යුක්තිය මෙහෙයුම තුන් මාසයකට ළංවෙද්දී ඉන් අත්කර ගන්නා ලද ප්‍රතිඵල බොහෝය. විශේෂයෙන් රට වෙළා ගෙන තිබුණු මත්ද්‍රව්‍ය ජාවාරම ඉන් ඇති කරන ලද බලපෑම අතිප්‍රබලය. මත් ජාවාරම මුළුමනින්ම අවසන් වී නැතත් යුක්තිය වැටලීම නිසා එය ‘අඩපණ’ වී ඇති හැටියක් ඇස් පනාපිටම පෙනෙන්නට ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම, අපරාධ, පාතාලය, දූෂණ සහ වංචා, ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීම සඳහා පොලිසිය, සෙසු ආරක්ෂක අංශ සමඟ ඒකාබද්ධව සිදු කරන යුක්තිය මෙහෙයුමේදී සෑම පොලිස් බල ප්‍රදේශයකම පාහේ පිහිටා ඇති ලැගුම්හල් පරීක්ෂාවද සිදු කෙරෙන්නේ ඇතැම් ඒවායේ ගණිකා ජාවාරම, මත්කුඩු ජාවාරම් සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට නවාතැන් දීම සහ අපචාර ක්‍රියා පිළිබඳව පොලිසියට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති නිසාය.
විශේෂයෙන් කොළඹ සහ අවට මෙන්ම කොළඹින් දුර බැහැර විශේෂයෙන් ගම්බිම් ආශ්‍රිතවද පසුගිය කාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහි වුණු ලැගුම්හල් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ ඉන් ඇතැම් ඒවා නිසි ආකාරයෙන් ලියාපදිංචි වී නොමැති බවයි. ඇතැම් ඒවා පවත්වාගෙන ගොස් තිබුණේ නිසි ප්‍රමිතියකින් තොරව වන අතර අපිරිසුදු මෙන්ම ආරක්ෂාවකින් තොර ලැගුම්හල් ගණනාවක් පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබිණි.
මේ ලැගුම්හල්වල ඇතැම් කළමනාකරුවන් මුදල් සෙවීමේ අරමුණින් නීති විරෝධී වැඩ සිදු කර ඇති බවද පොලිසියට නිරීක්ෂණය විය. පෞද්ගලික පන්තිවලට සහභාගි වීමට පැමිණෙන සිසු සිසුවියන්ට කාමර පහසුකම් වැඩි මුදලට ලබා දීම, ගණිකා ජාවාරම් සඳහා ලැඟුම්හල් යොදා ගැනීම, මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සඳහා ලැගුම්හල් කාමර ලබා දීම එන අයගේ අනන්‍යතාව පරීක්ෂා නොකිරීම, අපචාර ක්‍රියා සිදු කිරීම සඳහා කාමර ලබා දීම පොලිසියට නිරීක්ෂණය වූ වැරදිය.
මේ අතිනුත් ප්‍රධාන තැන ගෙන තිබුණේ ගණිකා ජාවාරමයි. ඒ ගණිකා ජාවාරමෙන් හිතූ හැටියට මුදල් සොයා ගැනීමට මේ ලැගුම්හල් අයිතිකරුවන්ට මෙන්ම කළමනාකරුවන්ට හැකි වීමයි.
කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචි අසරණ කතුන් කාමාතුරයන්ගේ ආශාවන් සන්තර්පණය කිරීම සඳහා ඇතැම් ලැඟුම්හල් හිමියන් විසින් යොදා ගෙන තිබුණු අතර මේ කාන්තාවන්ට ඔවුන් විසින් ඉතා සුළු මුදලක් ගෙවන බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය.
යුක්තිය මෙහෙයුමේ නිරත පොලිස් කණ්ඩායම් සැක කටයුතු ලැගුම්හල් පරීක්ෂාවද පසුගියදා සිදු කරන්නේ මේ හේතුන් නිසාමය.
පොල්ගහවෙල, කෑගල්ල, හෙට්ටිපොළ, පාදුක්ක ප්‍රදේශවල පොලිසිය පසුගියදා සිදු කරන වැටලීම්වලදී සැක කටයුතු ලැගුම්හල් පරීක්ෂා කර ඒවායේ ගණිකා ජාවාරමේ නිරතව සිටි කතුන් 14 දෙනකු සමඟ අදාළ ලැගුම්හල්වල කළමනාකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලදි.
මෙහි සුවිශේෂී සිද්ධියක් වූයේ කෑගල්ල ප්‍රදේශයේදී පොලිසිය සිදු කරන ලද වැටලීමකදී ලැගුම්හලක සිට අත්අඩංගුවට ගන්නා ලද කතුන් හය දෙනකුගෙන් එක් කතක් ඒඩ්ස් වැලඳී ප්‍රතිකාර ගන්නා අයකු බව හෙළි වීමයි.
