– සොරගාත් බැංකු කාඩ්පත් හතක් සැකකරු සන්තකයේ
– ගනුදෙනුකරුවන් අන්දා ඒ.ටී.එම්. කාඩ්පත් වංචනිකව මාරු කරලා
පසුගිය ජනවාරි මස 26 වනදා කිරිබත්ගොඩ පොලිසියට පැමිණි පුද්ගලයෙකු තම ඒ.ටී.එම්. කාඩ්පත නාඳුනන පුද්ගලයෙකුගේ අතට පත්වී ඇතැයි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රෝහණ සරත් නන්දසිරිට පැමිණිලි කර තිබිණි. ඔහු වැඩිදුරටත් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයාට පවසා සිටියේ රුපියල් ලක්ෂයක පමණ මුදලක් වංචනික පුද්ගලයකු එකවරම තම ගිණුමෙන් තමා ඉදිරියේදීම තම ‘ඇස් වසා’ ලබාගෙන පලා ගිය බවය.
වහාම ක්‍රියාත්මක වූ කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළේය.
පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ මෙවැනි කතාවකි.
කිරිබත්ගොඩ පොලිස් වසමේ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුදල් අවශ්‍යතාවකට සිය බැංකු කාඩ්පතින් මුදල් ලබා ගැනීම සඳහා කිරිබත්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. කුටියක් වෙත ගොස් ඇති අතර, එම යන්ත්‍රයෙන් ඔහුට මුදල් ලබා ගැනීමට අපහසු වී තිබේ.
ඒ අවස්ථාවේදී ඔහු පසුපසින් මුදල් ලබා ගැනීමට පෝලිමේ සිටි අයෙක් ඉතාම සද්භාවයෙන් ඔහුට සහායට පැමිණ ඇති අතර, ඊරියවැටියේ පුද්ගලයා තම බැංකු කාඩ්පත තම සහායට ආ පුද්ගලයා අතට පත්කර ඇත්තේ එම කාඩ්පත භාවිත කර තමන්ට මුදල් ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටිමිනි. උපකාරයට ආ පුද්ගලයා පසුව ඊරියවැටියේ පදිංචි පුද්ගලයා පවසා ඇත්තේ ඔහුට ද එම කාඩ්පතින් මුදල් ලබා ගැනීමට නොහැකි බවය. කාඩ්පත නැවත හිමිකරු අතට දී නාඳුනන පුද්ගලයා පිටතට ගොස් තිබේ.
කාඩ්පත අතට ගත ඊරියවැටියේ පුද්ගලයා එම ඒ.ටී.එම්. කාඩ්පත තමා නාඳුනන පුද්ගලයාට දුන් තමාගේ නියම කාඩ්පත නොවන බවට වටහා ගන්නා විට උපකාරයට පැමිණි වංචනිකයා බැංකුවෙන් බැහැර බොහෝ දුරට පලා ගොස් තිබුණේ ඊරියවැටිය පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් ලක්ෂයක්ද වංචනිකව ලබාගෙනය.
තම ඒ.ටී.එම.් කාඩ්පත නාඳුනන පුද්ගලයා විසින් ව්‍යාජ කාඩ් පතකට මාරුකර ඇති බව වටහා ගත් ගිණුම් හිමිකරු වහාම බැංකුවට ගොස් කාඩ්පත තහනම් කරන ලෙස ඉල්ලා සිට ඇති අතර, ඒ වන විටද ඔහුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් සැකකරු විසින් ලබාගෙන තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසියට ලද පැමිණිල්ල අනුව ඒ.ටී.එම්. කුටියේ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කළ කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු ගිණුම් හිමිකරුගෙන් ඉල්ලා ගත් ඒ.ටී.එම්. කාඩ්පත ඔහු සතුව තිබූ ව්‍යාජ කාඩ්පතකට මාරු කරන අන්දම එම ආරක්ෂිත කැමරා දර්ශනවල පැහැදිලි ලෙසම තිබියදී සොයාගෙන සැකකරු පසුපස හඹා යාම ආරම්භ කර තිබුණේ ඔහුට තවත් පුද්ගලයෙකුගෙන් ඒ.ටී.එම්. කාඩ්පතක් සොරාගැනීමට ඉඩ නොදෙමිනි.
ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුගේ සේයාරුවක් ලබාගත් විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එම සේයාරුවට සමාන හැඩරුව ඇති පුද්ගලයෙකු කිරිබත්ගොඩ ගාල හන්දියේ සැරිසරන බවට පොලිසියට ලද රහසිගත තොරතුරක් මත කිරිබත්ගොඩ ගාල හන්දියේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරද මත අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට අයත් ඒ.ටී.එම්. කාඩ්පත් හතක් සොයාගෙන ඇති අතර, එම කාඩ්පත් උපයෝගී කර ගනිමින් සැකකරු වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය. මෙම සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අංක එක අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රෝහණ සරත් නන්දසිරි අපරාධ විමර්ශන අංශයේ සැරයන් (2725) සිසිර කුමාර, කොස්තාපල්වරුන් වන (9087) සේනාධීර, (82436) ලක්මාල්, (101923) ප්‍රියන්ත, (79778) පත්මසිරි, (20689) සුගන්ධ යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණ ක්‍රියාවලිය සඳහා සැරයන් අරුණ කුමාර සහ කොස්තාපල් ඩී.එම්.ඒ.එන්. රත්නායක යන නිලධාරීන් ක්‍රියා කර තිබිණි.
ඩිජිටල් යුගයට ලෝකය ගමන් කරද්දී ශ්‍රී ලාංකිකයන් වූ අප නවීන තාක්ෂණය ඔස්සේ සාර්ථක ගමනක් ආරම්භ කරමින් මූල්‍ය ගනුදෙනු ඇතුළු තවත් බොහෝ නීත්‍යනුකූල ගනුදෙනු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කරමින් සිටිමු.
මුදල් සන්තකයේ තබා ගැනීමට වඩා කාඩ්පතක් සන්තකයේ තබා ගැනීම මුදල්වල ආරක්ෂාවට මෙන්ම මුදල් රැගෙන එහා-මෙහා යාමට වඩා සුරක්ෂිත බැවින් ජනතාවගේ සුබසෙත පිණිස හඳුන්වා දුන් ආරක්ෂිත කාඩ්පතද මේ වන විට අනාරක්ෂිත තත්ත්වයට පත්වී ඇති බවක් පෙනෙන්නට ඇත.
ඊට මූලික හේතුව කාඩ්පත් හිමිකරුගේ නොසැලකිල්ල මිස වෙනත් හේතුවක් නොවන බව මෙහිලා සඳහන් කළ යුතුම වන අතර, ඔබේ බැංකු කාඩ්පත කිසිම හේතුවක් මත නාඳුනන කෙනෙකු අතට නොදීමටත් පෞද්ගලික ප්‍රවාහන සේවාවලදී ඔබේ මුදල් පසුම්බිය අත්බෑගය පිළිබඳව අවධානයෙන් සිටීමත් පුරවැසියෙකු ලෙස ඔබේ මූලික වගකීම වනු ඇත.
එමෙන්ම කුමන හේතුවක් මත හෝ ඔබේ කාඩ්පතේ රහස්‍ය අංකය කාඩ්පතේ කවරය තුළ එකට තබා ගැනීමද ඔබ විසින් කරන බරපතළ අනුවණකමක් බැවින් රහස් අංකය සඳහන් කළ කිසිම සටහනක් අත්බෑගයේ හෝ පසුම්බියේ දමා ගැනීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කැලණිය - කේ. එස්. හැන්නදි