අපරාධයක් සිදු කර කිසිදා වසන් වී සිටිය නොහැකි බව පරම සත්‍යයයි. අපරාධකාරයන් අපරාධ සිදු කර වසර ගණනාවක් ඉක්ම ගියද නීතියේ රැහැනට කොටු වූ අවස්ථා එමටය.
මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට ද එවැනි යටගිය අපරාධවලට අත්‍යවශ්‍ය සැකකරුවන් නැතිනම් නීතියෙන් දඬුවම් හිමිව වසන්ව සිටි අයවලුන් රැසක්ම කොටුවී අවසානය. එවැනි අපරාධකාරයන් කොටු වූ පුවත් පිළිබඳ පසුගිය දිනවල බොහෝ සේ වාර්තා විණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිසියෙන් ඇසෙන මෙකී මිනිස් ඝාතනය සිදු කළ අපරාධකරු ද වසර 22ක් එනම්, 2002 සිට සැඟවී සිට යුක්තිය මෙහෙයුමේ සක්‍රියත්වය නිසා පොලිසියට කොටුවිය.
මිනිස් ඝාතනයක් සිදු කොට සැඟවී සිටියදී වසර 22ක් රට රටවලට ද පලාගොස් නැවත මෙරටට පැමිණ සිටි මෙකී අපරාධකරුට 2019 පෙබරවාරි 26 වැනිදා රත්නපුර මහාධිකරණයෙන් මරණ දණ්ඩනය ද නියම කර තිබිණි.
මරණ දණ්ඩනයට නියමව සිටි චූදිත නීතියේ රැහැනට කොටුවූ ආකාරය කුරුවිට පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.
ඒ, ඉකුත් නොවැම්බර් මාසයේ 10 වැනිදාය. එදින කුරුවිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. උදයශාන්ත සොයා පෞද්ගලික තොරතුරුකරුවකු කුරුවිට පොලිසියට පැමිණියේය.
“සර්… නියම ඉන්ෆොමේෂන් එකක් තියෙනවා… 2002 වෙච්ච මර්ඩර් එකක ඇකිවුස් පැන පැන ඉන්නේ… මිනිහා පොලිසියෙන් ‘ගත්තෙ නෑ‘ කියලා තමයි ආරංචි… පොඩ්ඩක් හොයලා බලන්න සර්… ඒ පොර සැරෙන් සැරේ අම්මා බලන්න රෑට රෑට කඳන්ගොඩ ගෙදරට එනවා යනවා කියලා තමයි ආරංචිය තියෙන්නෙ…”
ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්තට ‘තොරතුරුකරු‘ කී කතාවය.
අනතුරුව කුරුවිට පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුර දැනුම්වත්කොට පොලිස් ස්ථානාධිපතිවරයාගේද උපදෙස් මත ලැබුණු එම තොරතුරේ ‘යටගිය කතාව‘ ඇතුළු සියලු දෑ සොයන්නට විය.
2002 වසරේ සිදුවී තිබුණේ මෙවැනි සිද්ධියකි.
කුරුවිට, කඳන්ගොඩ වාසය කළ ඉමියාහාමිලාගේ ගැමුණු විජය ගුණරත්න එවකට 22 හැවිරිදිය. ඔහුගේ වැඩිමල් සහෝදරිය කමනි විවාහ වී සිටියේ යුද හමුදා සෙබළෙකු වූ චමිල රිශාන්ත ගුණසේකර සමඟය. රිශාන්ත ද ඒ වන විට 29 හැවිරිදි වියේ පසු විය.
රිශාන්ත විවාහ වුවද සල්ලාල දිවියක් ගත කරමින් සිටි අයෙකි. ඔහු වෙනත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වාගෙන ගියේය. එය දුරදිග ගොස් රිශාන්ත කමනිගෙන් වෙන්ව එම කාන්තාව විවාහ කර ගැනීමට සූදානමක් තිබිණි.
මෙය කමනිගේ පවුලේ උදවියට ඉහිළුම් නොදෙන කාරණාවක් විය. කමනිගේ බාල සහෝදරයා ගැමුණුගේ සිත ද සිය අක්කාගේ පවුල් දිවියට කණකොකා හැඬීම නිසා මහත් සේ පෑරී තිබුණේය.
දිනය 2002 වසරේ දෙසැම්බර් 23 වැනිදාය. එදින ගැමුණු, අක්කාගේ සැමියා වන රිශාන්ත සමඟ බහින්බස් විය.
