ඇතැම් අය නොයෙක් ආකාරයේ ව්‍යාපාර ඔස්සේ අනේකවිධ ‘ගනුදෙනුවල‘ පැටළෙති. එවැනි ගනුදෙනු ඇතැම් විටෙක නීති විරෝධි විය හැකි අවස්ථා ද එමටය. එසේම නීති රාමුව තුළ සිදුකරන ගනුදෙනුවලදී ද ඇතැමුන් නොයෙක් අකරතැබ්බයන්ට මුහුණපායි. ඇතැම් විටක එවැනි සිදුවීම් ඔස්සේ ගහ-මරා ගැනීම් පමණක් නොව ජීවිතවලින් ද වන්දි ගෙවන අවස්ථා නැතුවාම නොවේ. මෙලෙස නිතියෙන් පිටත පමණක් නොව නීති රාමුව තුළ සිදුවන එවැනි ගනුදෙනුවලදී පොලිසියට මැදිහත් වීමට සිදුවන අවස්ථා ද බොහෝ සේය.
ඒ ඔස්සේ ජනතාවගේ නිදහසේ, සාමකාමීව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ පරම වගකීමයි. ඒ සඳහා බහුතරයක් පොලිස් නිලධරයෝ දිවා රෑ නොබලා වෙහෙසෙති.
එවන් වටපිටාවක් තුළ මේ සිදුවීම ද මැණික් ගලක් විකිණීමෙන් අනතුරුව පුද්ගලයකු පැහැරගෙන ගොස් කප්පමක් ගැනීමට යාමේ පුවතකි. ඉකුත් 8 වැනිදා සිදුවූ එම කප්පම් සිද්ධියට මුහුණපෑ රොහාන් නමැත්තාගේ ජීවිතය බේරුණේ මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් එහි පොලිස් නිලධාරින් සිය රාජකාරිය ‘අකුර‘ටම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
රොහාන් විසින් විකුණන ලද මැණිකක් නිසා ඔහුගේ ජීවිතයට සිදුවන්නට ගිය විපතින් ඔහු ගැලවුණු ආකාරය මොරගහහේන පොලිස් පොත්වල සටහන් වන්නේ මෙසේ ය.
රොහාන් පුෂ්පකුමාර 27 හැවිරිදිය. විවාහකයකු වන ඔහුට වයස අවුරුදු එකහමාරක පමණ කුඩා දරුවකු ද සිටී. හලාවත මුල් පදිංචිකාරයකු වන රොහාන් මීට වසර එකහමාරකට පමණ පෙරදී මොරගහහේන පොලිස් වසමට අයත් කෝරලඉම, තේවත්ත පාරේ නිවසකට පදිංචියට පැමිණ ඇත්තේ කුලී පදනම මතය. ඒ, ඔහුගේ බිරිය ධම්මිකා, කුඩා දරුවා සහ බිරියගේ මව සමඟය. රොහාන් එම නිවසේ සිට පිළියන්දල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට ගියේය.
උපුල් හලාවත වෙසෙන අයෙකි. කපුවකු ද වන ඔහු රොහාන්ගේ ‘මාමා‘ කෙනෙකි. උපුල් මීට මාසයකට පමණ පෙරදී දිනක් රොහාන් ඇමැතීය.
“පුතා… මං ගාව මැණිකක් තියෙනවා… ඒක හරි වටිනා මැණිකක්… බැරිද කවුරුහරි ‘බයර්‘ කෙනෙක් හොයාගන්න… මං පුතාටත් ගාණක් දෙන්නම්…“ යැයි පවසමින් උපුල් මැණික විකිණීමේ ‘ගනුදෙනුව‘ට රොහාන් කැමැති කරවා ගත්තේ රොහාන් අතට මැණික ද දෙමිනි.
