“පෘතුගීසින් කෝට්ටේ රාජ්‍යයේ සහාය ඇතිව සීතාවක රාජ්‍යයට පහර දීමට එද්දි ටිකිරි කුමාරයා තමන්ගේ සේනාව සමඟ ශක්තිමත් ලෙස සටන සංවිධානය කළා. පෘතුගීසින්ට විවිධ වර්ගයේ තුවක්කු ඇතුළු දියුණු අවිආයුධ සහ ඇතිතරම් වෙඩි බෙහෙත් තිබුණත් සිංහල ගැමි හමුදාවක් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ කොහොමද කියන එක පුදුමයක්. නමුත් අපේ රටේ පාරම්පරිකව අවි ආයුධ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් තිබුණා. දුටුගැමුණු රජු තමන්ගේ සේනාව සූදානම් කරද්දි කාවන්තිස්ස රජු ඒ හමුදාවට අවශ්‍ය අවි ආයුධ වෙනම කර්මාන්තශාලාවක නිපදවා තිබීමෙන් ඒ බව හෙළිවෙනවා. ඒ ශිල්ප ක්‍රම සීතාවක රජ සමයේදී තවත් දියුණු වී තිබුණා විය හැකියි. ලංකාවේ හොඳම වානේ නිෂ්පාදනය වූ නිසා විවිධ වර්ගයේ සහ උසස් තත්ත්වයේ අවි ආයුධ නිෂ්පාදනය කරන්නට හැකිවෙන්න ඇති. කඩු, කිනිසි, කැති, පිහි, පොරෝ, උදලු මෙන්ම සාමාන්‍ය තුවක්කු, කාලතුවක්කු වගේම බෝම්බත් මේ සටනට යොදාගෙන ඇති බව පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම මේ යුද්ධය සිදු වූ මුල්ලේරියාව ප්‍රදේශයේ ස්වාභාවික පිහිටීමත් සිංහල හමුදාවට අමතර වාසියක් වෙලා තියෙනවා. මුල්ලේරියාව වෙල වගුරු බිමක් වුණත් එය සිංහල හමුදාව හොඳින් දන්න ප්‍රදේශයක් වීම ඊට හේතුවයි. ”
මුල්ලේරියාව වෙල්යාය ලේ විලක් බවට පත්කළ සිංහල පෘතුගීසි සටන පිළිබඳ රාජාවලි කතුවරයා ලියා ඇති වදන් පූජ්‍ය එල්ලාවල හිමියෝ උපුටා දැක්වූයේ මෙලෙසිනි.
“්ප්රතිකානෝ කොලොම් තොටින් පඩම් ගෙන මුහුද කිට්ටු ගම්වලින් හිර ඇල්ලීමද එදින් එදාට ඒ ඒ තැන්වලදී එදින් එදාට ඒ ඒ තැන්වලදී යුද්ධකර දෙපැත්තෙන් වැටුණු අය ද ලියන්නට පත් ඉරු පන්දහසක් ඇතත් සමාප්ත නොවේ යැයි දත යුතු”
එපමණක් නොවේ ඒ සටන එදා එතැන සිට දැකගත් අයුරින් රාජාවලි කතුවරයා මෙසේ ලියා ඇත.
“පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැඟී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර පර දමතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප්රතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්රර්තිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට පරිද ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප්රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීපදෙනෙකුත් පඩත්තලවරුන් කීපදෙනෙකුත් කොටා වැටුණාහ. රාජසිංහ රජු රජ කෙළි කෙළ ජයගෙන …..”
