Home » කළු බැළලිය

කළු බැළලිය

by sachintha
March 16, 2024 12:29 am 0 comment

ඔයා ඇත්තටම මේ ආයතනයට විශාල සන්නාමයක්… මතකද මේ ආයතනය පටන් ගනිද්දී අපි ඔයාව ටී වී ඇඩ්ස්වලට පවා යොදා ගත්තා… මම හිතනවා ඒකම අපේ මේ ආයතනය ගොඩගන්න ලොකු හයියක් වුණා.. අපේ මේ රන්කෙඳි නාමය ලෝකයටම ගෙනියන්න පුළුවන් වුණෙත් ඒ හින්දමයි.

රන්කෙඳි ඉන්ටර්නැෂනල් ආයතනයේ හිටපු මානව සම්පත් කළමනාකාර උදක රත්නායක උන්නැහේ ඇසේ තිබුණ කණ්ණාඩිය අතට ගෙන අතේ තිබුණ පොත පැත්තකට විසිකර හාන්සි පුටුවෙන් නැගිට්ටේය.

තාරුණ්‍යයේ අග්ගිස්ස පසුකර බොහෝ කාලයක් ගෙවී ගොස් ඇති ඔහු ඇත්තෙන්ම නැගිට්ටා නොව සිතට ආ ආවේගයත් සමඟ ඉබේටම මෙන් නැගිටුණාය.

“අරූගෙ අඬු කැඩෙන්න ගහන්න ඕනෑ…” ඔහු සිතෙන් එසේ කීවේ දත්මිටි කමිනි.

මෙතුවක් වේලා පැවැති කුරුල්ලන්ගේ කිචි බිචි නාදය දැන් දැන් ඇහෙන්නේ යුද ප්‍රකාශ කිරීමක් වගේ යැයි රත්නායක උන්නැහේට දැනෙයි.

“අර කාලකණ්ණි වල් බැළලි ඇවිත් වගෙයි…” ඔහු තමන්ටම කියා ගත්තේය. “මෙලහකටත් අර සත්තු ටික අල්ල ගන්න කුරුමානම් අල්ලනවා ඇති….”

සතිය අග්ගිස්සට වන්නට සෑහෙන කාලයකට පසු ලැබුණ නිවාඩු දිනය රත්නායක උන්නැහේ ගත කරන්නේ බොහෝවිට පොත්පත් සමඟිනි. රත්නායක උන්නැහේ සිය රාජකාරියෙහි ඉසිඹු ලැබුවායින් පසු අහසේ පුරසඳ දැකගත හැකි දවස් සෑහෙන්නට ගෙවී ගොස් තිබිණි. එහෙත් මේ කාලය ගෙවී ගියේ දහසකුත් එකක් ගෙදර දොර රාජකාරිවලට අමතරව සිය දරුවන් සමඟය.

දිගු කාලයකට පසු පොතක් කියැවීමට ලැබුණ මේ නිවාඩු දිනයේදී රත්නායක උන්නැහේ කුරුල්ලන්ගේ මෙම ගෝරනාඩුව සලකන්නේ සැන්දෑ කාලයම මුස්පේන්තු කරන හඬක් ලෙසිනි. එසේ වුවත් මීට ටික කාලයකට එය එසේ නොවිණි.

රත්නායක මහතාගේ ගේ ඉදිරිපිට අකුණු වැදී දිරාගිය පොල් ගස ගෙවුණු හැම හැන්දෑවකම ගෙන ආවේ අමුතුම ප්‍රබෝධයකි. ඒ හැම හැන්දෑවකම ගැවසෙන සැළලිහිණි යුවළගේ හඬ ඇසීමෙනි.

