– මෙහි සඳහන් වත්පිළිවෙත් නිසි ලෙස සිදුකර උන්වහන්සේට කන්නලව් කිරීමෙන් ප්‍රබල ප්‍රතිඵල
– ඔබේ කන්නලව්ව උන්වහන්සේගේ පිළිරුවක් ඉදිරිපිටදී සිදු කරන්න
කඩවර දෙවියන් මා පෙර සඳහන් කළ ලෙසට ලාංකික පොලෝවාසී ප්‍රබල දෙවි කෙනෙකි. රජරට නුවර කලාවිය වාසභූමිය කොට සිරිලක සිව් දිග කීර්තිධාරා පතුරවමින් තම බැතිමතුන්ට ජය සතුට සම්පත් ලබා දී වෙනයම් කිසිම අතුරු ආන්තරාවක් වීමට ඉඩ නොදී දිවා රාත්‍රී සියලු බැතිමතුන්ට ආරක්ෂාව සලසවමින් මන්ත්‍ර ශාස්ත්‍රයෙහි නියලෙන්නන්ට දිෂ්ටි ලා යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් වළල්ලට දිෂ්ටිලා ඖෂධ වරම් භාෂා වරම් ඥාන වරම් දී තේජස් ආනුභාව විහිදුවා කඩවර දෙවි අප්පච්චිගෙන් ගත හැකි ගත යුතු ප්‍රයෝජන අතිවිශාලය.
ඒ සඳහා අතිපුරාණ එමෙන්ම වසර සිය ගණනක සිට පැවත එන පරම්පරාගත ක්‍රම, උපායමාර්ග, රාශියක් ඇත.
උන්වහන්සේගේ පිහිට, බලය, ආකර්ෂණය බලාපොරොත්තු වන ඕනෑම අයකු එම ක්‍රමවේද උපායමාර්ග පුරුදු පුහුණු කළ යුතුය. සිදු කළ යුතුය. එවැනි දේ අත්හදා බලා ප්‍රයෝජන ගත හැකි සේම මතුවටත් ප්‍රයෝජන ගත හැකි ඉතාම සරල ක්‍රමවේදයක් ඉසිවර පාඨක ඔබට අද මම ඉදිරිපත් කරමි.
කඩවර දෙවියන්ගේ නිරතුරු ආකර්ෂණය ලබා ගැනීමට නම් ඔබ යම් කාලයක් එක දිගට නොවරදවා දින පතා පහත සඳහන් ක්‍රමවේදයේ නිරත විය යුතුය.
උන්වහන්සේගේ පිළිරුවක් අබියස රාත්‍රී මුල් යාමයේදී මල් පහන් සුවඳ දුම් ආදිය පුදා ඇඹුල් කෙසෙල් පත්‍රවලින් ගොටු 03ක් සාදා එක ගොටුවකට සුදු හඳුන් ගලගා සඳුන්ද දෙවන ගොටුවට කිරිබත්ද තුන්වන ගොටුවට සමන් පිච්ච මල්ද පුරවා උන්වහන්සේගේ දේව මණ්ඩපය අබියස තබා සිතැඟි පරිදි තම අපේක්ෂා බලාපොරොත්තු උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය.
අනතුරුව කහදියෙන් දොවාගත් පොල්ගෙඩියක් ගෙන රාම දිෂ්ටිය (රාම දිෂ්ටිය පෙර ලිපිවල පළ වී ඇත) 21 වර මතුරා උන්වහන්සේ ඉදිරියේ බිඳ දමා නැවත තම අපේක්ෂාව ප්‍රකාශ කළ යුතුය.
උන්වහන්සේට හැමවිටම මන්ත්‍ර වලින් නොව ඔබටම හැකි ලෙස ආමන්ත්‍රණය කළ යුතුමයි. උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබීම සඳහා ඕනෑම අයකුට පහසු වන්නේ ඒ නිසාමයි. උන්වහන්සේ හැම විටම සවන් යොමු කරන්නේ මන්ත්‍ර එසේත් නැතිනම් අඬගැසීමේ දිෂ්ටි මන්ත්රවලට වඩා තම බැතිමතාගේ භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමයි. මෙය ගුරු මුෂ්ටියක් වුවද ඉසිවර පාඨක ඔබගේ යහපත උදෙසා එය ප්‍රකාශ කිරීම ඔබට ප්‍රයෝජනවත් යැයි සිතමි.
ඉදිරියට පළවන උන්වහන්සේගේ ලිපිවල තොරතුරුත් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි විශ්වාස කරමි. මේ සියල්ල අතිවිශ්වාසයෙන් යුතුව අත්දැකීම් පමණක් මුල්කරගත් සත්‍ය තොරතුරු බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
ඒ නිසාම ඔබට යම් ගැටලු අවස්ථාවලදී පමණක් නොව දීර්ඝකාලීනවද උන්වහන්සේගේ පිහිට ආධාරය අපේක්ෂා කළ හැකිය.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