ගාල්ල හපුගල බටුවන්තුඩාව පාරේ පිහිටි නිවසකට රාත්‍රී කාලයේ ඇතුළුවූ සොරුන් එහි තිබූ යතුරුපැදියක් ඇතුළු රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති බවට 2023 නොවැම්බර් මස 13 වන දින පෝද්දල පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. ඒ අනුව පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම් දුමින්ද කුමාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරීන්ද්‍ර ගුණරත්න මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළහ.
මේ අතර මෙම නිවසට යාබදව ඉදිකොට ඇති ගරාජයේ නවතා තිබූ ගෙහිමියාට අයත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයේ අමතර යතුර ද මෙම නිවසට ඇතුළුවූ සොරුන් විසින් එදින සොරකම් කර ගෙන ගොස් ඇති බව පසුව දැනගත් නිවසේ අයිතිකරු මේ බව පොලිසියටද දැනුම් දුන්නේය. මෙම නිවස හිමියා ලීසිං සමාගමක කළමනාකරුවෙකි. තම නිවසට ඇතුළුවූ සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති යතුර උපයෝගී කරගෙන නිවසේ නවතා ඇති තම මෝටර් රථය කිසියම් අවස්ථාවක සොරකම් කරගෙන යෑමට බොහෝ ඉඩකඩ ඇති බව මෙම කළමනාකරුට අවබෝධ විය. එම නිසා මෝටර් රථයේ ආරක්ෂාව සඳහා පියවර දෙකක් ගනු ලැබීය. මොහුට අයත් නිවසේ ගරාජයේ නවතා තබන මෝටර් රථයට ජීපීඑස් තාක්ෂණය ලබාදීම එහි එක් පියවරකි. මීට අමතරව රාත්‍රී කාලයේ මෝටර් රථය ගරාජයේ නතර කළ පසු ඇලුමිනියම් ඉණිමගක් ගෙන එයට යකඩ දම්වැලක් සවිකොට දම්වැලේ අනිත් කෙළවර මෝටර් රථයේ පිටුපස ගැට ගැසීය. කිසිවෙකු මෝටර් රථය සොරකම් කරගෙන ගියහොත් ඉණිමග දම්වැලකින් ගැටගසා තිබීම බාධාවක් වන නිසා නිවසේ අයිතිකරු එසේ කර ඇත.
කාලය මෙසේ ගෙවී යද්දී මෙම නිවසේ අයිතිකරු පෙබරවාරි මස අවසානයේ දින කීපයකට රාජකාරී කටයුතු සඳහා නිවසින් බැහැරව ගියේය. නිවස අයිතිකරුගේ බිරිය සහ කුඩා දරුවා පමණක් නිවසේ සිටියේය. මේ අතර පෙබරවාරි මස 29 වන දින රාත්‍රී නිවස අයිතිකරුගේ බිරිය තම දරුවා සමඟ නින්දට ගියාය. අලුයම 2.00ට පමණ ගේට්ටුව දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය නැගිට බැලුවාය. එවිට ගරාජයේ නතර කර තිබූ වැගන්ආර් මෝටර් රථය කිසිවෙකු විසින් පැහැරගෙන යන අයුරු නිවස හිමියාගේ බිරියට දැක ගන්නට ලැබුණි. වහාම ඇය තම සැමියාට දුරකතන ඇමතුමක්දී ගරාජයේ තිබූ මෝටර් රථය සොරුන් පැහැරගෙන යන බව කීවාය. ඒ අනුව නිවෙස් හිමියා වහාම 119 හදිසි ඇමතුම් අංශය අමතා මෝටර් රථ සොරකම පිළිබඳ පැමිණිලි කළේය.
වහා ක්‍රියාත්මකවූ පොලිස් හදිසි ඇමතුම් අංශය පෝද්දල පොලිසියට මෙම වාහන සොරකම පිළිබඳ දැනුවත් කරන ලදී. ඒ වන විට වේලාව අලුයම 2.30ට පමණ ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණ තොරතුරු මත පෝද්දල පොලිසිය කරන ලද දැනුවත් කිරීමකට අනුව ගාල්ල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය විසින් ගාල්ල දිසාවේ සියලුම පොලිස් ස්ථානවලට මෙම මෝටර් රථ සොරකම පිළිබඳ දැනුවත් කරන ලදී. මේ අතර පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. දුමින්ද කුමාර ද මෝටර් රථයේ හිමිකරු සම්බන්ධ කර ගෙන ජීපීඑස් තාක්ෂණය ලබා දෙන දත්ත අනුව ඒ ඒ මාර්ග ඔස්සේ රථය සොයා මෙහෙයුමක නිරතව සිටියේය.
