Home » මොරටුවේ මෑන්පවර් ආයතනයකින් රුපියල් ලක්ෂ 25ක රන්, මුදල් කොල්ලකෑ සිවුදෙනාම ඇතුළට

මොරටුවේ මෑන්පවර් ආයතනයකින් රුපියල් ලක්ෂ 25ක රන්, මුදල් කොල්ලකෑ සිවුදෙනාම ඇතුළට

by thanushika
March 9, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීම සඳහා මත්ලෝලින් නොකරන දෙයක් නැත. පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් මිනිස් ඝාතනද සිදුකර තිබුණේ මත්ලෝලින් විසිනි. ඒ ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීම සඳහාය. මත්ද්‍රව්‍යවලින් සිදු වී ඇති විපාක අමුතුවෙන් කියන්නට වුවමනා නැත.

යුක්තිය මෙහෙයුමත් සමඟම මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වෙමින් පවතී. ජාවාරම්කරුවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් ගම්බිම් අතහැර පලා ගොසිනි. එසේත් නැත්නම් රට හැරදා ගොසිනි. එහෙත් මත්ලෝලින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ වෑයම අතහැර නැත. මේ කතාවත් එවැන්නකි. වාර්තා වූයේ බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයෙනි.

මොරටුව ප්‍රදේශයේ පිහිටි මෑන්පවර් හෙවත් මිනිස් ශ්‍රමය මුදලට පෞද්ගලික ආයතනවලට ලබා දෙන ආයතනයකට පසුගිය දිනක කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් සිවුදෙනෙක් එහි ප්‍රධානියා සහ සේවකයකුට මරණ තර්ජනය කර පහර දී බැඳ දමා අයිතිකරු සතු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා පවුම් දොළහහමාරක් පමණ වටිනා රන් මාලයක්, රුපියල් නවදහසක් සහ වටිනා ජංගම දුරකතනයක් පැහැරගෙන පලා යන්නේ විනාඩි කිහිපයක් ඇතුළතදීය.

කොල්ලකරුවන් සිවුදෙනා මන්නා පිහි අතැතිව අදාළ ආයතනයට කඩා වැදී මේ කොල්ලය සිදුකර පලාගොස් තිබුණේ අයිතිකරු සහ සේවකයාටද මරණ තර්ජන සිදු කරමිනි.

කොල්ලකරුවන් පිටත්ව යාමෙන් අනතුරුව ආයතනයේ අයිතිකරු සහ ගෝලයා මේ ගැන මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කරන්නේ කොල්ලකරුවන් කළ කී දෑ පොලිස් නිලධරයන් හමුවේ පවසමිනි.

මොරටුව පොලිස් පොතේ පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාළ සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇඟිලි සටහන් පරීක්ෂා කරමින් සී.සී.ටී.ටී. දර්ශනද ලබාගෙන ඒ ගැන විමර්ශනය කරන්නේ කොල්ල කල්ලිය ගැන හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.

මේ අපරාධ පිළිබඳ තොරතුරු ඒ වන විට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ද ඒ වනවිට ලැබී තිබිණි. එම ඒකකයේ නිලධාරීන්ද මේ කල්ලිය ගැන සොයා බැලීමට ඒ වන විට පියවර ගෙන තිබුණේ ඒ ගැන බුද්ධි තොරතුරු ද විමර්ශනයට ලක් කරමිනි.

මොරටුව පොලිසියේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙන වෙනම මේ අපරාධය ගැන විමර්ශන සිදු කරන අතරේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් (69598) අනිල්ට සිය පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් වැදගත් තොරතුරක් ලැබිණි. ඒ මොරටුව කොල්ලයේ සිවුදෙනා ගැනය. ඔවුන් ඒ වනවිටත් පෑලියගොඩ ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සිටින බව අදාළ ඔත්තුකරු සැරයන් අනිල් දැනුම්වත් කර තිබිණි.

සැරයන් අනිල් මේ ගැන සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.

බස්නාහිර දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකරගේ උපදෙස් අනුව වැටලීම සූදානම් කැරෙන්නේ ඉන් අනතුරුවය. එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ ඇතුළු කණ්ඩායමක් පෑලියගොඩ බලා යන්නේ අදාළ කොල්ල කල්ලිය සිටින ස්ථානය ගැන ලැබුණු නිශ්චිත තොරතුරු අනුවය.

පෑලියගොඩ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක මේ කල්ලිය සිටින බව පොලිස් කණ්ඩායම ඒ වනවිටත් තොරතුරු රැසක් සොයාගෙන තිබිණි.

අදාළ ගොඩනැගිල්ල පොලිසිය වටලන බව සහ තමන් කොටුවී සිටින බව මේ කල්ලිය දැන සිටියේ නැත. ඉන් මොහොතකට පසු කල්ලියේ සිවුදෙනාගේම දැත්වලට මාංචු වැටිණි.

බස්නාහිර දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගෙන එන ලද මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වන්නේ එතැන් සිටය. මේ කල්ලියේ සිවුදෙනා රත්මලානේ පදිංචිකරුවන් බව හෙළිවන්නේ එහිදීය. ඔවුන් මීට පෙර සිදු කරන ලද අපරාධ රැසක තොරතුරු එහිදී හෙළි විය. ගල්කිස්ස පොලිස් වසමේදී මේ සැකකරුවන් සිදු කරන ලද ත්‍රිරෝද රථ කොල්ලයක් සහ රන් භාණ්ඩ කොල්ලයක තොරතුරු පොලිසිය සොයා ගන්නේ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය.

මේ සිවුදෙනාම මත්ලෝලින්ය. අවුරුදු 20,36,38 සහ 44 වයස්වල පසුවන මොවුන් මත්ද්‍රව්‍ය සඳහා තදින්ම ඇබ්බැහිව සිටින අය බවද හෙළි විය.

මොරටුව මෑන් පවර් ආයතනයේ අයිතිකරුගෙන් පැහැර ගන්නා ලද පවුම් දොළහමාරක් වටිනා රන් අත්පලඳනාවත්, රන්මාලයක්, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල, වත්තල, දෙමටගොඩ ප්‍රදේශවල රන් අභාරණ උකස් ආයතනවලට අලෙවිකර තිබියදී සොයා ගන්නා ලද අතර ඒවා උකස් කර ලබා ගන්නා ලද මුදල්වලින් මේ කල්ලිය මත්ද්‍රව්‍ය මිලදී ගෙන පානය කරමින් හිතූ හැටියට විනෝද වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

එම රන් ආභරණ සහ මේ කල්ලිය මෑන් පවර් ආයතනයට පැමිණි අවස්ථාවේ එහි හිමිකරු සහ ගෝලයා බිය ගැන්වීමට ගෙන ආ මන්නා පිහියක් පොලිසිය විසින් සොයා ගැනිණි.

මේ කල්ලිය රැඳි සිටි පෑලියගොඩ දෙමහල් ගොඩනැගිල්ල ඔවුන් කුලියට ගෙන ඇත්තේ මාසිකව රුපියල් 1,20,000ක් ඊට ගෙවීමේ පොරොන්දුව මතය.

බස්නාහිර දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකරගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, එහි දූෂණ මර්දන අංශයේ උප පරීක්ෂක ඊ.පී. අනුර සැරයන් (69598) අනිල්, (7049) තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන (76495) ක්‍රිෂාන්ත, (77688) අමිල, (104881) ශාලිකා, (104888) තිසේරා, (20532) ප්‍රනාන්දු, (9006) සිල්වා යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

ඡයාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division