වත්මනේ බහුතරයක් මුහුණපාන ආර්ථික ගැටලුවලට මුහුණපා සිටින රොහාන්ට ද මෙය කිසියම් ‘ගතමනාව‘ක් සොයා ගැනීමට නියම පොටක් සේ දැනිණි. ඒ සඳහා රොහාන් දසඅතේ කල්පනා කළේ කිසියම් කෙනෙකු මැණික විකිණීමට සොයා ගැනීමේ අටියෙනි. ඒ අතර කලකට පෙරදී තම ත්‍රිරෝද රථය ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට යාමෙන් මිතුරු වූ අයෙක් ගැන රොහාන්ට සිහිපත් විය. ඔහු විවාහකයකු වන 32 හැවිරිදි ශාන්තය. ත්‍රිරෝද රථ සම්බන්ධ ව්‍යාපාරිකයකු වන ශාන්තගේ පදිංචිය අංගොඩ, කැලණිමුල්ල ප්රදේශයයි.
රොහාන් සහ ශාන්ත නිතර මුණ නොගැසුණ ද දෙදෙනා අතර හිතවත්කම පැවැතිණි. පසුගිය දිනෙක රොහාන් ශාන්තට කතා කළේ මැණික විකිණීමේ ගනුදෙනුවටය.
“මචං… ගාණක් හොයාගන්න පොටක් පෑදුණා…“ යැයි රොහාන් කී සැණින් ශාන්ත විමසුවේ ‘මොකද්ද… මොකද්ද.. මචං‘ යැයි අසමින් කුතුහලයෙනි.
“මේකයි කතාව… අපේ මාමා කෙනෙක් ගාව වටිනා මැණිකක් තියෙනවා… එයා ඒ මැණික මට දුන්නා විකුණලා දෙන්න කියලා… ඒක විකුණන්න ඉක්මනටම කවුරුහරි සොයාගන්න ඕන… අපි ඔක්කොටම ගාණක් හම්බ වෙන වැඩක් මේක… බැරිද උඹට කෙනෙක් හොයලා දෙන්න…?“යැයි ශාන්තගෙන් රොහාන් විමසූ අවස්ථාවකදී එම ‘මැණික් ගනුදෙනුව‘ට බ්‍රෝකර්වරයකු ලෙස එක්වීමට ශාන්ත ද එකපයින් කැමැති විය.
ඒ අනුව මැණික විකිණීමට කෙනෙකු සෙවීමේ මෙහෙයුමට ශාන්ත ද එක් විය. ඔහු ඒ පිළිබඳ කිහිප දෙනෙකුටම පැවැසීය. ඒ අතර ශාන්තගේ මිතුරෙක් වන ප්‍රභාත්ට ද මැණික පිළිබඳ කතාන්දරය ශාන්ත කීවේය. ප්‍රභාත් කොටදෙනියාවේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙකි. ඔහු විවාහකයෙකි.
ප්‍රභාත් ලක්ෂ දහයකට රොහාන් සන්තකයේ තිබූ මැණික මිලදී ගැනීමට එකඟ විය. ඒ අනුව පිළියන්දල, මිරිස්වත්තේ මාර්ගයක් අසලදී ‘මැණික් ගනුදෙනුව‘ සිදුවී තිබිණි. එලෙස ප්‍රභාත්ට මැණික විකිණීමෙන් පසු ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදල මැණික අයත් කපුවා වන උපුල්ට ලක්ෂ හතක් ලෙසත්, බ්‍රෝකර් කාර්ය කළ ශාන්තට ලක්ෂ දෙකක් සහ රොහාන්ට ලක්ෂයක් ලෙස මුදල් බෙදා ගැනුණි. මැණික් ගනුදෙනුව එලෙස සිදුවී අවසන් විය.
දින දෙක තුනක් ගත විය. ශාන්තට දුරකතන ඇමැතුමක් ආවේ මැණික මිලදී ගත් ඔහුගේ මිතුරා වන ප්රභාත්ගෙනි.