“උඹ ඔය වෙන ගෑනියෙක් එක්ක තියෙන සම්බන්දෙ නතර කරපන්… උඹට ඕන අපේ අක්කව නැති කරගන්න ද? වහාම ඕක නවත්තපන්… නැත්නම් දන්නවනේ මගේ හැටි…” යැයි ගැමුණු තර්ජනාත්මකව රිශාන්තට පැවැසීය.
රිශාන්ත ද එකට එක කියමින් මස්සිනා සමඟ බහින්බස් විය. අනතුරුව බහින්බස් වීම දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය.
ඒ සමඟ ක්‍රියාත්මක වූ ගැමුණු කඩුවක් ගෙනැවිත් රිශාන්තට කොටන්නට වූයේ සිත්පිත් නැත්තකු විලසිනි. කඩු පහර කෑ රිශාන්ත අවාසනාවන්ත ලෙස සිය ඉරණම් ගමන ගියේ අනියම් පෙමක් නිසා ජීවිතය අහිමි වූ තවත් එක් පුද්ගලයකු විලසිනි.
රිශාන්තගේ ඝාතනය පිළිබඳව කුරුවිට පොලිසියට සැල වීමත් සමඟ ක්‍රියාත්මක වූ කුරුවිට පොලිස් නිලධාරින් ගැමුණු අත්අඩංගුවට ගත්තේය. අනතුරුව රත්නපුර අධිකරණයට ඉදිරිපත් කළ ගැමුණු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔහු එලෙස මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
මාස තුන ඉක්ම යද්දී අධිකරණය ගැමුණුට ඇප නියම කළ අතර රිශාන්ත ඝාතනයේ නඩුව මහාධිකරණයේ විභාග වෙමින් පැවැතිණි.
එහෙත් ඇප නියමව ‘එළිය‘ට පැමිණි ගැමුණු දින කීපයකින් අතුරුදන් චූදිතයන්ගේ ලැයිස්තුවට වැටුණේ කිසිවකුට කිසිවක් සිතා ගත නොහැකි ලෙසිනි.
රිශාන්තගේ ඝාතනයේ ප්‍රධානතම සැකකරු රත්නපුර මහාධිකරණයේ පැවැති නඩුව මඟහැර අතුරුදන් වුවද නඩු කටයුත්ත දිගටම පවත්වාගෙන යන්නට රත්නපුර මහාධිකරණය තීන්දු කිරීමත් සමග ඒක පාර්ශ්වීය ලෙස රිශාන්ත ඝාතනයේ නඩුව විභාග විය.
ගැමුණු නොමැතිව රත්නපුර මහාධිකරණයේ විභාග වූ රිශාන්ත ඝාතන නඩුව වසර 17ක් පුරා පැවතිණි. ඒ අනුව 2019 වසරේ පෙබරවාරි 28 වැනිදා රිශාන්ත ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය උදා විය. එදින රත්නපුර මහාධිකරණය රිශාන්ත ඝාතනයේ නඩු තීන්දුව ලබා දෙමින් ගැමුණුට මරණ දඬුවම නියම කෙළේය. එහෙත් ඒ වන විට ගැමුණු අධිකරණය මඟහැර පලා ගොස් වසර 17ක් පමණ විය.
එලෙස මරණ දණ්ඩනය නියමව, එහෙත් අධිකරණය මඟහැර සිටි හෙයින් ගැමුණුට වරෙන්තුවක් නිකුත් කළ මහාධිකරණය එම වරෙන්තුව ප්‍රකාරව ගැමුණු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
එම තීන්දුව එසේ තිබියදී පොලිසිය ගැමුණු අත්අඩංගුවට ගැනීමට ඔහු රට වටේ සෙව්වද ගැමුණු ආගිය අතක් නැති විය.
තීන්දුව ප්‍රකාශ කර වසර හතරක් ගත වෙද්දී තොරතුරුකරුවකු විසින් ගැමුණු පිළිබඳව කුරුවිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත දැනුවත් කරන්නේ පසුගියදාය. ඒ සමඟම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැමුණු ගැන සෙවීමට උනන්දු වූයේ මෙවැනි විමර්ශන පිළිබඳ ඔහු ලද හසළ අත්දැකීම් ඔස්සේය.
මීට පෙර ද ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත විසින් 2009 වසරේ ජුනි මස 23 වැනිදා ඇහැලියගොඩ පොලිස් වසමේ පිටකන්ද ගම්මානයේදී අතවරකොට ඝාතනය කරන ලද 15 හැවිරිදි පාසල් සිසුවියක වන කුෂානි පියුමි ජයසිංහගේ ඝාතකයාද වසර 13කට පසු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදු කළ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.
