Home » රූපලාවණ්‍ය ශිල්පිනියකගේ රන් අබරණ කොල්ලකෑ කත කොටු වූ හැටි

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ රන් අබරණ කොල්ලකෑ කත කොටු වූ හැටි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

අනියම් සැමියා සමඟ එකතුවී කළ අපරාධයක්

“ඉක්මනට ලක්ෂ ගාණක් හොයාගෙන අපි දෙන්නත් එක්ක රට පනිමු. නැත්නම් හරියන්නේ නෑ මේ වැඩේ”

කල්පනී අනියම් සැමියාට මෙලෙස පැවසුවේ වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට පිළියමක් වශයෙනි. මුදල් සොයා ගැනීමට පහසු මාර්ගය කුමක්දැයි ඔවුන් දෙදෙනාම හොඳින් දැන සිටියේ අද ඊයේ නොවේ. කැසිනෝ සූදුවට ඇබ්බැහි වූවකු වන ඔහුට කොහොමත් මුදල් යහමින් අත්‍යවශ්‍යමය.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තවමත් තිස්නව හැවිරිදි වියේ පසු වූ හැඩකාරියක් වූ කල්පනී එක්දරු මවකි. ඇයට ඔහු හමුවන්නේ බම්බලපිටිය ප්‍රදේශයේ කැසිනෝ සමාජ ශාලාවකට ගිය අවස්ථාවකදී අහම්බෙනි. ඒ මීට මාස තුනකට පමණ ඉහතදීය. කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු කාම්බෝජයේ රැකියාවක් කර පැමිණ පුද්ගලයන් රට රැකියාවලට යැවීමේ නිරත වූයේ වැඩිපුර මුදලක් අතට ගැනීමටය. එහෙත් මේ වන විට ඔවුන් පැමිණිලි කර ඇත්තේ ලක්ෂ හතළිස් හතරක මුදල් වංචාවක් මොහු විසින් කර ඇති බවටය.

‘කල්පනී’ ඔහු සමඟ ඇතිකර ගත් මිතුදම වසර දොළහක විවාහ ජීවිතයට තිත තැබීමට තරම් ප්‍රබල වූයේ කෙසේදැයි රහසකි. ඉන් පසු එකම දරුවාද අමතක කර දමා ඇය ඔහු සමඟ විදේශගත වූයේ කිසිවකුටත් නොදැනෙන ලෙසය.

නැවත මෙරටට පැමිණි පසු මෙම යුවළ මුදල් සොයා ගැනීමට තෝරාගත්තේ අපූරු ක්‍රමයකි. දිනය පසුගිය 23 වැනිදාය. හොඳින් ඇඳ පැලඳ ගත් කල්පනී අනියම් සැමියා සමඟ පිටත්ව ආවේ මොරගහහේන, ගෝනපළ ප්‍රදේශයටය.

“මිස් මගෙ අයිබ්‍රෝ හදාගන්න ඕනෑ”

‘පලන්නොරුව සැලොන් තමරා’ ආයතනයට ගොඩ වූ ඇය පැවසුවේ තම රූපය ගැන ඕනෑවටත් වඩා සිතමිනි. මේ අතර ආයතන හිමිකාරියගේ ගෙල වටා දිලිසෙන රන්මාලය දෙස කෑදර බැල්මක් හෙළු කල්පනී අනියම් සැමියාට ඇසක් ඉඟි මැරුවේ යටි සිතින් සිනාසෙන අතරය.

“වැඩේ කරමු”

ඔහුට රහසින් එසේ පැවසූ කල්පනී ඇහි බැම සකස් කළ පසුව ආයතන හිමිකාරියට ඇඟටපතට නොදැනීම තවත් යෝජනාවක් ගෙනාවාය.

“මිස්. පේෂල් එකකුත් කරගන්න ඕන”

“එහෙනම් යමු ඇතුළට…”

ඇයට වුවමනා පේෂල් එකක් නැත. අහල පහල කිසිවෙකුත් නැති වෙලාවේ යටි සිතේ තිබූ අරමුණ ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුය. අත් බෑගයේ මෙතෙක් වේලා සඟවාගෙන සිටි පිහිය එළියට ඇදගත් කල්පනී රන් මාලය කඩා ගැනීමට සැරසුණේ ඇය සමඟ ඇතුළු කාමරයට යන අතරය.

“හොඳ හිතින් ගලවපන් ඔය මාලේ”

ගෙලට පිහියක් තබා සිදුකළ තර්ජනයෙන් හොඳටම බියට පත් ආයතන හිමිකාරිය කෑගසමින් කලබල කර දඟලද්දී බිම වැටුණේ කල්පනී ද සමඟය. ඔවුන් දෙදෙනා පොර බදද්දී පිරිමියා විසින් ඇගේ පවුමක් බර මාලයත් පෙණ්ඩනයත් ඉමිටේෂන් මාලයත් කඩා ගත්තේ එක්වරමය. ඉන්පසු ඇගේ අත පැලඳ සිටි පවුමක් බර බේස්ලට් එකද කඩා ගත්තේ ඇගේ අතට පිහියෙන් ඇන තුවාල සිදු කරමිනි. මේ කලබගෑනිය ඇසුණු එම ගොඩනැඟිල්ල හිමි 78 හැවිරිදි වියපත් මිත්තණිය එතැනට පැමිණියේ හැරමිටිය ද අතැතිවය. ඇය දුටුවේ රූපලාවණ්‍යාගාර ශිල්පිනිය බිම පෙරළාගෙන මොවුන් දෙදෙනා පොරබදන බවය.