“ශාන්ත… මොකද්ද මචං අර විකුණපු ගල? ඒක මැණිකක් නෙවෙයිලුනේ… මං කීප තැනකින්ම චෙක් කළා… ඒක බොරු ගලක්ලු බං… මට ඒ ගල වැඩක් නෑ… සල්ලි ආයිත් ඉල්ලලා දීපන්…“ යැයි ප්‍රභාත් කීවේ දැඩි ස්වරයෙනි.
එය ශාන්තට ද ‘උන්හිටි තැන් අමතක කළ‘ කතාබහකි. ශාන්ත එසැණින් ඒ බව කීවේ මැණික විකිණීමේ ‘ගනුදෙනුව‘ට ඔහුව ඇඳාගත් රොහාන්ටය.
“රොහාන් අන්න අර මැණික් ගල බොරු ගලක්ලු… අරූ සල්ලි ඉල්ලනවා මචං… මොකද කරන්නේ ඌට සල්ලි ටික දෙන්න වෙයි…“ ශාන්ත කීවේය.
“හරි අවුලක් නෑ… එහෙනම් අපි ගල ඉල්ලගෙන සල්ලි ටික ආයිත් රිටන් කරමු…“ යැයි කී රොහාන් මැණික් ගල විකිණීමේ ගනුදෙනුව එලෙස සුහදශීලීව විසඳා ගැනීමට එකඟ වූයේ මැණික් ගල නැවත ගෙනත් දෙන ලෙස ප්‍රභාත්ට කියන්නැයි ශාන්තට පවසමිනි. ඒ අනුව මැණික් ගනුදෙනුව සිදුවී දින දෙකක් පමණ ඉක්ම යද්දී මැණික් ගල රැගෙන ප්‍රභාත් සහ ශාන්ත නැවත පිළියන්දල මැණික් ගල විකිණීමේ ගනුදෙනුව සිදුවූ ස්ථානයටම පැමිණියේය. ඔවුන්ට එම ස්ථානයේදී රොහාන් මුණ ගැසිණි.
“මැණික් ගල… බොරු ගලක් කියලද ඔයා කියන්නේ…? හරි ඒකට කමක් නෑ… මං සල්ලි ආයිත් දෙන්නම්… ලක්ෂ දහය අපි කට්ටිය බෙදාගත්තනේ… ඒක නිසා සල්ලි ටික එකතු කරලා දෙන්න දවස් කීපයක් ඕන… මට 10 වැනිදා වෙනකල් කල් දෙන්න…“ රොහාන් එලෙස ප්‍රභාත්ගෙන් කල් ඉල්ලා සිටියේය.
ඒ අනුව ප්‍රභාත් මැණික් ගල රොහාන්ට දුන් අතර මාර්තු 10 වැනිදා දක්වා කල් ලබා ගැනීමේ පොරොන්දුවට ද සුහදශීලී ලෙස සැවොම එකඟ විය.
එහෙත් ප්‍රභාත් ඊට පසු දින සිටම ශාන්තට මෙන්ම රොහාන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් මුදල් ඉල්ලමින් කරදර කරන්නට වූයේ රොහාන් මුදල් දීම මඟහරිවී යැයි බියෙනි.
අනතුරුව ප්‍රභාත් තම මුදල් ලබා ගැනීමට වෙනත් මාර්ගයකට එළැඹෙන්නට වූයේ ‘හොඳින් නැත්නම් නරකින් හෝ‘ යන න්‍යායෙන් යුතුවය.
දිනය ඉකුත් මාර්තු 8 දාය. එදින සවස් යාමයේ අළු පැහැති තමාගේ ඇල්ටෝ කාර් රථයට නැඟුණු ප්‍රභාත් එම රථයට ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු ද නංවා ගත්තේය. ඔවුන් දෙදෙනා කොටදෙනියාවේම පදිංචි සමීර සහ සංජයයි. තිදෙනා 8 වැනිදා සවස් යාමයේ පැමිණියේ කැලණිමුල්ලේ පිහිටි ශාන්තගේ නිවසටය.