සැළලිහිණි ජෝඩුව හෙණ ගැසූ පොල් ගස ළඟ කරක් ගහන්නට පටන් ගත්තේ කවදාදැයි රත්නායක මහතාට එතරම් නිනව්වක් නොවිණි. අහල පහළ ගස් අතුවල රැඳෙමින් එහෙ මෙහෙ පනින සැළලිහිණි ජෝඩුව සවස් කාලයේ පැයක් එක හමාරක් පමණ වේලා රත්නායක උන්නැහේගේ ගෙවල් ඉසව්වේ රැඳී සිටින්නේ අතොරක් නැතිව කෑ කෝ ගසමින් තටු පුම්බාගෙන කෑ කෝ ගසන දෙමළිච්චන් රෑනට වඩා කිසියම් සන්සුන් සංවර බවකිනි. රත්නායක මහතාගේ හිත ගියේ ද ඇතැම් විටෙක ඒ නිසා විය හැකිය.

ඒ කැරුණු කාරණා කොහොම වෙතත් සැළලිහිණි ජෝඩුව රත්නායකගේ කුඩා මිනිබිරිය නළවා ගන්නට කදිම තුරුම්පුවක් වී තිබුණාක් මෙනි. ඒ ඇය හඬනා හැම විටෙකම වාගේ හෙණ ගැසූ පොල් ගස දෙසට අත දිගුකර කුරුල්ලන් ගැන යමක් කීමෙනි.

එහෙත් සැනෙකින්ම ඔහු කිසියම් ගුප්ත බලපෑමකට හසු වූවකු පරිද්දෙන් එක්වරම බියපත්ව මෙල්ල වුවාක් මෙනි.

ඔහුගේ සිතට එක්වරම ආවේ සැළලිහිණි ජෝඩුව මරාගෙන කන්නට කුරුමානම් අල්ලන කළු බැළලියයි. කළු බැළලිය ගැන රත්නායක උන්නැහේට හා හා පුරාවට වෛරයක් කේන්තියක් ඇති වූයේ මීට පෙරාතුව මේ පොල් ගසේ බෙනය අත්පත් කරගෙන උන් ගිරා ජෝඩුව කළු බැළලියගේ ගොදුරක් වූ දිනයේය. ඒ කොයි වෙතත් දැන් මේ වෙද්දි ඔහුට කළු බැළලිය ගැන ඇත්තේ කිසියම් අනුකම්පා සහගත බවකි.

කළු බැළලිය දැන් මවක වීමට ඔන්න මෙන්නය. බොහෝ දවසක් රැකගෙන සිට කොටු කරගත් දවසේ එය ඔහුට මැනවින්ම පෙනිණි. ඔහුගේ සිතට ආ කෝප සහගත හැඟීම් සියල්ල පහව ගියේ නිමේෂයකිනි. ඒ මොහොතේ ඔහු අත වූ කුඩා පොලු කැබැල්ල පසෙකට විසිකළ රත්නායක උන්නැහේ බැළලියට පහර දීමේ අදහස අතහැර මහ හඬින් කෑ ගසා වැට මායිමෙනුත් සෑහෙන දුරක් එපිටට එළවා දැමුවේ ආයෙමත් නොඑතැයි යන විශ්වාසයෙනි.

එහෙත් දැන් මේ වෙද්දී බැළලිය ආයෙමත් සපැමිණ සිටින්නීය. හිතට ආ කෝපයත් සමඟ උගේ අඬු කඩා දැමිය යුතුයැයි සිතුවද දැන් ඇයට කුමක් කළ යුතුදැයි සිතා ගැනීමට නොහැකිය. ඇය දැන් මවකි. කළු බැළලිය කොහෙන් හෝ මොනවා හෝ කා දමා එනතුරු ඇගේ පැටවුන් කිරි බොන්නට මඟ බලාගෙන සිටිනවා විය හැකිය.

එසේ වුවත් දැන් මේ වෙද්දි ඔහු ද කිසියම් ගුප්ත බන්ධනයකට අසුවී ඇතිවාක් මෙනි. ඒ එක්කම කොහෙන්දෝ සිට සිල්වියා ද හිතට වද දෙන්නාක් මෙනි.