“අතෑරපං මගෙ කෙල්ලව. අතෑරපං”

ඇගේ හැරමිටි පහර වැදුණු ආගන්තුක පුද්ගලයා පැන දිවුවේ කල්පනීව ද අමතක කරය. කල්පනී ද එළියට පැන්නද ලේ ගලන තුවාල සහිතව සිටි රූපලාවණ්‍යාගාර ශිල්පිනිය ඇගේ කෙස් වැටියෙන් අල්ලා අසීරුවෙන් වුවද ඇතුළට ඇදගෙන පැමිණ කෙසේ හෝ පහර කිහිපයක් දී කල්පනීව මෙල්ල කරගැනීමට කටයුතු කළේ පෙර පිනකටය.

අසල්වැසි පිරිස එතැනට රොක් වෙද්දී අනියම් සැමියා රන් බඩු රැගෙන පලා ගොස් සිටි අතර කල්පනී කොටුකර ගැනීමට පිරිස සමත් වූහ.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නට මෙම තොරතුර ලැබෙන්නේ මේ අවස්ථාවේදීය. පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේගේ උපදෙස් මත හොරණ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්. එස්. යූ. තෙන්නකෝන් ඇතුළු නිලධාරින් එතැනට යන්නේ ඉන් පසුවය. තුවාල ලබා සිටි කල්පනී ද රෝහල්ගත කෙරිණි.

“මටත් තුවාලයි සර්. ඒකි මටත් හරියට ගැහුවා. ඇඟත් රිදෙනවා හොඳටම”

කල්පනී පොලිස් නිලධාරීන්ට ගජබින්නයක් නොවුණත් එලෙස දෙසා බෑවේ ඊළඟට ගත යුතු පියවර කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවය. ඇය රෝහල්ගත කරන්නේ පොර බැඳීමෙන් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීමටය.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ 14 වැනි වාට්ටුවේ ඇඳකට කොටු කළ කල්පනී රෝහලෙන් පලා ගියාය. ප්‍රධාන මාර්ගයට පැමිණ හොරණ බස් නැවතුමෙන් කොළඹ බලා යන බස් රථයකට ගොඩ වී ඇත්තේ සැලසුමකින් තොරව විය හැකිය. ඊළඟට ඇය කොළඹින් පිටත් වූයේ කතරගම බලාය.

මේ අතර මෙම සැකකාරියට විරුද්ධව වරෙන්තු දෙකක් නිකුත් කර තිබිණි. ඒ රන් භාණ්ඩ කොල්ලකෑම හා පොලිස් අත් අඩංගුවෙන් මිදී පලායෑම සම්බන්ධයෙනි.

ඇය නැවතත් පිළියන්දල ප්‍රදේශයේ නිවසට ආවේ කතරගම වන්දනාව අවසන් කරමිනි. ආන්දෝලනයට තුඩු දුන් ගෝනපළ කොල්ලයේ සැකකාරිය පිළියන්දල ප්‍රදේශයේ සිටින බව දුටු පුද්ගලයෙකු හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විශ්වනාත්ට මේ පිළිබඳ දැනුම් දුන් අතර බුද්ධි කොට්ඨාස නිලධාරියකු විසින් මෙම කාන්තාව මොරොන්තුඩුව ප්‍රදේශයට පැමිණෙන බවට මොරොන්තුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එම්. එස්. යූ. තෙන්නකෝන්ටද තොරතුරු ලබා දී තිබිණි.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමේදී දැල්කඩ කැඳ කඩය අසල ත්‍රිරෝද රථයක සිටියදී කල්පනී කොටුකර ගැනීමට හැකි වූයේ ඇගේ සියලු රඟපෑම් හමාර කරමිනි.

“මේ පැත්තෙ යාළුවෙකුගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්න ආවා සර්”

කටේ තොලේ නොගෑවී ඇය පිළිතුරු දුන්නේ තවදුරටත් පොලිසිය ඇන්දවිය හැකි යැයි සිතා විය යුතුය. මොරොන්තුඩුව පොලිසිය ඇය හොරණ මූලස්ථාන පොලිසිය වෙත භාර දෙන්නේ ඉතිරි විමර්ශන සිදු කිරීම සඳහාය.

දින 19ක කාලයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිදුකළ කල්පනීගේ රඟපෑම නිමා වූයේ ඒ අයුරෙනි. රුපියල් තුන්ලක්ෂ පනස් දාහක් පමණ වටිනා රන්බඩු කොල්ලකා පලා ගිය ඇගේ අනියම් සැමියා සොයා විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර විවිධ ප්‍රදේශවල මොවුන් විසින් සිදු කරන ලද කොල්ලකෑම් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද පොලිසිය පවසයි.

විනීතා මානෙල් ගමගේ හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division