“ශාන්ත අපි යමු රොහාන්ලගේ ගෙදර… අපිට සල්ලි දෙනවද නැත්නම් මේකේ දෙකෙන් එකක් බේරගන්න ඕන…“ යැයි ප්‍රභාත් කීවේ ශාන්තය.
ඒ අනුව ප්‍රභාත්, සමීර, සංජිය සහ ශාන්ත එදින රාත්‍රී රොහාන් කුලී පදනම මත පදිංචිව සිටි කෝරලඉම, තේවත්ත පාරේ නිවස සොයා පැමිණියෝය. රථයේ පැමිණි අයගෙන් එම නිවස දැන සිටියේ ශාන්ත පමණි. ඔවුහු රොහාන්ගේ නිවස ආසන්නයට ගියෝය. ඒ වන විට රාත්‍රී 11 පමණ වී තිබිණි.
“ශාන්ත… ඔයා ගිහින් රොහාන්ට කතා කරන්න… උඹනේ මිනිහා හොඳටම අඳුනන්නේ…“ ප්‍රභාත් කීවේය. ඊට එකඟ වූ ශාන්ත ප්‍රභාත්ගේ නිවසට ගොස් රොහාන්ගේ නම කියමින් ඔහුට කතා කළේය. ඒ මොහොතේ රොහාන් නිවසේ සිටියේය. ඔහු මුලින්ම ජනේලයෙන් එබිකම්කොට බලා ‘ශාන්ත ඇවිල්ලා‘ යැයි නිවැසියන්ට කියමින් ඇඳ සිටි ඇඳුමෙන්ම එළියට පැමිණියේය. ඒ ක්ෂණයෙන් ඒ වන විට කාර් රථයේ සිටි ප්‍රභාත් ඇතුළු තිදෙනා ද රොහාන්ගේ නිවස ඉදිරිපිටට පැමිණියෝය. ගත වූයේ නිමේෂයකි. ප්‍රභාත් සඟවාගෙන සිටි පිහියක් රොහාන්ගේ ගෙලට තබා බලෙන් මෙන් රොහාන් කාරයට නංවා ගත්තේ රොහාන්ගේ බිරිය විලාප තියද්දීය. ඒ සමඟම කාර් රථය පණ ගැන්විණි. පිරිස විදුලි වේගයෙන් ගියේය. එහෙත් කාර් රථයේ පැමිණි ශාන්තට රථයට ගොඩවීමට අවස්ථාවක් නොලැබිණි.
මැණිකක් තම සැමියා ළඟ තිබූ බව දැන සිටිය ද ‘මැණික් ගනුදෙනුව’ ගැන නොදැන සිටි රොහාන්ගේ බිරිය ධම්මිකා තම සැමියා පිරිසක් පැහැරගෙන ගිය බව සඳහන් කරමින් කහතුඩුව පොලිසියට ඒ මොහොතේම පැමිණිලි කළේය. කහතුඩුව පොලිසිය පැමිණිල්ල සටහන් කරගත්ත ද රොහාන්ගේ නිවස අයත් පොලිස් වසම වන මොරගහහේන පොලිසිය දැනුම්වත් කරමින් පැමිණිලිකාරිය යොමු කෙරුණේ විමර්ශන සඳහා මොරගහේන පොලිසිය වෙතයි.
ඒ අනුව රොහාන්ගේ පැහැර ගැනීම පිළිබඳව මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කරමින් විමර්ශන ආරම්භ කෙළේය.