බිමට නැඹුරු කරගත් මුහුණෙන් යුතුව ඇය විශාල බලාපොරොත්තුවකින් තමා ළඟට පැමිණි අයුරු රත්නායක උන්නැහේට හොඳින්ම මතකය. සිල්වියා මේ මොහොතේදී රත්නායක උන්නැහේගේ හිස වටා කරකැවෙන්නාක් මෙනි. ඇය කී ඇගේ කතාව තවමත් හිස වටා දෝංකාරය දෙන්නාක් මෙනි.

තට්ටු අටක් උස ගොඩනැඟිල්ලේ බිම් මහලෙන් විදුලි සෝපානයට ඇතුළු වුණ සිල්වියා පස්වැනි මහලෙන් එළියට ආවේ කිසිත් සිතා ගත නොහැකිවය. මේ වේලාව වැඩිපුර සෙනඟ එහා මෙහා නොයන අවේලාවක් වූයෙන් ඇයට පස්වැනි මහල තෙක්ම සෝපානයෙන් එන්නට සිදුවූයේ තනිවමය.

පස්වැනි මහලෙන් නතර වූ සෝපානයෙන් එළියට ආ සැණින්ම ඇයට හරියටම මුහුණට මුණ ගැසෙන්නේ වීදුරුවක් සහිත නිල් පැහැ දොරක් සහ ඊට උඩින් වූ රන්වන් පාටින් බැබළෙන පුවරුවකි. එහි මුලින්ම ඉංග්‍රීසියෙන් ද දෙවැනුව සිංහලෙන් ද වදන් පෙළක් විය.

“මානව සම්පත් කළමනාකරු – රන්කෙඳි ඉන්ටර්නැෂනල්”

විදුලි සෝපානයෙන් නික්ම ආ සිල්වියා දොර තල්ලු කරගෙන කාමරය තුළට ආවාය. කාමරය තුළ විනිවිද පෙනෙන තවත් කුඩා කාමරයක් වූ අතර තවත් කීප දෙනෙකු ඉන් පිටත මේස ද පුටු තබාගෙන වැඩවල නිරතව සිටිනු ඇයට දක්නට ලැබිණි. ඔවුන් හැම දෙනාම වාගේ ඇය දන්නා කියන අය වූවත් මෙම කාමරය ඇයට බොහෝ ආගන්තුක තැනක් විය. ඇය මෙම කාමරයට ඇතුළු වූ දෙවැනි අවස්ථාව මෙය විය. මුල්ම වතාවට මෙම කාමරයට ඇය ආවේ මෙම කන්තෝරුවේ රැකියාව ලබා ගැනීමටය. ඒ මීට අවුරුදු දහයකටත් එපිට කාලයකට පෙරාතුවය. එහෙත් ඒ කාලයේදී වායුසමනය සහිත මෙවැනි සුවපහසු බවක් කාමරයේ නොවුණ අතර එහෙන් මෙහෙන් සොයා ගත් ලී පුටු සහ මේස කැබැලි කීපයක් ද කබල් විදුලි පංකාවක් ද පමණක් වූ බව ඇයට හොඳින්ම මතකය.

මේ වනවිට කාමරයේ සිටි කිහිපදෙනා ද කුමක් හෝ වැඩක නිරතව සිටියෙන් සිල්වියා ගැන අවධානයක් යොමු නොවීය. එහෙත් කුඩා කාමරයේ සුව පහසු කැරකෙන පුටුවක වාඩිවී හුන් ටයි කෝට් මහත්මයා ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාක් මෙනි.

“කම් ඉන්… කම් ඉන්…” ඔහු එක් අතක්ද ඔසවමින් තරමක් උස් හඬින් කතා කළේ වැඩ කරමින් උන් සෙස්සන්ගේ ද අවධානය බිඳලමිනි.

“එන්න… වාඩිවෙන්න…” ඇරුණ දොරක් සහිත කුඩා කාමරයට ආ සැණින්ම ඔහු කීවේ ඔහුගේ මේසය ඉදිරියෙන් වූ පුටු දෙක තුනෙන් තමන් ඉදිරියේම අසුන පෙන්වමිනි.

