– ගස් ලක්ෂ හතරක් පරිසරයට ඉතුරු කරන්නට ඔහු සමත් විය
– දිනකට කණු 600ක් නිෂ්පාදනය කර ගස් 600ක් රකිනවා
– අවුරුදු 16දි කිතුල් හකුරු කොළඹට ගෙනැත් විකිණුවා
– මෙහි තාක්ෂණික ක්‍රමවේදය විකුණලා තිබුණේ මැලේසියාවට. අපි මැලේසියාවට ගිහිල්ලා සාකච්ඡා කරලා මෙවැනි කණුවක් ලංකාවේ නිෂ්පාදනය කරන්න කල්පනා කළා
බළන්ගොඩ පුරවරයෙන් අගනා මිණිකැට මෙන්ම නිල්ලට දිලනෙ යායට එළන ලද තේ වතුවලින් රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය ලඝු කොට තැකිය හැකි නොහැකිය. ගම්මිරිස්, කුරුඳු සේම කඳු පෙළෙන් වටවූ මනස්කාන්ත සොඳුරු දසුන් මෙන්ම කඳු හෙල් අතරින් ගලනා වූ සිහිල් දිය කඳුරුද, ගංගාවෝ ද, වලාකුෙළන් වසාගත් කඳු පන්තීන්ගෙන් මැවෙනා අපූරු සුන්දරත්වය නම් අතිශයෝක්තියක් නොවූවකි. සංචාරක තෝතැන්නක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයන්ගේත් නෙත් පැහැරගෙන ඇත්තේ ද මෙකී සුවිශේෂී භූ විෂමතාවයත්, සෞම්‍ය දේශගුණික තත්ත්වයත්ය.
සල්ලි මවන වටපිටාවක් තුළින් එක් දිනෙන් පොහොසත් වීමට වෙරදරන මිනිසුන් අතර බළන්ගොඩ සිය නිජබිම කරගත් මෙම අපූරු ව්‍යවසායකයා පිළිබඳව නොකියවන්නේ නම් එය මහත්වූ අඩුවකැයි දැනෙයි. මිහිලියට හුස්ම දෙමින් සිය ව්‍යාපාරය සිදුකරන අපූරු වූත්, සුන්දර වූත් මිනිසා නැතහොත් බළන්ගොඩ සිය ජන්ම භූමිය කරගත් මේ අපූරු ව්‍යවසායකයා පිළිබඳව කතාව හදවතට දැනෙනු නොඅනුමානය.
ලංකාවේ වසරකට විදුලි පහන් කණු සඳහා කපා හෙළන දහස් ගණන් ගස් වෙනුවට විකල්ප කොන්ක්‍රීට් පහන් කණු තනා ගස් ලක්ෂ හතරක් මිහිලියට ඉතුරු කොට ඔබට මට හුස්ම දුන්, හුස්ම දෙන ඔහුගේ කතාවයි මේ.
ප්‍රියත් සේනක ගුරුසිංහ…. කොහොමද ඔබේ පවුල් පසුබිම… පුංචි කාලය ගතවෙන්නේ… මතකය අවදි කළොත්…?
“අම්මා ගුරුවරියක් ලෙසත්, පියා අඩවි වන නිලධාරියෙක් ලෙසත් කටයුතු කළා. පියා සිංහරාජය අඩවියේ වැඩ කරන කාලයේ මා ගාල්ල පාසලකට ගියා. නිවාඩු කාලයට තාත්තා ඔහුට රජයෙන් දීපු නේවාසික ස්ථානයේ මාව සතියක් විතර තියාගන්නවා. ඒ වගේම සිංහරාජයේ ඇවිදින්න මාව එක්කගෙන යනවා. ඒ පරිසරයට, ඒ විවිධත්වයට මා බෙහෙවින්ම ආස කළ නිසා. තාත්තට ලොකු අවබෝධයක් තියෙනවා ගහ කොළ ගැන. ඒ වගේම 1964 වර්ෂයේ ඉඳලා අවුරුදු දහයක් වෙනතුරුම ලංකාවෙ අඩවි වන නිලධාරීන්ගේ සභාපති ලෙස තාත්තා කටයුතු කළා. පරිසරයක් එක්ක ගෙවුණු මට හැමවෙලේම ගහක් හිටවන්න ඕනේ කියන විශ්වාසය ඇඟේ තිබුණා. ඒක මට ලැබුණේ මගේ තාත්තගෙන්.