ඒ අනුව මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම්.සී. මධුෂංක ඇතුළු කණ්ඩායමක් රොහාන් පැහැරගත් ඔහුගේ නිවස කරා ගොස් විමර්ශන ඇරැඹුවේ අවට සීසීටීවී කැමරා ද නිරීක්ෂණය කරමිනි. ඒ අතරේ කාර් රථයට ගොඩවීමට නොහැකි වූ ශාන්ත ද කෝරලඉමදී විමර්ශන නිලධාරින්ගේ අත්අඩංගුවට පත් විය. රොහාන් පැහැරගෙන ගොස් පැය කීපයක් යද්දී මහ රාත්‍රියේම රොහාන් පැහැරගත් පිරිස රොහාන්ගේ බිරියට දුරකතන ඇමැතුමක් දුන්නේ ‘අපිට ලක්ෂ 35ක් දුන්නේ නැත්නම් උඹගේ මිනිහව අපි මරනවා…‘ යැයි තර්ජනය කරමිනි. එලෙස දුරකතන ඇමැතුම් කීපයක් ලැබෙද්දී ලක්ෂ 35, ලක්ෂ 15 පසුව ලක්ෂ 10 තෙක් අඩුවී තිබිණි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න ද එම කප්පම් මුදල් ඉල්ලූ දුරකතන අංකයට ඇමැතුම් ගත්ත ද ඊට ප්‍රතිචාර නොදැක්වීය. අනතුරුව ස්ථානාධිපතිවරයා රොහාන්ගේ බිරියට කීවේ එම පිරිසගෙන් නැවත දුරකතන ඇමැතුමක් ලදහොත් ලක්ෂ 10ක් දීමට එකඟ බවත් මොරගහහේනට එන ලෙසට එකඟ කරගන්නා ලෙසයි. ඒ අතරේ 9 වැනිදා සවස දෙකට පමණ රොහාන්ගේ බිරියට නැවත එම පිරිසගෙන් දුරකතන ඇමැතුමක් ලැබුණේ මුදල් දෙනවද නැද්ද විමසමිනි.
“මං ඔය කට්ටියට ත්‍රිවිල් එක විකුණලා කොහොමහරි ලක්ෂ 10ක් දෙන්නම්… මගේ මහත්තයට කරදරයක් නොකර නිදහස් කරන්න අනේ පින්සිද්ධ වෙයි… මං ලක්ෂ 10 ලෑස්ති කරගන්නම්… සල්ලි ගෙනියන්න මොරගහහේනට එන්න…“යැයි එම දුරකතන ඇමතුමට රොහාන්ගේ බිරිය කීවාය. එහෙත් රොහාන් පැහැරගත්තවුන් මුදල් ලබා ගැනීමට මොරගහහේනට ඒමට කැමැත්තක් නොදැක්වීය. “තමුන් එනවා අපි කියන තැනට… කොතැනද දන්නවද තැන… පාදුක්ක පාරේ මිල්ලෑව වත්ත හරියට එනවා… සල්ලි ටික හරියටම අරන් එන්න ඕන… එහෙම ආවොත් තමයි මහත්තයව පණපිටින් අරන් යන්න පුළුවන් වෙන්නේ… හැබැයි මේ ගැන පොලිසියට එහෙම කියල තිබුණොත් මහත්තයගේ අවසානය තමයි…“ ඔවුහු තර්ජනාත්මක ස්වරයෙන් පැවැසූහ.
අනතුරුව එම දුරකතන ඇමැතුම ගැන රොහාන්ගේ බිරිය විමර්ශන නිලධාරින් දැනුම්වත් කළේ එදින සවස හය වෙද්දී මුදල් රැගෙන ‘මිල්ලෑව වත්ත‘ ආසන්නයට එන ලෙස පැවැසූ බව කියමිනි. ක්ෂණයෙන් පොලිස් නිලධරයෝ එකී පිරිස කොටුකර ගැනීමට සැලැස්මක් සකස් කළෝය. ඒ පිළිබඳ මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කරමින් අවැසි උපදෙස් ලබා ගනිමින් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති මධුෂංක ඇතුළු කණ්ඩායම එම මෙහෙයුමට සූදානම් කෙළේය.