රිශාන්ත ඝාතනයේ සැකකරු පිළිබඳ හෝඩුවාව ලැබුණු සැණින් ප්‍රධාන පොලිස් පරික්ෂක උදයශාන්ත ඒ ගැන දැඩි අවධානයක් යොමු කරමින් විමර්ශන සිදු කරමින් සිටියේය. ඔහුට මුල්ම හෝඩුවාව ලැබුණේ පසුගිය නොවැම්බර් මාසයේ 10 වැනිදාය. සිය තොරතුරුකරුවන් මාර්ගයෙන් රිශාන්තගේ ඝාතකයා ගැමුණු ගැන ඔහු දිගින් දිගටම හෝඩුවාවක් සොයමින් සිටියේය. ඒ අතරේ ප්‍රධාන පොලිස් පරික්ෂක උදයශාන්තට තවත් තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේ මීට දින කීපයකට පෙරදීය.
“ඔය කියන මනුස්සයා බෝපත්ඇල්ලේ… අගලවත්ත පැත්තෙ ඉන්නවා කට්ටියක් දැකලා තියෙනවා සර්… ඒ මනුස්සයා අගලවත්තෙ වහලා දාලා තියෙන පාළු ගෙදරකට ඇවිල්ලා ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නෙ… සර් ඒ ගැන අවදානෙන් ඉන්න…”
ගැමුණුගේ ස්ථිර පදිංචි නිවස පිහිටා ඇත්තේ කඳන්ගොඩය. එහි සිට කිලෝමීටර් පහක් පමණ දුරකින් බෝපත්ඇල්ලෙ, අගලවත්ත ප්‍රදේශය පිහිටියේය. තොරතුරුකරුවකුගෙන් ගැමුණු ගැන ලැබුණු එම හෝඩුවාව පිළිබඳව පොලිසිය සෝදිසියෙන් පසු විය. මේ අතරේ අගලවත්තේ පාළු නිවසක ගැමුණු සිටින බව කී එම තොරතුරුකරු නැවත දිනක් ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත ඇමැතීය. ඒ ඉකුත් පෙබරවාරි 23 වැනිදා සවසය.
“සර්… අන්න දැන් අර ගැමුණු මං කියපු පාළු ගෙදරට ඇවිල්ලා ඉන්නේ… ඉක්මනට ආවොත් මිනිහව අල්ලගන්න පුළුවන්… දැන්මම එන්න සර්…“ යැයි කීවේය.
එම තෙරතුර කුරුවිට පොලිස් ස්ථානාධිපති රංජිත් මිණිපුර විසින් රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස දැනුවත් කරමින් ඔහුගෙන් ලද උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එච්. එම්. ඒ. ලෙවන්ගමගේ අධීක්ෂණයෙන් ගැමුණු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සූදානම් කෙරිණි.
ඒ අනුව ගැමුණු කොටුකර ගැනීමට අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක වර්ණසූරිය, සැරයන්වරුන් වන 42980 නිශ්ශංක, 42962 අජිත්, කොස්තාපල්වරුන් වන 28184 සුරේෂ් සහ 63605 සම්පත් යන නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම බෝපත්ඇල්ලේ, අගලවත්ත ප්‍රදේශයේ පිහිටි තොරතුරුකරු කී එම නිවස සොයා ගියේය. ඒ වන විට අඳුර වැටෙන්නට ද ආසන්නය.
නිලධාරි කණ්ඩායම දුටුවේ එම නිවස තොරතුරුකරු කී ආකාරයටම පාළු නිවසක් බවය. පොලිස් නිලධාරි කණ්ඩායම නිවස වැටලීය. එම නිවසේ කිසිවෙක් සිටින බවට කිසිම හෝඩුවාවක් නොවීය. දොරවල්ද ස්ථිර ලෙස ඇණ ගසා වසා තිබිණි. ජනෙල්ද තහඩු, ලෑලි සහ ඉටි කොළවලින් වසා දමා තිබිණි. නිලධාරින් ශබ්ද නඟා නියෝග කළේ නිවස ඇතුළේ කිසියම් පුද්ගලයකු සිටී නම් ඔහුට වහාම නිවසින් එළියට එන ලෙසය. එහෙත් නිවස ඇතුළෙන් කිසිම හා-හූවක් නැත.
අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත නිවසේ පිටුපස දොර පැත්තට යද්දී නිවස ඇතුළෙන් එක්වරම කිවිසුම් ශබ්දයක් ඇසිණි. එම කිවිසුම ගැමුණුගේ කට්ටි පැනීමේ අවසානය විය. ඒ සමඟම පොලිසියට ඒත්තු ගියේ නිවස තුළ කිසිවකු සිටින බවය. පොලිස් නිලධාරින් ද සූදානම් වූයේ නිවස තුළ සිටින පුද්ගලයාගේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි කිසිවක් නොදත් හෙයිනි.