එපමණ බිහිසුණු දසුන් මවමින් 1562 අගෝස්තු 23 වැනිදා සිදුවූ එම සටනට ඉලංගම් සටන් පුහුණු වූ පනික්කි සටන් කරුවෝද ඇත් අස් හමුදා මෙන්ම අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන්ද සහභාගි වී ඇති බව කියැවේ. එමෙන්ම කොරතොට ප්‍රදේශය ටිකිරි බණ්ඩාර කුමරුන්ගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානයක් ලෙස පැවති බව ද පැවසේ. එකල කොරතොට කන්ද මුදුනේ සිට මුළු කොළඹම නැරඹිය හැකිව තිබූ බැවින් එය ඔත්තු බැලූ ගල හෙවත් බැලුම් ගල විය. රාජසිංහ රජු යුධ උපක්‍රම රැසක් දියත් කළ ඉතා දූරදර්ශී නායකයකු වූ අතර, සීතාවක රාජ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින් ස්ථාන කිහිපයක මුරකපොලු කිහිපයක් ස්ථාපිත කර තිබූ බවද එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අදහසයි.
“කන්ද උඩරට රාජ්‍යයට හතුරන් එනවද කියල බලන්න දෙහිඕවිට පාරේ විශාල පර්වතයක් බැලුම්ගලක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. නාරංගල කන්දෙ ඉඳලා කොළඹ පැත්තෙන් එන හතුරන් ගැන බලන්න පුළුවන්. ගැටහැත්තෙත් මුරපොළක් තිබිලා තියෙනවා.”
මුල්ලේරියා සටනින් දරුණු පරාජයක් ලැබුවද රාජසිංහ රජුට පෘතුගීසින්ගේ ඉස්පාසුවක් නොවීය. පෘතුගීසීන් ගෝවෙන් යළි සේනාව ගෙන්වාගෙන කැලණි ගඟ දිගේ බෝට්ටුවලින් ඉහළට පැමිණෙන්නට වූ අතර එසේ පැමිණි සතුරන් විනාශ කිරීමට රාජසිංහ රජු අපූරු යුධ උපක්‍රමයක් යෙදූ බව එල්ලාවල හිමියෝ පැවසූහ.
“රාජසිංහ රජු කැලණි ගඟ එකතැනකින් හරස් කරලා ගඟේ එකතැනකින් ගොඩබිම දෙසට කුඩා ඇළක් වගේ කොටසක් කපලා එතන රජතුමාගේ පඩව්ව (පාරුව වැනි යාත්‍රාවක්) නවත්වා තිබෙනවා. මේ පඩව්වේ කාලතුවක්කු, දුනු වැනි ආයුධ සඟවලා තියෙනවා. පරංගි යාත්‍රාවක් ගඟ දිගේ එද්දී රජතුමාගේ පඩව්ව එකවරම කැලණි ගඟට දියත් කරලා ඔවුන්ට වෙඩි තියලා තියෙනවා. ඒ වගේම කැලණි ගඟ ඉවුරේ විවිධ ස්ථානවල ගොඩබිමේ ඇතුළට හාරලා ඒ වගේම කාලතුවක්කු ඇටවූ පාරු බොහෝමයක් නවතා තිබිලා තියෙනවා. හතුරා ගැන කිසිම හෝඩුවාවක් නොදැන කැලණි ගඟ දිගේ එන පරංගි යාත්‍රාවලට කාලතුවක්කුවලින් වෙඩි තියලා ගඟේ ගිල්වලා තියෙනවා. ඒවා නිසා කඩුවෙලින් මෙහාට එකම පරංගි යාත්රාවකටවත් සීතාවක රාජධානියට එන්න බැරි වුණා. ජල මාර්ග තුළ මේ වගේ විස්මකර්ම යුද උපක්‍රම භාවිත කළ පළමු සිංහල රජු රාජසිංහ විය හැකියි. ඒ වගේම මෙහෙම යුධ ක්‍රමයක් ඒ වෙද්දි ලෝකෙ කොහෙවත් තිබුණා කියලත් හිතන්න බැහැ”
පුරාවිද්‍යා චක්‍රවර්ති, ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ. සීතාවක රාජසිංහ රජු ගොඩබිම සහ ජලය මෙන්ම පර්වත, කඳු, කපොලු ආදී ස්වභාවික භූ පිහිටීම් ද මඟින් සිය යුද ව්‍යාපාරයට උපරිම ලෙස ප්‍රයෝජන ගත් රජකු බව මෙවැනි කරුණුවලින් සනාථ වේ.