මගේ මුල් කාලයේ අධ්‍යාපනය බළන්ගොඩ ඇග්නස් වලිකා ප්‍රාථමික විද්‍යාලයේ. බළන්ගොඩ කුමාර විද්‍යාලයේ සහ රත්මලවින්න මහා විද්‍යාලයේ ටික කාලයක් ඉඳලා තාත්තාගේ රාජකාරි දිවිය සමඟ මාව ගාල්ලට එක්කගෙන යනව. එහේ අවුරුදු තුනක විතර කාලයක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ නැවතත් ආනන්ද මෛත්‍රි නායක මාහිමියන් ඇති කරපු බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙනේ පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. ඒ කාලේ අපේ ළමා ලෝකය හරිම සුන්දරයි. අපි එකට සෙල්ලම් කළා. වටේ පිටේ අය, සම වයසේ කට්ටිය එකට හිටියා. ඒ වගේම අපිට ඉගෙන ගන්නත් ගුරුවරු අමතර ඉගැන්වීම් කළා. සත පහක්වත් ඒ වෙනුවෙන් ගත්තේ නෑ. සමහර වෙලාවට ගෙදරට ඇවිල්ලත් ඉගැන්නුවා.
ළමා ලෝකෙ අපි හොඳට අත්වින්දා. මට අවුරුදු දහය විතර වන කාලේ ඉඳලා දැණුනා, ජීවත් වෙන්න අමාරු කාලයක් තියෙන්නෙ කියන එක. පවුලේ වැඩිමහල් පිරිමියා විදිහට මවුපියන්ට උදව් උපකාර කරගෙන එයාලගෙ වැඩවලට එයාලට ආර්ථිකමය වශයෙන් උදව් කරන්න අවශ්‍යයි කියන මතය අවුරුදු පහළොවේ විතර ඉඳලා තිබුණා. මට වැඩිමහල් අක්කා කෙනෙක් සහ තවත් නංගිලා තුන්දෙනෙක් හිටියා. පවුලේ පස්දෙනෙකුට උගන්නනවා කියන එක බරපතළ කාරණාවක් වුණා.
අවුරුදු දාසයේ දී මට ඕනෑ වෙනවා යම්කිසි දෙයක් කරල මුදලක් හම්බ කරන්න. ඒක බොහොම අහඹු සිදුවීමක්. ලෙඩෙක් බලන්න කොළඹට එනව. බළන්ගොඩ තිබුණා හොඳ කිතුල් හකුරු. කිතුල් හකුරු ගෙනැල්ලා කොළඹ විකිණීමේ වැඩකට මම අවතීර්ණ වෙනවා. ඒ කාල හැටියට එ්ක ලොකු මුදලක්. මම ඒ කිතුල් හකුරු එකතු කරලා පාන්දර තුනට බස් එකේ ගේන්න ඕනෑ. සමහර වෙලාවට මේවා බස්වලට පටවන්නේ නැහැ. පාන්දර තුනේ බස් එකේ ඇවිල්ලා හකුරු පෙට්ටියක් පිටකොටුවෙන් බානකොට මේ පෙට්ටි උස්සගෙන එදා බර ඔසවන්නෙක් ඇවිල්ල ඒ පෙට්ටිය අරගෙන නොපෙනීම යන්න ගියා. එදා මම අසරණ තත්ත්වයකට පත්වුණා. තැනක වාඩිවෙලා කල්පනා කළා එදා හිස් අතින් තමයි ගෙදර යන්න වුණේ. නමුත් අතහැරියේ නැහැ. ඒ වගේ වෙලාවල්වලට අම්ම මට ගොඩක් උදව් කළා. නැවතත් සෑහෙන කාලයක් ඒ හකුරු ව්‍යාපාරය කරගෙන ගියා. එදා අවුරුදු දහසයේදී මම යම්කිසි මුදලක් ඉපැයුවා නම් රජයේ නැත්නම් වෙනත් ව්‍යාපාරයකින් ලබන වැටුපට වැඩිම මුදලක් ලබා ගන්නට මට හැකි වුණා.