“තෑන්ක්ස් සර්…”

“මම හිතන්නේ මේ වෙද්දී මම ඔයා මෙතැනට ගෙනාවේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් දැනටමත් ඉඟියක් ලැබිලා ඇති කියලා හිතනවා… මේ ගැන පහුගිය ඩිරෙක්ටර් බෝඩ් එකේදීත් කතා කරලා තියෙනවා… ඇත්තටම සිල්වියා වගේ කෙනෙක් අපෙන් ඈත්වෙලා යන එක අපට බොහෝම කනගාටුවක්…” රන්කෙඳි ඉන්ටර්නැෂනල් ආයතනයේ මානව සම්පත් කළමනාකරු උදක රත්නායක බොහෝ තැන්පත් අයුරින් කීවේය. ඔහු එසේ පවසද්දී ඇය හිස සැලුවාය. ඇය එසේ හිස සැලුවේ තමන් සමුගැනීම පිළිගැනීමට ද නැතහොත් ප්‍රතික්ෂේප කිරීමටදැයි ඇයටම නිනව්වක් නොවිණි.

“සර්… මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නේ….” ඇය එසේ අවසන් වතාවටත් තමන්ගේ සිතෙහි ශේෂව තිබුණ බලාපොරොත්තුවක් එළියට දමමින් කීවාය.

“ඒක ඉතින් මේ ආයතනයේ වැරැද්දක් නෙමෙයිනේ…” මානව සම්පත් කළමනාකරු මුවඟට හාස්‍ය මුසු සිනහවක් නංවමින් කීවේය. ඇය තරමක් විමතියට පත්වෙමින් ඔහුගේ මුහුණ බැලුවාය.

“ඒත්… සර් මම මගේ ජීවිතේ මුල් අවුරුදු දහයම මේ ආයතනයට කැප කළා…”

“ඒක ඔයා කැමැත්තෙන් කළ දෙයක්… ඔයා මේ ආයතනයේ වැඩට ඇවිත් අවුරුදු දහයක් යනකම් විවාහ වෙන්න බෑ කියන කොන්දේසියට කැමැත්තෙන්ම අත්සන් කරලා තියෙනවා…”

“ඒත් සර්… එහෙම කොන්දේසියක් තියෙනවා කියන එක දැන ගත්තෙත් සෑහෙන කාලෙකට පස්සේ… ඒකෙන් වුණේ ඇත්තටම මම බඳින්න හිතාගෙන හිටිය කෙනා වෙනතක් බලාගත්තු එකයි… අනෙක මුල් අවුරුදු පහ ඇතුළත අස් වෙනවා නම් ආයතනය කරපු වියදම් ගෙවන්න ඕනෑ කියලා දන්නෙත් නෑ…”

“ඒක ආයතනයේ වැරැද්දක් නෙමෙයි… ගිවිසුම් කොන්දේසිවලට අත්සන් කරන්න කලින් ඒවා හොඳට කියවලා බලන්න ඕනෑ…”

“ඒත් ඒ කිසිම කොන්දේසියක් කියවලා කවුරුවත් තේරුම් කරලා දුන්නේ නෑ… මම මේ රස්සාව තෝරා ගත්තේ වෙන කරන්න දෙයක් නැතිකමටම නෙමෙයි… මේ වගේ කොම්පැනියක වැඩකරන්න තිබුණු ආසාවටයි…”

“ඔයා බොහෝම කැපවීමෙන් අපේ මේ ආයතනය ගොඩනඟන්න විශාල මෙහෙවරක් කළා… ඒකෙ ආයෙත් කතා දෙකක් නෑ… ඒ වගේම ඒ වැඩකළ කාලයටත් වැය කළ ශ්‍රමයටත් සරිලන වැටුපක් ආයතනයෙන් ලබා දුන්නා… ඒ වගේම තව තවත් පහසුකම් අපි ලබාදීලා තියෙනවා…”

සිල්වියාගේ හිස එක්වරම බිමට නැඹුරු වූයේ හිස් බවක් සිතට එක්කරමිනි.

