මේ කියන්න යන්නේ ලංකාවේ ඉදි වුණ හරි අලංකාර ගොඩනැඟිල්ලක් පිළිබඳවයි. ගොඩනැඟිල්ලක් කිවුවට එය එසේ මෙසේ ගොඩනැඟිල්ලක් නෙමෙයි. පස් ආශ්‍රයෙන් නිම කළ ගොඩනැඟිල්ලක්. ඒ වගේම මේ අලංකාර ගොඩනැඟිල්ල ඉදි වන්නේ මිනිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ වීමත් වශේෂයි. ඇළ ඉවුර මත මේ ගොඩනැඟිල්ල ඉදිවන්නේ පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මිණිපේ අමුණ ඉදිකිරීමේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වීමේ ප්‍රතිඵලයක් විදිහට බව කියන්න ඕන.
වසර 03කට අධික කාලයක් විවිධ හේතු නිසා ප්‍රමාද වූ මිනිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. මෙම අවස්ථාවේ ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසා සිටින අතරතුර ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසද පවසා තිබුණා.
මේ වන විට රටේ විදුලිය සඳහා වන ඉල්ලුම උච්චතම අවස්ථාවකට පැමිණ ඇති නිසා දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවන බව එතුමන් එහිදී පෙන්වා දී තිබුණා. ඒ අනුව තමයි, මිනිපේ ගොවි බිම් සඳහා වඩා විශ්වසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමේ අරමුණින් මිනිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝමීටර් 74ක දිගින් යුතු මිනිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරුණේ. මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාව වගේම මිනිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල – මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාවත් ගොවීන්ට හිමි වෙනවා. මින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000ක්. මේ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3,000ක්. 1948 වසරේ ඉදි කෙරුණු මිනිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර තිබුණේ 1980 වසරේදීයි. මෙම ගොඩනැඟිල්ල ඉදිවන්නේ මේ පසුබිම තුළයි.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ වුණු මෙම මිනිපේ ඇළ වම් ඉවුරු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රොන්තාත්කරු ලෙස චයිනා ගෙෂව්බා(China Gezhouba) සමූහ සමාගමත්, උප කොන්ත්‍රාත්කරු ලෙස ඒ.එම්.එස්.කේ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමත් (AMSK Constructions Pvt. Ltd.) කටයුතු කරනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ ඇළ ඉවුර උඩ තොරතුරු මධ්‍යස්ථානයක් හා ඒ තුළ වාරි කෞතුකාගාරයක් ඉදි කිරීමට සැලසුම් සකස් කර තිබුණ. නමුත් ඒ සඳහා වැය වන මුදල ඉහළ අගයක් ගැනීම හේතුවෙන් එම ගොඩනැඟිල්ල ඉදි කිරීම ගැටලුකාරී වුණා. ඒ අවස්ථාවේ තමයි ජනාධිපතිවරයා කියූ අදහස ආචාර්ය අරුණ කුලතුංගගේ ඔළුවට ආවේ. ඔහු වහාම මහාචාර්ය රංගික හල්වතුරට කතා කර අඩු වියදමකින් මෙම ඉදිකිරීම නිම කර දීමට හැකිද කියා විමසා සිටියා. එය ඉතා දුෂ්කර වෑයමක් වුවත් එම අභියෝගය ඉතා කැමැත්තෙන් භාරගත් රංගික මෙහි පිහිටි ස්වභාවය අනුව සැලැස්මක් නිර්මාණය කළා. මේ සැලැස්ම මහාචාර්ය රංගික ප්‍රමුඛ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගෙන් සැදුම්ලත් ප්‍රෝග්‍රීන් (ProGreen) කණ්ඩායම විසින් ඔවුන් වෙත ඉදිරිපත් කරා. එහිදී මෙරට නිර්මාණ ඇසුරෙන් දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කර ගෙන මෙම ඉඳිකිරීම සිදු කළහොත් වියදම ඉතිරි කළ හැකි බවත්, එසේම ඉතාම දැකුම්කළලු නිමාවකින් එය නිම කළ හැකි බවත් ඔහු පෙන්වා දී තිබුණා.