රෙදි අඩු කාලෙ බේල් ඇඳුම් අරගෙන ඇවිල්ල පොළවල්වල විකුණුවා. ඒ ආකාරයෙන් තමයි ව්‍යාපාරික දිවියට පිවිසුණේ. ඒ කාලේ පැවතුණු ආර්ථික තත්ත්වයන් එක්ක තමයි මේ විදිහට විවිධ කටයුතුවලට පෙලඹුණේ. මට මතකයි මගේ යාළුවොත් යම් යම් දේවල්වල නිරත වෙලා යම් යම් දේවල් විකුණලා මුදල් හොයන්න පටන් ගත්තා.
පහන් කණු නිර්මාණයට ඔබ පිවිසෙන්නෙ කොහොමද?
ඔළුවෙ තිබුණා පුංචි පුංචි ව්‍යාපාර කරන්න පුළුවන් කියලා හැඟීම. මේ කාලේ විශාල වශයෙන් ගම්වලට විදුලිය තිබුණේ නැහැ. විදුලිය කණු සම්බන්ධව මගේ යාළුවෙක් මට කතා කරලා කිවුවා මෙන්න මෙහෙම හිදැසක් තියෙනවා. මේක කරන්න පුළුවන්ද කියල . මම පළමුවෙනි විදුලි කණු පහ හදල පෙන්නුවා. ඊට පස්සෙ කණු විසිපහක් ලබා දුන්නා. ඊට පස්සෙ කණු සීයක් දුන්නා. මේ ආකාරයෙනුයි කොන්ක්‍රීට් කණු නිෂ්පාදනය කරන ව්‍යාපෘතියට අත ගැහුවේ.
කොන්ක්‍රීට් කණු නිෂ්පාදනයේ දී මීටර් හය සහ අටේ කණු තමයි අපි නිෂ්පාදනය කළේ. ගෙවල්වලට ලයිට් දෙන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් අතර තිබෙන තරගයකින් මූලික වටයට මම තේරුණා. එම අවස්ථාවේ මට දැනගන්න ලැබුණා ඇඹිලිපිටිය ප්‍රදේශයේ වසා දමා තිබුණු කොන්ක්‍රිට් අංගණයක් තිබුණ විශාල වැඩබිමක්. ඒ අංගණය මහවැලිය සතුව තිබුණා. ඒ අවස්ථාවෙම එම කොන්ක්‍රිට් අංගණය ලබාගන්න මම කටයුතු කළා.
මේ කණු සඳහා ගස් කපන එක නවත්තන්නෙත් පරිසරයට කරන හානිය නවත්තන්නෙත් කොහොමද කියන එක කල්පනා කළා. අපි හදන කණුව ඇතුළ හිස්බර අඩුයි. තුන්දෙනෙකුට ඕන තැනකට ගෙනියන්න පහසුයි. මේකේ තාක්ෂණික ක්‍රමවේදය විකුණලා තිබුණේ මැලේසියාවට. අපි මැලේසියාවට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මෙවැනි කණුවක් ලංකාවේ නිෂ්පාදනය කරන්න කල්පනා කළා. බළන්ගොඩ තිබුණු ලංකා වෝල්ටයිල් ආයතනය වහල දාලා තිබුණේ. ඒ කර්මාන්තශාලාව අපි අරගෙන මෙම ස්ථානයේ මෙම කණු නිෂ්පාදනය කිරීම පටන් ගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ මොරටු විශ්වවිද්‍යාල විශාල ලෙස මට උදව් කළා. කණුවක් නිෂ්පාදනය කරලා දින විසි අටක් පමණ වතුර දමා ශක්තිය තබාගත යුතු වුවත් මෙම නිෂ්පාදනාගාරයේ අද හදන කණුවක් දවස් දෙකකදී භාවිතයට ගත හැකි අයුරින් අවශ්‍ය තාක්ෂණය පවතිනවා. පැය 48කදි වගේ නව තාක්ෂණයක් සමඟ මෙම කණු ශක්තිමත්ව ලබා දෙන්න හැකියාව තියෙනවා. මුලදී මෙම නිෂ්පාදන දවසකට කණු තුන්සියයක්ව පැවතුණත් අද වන විට කණු 600 දක්වා නිෂ්පාදන හැකියාව අප සතුව පවතිනවා.