“කාලය අවුරුදු පහළොවක්…” ඇය සෙමින් කෙඳිරුවාය.

“ඔව්… ඒ කියන්නේ… ඔයා ඒ කාලය තුළ ආයතනය සම්බන්ධයෙන් හොඳ තෘප්තිමත් බවකින් ඉඳලා තියෙනවා… නැත්නම් ඔයා හරියටම අවුරුදු දහය ගෙවෙද්දි ඉල්ලා අස්වෙන්න පුළුවන්කම තිබුණා…”

“ඔව්… ඒ හින්දම තමයි… මට තවදුරටත් වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා අවසර ඉල්ලන්නේ…”

“ඒත් අපේ ආයතනයේ නීති රීතිවලට අනුව තවදුරටත් ඔයා මෙහෙ තියාගන්න බෑ…”

“තව පොඩි කාලයකට හරි සේවය දික් කරන්න කියලා මම සභාපතිතුමාට ලියුමකුත් දුන්නා…”

“ඔව්… මම දන්නවා… ඒකෙ උත්තරයත් මට ලැබිලා තියෙනවා…”

මොහොතක් නිහඬව සිල්වියා දෙස බලා සිටි මානව සම්පත් කළමනාකරු යළිත් කතා කරන්නට පටන් ගත්තේය.

“ඔයා ඇත්තටම මේ ආයතනයට විශාල සන්නාමයක්… මතකද මේ ආයතනය පටන් ගනිද්දී අපි ඔයාව ටී වී ඇඩ්ස්වලට පවා යොදා ගත්තා… මම හිතනවා ඒකම අපේ මේ ආයතනය ගොඩගන්න ලොකු හයියක් වුණා.. අපේ මේ රන්කෙඳි නාමය ලෝකයටම ගෙනියන්න පුළුවන් වුණෙත් ඒ හින්දමයි.”

“කොහොම වුණත් මේ වෙද්දි මගේ මහත්තයත් ඇක්සිඩන්ට් එකක් හින්දා ඔත්පළ වෙලයි ඉන්නේ…” සිල්වියා අවුල්ව එහෙ මෙහෙ විසිර ගිය කොණ්ඩය පිළිවෙළකට තබාගන්නට අත යවමින් කීවාය.

“ඔය ළමයා ඔය හැම විස්තරයක්ම දාලා සභාපතිතුමාට යැව්ව ලියුමේ උත්තර මගේ අතෙයි තියෙන්නේ… ඒ මොන විස්තර දාලා යැව්වත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන එක පලක් නෑ කියලයි හිතන්නේ… මම මේ අන්තිම මොහොතෙදීත් ඔය ළමයාගේ හිත තලන්නේ නැතිවයි කියන්නේ…”

“හුඟක් දෙනෙක් ලෝකයාට පේන්න හිනාවෙලා කතා කර කර හිටියට ඒ අයගෙන් වැඩි දෙනා ඉන්නේ දුක් ගින්දර ගොඩක් උඩ… ඒ අය හිනාවෙලා ඉන්නේ ඇඬුවට උත්තර නොලැබෙන බව දන්න හින්දයි…”

“ඒ මොනවා වුණත් ළමයා තවදුරටත් මේ කොම්පැනියේ තියාගන්න බෑ…”

“ඇයි ඒ…?”