මෙහිදී අදාළ ව්‍යාපෘති භාර සමාගම් විමසා සිටියේ ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබෙන මුදලට එය නිම කළ හැකිද යන්නයි. මහාචාර්ය රංගික විසින් තම සැලැස්ම ඉදිරිපත් කරමින් පවසා තිබුණේ අදාළ සැලැස්ම අනුව මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවට පරිසරයෙන්ම කළමනාකරණය කර ගත හැකි බවයි. නමුත් ඒ පිළිබඳව ඔවුන් තුළ විශ්වාසයක් තිබී නැහැ. ඔවුන් විමසා තිබුණේ මෙය කල්පැපවතින දැකුම්කලු හරිත ඉදිකිරීමක් (Green Building) ලෙස නිමවා දිය හැකිද කියාය. අභියෝගය භාරගත් රංගික ප්‍රමුඛ ප්‍රෝග්‍රීන් කණ්ඩායම ඊට අනුමැතිය පළ කළේය.
ඒ අනුව සුබ මොහොතින් මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු 2020 වසරේ අවසාන කාලයේ ආරම්භ කෙරිණි. ඒ ගැන මහාචාර්ය රංගික හල්වතුර පවසන්නේ මෙවැන්නකි “අපට තිබුණ ලොකුම අභියෝගය වුණේ අමුද්‍රව්‍ය තෝරා ගැනීම හා වායු සමන යන්ත්‍ර පාවිච්චි නොකර ස්වභාවික ක්‍රමවේද ආධාරයෙන් මෙහි සිසිලස රැක ගන්නේ කෙසේද කියන ගැටලුවයි. මිනිපේ කියන්නේ අධික වියළි කාලගුණයක් තියෙන ප්‍රදේශයක්. ඒ වගේ ප්‍රදේශයක මෙවැනි නිර්මාණයක් කිරීම ඇත්තෙන් ම අභියෝගයක්. ඒ අනුව ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමෙදී එහි ස්වභාවය පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කළා.
ඒ වගේම වියදම අවම කරගතයුතු නිසාත් මෙය තිරසර සංවර්ධන සැලසුම්වලට අනූකූලව ඉදි කළ යුතු නිසාත් අප විසින් විවිධ අත්හදා බැලීම් සහ පරීක්‍ෂණ මඟින් නිර්මාණය කොට එහි බුද්ධිමය දේපළ අයිතිය (patent බලපත්‍රය) ලබා ගත් පස් ආශ්‍රිත නිර්මාණ භාවිත කිරීමට අප තීරණය කළා. මේ සඳහා යම් ප්‍රමාණයකට කොන්ක්‍රීට් සඳහා සිමෙන්ති යොදා ගැනීමට සිදු වුවත් මෙය මුළුමනින්ම පස්වලින් කළ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.
වර්තමානයේ බොහෝ දෙනා ගොඩනැඟිල්ලක් ඉදි කරන විට වැඩි අවධානය යොමු කරන්නේ මූලික පිරිවැය (Initial cost), ජීව කාලය(Lifetime) පිළිබඳව නෙමෙයි එහි මුළු ජීවන චක්‍ර පිරිවැය (total lifecycle cost) හා පරිසර හිතකාමීත්වය කියන කාරණය පිළිබඳවයි. ඒ අතර කාබන් පියසටහන (Carbon footprint), අන්තර්ගත සම්පූර්ණ ශක්තිය (Embodied Energy), උදාසීන සංකල්පය (passive concepts) ප්‍රධාන තැනක් ගන්නවා.
මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේදී වියදම අඩු කරගැනීම සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා යන වියදම අවම කිරීමට අපි කල්පනා කළා. ඒ අනුව ඉදිකිරීම අවට පරිසරයේම තිබෙන දේවල් කෙරෙහි වැඩි අවධානය යොමු කළා. එයින් වියදම අවම කරනවා වගේම ඉදි කිරීමෙන් සිදුවන පරිසර හානියද අවම කරගැනීමට හැකියාව ලැබුණා. මිනිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීමට ඇළ මාර්ගය හාරා විශාල පස් ප්‍රමාණයක් ඉවත දමා තිබෙනවා අපි දැක්කා. ඒ පස් අපි මේ ඉදිකිරීම සඳහා මුළුමනින්ම යොදා ගැනීමට තීරණය කළා. ඒ අනුව මෙම ගොඩනැඟිල්ලේ බිත්ති පොළොව, කපරාරුව, බිත්තිවල පොටි ඇදීම, බිත්ති පින්තාරු කිරීම, වහලයේ තාප පරිවරණය ආදී සෑම කටයුත්තක් සඳහා අපි භාවිත කළේ මේ පස්.
අපි මෙම ගොඩනැඟිල්ලේ බිත්ති බැඳීම සඳහා යොදා ගත්තේ මඩ් කොන්ක්‍රීට් ගල (mud concrete block/MCB). මඩ් ෆ්ලෝරින් තමයි පොළොවට පාවිච්චි කළේ, ස්ලැබ් එකෙන් ඇතුළට එන රස්නය වළකන්න පස් යොදා ඒ මත තණකොළ සිටවීමට තීරණය කරා. බිත්ති පින්තාරු කිරීම සඳහා පස්වලින් සැකසූ තීන්ත යොදා ගත්තා. පස්වලින් නිර්මාණය කළ පොටි බිත්ති සඳහා යොදා ගත්තා. ඉතාම අඩුවෙන් කොන්ක්‍රීට් දැමීම සඳහා සිමෙන්ති පාවිච්චි කළා. ඒ හැරුණාම අනික් හැම දෙයක්ම මේ අසලින්ම ලබාගත් පස්වලින් තමයි ඉදි කළේ. මේ සඳහා අප විසින් නිර්මාණය කළ නව නිර්මාණ 05 අපි භාවිත කළා.
මේ නිසා අපට එම්බොඩීඩ් කාබන් (embodied carbon), කාබන් ෆුට්ප්‍රින්ට්(Carbon footprint) අවම කළ හැකි තිරසර ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හැකියාව ලැබුණා.
මේක ඉතාම අමාරුවෙන් කරපු කටයුත්තක්. මොකද මෙහි උපදේශකවරුන් විදිහට ක්‍රියා කළේ විදේශිකයන් පිරිසක්. ඒ වගේම ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කළේ චීන සමාගමක්. ඒ අයට අපි මේ කරන්න යන දේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මීට කලින් මේ විදිහට පස්වලින් ඉදි කරලා ඒ අයගෙ විශ්වාසය තහවුරු කරන්න හැකියාවක් අපට තිබුණේ නැහැ. ඔවුන් අප මේ ඉදිරිපත් කළ සෑම සැලසුමක් දිහාම සැකයෙන් බැලුවේ. ඔවුන් හිතුවෙම මේ විදියට ඉදි කළොත් පසුවට ප්‍රශ්නයක් ඇති වේවි කියලයි. ඒ නිසා ඔවුන් ඉල්ලන ප්‍රමිතියට මේ ගොඩනැඟිල්ල ඉදිකිරීම අපට විශාල අභියෝගයක් බවට පත්ව තිබුණා. මෙය සාර්ථක ඉදි කිරීමක් නොවේවි යැයි ඔවුන් තුළ වූ සැකයක් ඇති වුණා. සම්ප්‍රදායිකව යොදා ගන්නා අමුද්‍රව්‍ය වෙළෙඳපොළේ තියෙද්දී මේවගේ දේවල් යොදාගෙන රිස්ක් එකක් ගන්න ඒ අය බිය වුණා. මොකද මේ විදිහට මේ ඉදිකිරීම කළත් එය කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔවුන්ට තිබුණා. ඒ නිසාම අපේ අමුද්‍රව්‍ය සෑම එකකම තත්ත්වය සහතික කර පෙන්වන්න අපට සිදු වුණා. එය අපට වෙස්වලාගෙන ආ ආශීර්වාදයක් බවට පත් වුණා. මොකද එයින් ඔවුන් බලාපොරොත්තු වූ මට්ටමටත් වඩා අප යොදාගත් අමුද්‍රව්‍ය සාර්ථක බව සහතික කෙරුණා. මේ නිසා ඔවුන්ට වගේම අපටත් අපේ මේ නිර්මාණය ගැන ලොකු විශ්වාසයක් සහ වටිනාකමක් ලැබුණා. ඒ වගේම අප යොදා ගන්නා සම්ප්‍රදායික අමුද්‍රව්‍යවලට වඩා අපේ මේ අලුත් නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ බව හැමෝටම අවබෝධ වුණා.