ඒ වන විට මෝටර් රථය සොරකම් කළ සැකකරුවන් බටුවන්තුඩාව හපුගල ගිංතොට හරහා මොල්ලිගොඩවත්ත දෙසට රථය ධාවනය කරමින් තිබුණි. මෝටර් රථයේ පිටුපස ගැට ගසා තිබු ඉණිමගද තිබූ නිසා මෝටර් රථය ධාවනයට එය මහත් බාධාවක් විය. මෝටර් රථයේ ගැටගසා තිබූ ඉණිමගද මහ හඬක් නංවමින් රථය පිටුපසින් මහ පාරේ ඇදී යමින් තිබුණි. මෙම ඉණිමග බාධාවක් නිසා එය ගලවා ඉවත් කිරීමට රථය පැහැරගෙන යන සැකකරුවන්ට අවශ්‍ය විය. එම නිසා මොල්ලිගොඩවත්ත පොදු සුසාන භූමිය අසල මෝටර් රථය නතර කළ සැකකරුවන් එම ඉණිමග මෝටර් රථයෙන් කපා ඉවත් කර දැමීමය.
ඊට පසුව කරදරයකින් තොරව සැකකරුවෝ රථය ඉදිරියට ධාවනය කළහ. ඉන් අනතුරුව සොරු ගිංතොට හරහා පැමිණ ගාල්ල කොළඹ මහා මාර්ගයට පිවිස රජ්ගම නගරය දෙසට රථය ධාවනය කරමින් සිටියහ.
ඒ වන විට මෙම රථය ගාලු පාරේ ධාවනය වෙමින් ඇති බව මෝටර් රථයේ ජීපීඑස් තාක්ෂණය මඟින් පොලිස් නිලධාරිහු දැනගෙන සිටියහ. ඒ අනුව රජ්ගම පොලිසියේ නිලධාරින් ගාලු කොළඹ මහාමාර්ගයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදන ලදී. ඊට සුළු වේලාවකට පසුව මෙම මාර්ග බාධකය හරහා යෑමට පැමිණි සොරකම් කරන ලද මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නතර කර ගන්නා ලදි. අනතුරුව රථය පරීක්ෂා කිරීමට රථයේ සිටි රියදුරු සහ අනිත් පුද්ගලයාට රථයෙන් බිමට බසින ලෙස අණ කළේය. එවිට රථයේ සිටි රියදුරා එක්වරම රථය පණ ගන්වා වේගයෙන් හික්කඩුව දෙසට පලා යෑමට පටන් ගත්තේය. එම අවස්ථාවේ රථය පරීක්ෂා කිරීමට සූදානම් වූ පොලිස් නිලධරයන් යටකරගෙන යෑමට රථයේ රියදුරු උත්සාහ කළ නමුත් පොලිස් නිලධාරීන් ඉවතට පැන දිවි ගලවා ගත්හ.
ඒ සමඟම වහා ක්‍රියාත්මකවූ පොලිසිය ජීපීඑස් තාක්ෂණය උපයෝගී කර ගෙන දොඩන්දුව හන්දියෙන් ඇල්පිටිය දෙසට පලා යන මෝටර් රථය පසු පස ලුහු බඳිමින් සිටියේය. එසේ යන අතර පොලිස් නිලධාරීන් පලා යන රථයේ පිටුපස දකුණු පැත්තේ රෝදයට වෙඩි තැබීය. එම වෙඩි පහරින් මෝටර් රථයේ ටයරයට බරපතළ හානි සිදු වුවද ඉතිරි රෝද තුනෙන් රථය පලා යන්නට විය. පොලිසියද රථය පසු පස හඹා ගියේය. එසේ යන විට ඇල්පිටිය පොලිස් වසමේ නවදගල ප්‍රදේශයේ අතුරු පාරක දමා ගොස් තිබූ මෝටර් රථය සොයා ගැනීමට පොලිසියට හැකි විය.
මේ අතර රජ්ගම මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රියදුරු බලපත්‍රය පිළිබඳ පරීක්ෂණ පවත්වා මෝටර් රථයේ රියදුරු හපුගල බටුවන්තුඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෝටර් රථය පැහැර ගැනීම සම්බන්ධයෙන් දෙවන සැකකරුද අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේගේ උපදෙස් මත පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. දුමින්ද කුමාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරීන්ද්‍ර ගුණරත්න සැරයන්වරුන් වන රුක්මන් (10406) ගුණතිලක (4819) කොස්තාපල්වරුන් වන චතුරංග (83356) සහ චේතික (100215) යන නිලධාරින් පරීක්ෂණ සිදු කළහ. ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණ කටයුතුවලට සහාය වී තිබුණි.
සුමතිපාල දීයගහගේ - දකුණු පළාත් සංචාරක