Home » වයස 19 ‘පෙම්වතා’ පොලිසියෙදී තරුණියක් වෙලා

වයස 19 ‘පෙම්වතා’ පොලිසියෙදී තරුණියක් වෙලා

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

– කැබිතිගොල්ලෑවේ පදිංචි වයස 19 යුවතිය පිරිමි කටහඬකින් මාතර 15 සිසුවිය රවටා පෙම්වතකු ලෙස පෙනීඉඳලා
– 15 සිසුවියගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර්ජාලයට මුදාහැරලා

“මම ඒ නංගිගෙ නම්බරේ ඉල්ලගත්තෙ මාතර යාළුවෙකුගෙන්. අපි හොඳට කතාකරලා දැන හඳුනාගත්තාට පස්සේ මගේ ඉල්ලීමට එයා විවිධාකාරයේ පින්තූර මට එව්වා. ඒවා දැක්කාට පසු මට එයා දකින්න ආශාවක් ඇතිවුණා. මගේ හිත එයා ගැන ගොඩාක් බැඳුණා. මට එයා දකින්න ඕන වුණා“ යැයි අසම්මත ප්‍රේමයක කෙළවර ලෙස බන්ධනාගාරගත වන්නට සිදුවූ තරුණියක මාතර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින්ට පැවැසුවාය. කැබිතිගොල්ලෑවේ පදිංචිකාරියක වන ඇය අත්අඩංගුවට ගැනුණේ මාතර පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය ඇය පිළිබඳ සිදුකරන ලද විමර්ශනයකදීය.

හැඟීම්වලට වහල් වී මවුපිය ආදරය අයුතු ලෙස යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකර ගත් ප්‍රේම සබඳතාවක් නිසා බාල වයස්කාර දියණියකට සිදුවන්නට ගිය මහා විනාශයක් මවුපියන් විසින් තැනට ඔබින නුවණ භාවිත කර ගත් තීන්දු තීරණ හා මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ගේ වේගවත් ක්‍රියාමාර්ගයන් නිසා බේරා ගැනීමට හැකිවූ සිදුවීමක් වාර්තා වූයේ පසුගිය පසුගිය 25වැනි දිනයි. ඒ මාතර ප්‍රදේශයෙනි. තරුණ දූ දරුවන් සිටිනා දෙමාපියන්ට ඉන් ලබා දුන්නේ මතක හිටින පාඩමකි.

මේ කතාව මුල සිට අග දක්වා පෙළගැසෙන්නේ මෙසේය.

අනුරාධපුර දිසාවේ කැබිතිගොල්ලෑවේ පදිංචි 19 හැවිරිදි තරුණියක තරුණයෙකු ලෙස පෙනී සිටිමින් සහ පිරිමි හඬකින් කතා කරමින් මාතර පහළොස් හැවිරිදි බාල වයස්කාරියක් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන ගිය ‘ප්‍රේම සබඳතාවක්’ දුරදිග යාමත් සමඟ ඇතිවූ ආරවුලක් පිළිබඳ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහට ලද පැමිණිල්ලක් පිළිබඳ සොයා බැලීම සඳහා මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්තට වගකීම පැවරුණේ පසුගිය 19 වැනිදාය.

තම උසස් නිලධාරියාගේ නියෝගය මත මේ සිදුවීම පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය පළමුව සිදු කළේ අදාළ පහළොස් හැවිරිදි දියණිය සහ ඇයගේ මවුපියන් පොලිසියට කැඳවා මූලික තොරතුරු ලබාගැනීමයි. ඔවුන් ලබා දුන් තොරතුරුවලින් කියවුණේ මාතර පාසල් සිසුවිය සමාජ මාධ්‍ය ඔස්සේ ‘තරුණයා’ හඳුනාගෙන ඔහු සමඟ ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනා වසරකට වැඩි කාලයක් එම ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බව ද එහිදී හෙළිවිය.