“ඒක මේ කොම්පැනියේ නීතියක්…”

“සමහර වෙලාවට මම මේ කොම්පැනියට වැඩ කළේ ගෙදර දොරේ දේවලුත් අමතක කරලයි… මම කිසිදාක පරක්කු වෙලා වැඩට ඇවිත් නෑ… කරපු වැඩේ මඟ දාලා ගිහින් නෑ… වැඩක් වැඩක් විදියට කළා මිස කිසිම වංචාවක් කළේ නෑ…”

“ඒක ඔය ළමයාගේ කැමැත්ත… ඔය ළමය ඒ වැඩ ටික නොකළා නම් තව කවුරු හරි ඒ දේවල් කරනවා… අනෙක තමන්ගේ දේවල් කර ගන්න ඕනෑ කියන එක තමන් දැන ගන්න ඕනෑ… කවුරු නැතත් කොම්පැනියේ වැඩ කොහොම හරි සිද්ධ වෙනවා…”

සිල්වියා මොහොතක් මානව සම්පත් කළමනාකරුගේ දෑස දෙස බලා සිටියේ කිසියම් හෝ පිළිසරණක් අපේක්ෂාවෙනි.

“ප්ලීස් සර් මට අනුකම්පා කරලා අඩු ගානේ තව මාස හයකටවත් මගේ සේවය දික් කරලා දෙන්න… ඒ මට ඇති…”

“ඒක කොහොමවත් කරන්න බෑ… දැන් මේ වෙද්දී අපේ කොම්පැනියෙ මැනේජ්මන්ට් එක තීරණය කරල ඉවරයි ඔයා මේ කොම්පැනියට අවශ්‍ය සේවකයෙක් නෙමෙයි කියලා… අනෙක ඔයා ඒ කාලේ අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අය කිව්ව විදියට වැඩ කළා නම් අදටත් රස්සාව තියෙනවා හොඳ පඩියකුත් එක්ක…”

“සර් මම ආවේ කොම්පැනියක වැඩ කරන්න මිසක ගණිකා මඩමක රස්සාවට නෙමෙයි…”

‘කරුණාකරල ඔය ළමයා තවත් මේ ගැන කතා කරලා මගේ කාලය කා දමන්න එපා… ඔය ළමයට උදව්වක් හැටියට ඕනෑ නම් මම හොඳ සේවා සහතිකයක් දෙන්නම්… මොකද මේ වගේ කොම්පැනියක වැඩ කළා කියන එකත් ඔය ළමයට නම්බුවක් හින්දා… කොහොම වුණත් ඒක අරන් උසාවි ගානේ රස්තියාදු වෙන්න ලෑස්ති වෙන්න එපා… දන්නවනේ මේ කොම්පැනියේ අයිතිකාරයා කවුද කියලා…”

“ඒත්… ඒත්….”

“ඔය ළමයට මම කිව්වනේ වතාවක්… ආයෙ කතා කරන්න දෙයක් නෑ…”

“ප්ලීස්… සර්….”

‘කරුණාකරලා දැන් ඔය ළමය යන්න… තව ටික වේලාවකින් ඔය ළමයගෙන් හිස් වුණ තනතුරේ වැඩ භාර ගන්න අර අලුත් ළමයා එනවා… අනෙක අපි කොයි වෙලාවෙත් පරණ තාලෙට යන්න වුවමනා නෑ… පොෂ් වෙනවා මිසක්… අපි කොහොමත් අලුත් විදියට ඉස්සරහට යනවා මිසක් ආයෙ ආපස්සට යන්න ඕනැ නෑ…”

“බොහොම ස්තූතියි…” තවත් තත්පර කීපයක් මානව සම්පත් කළමනාකාර උදක රත්නායකගේ මුහුණ බලා සිටි සිල්වියා ඉක්බිති අසුන පසෙකට කර නැගී සිටියාය.

ඉන් පසු සිය කාමරයේ දොර ඇරගත් ඇය කිසිවකු දෙසවත් නොබලමින් අපේක්ෂා සුන්ව එළියට යනු මානව සම්පත් කළමනාකාර රත්නායක උන්නැහේ බලා සිටියේය. සිල්වියා සිය කන්තෝරුවෙන් නික්ම මේ වෙද්දී සෑහෙන කලක් ගොසිනි. එහෙත් කළු බැළලියගේ පැමිණීමත් සමඟ ඇය තමා වටා දැවටෙමින් සිටින්නාක් මෙන් රත්නායක උන්නැහේට දැනෙයි.

lඋපුල් වික්‍රමනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division