එසැණින් පොලිස් නිලධාරින් ජනේලයක් වසා තිබූ ඉටිකොළයක් ගලවා නිවස ඇතුළට කඩා වැදුණේ සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනි. ඒ වන විට නිවෙසේ බිම මෙට්ටයක් එළාගෙන කෙනෙකු නිදාගෙන සිටියේය. ඒ ගැමුණු බව පොලිස් නිලධාරින්ට ලද තොරතුරු ඔස්සේ හඳුනා ගන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. එම පුද්ගලයාට නිවෙසින් පලා යාමට කිසිම ඉඩක් නොතිබුණේ නිවස ‘සීල්‘ කළ ආකාරයෙන් වසා තිබූ හෙයිනි.
“තමුන්ගෙ නම මොකක්ද?“ පොලිස් නිලධාරියෙක් එලෙස විමසුවද ඔහු නිරුත්තර විය.
අනතුරුව ඔහුගේ පිට ප්‍රදේශයට තට්ටුවක් දමන අතරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයශාන්ත ඇසුවේ, “තමුන් ගැමුණු නේද?“ කියායි.
“දැන් නම කියලා වැඩක් නෑ නේ සර්… සර්ලා ඔක්කොම දන්නවනේ…“ කියා නිවසේ සිටි එම පුද්ගලයා කීවේ තමා ගැමුණු බව පසක් කරමිනි.
එලෙස අත්අඩංගුවට ගත් ගැමුණු කුරුවිට පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කෙරිණි.
“සර්… සර්ලා අද මාව අල්ලගත්තෙ නැත්නම්… සර්ලාට මාව කවදාවත් අල්ලගන්න හම්බ වෙන්නෙ නෑ… මං හෙට රට යන්න හිටියේ සර්… මම රටවල් කීපයක අවුරුදු දහයක් විතර හිටියා… ආයෙත් හෙට යන්න හිටියේ… එහෙම ගියානම් මං ආයෙත් මැරෙනකල්ම ලංකාවට එන්න නෙවේ හිටියේ… ඒක මගේ වෙලාව…“ ගැමුණු කීවේ සුසුම් හෙළමිනි.
එය අපරාධයක් කළහොත් නිසි දඬුවම් විඳින්නට වන බව නැවත පසක් වන හොඳම අවස්ථාවකි.
ගැමුණු මීට වසර කීපයකට පෙර සිට වසර 10ක පමණ කලක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ හොරණ ප්‍රදේශයේ ‘සැඟවුණු දිවිය‘ක් ගත කර තිබිණි. ඔහු ඒ අතර සිය මව ඇතුළු ඥාතීන් බැලීමට හොර රහසේ කුරුවිට, කඳන්ගොඩ නිවසටද පැමිණියේය.
“සර්… මං හොරණින් ආවේ යුක්තියට බයේ… යුක්තිය ඔපරේෂන් නිසා හොරණදී මාව අහුවෙයි කියලා බයක් ඇතිවුණා… ඒක නිසා තමයි පහුගිය දවසක අගලවත්තෙ ඒ පාළු ගෙදරට ආවේ…“ ගැමුණු නැවතත් පැවැසීය.
අවිවාහකයකු වන ගැමුණු අත්අඩංගුවට ගත් නිවසේ හිමිකරු පරකඩුවේ අයෙකි. ඔහු එම නිවසේ ගැමුණු සැඟවී සිටි බවක් තමන් නොදැන සිටි බව පොලිසියට ද කීවේය.
මරණ දඬුවමින්ද ගැලවී විසි දෙවසරක් සැඟව සිටි ගැමුණු යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක වීමත් සමඟ කුරුවිට පොලිසියේ අත්අඩංගුවට පත්වීමත් සමඟම රත්නපුර මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අනතුරුව ගැමුණු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව මහාධිකරණය විසින් දින තුනක කාලයක් ඔහුට ඒ සඳහා ලබා දුන්නේය.
සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, රත්නපුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න සහ රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත රත්නපුර සහකාර පොලිස් අධිකාරි එච්. එම්. ඒ. ලෙවන්ගමගේ අධීක්ෂණයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. උදයශාන්ත, උපපොලිස් පරීක්ෂක වර්ණසූරිය, පොලිස් සැරයන්වරුන් වන 42980 නිශ්ශංක, 42962 අජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන 28184 සුරේෂ් සහ 63605 සම්පත් යන නිලධාරීහු විමර්ශනවලට එක් වූහ.
ඡයාරූප- කේ. ඒ. සුනිල් කුරුවිට
අමිල මලවිසූරිය