මේ නිර්මාණය පාරිසරික යෝග්‍යතාව (Suitability) ගැන කතා කරන, හරිත ගොඩනැඟිලි ගැන කතා කරන හැමෝටම හොඳ අත්දැකීමක්. මිනිපේ අමුණ හදන කොට ගොඩ ගත්ත, වීසි කරන්න නියමිත වෙලා තිබුණ පස්වලින් කරපු සුපිරි වැඩක්. මේක නෙලුම් කුලුන තරම් උස නැහැ. ඒත් මේක විශේෂයි. මම හිතන විදිහට ලංකාවේ රජ දවසෙන් පස්සේ අපේම කියලා තාක්‍ෂණයෙන්, අපේම හැකියාවෙන් ඉදි වුණ ගොඩනැඟිල්ලක්. බලන බලන හැම තැනකම අපේ පේටන්ට්, අපේ බිත්ති තැවරුම්, අපේ තීන්ත අපේම නිර්මාණ.
මේ ගොඩනැඟිල්ලේ පොළොව අපේ පරණ කටු මැටි ගෙදරක පොළව වගේ, ගොම මැටි ගෑ බිත්ති, වෙනසකට තියෙන්නේ ඒවා සීගිරි කැටපත් පවුර වගේ කපල ඔපදාල තිබීම පමණයි. බිත්ති තැවරුම් මේ ඔක්කොම නිර්මාණය වෙන්නේ පස්වලින්. මේ කතාව මෙහෙම ලියලා මදි. මෙහෙම කියවලත් මදි. ඒක දැනෙන්න නම් එතෙන්ට යන්නම ඕනේ. ඇස් දෙකෙන් බලන්නම ඕනේ. සෙරෙප්පු දෙකක් නැතිව ඇවිදින්නම ඕනේ. මේ බිත්ති අත ගාන්නම ඕනේ. එහෙම විඳින්න පුළුවන් තැනක් තමයි මේ.
මේ තුළ තොරතුරු මධ්‍යස්ථානයක් වගේම වාරි කෞතුකාගාරයක් ද නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම එකවර පනහකට පමණ අසුන් ගෙන සිටිය හැකි දේශන ශාලාවක් ද මෙහි අන්තර්ගතයි. ඉකුත් පළමු වැනිදා මෙය නිමවා අවසන් කළේය.
ඉතින් පාසල් දුවා දරුවන්ට වාරි තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට පමණක් නෙවෙයි දෙස් විදෙස් සංචාරකයන්ට ද අපේ වාරි තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න වගේම වෙනස් සුන්දර පරිසරයක අසිරිය විඳින්නත් මේ නිසා හැකියාව ලැබී තිබෙනවා. මේ තමයි දකුණු ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම තියෙන වාරි ව්‍යාපෘතියක පස්වලින් එම පරිසරයේම ඉදි කළ ප්‍රථම වාරි කෞතුකාගාරය. එහි සිරි අසිරි විඳින්න ඔබත් මෙහි පැමිණෙන්න.
රසික කොටුදුරගේ