මේ කණුව මඟින් විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන් වෙනවා වගේම ආරක්ෂක පද්ධතියක් විදිහට ක්‍රියා කරන්නට හැකි වෙනවා. අද වන විට ගස් ලක්ෂ හතරක් පමණ පරිසරයට ඉතුරු කරලා දීලා තියෙනවා. පසුගිය කාලවල ගස් කපපු නිසා දිය උල්පත් සිඳීමේ අවදානමට ලක්වුණා. මම නිහතමානීව සතුටු වෙනවා මේ පරිසර පද්ධතියට මගෙ ජීවිත කාලය තුළ යහපතක් කරන්න පුළුවන් වීම ගැන. කණු පන්සියක් නිපදවනවා කියන්නේ ගස් පන්සියක් ආරක්ෂා වෙනවා.
මේ සඳහා අවශ්‍ය තාක්ෂණය අපි ගත්තෙ මැලේසියාවෙන්. මැලේසියාවේ ඉංජිනේරුවෝ ගෙනල්ල අපේ ආයතන තුළ නවත්තගෙන ඒ අවශ්‍ය තාක්ෂණය ලබාගන්න අපේ දරුවන්ට අපි පුහුණු කළා. මගේ ජීවිතේ මෙතෙන්ට එන්න විශාල ශක්තියක් වුණේ මගේ බිරිඳ. ඇය ධම්මිකා ගුරුසිංහ. ඒත් එක්කම මගේ දුවයි පුතයි විදෙස් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබලා ඇවිත් මගේ ආයතනයේ අධ්‍යක්ෂවරු විදිහට වැඩ කරනවා. අද ලංකාවේ ලක්ෂ දහයකට වඩා මගේ නම ගහපු කණු හිටවලා තියෙනවා.
නැවකට යන්න හිටිය ඔබ, අහඹුවක් ලෙස වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රි මහනායක හිමි හමුව ඔබව ව්‍යාපාරික ලෝකයට තල්ලු කළා නේද…..?
1978 වසරෙ වගේ මගේ යාළුවෙක් මට කියනවා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ මුණගැහෙන්න යමු කියලා. මම එතුමත් එක්ක යනවා එයාගේ තනියට. මම පැත්තකින් වාඩිවෙලා ඉන්නවා. එයාගේ වැඩේ අවසන් වුණාට පස්සේ නායක හාමුදුරුවෝ මාව පෙන්නලා එක පාරටම ඇහුවා මේ තරුණය කවුද කියලා. ඒ වචනෙන්ම තමයි ඇහුවේ. ඒක මගේ ජීවිතේ වෙනස් වෙච්ච සන්ධිස්ථානයක්. මම අඳුන්නවලා දුන්නා හාමුදුරුවන්ටත් අපි ගැන මතකයක් ඇති. මගෙන් ඇහුවා දැන් මොනවද කරන්නේ කියලා. ඒ කාලේ නැව්වලට නැවියන් බඳවා ගනු ලැබේ කියල ඉල්ලුම්පත්‍ර විකුණනවා. ඔය ඉල්ලුම් පත්‍රයක් සත විසිපහයි. මගේ යාළුවෙක්ගෙ මාමා කෙනෙක් ඔය නැවක වැඩ කළා. රුපියල් 25,000ක් පඩි. ඒ කාලේ රුපියල් 25,000ක් කියන්නේ හිතන්නවත් බෑ. මම අම්මගෙන් රුපියල් දෙකක් තුනක් ඉල්ලගත්තහම ඔය නැව්වලට නඟින්න ඇප්ලිකේෂන් දානවා. මම ලොකුකමටත් එක්ක වගේ ආඩම්බරයටත් එක්ක හාමුදුරුවන්ට කිවුවා හාමුදුරුවනේ මම නැවකට යන්න හිතාගෙන ඉන්නේ. ඉල්ලුම්පත්‍ර දාලා තියෙන්නේ නැවකට යන්න කියලා. තමුසෙට නැව් නඟින්න නෙමෙයි තමුසෙට දාහකට රස්සාවල් දෙන්න පුළුවන් කියල කිවුවා. නායක හාමුදුරුවෝ එහෙම කිවුවට ඒක ගැන එච්චර හිතුවේ නැහැ. නමුත් බළන්ගොඩ නායක හාමුදුරුවෝ අපවත් වෙනකොට