මීට අමතරව කැලණි ගඟේ පැවැති තොටුපොළවල් සියල්ලම රාජසිංහ රජු යටතේ පැවති බවත් කැලණි ගඟේ දෙපස පිහිටි විශාල කළුගල් පර විද එයින් ගඟේ එහා මෙහා යා වන පරිදි විශාල යකඩ දම්වැල් බැඳ තිබූ බවත් කියැවේ. රාත්‍රියේ පැමිණෙන පෘතුගීසීන්ගේ ඔරු-පාරු ඒ දම්වැල්වල පැටලී විනාශයට පත් කිරීම රාජසිංහ රජුගේ තවත් එක් අපූරු යුද උපක්රමයකි.
මුල්ලේරියාව, රක්ගහවත්ත, කඩුවෙල, හංවැල්ල වැනි ගංතලාවන් රාජසිංහ රජුගේ ප්‍රධාන යුද කෙළිබිම්ව තිබූ අතර ගුරුබැවුල (හංවැල්ල) බලකොටුව, තරාල, පූගොඩ, අකරවිට වැනි කැලණි ගම් මායිමේ තොටුපළ බොහොමයක් පරංගි සේනාවට පහර දීමට සුදුසු පරිදි සූදානම් කළ සුවිශේෂ හේවා රැඳවුම් පොළවල් විය. මුල්ලේරියා සටන ජය ගැනීමෙන් පසු රාජසිංහ රජු විසින් කැලණි ගං මිටියාවතේ මෙන්ම මල්වාන, කඩුවෙල, හේවාගම ප්‍රදේශවල ද ආයුධ සන්නද්ධ තවත් බලකොටු රාශියක් ඉදි කළ බවත් පැවසේ.
එසේ වුවද පෘතුගීසීන් ද පහසුවෙන් පසුනොබසින බව අවබෝධ වූයෙන් කොළඹ බලකොටුව බිඳ දැමීමට රාජසිංහ රජු සිය හමුදාව සමඟ 1580දී පමණ දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එහෙත් කබොක් ගල්වලින් ඉතා ශක්තිමත්ව ඉදිකර තිබූ බැවින් ඒ වෑයම සාර්ථක නොවූ නිසා රහසිගතව බලකොටුවට ඇතුළු වී පෘතුගීසින්ට පහරදීමට උමං මාර්ග කිහිපයක් හෑරීමට රජු කටයුතු කළ බවක් කියැවේ.
ක්‍රි.ව 1587දී කොළඹ කොටුව වැටලීම සඳහා සූදානම් වූ රාජසිංහ රජුගේ ඒකාබද්ධ ප්‍රහාරක බල ඇණියට සෙබළුන් 50,000ක් පමණ ද අවශේෂ කූලීකරුවන් 60,000ක් පමණ ද, අලි ඇතුන් 2,200ක්, ලෝකුරුවන් 400ක් පමණ ද, වඩු ශිල්පීන් 1,000ක් පමණ ද, ලෝකඩ කාලතුවක්කු 150ක් පමණ, බර ඇදීමට ගවයන් 40,000ක් පමණ ද, පොරෝ 10,000ක් පමණ ද, නාරස්සන 3,000ක් පමණ ද, කැති 20,000ක් පමණ, උදලු 6,000ක් පමණ ද, කාලතුවක්කු වෙඩිකරුවන් 400ක් පමණ ද, බෝට්ටු 400ක් පමණ ඇතුළත් වූ බව පැවසේ. ක්‍රි.ව 1588 පෙබරවාරි දක්වා සිදුවූ සටනින් පෘතුගීසීන්ට ඉමහත් අලාභ හානි සිදුව තිබේ. සීතාවක මැදගොඩ පත්තිනි මහ දේවාලයෙන් ලංකාවේ පැරණිම කොඩිතුවක්කුව හමුවූ අතර පසුව රත්නපුර මහ සමන් දේවාලයෙන් විශාල කොඩිතුවක්කු 2ක් හමුවී ඇත. මානියම්ගම රජමහා විහාරයේ ද කයි තුවක්කුවක් ඇත. මේ රාජසිංහ රජ සමයේ භාවිත කළ සිංහල ආයුධවලට සාක්ෂි කිහිපයක් පමණි.