එකිනෙකාගේ හිත් තදින් බැඳී ප්‍රේම සබඳතාව ක්‍රියාත්මක වෙමින් තිබියදි සිසුවිය ප්‍රේමවන්තයාගේ ඉල්ලීමට අනුව තම නිරුවත් ඡායාරූප සහ ඇය විවිධ ඉරියව්වලින් සිටිනා දර්ශන ද පෙම්වතාට සමාජ මාධ්‍ය ඔස්සේම යොමු කළාය. පසුව ‘පෙම්වතා’ විසින් සිසුවියට තමන් හමුවීමට පැමිණෙන ලෙස දන්වා ඇත. එහෙත් සිසුවිය විසින් එලෙස පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පෙම්වතා ලෙස පෙනී සිටි තරුණිය විසින් තමා හමුවීමට නොපැමිණෙන්නේ නම් ඇය සතුව ඇති සිසුවියගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරින බවට තර්ජනය කර ඇත.

කෙතරම් බලපෑම් කළ ද සිසුවිය ‘ප්‍රේමවන්තයා’ හමුවීමට නොයාම නිසා ‘කාන්තා ප්‍රේමවන්තයා’ විසින් පාසල් සිසුවියගෙන් ගෙන්වා ගත් නිරුවත් ඡායාරූප සහ දර්ශන සමාජ මාධ්‍යයට යොමු කර ඇති අතර මෙය දුටු සිසුවිය එය සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන ලෙස ඉල්ලීම කළ ද ඒවා ඉවත් නොකිරීම හේතුවෙන් බියට පත්ව තමන්ට සිදුවූ දෙය තම මවුපියන්ට දන්වා ඇත.

එම දැනුම් දීම මත මවුපියන් මෙන්ම ළඟ ඥාතීන් ද දුරකථනය ඔස්සේ සිසුවියගේ ප්‍රේමවන්තයාට කතාකර මෙය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය ද ‘ප්‍රේමවන්තයා’ සිදුකළේ එම පිරිසට ද ඡායාරූප එවීමය. ඉන් තවත් දුකට හා බියට පත්වූ මවුපියන් හා ඥාතීන් පොලිසියේ පිහිට පතා ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හෙළිකර ගත්තාය.

තම අත්දැකීම් භාවිත කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය ඉන්පසු සිදුකළේ දුරකථන විශ්ලේෂණ වාර්තා හා සමාජ මාධ්‍ය ජාලා විස්තර ද පරීක්ෂා කිරීමය. ඒ ඉන් අවශ්‍ය තොරතුරු ලබාගෙන පරීක්ෂණය කඩිනම් කිරීමේ අරමුණෙනි. තොරතුරු ලබාගත් ඇය තම උසස් නිලධාරියා වූ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත්තේ ඉදිරි සැලසුම් ද සාකාච්ඡා කිරීමෙන් අනතුරුවය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය තම පොලිස් කණ්ඩායම සමඟ ඉන් අනතුරුව සිදු කළේ අදාළ තරුණයා පොලිස් දැලට කොටුකර ගැනීම සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමය. එම සැලසුමට අනුව ගත් ක්‍රියාමාර්ග ඔස්සේ ‘තරුණයා’ දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හැකිවූ අතර එලෙස දුරකථනයෙන් සම්බන්ධ වූයේ ‘තරුණියක්’ බව පොලිස් කණ්ඩායමට එකවර වැටහුණේ නැත. පසුව තරුණයෙකු ලෙස පෙනී සිටින්නේ ‘තරුණියක’ බව පොලිස් කණ්ඩායම අනාවරණය කර ගත්තේය.

තරුණයෙකු ලෙස පෙනී සිටි තරුණිය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය තහවුරු කර ගත් අතර ඉතා සූක්ෂ්ම ලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළ තරුණිය එකඟකර ගත් පොලිස් කණ්ඩායම ඒ ඔස්සේ ඇතිවූ හමුවීමේදී අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇය මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට රැගෙනවිත් සිසුවියට සහ ඇගේ මවුපියන්ට පෙන්වූ විට ඔවුන්ගේ ඇස් උඩ ගියේ පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ තරුණයෙකු නොව රූමත් තරුණියක බව දැකීමෙනි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ මෙහෙයුම සාර්ථක කරමින් පසුගිය 24 වැනි දින සවස අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඇයට ප්‍රේමවන්තයෙක් ද සිටින බවයි. ඇගේ පියා පවුල හැර ගොස් ඇති බව සහ මව විදේශගතව සිටින බැවින් කිරි අම්මා සහ කිරි අත්තා ළඟ ඇය ජීවත්වන බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සැකකාර තරුණිය පසුගිය 25 දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division