හාරසියයක් පමණ මා යටතේ වැඩ කරනවා. ව්‍යාපාර පටන්ගත්තාම ව්‍යාපාර නාම ලියාපදිංචි කරන්න ඕනනේ. ඒ හින්දා නමක් ඕන වුණා. ඒ කාලෙත් නමක් දාගන්න එහෙම ගියාම නායක හාමුදුරුවෝ හම්බවෙන්න යනවා. නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න ව්‍යාපාරයට නමක් තියන්න ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මන් කර කර හිටියේ මළුවේ. හාමුදුරුවන්ට මම වැඳලා කාරණාව කිවුවට පස්සේ තමුෙසගේ නම මොකක්ද කියලා ඇහුවා. මම නම කිවුවහම හා ඔය තියෙන්නේ නම ඕකම දානවා කිවුවා. ඕකම තමා තමුසෙට හරියන්නේ කිවුවා. එදා ඒ දීපු නම තමයි සේනක සමූහ ව්‍යාපාරය කියල පවත්වාගෙන යන්නෙ. මේ වන විට සේනක සමූහ ව්‍යාපාරයේ සෘජු රැකියා 120ක් කොකෝ සික්ස් සේනක ඇග්‍රො, බ්ලොක්ගල් ආයතනයන්හි 650ක් ඇතුළු අතුරු රැකියා අවස්ථා 4500ක් ලබා දී තිබෙනවා.
අපේ රටේ අධ්‍යාපනය තුළ කර්මාන්තකරුවෙක් වෙනවා කියන එකට ඉඩ හසරක් වෙන්වෙලා නෑ. මවුපියෝ පුරුදුවෙලා තියෙන්නෙ දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න රාජ්‍ය සේවකයෙක් බවට පත්කරන මානසිකත්වයක් තමයි ගොඩනඟල තියෙන්නෙ. මවුපියෝ හිතන්නෙ නැහැ තමන්ගේ දරුවට දාහකට රස්සාව දෙන්න පුළුවන් මිනිහෙක් ගොඩ නඟන්න ඕන කියලා.
මම කියනවා මේ තරුණ පරපුරට අපේ රට අපි ඉපදුණු රට දාලා යන්න එපා කියලා. මේ රටේ කළ හැකි දේවල් ගොඩක් තියෙනවා පහුගිය කාලේ තිබුණ පසුබෑම තාවකාලිකයි. අපේ තරුණ පරම්පරාවට ටිකක් ඉවසීම අඩුයි.
මගේ වයස අවුරුදු හැට තුනක්. මේ පටන් ගැන්මෙ ඉඳන් මේ දක්වා ආපු පියවර ගැන මම සතුටු වෙනවා. මගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන් දේවල් මම ගොඩක් කරලා තියෙනවා ඉදිරියේදී මේ ව්‍යාපාර මගේ දරුවන් ඉදිරියට ගෙන යාවි. දැනට අප්‍රිකානු රටක හා ඉන්දියාවේ මේ ව්‍යාපාරය ස්ථාපිත කරන්න වැඩ කටයුතු සකස් කරමින් සිටිනවා. මේ ව්‍යාපාරයත් එක්කම මේ වසරේ අපි ආරම්භ කළා තෙල් බෙදුම්හලක් සහ පිරිසිදු පොල්තෙල් බෙදා හැරීමේ සහ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සංචාරක ව්‍යාපාරයට අත ගසන්නත් බලාපොරොත්තු වෙනවා.
බොහෝ ඇසූ පිරූ තැන් ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තෙම්පරාදු වූ පුද්ගලයෙක් ලෙස මෙන්ම තම සේවක අභිවෘද්ධිය ගැන සිතන අධ්‍යාපනයට ශිෂ්‍යත්ව ඇතුළු ආගමික හා විවිධ සමාජ සත්කාරක වැඩසටහන්වලට අතහිත දෙමින් ජනහද දිනූ ව්‍යවසායකයෙක් ලෙස ඔහුගෙන් උකහාගත හැකි බොහෝ දෑ ඇත.
බෙලිහුල්ඔය සමන්තා කංකානම්ගේ