ස්ථානය මොරගහහේන පාදුක්ක මාර්ගයේ ‘මිල්ලෑව වත්ත‘ නමැති රබර් වත්ත ප්රදේශයයි. වේලාව සවස 6ට පමණය. ඒ මොහොත වන විට පළාතම පාළුවට ගොසිනි.
රොහාන්ගේ බිරිය එම ස්ථානයේ සිටියාය. පොලිස් නිලධරයෝ ආසන්නයේ රැකවල්ලා සිටියෝය. මඳ වේලාවක් යද්දී එක්වරම පැමිණි ප්‍රභාත්ගේ අළු පැහැති ඇල්ටෝ රථය රොහාන්ගේ බිරිය සිටි ස්ථානයේ නතර කෙළේය.
එසැණින් පොලිස් නිලධාරින් රථය වට කළේ කිසිවකුටත් පැන යාමට නොහැකි ලෙසිනි. ඒ සමඟම රථයේ සිටි රොහාන් ‘මං තමයි සර් රොහාන්‘ යැයි කියමින් පොලිස් නිලධාරින් ඉදිරියට පැමිණියේය. ඒ සමඟම පොලිස් නිලධරයෝ රථයේ සිටි තිදෙනා අත්අඩංගුවට ගත්තෝය. එලෙස අත්අඩංගුවට ගැනුණේ ප්‍රභාත් සමඟ සංජය දිල්ෂාන් සහ සමීර සම්පත්ය. 34 හැවිරිදි සමීර සම්පත් කොටදෙනියාවේ පදිංචිකරුවෙකි. විවාහකයකු වන ඔහු ව්‍යාපාරිකයෙකි.
සංජීය දිල්ෂාන් 28 හැවිරිදිය. ඔහුද ව්‍යාපාරවල නිරත වන විවාහක පුද්ගලයෙකි. මේ තිදෙනා සමඟ රොහාන්ගේ පැහැර ගැනීමේ සිදුවීමට ඊට පෙර අත්අඩංගුවට ගත් ශාන්ත සමඟ සිවුදෙනකු පොලිස් අත්අඩංගුවට පත්විය.
“සර්… මට ඒ කට්ටිය හොඳටම ගැහුවා… මං දන්නෙ නෑ මාව කොහාටද ගෙනිච්චේ කියලවත්… මාව මුලින් අරගෙන ගිය ගෙදරදී නාන්න කිව්වා… ඊට පස්සෙ ඒ කට්ටියගෙ කලිසමකුයි ටී ෂර්ට් එකකුයි දුන්නා ඇඳගන්න… මේ කට්ටිය මාව අරන් එනකොට කිව්වා සර්… මේ කේස් එකෙන් පස්සේ පොලිසියට එහෙම ගියොත් මගේ බිරිඳවයි ළමයවයි මරනවා කියලා… ඒක නිසා හදිසියේ හරි මොකක්හරි ප්‍රශ්නයක් වුණොත් උඹ කැමැත්තෙන් ගියා කියලා කියන්න කිව්වා සර්…“ යැයි රොහාන් පොලිස් නිලධාරින්ට පැවැසීය. පහර දීම නිසා තුවාල ලබා සිටි රොහාන් හොරණ රජයේ රෝහල වෙත ඇතුළු කිරීමට පොලිසිය පියවර ගත් අතර අනතුරුව අත්අඩංගුවට ගත් පිරිස හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල සහ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අයි.එම්.ඒ. උදය කුමාරගේ අධීක්ෂණයෙන් මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.සී. මධුෂංක, සැරයන් 9294 රෝහණ, කොස්තාපල්වරුන් වන 32120 කුමාර, 93389 ජයවර්ධන සහ 99257 ජයතිලක යන නිලධාරිහු විමර්ශන සඳහා එක්වූහ.
අමිල මලවිසූරිය