මේ අතර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව පොල්ගහවෙල, වරලියද්ද ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කරන්නේ එහි ගණිකා ජාවාරම සිදුවන බව උපාය දූතයකු යොදා ගෙන සිදු කරන ලද විමර්ශනයකදීය.
වරලියද්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට නුදුරින් මේ ලැගුම්හල පවත්වාගෙන ගොස් තිබූ අතර එය පිහිටා තිබුණේ පොල්ගහවෙල, කෑගල්ල පාරේය.
අදාළ ලැගුම්හලේ සිදු වන ගණිකා ජාවාරම පිළිබඳ පොලිසියට මහජනතාවගෙන් තොරතුරු ලැබී තිබිණි. ජංගම දුරකතන මාර්ගයෙන් ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගෙන මේ ලැගුම්හලට ගෙන්නා ගන්නා ඔවුන්ට කාන්තාවන් සපයන බව පොලිසිය හෙළි කරගන්නේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකදීය.
අත්අඩංගුවට ගැනුණු කළමනාකරු මේ ලැගුම්හල කුලී පදනම මත ලබා ගෙන ඇති බවද හෙළි විය. සැකකරු 63 හැවිරිදිය. ඔහු කෑගල්ල දේවාලේගම පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගැනුණු කතුන් දෙදෙනා අවුරුදු 42 සහ 24 වයස්වල පසු වූවෝ වෙති. ඔවුහු ගලිගමුව සහ අඟුණකොළපැලැස්ස ප්‍රදේශවල පදිංචිකාරියෝය.
හෙට්ටිපොළ පොලිසිය සිදු කරන ලද වැටලීමේදී අත්අඩංගුවට ගන්නා ලද කතුන් තිදෙනාට සහ මුදලට කතුන් අලෙවි කළැයි චෝදනා ලැබූ අදාළ ලැගුම්හලේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් තුන්ලක්ෂ පනස්දහසක දඩයක් නියම කෙරිණි. ගණිකා ජාවාරමේ නිරත වීයැයි ඇල්ලූ එක් කතකට රුපියල් පනස් දහස බැගින් දඩ නියම කෙරණි. ආයතනයේ හිමිකරුට සහ කළමනාකරුට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම විය. හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත රංග බණ්ඩාරගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා, පොලිස් පරීක්ෂක කාන්චනා, සැරයන්වරුන් වන (32095) සිසිර (37747) සිල්වා (49138) අනුර විමර්ශන සිදු කළහ.
කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ ලැගුම්හලක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. කළමනාකරු සහ කතුන් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනිණි. එක් කාන්තාවක් ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා බව හෙළි වූයේ එහිදීය.
සැකකරු සහ සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අදාළ ලැගුම්හලේ කළමනාකරු කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 42 , 45, 35 සහ 24 වයස්වල පසුවන කාන්තාවන් පස්දෙනා වලස්මුල්ල, ගලෙන්බිඳුණු වැව, පුත්තලම, කවුඩුල්ල සහ කෑගල්ල නිල්මල්ගොඩ ප්‍රදේශවල පදිංචිකාරියෝය.
කෑගල්ල – රඹුක්කන මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයේ ලැගුම්හලක මාර්ගයෙන් මේ ගණිකා ජාවාරම සිදු කරගෙන ගොස් තිබු අතර අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව වැටලීම සිදු කරන ලද්දේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක තාරක ධර්මරත්න ඇතුළු කණ්ඩායම විසිනි.
ඒඩ්ස් ප්‍රතිකාර ලබන සැකකාරිය මීට පෙර ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නියක් බවද හෙළි විය.
පාදුක්ක, මීපේ හන්දියේ ලැගුම්හලක් පරීක්ෂා කළ පාදුක්ක පොලිසියේ නිලධරයන් සැක කටයුතු කතුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී අනාවරණය වූයේ ඔවුන් ගණිකා වෘත්තියේ යොදා සිටි අය බවයි. අදාළ ලැඟුම්හලේ කළමනාකරු ද සැකපිට අත්අඩංගුවට ගැනිණි.
යුක්තිය මෙහෙයුමට සමගාමීව පාදුක්ක පොලිසියේ නිලධරයන් විසින් ප්‍රදේශයේ ලැගුම්හල් පරීක්ෂා කළ අවස්ථාවේදී සැකකාරියන් මෙලෙස අත්අඩංගුවට ගැනුණේ උපාය දූතයන් යොදවා සිදු කරන ලද විමර්ශනයකදීය. අත්අඩංගුවට ගත් කතුන් ගල්කිස්ස, කොස්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 – 30 අතර වයස්වල පසුවන්නියෝය. අදාළ ලැගුම්හලේ කාමරයක් ගැනුම්කරුවන් සඳහා කුලියට දී තිබුණේ රුපියල් 1500කටය. ගණිකා වෘත්තියේ නිරත කාන්තාවකට කළමනාකරු ලබා දී තිබුණේ රුපියල් 2000කටය.