රාජසිංහ රජු විශිෂ්ට රණකාමියකු වූ තරමටම ඔහුට උඩරට රාජ්‍යයෙන් මෙන්ම රට අභ්‍යන්තරයේ කැරලි කෝලාහල බහුල අවධියකට මුහුණ දීමට සිදු විය. ක්‍රි.ව 1592දී කොනප්පු බණ්ඩාර කුමරා විමලධර්මසූරිය නමින් රජවීමත් සමඟ තමාට අහිමි වූ උඩරට බලය නැවත ලබා ගැනීමට රාජසිංහ රජු සටනක් මෙහෙයවීය. එහෙත් එම සටනින් රාජසිංහ රජුට අත්වන්නේ අනපේක්ෂිත පරාජයකි.
“එකොළොස් වයස පටන් හේවාකම් කළ මාගේ ඉදිරියේ රජෙක් හිටියේ නැත. මෙදා උඩරටට පැමිණි අය පින් ඇති කෙනෙකි. මාගේ පින් පල අඩු වේ”යනුවෙන් පවසා රාජසිංහ රජු එම සටනින් පසු බැසවිත් ගිමන් හරින්නට පෙතන්ගොඩ රාජකීය උයනෙහි නැවතුණු බව රාජාවලියේ සඳහන් වෙනවා.” එල්ලාවල හිමියෝ ඒ විශිෂ්ට රණකාමියාගේ අවසාන මොහොත සිහි කරමින් පැවසූහ. එම උයනේදී උණ කටුවක් ඇනීමෙන් රජුගේ මරණය සිදුවූ බව පැවසුණද මරණය සිදු වන්නේ උණ කටුව ඇනීමෙන් ඇතිවූ තුවාලයට රජුට සතුරුව සිටි දොඩම්පේ නම් ගණිතයා හූනියම් කර විෂ බැඳීමෙන් බව රාජාවලියේ පමණක් නොව මානියංගම පුස්කොළ ලිපියේද සඳහන් වන බව උන්වහන්සේ පැවසූහ.
රාජසිංහ රජුගේ මරණය සිදුවූ දිනය සම්බන්ධයෙන් ද විවිධ අදහස් ප්‍රකට වී ඇති අතර, 1953 මාර්තු 8 වැනිදා මරණය සිදුවූ බව අලකේශ්වර යුද්ධය, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය, මානියංගම පුස්කොළ ලිපිය යන ලේඛනවල සඳහන්ය.
“රාජසිංහ රජු යුද්ධ කළේ පරංගින්ගේ රාජ්‍යය බේරා ගැනීමට පමණක් නෙවෙයි රට, ජාතිය, ආගම බේරා ගැනීම සඳහායි. නමුත් රාජසිංහ රජු අභියෝගයක් වූ පරංගින්, ප්‍රාදේශීය නායකයන් සහ ඇතැම් භික්ෂූන් රජු පිළිබඳ ජනතාවගේ සහ සංඝරත්නයේ හිත බිඳෙව්වා. පියා ඝාතනය කර රජකමට පත්වීම, ජාතකය සුජාත නොවීම වගේම බෞද්ධ ශාසනය විනාශ කර සංඝරත්නයට පීඩා කිරීම පිළිබඳ රාජසිංහ රජුට එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මගේ හැඟීමයි. අපට තිබෙන ලොකුම දුර්වලකම සැබෑ ජාතික වීරයන් හඳුනාගෙන ඔවුන්ට නිසි ගෞරව සම්මාන නොදැක්වීමයි. අඩුම තරමින් සීතාවක රාජ්‍ය ගැන ප්‍රමාණවත් තොරතුරු ඇතුළත් පොතක්වත් ලියැවිලා නැහැ.”
සීතාවක රාජ්‍යය සහ රාජසිංහ රජු ගැන ජනතාව දැනුම්වත් විය යුතු කරුණු රාශියක් ඇති බව ද එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්