සාම්ප්‍රදායික සහ දේශීය කලා ශිල්පීන්ගේ දෑත්වලින් හැඩ වූ අනේක විධ හස්ත කර්මාන්ත එක්තැන් කළ ලක්සල යනු ශ්‍රී ලංකාව පිළිබඳ කියැවෙන එක්තරා ආකාරයක කලාගාරයකි.
මේ වන විටත් රට පුරා එවැනි ලක්සල ප්රදර්ශනාගාර දහයක් තිබෙන අතර, සංචාරකයන් සුලබ ඇල්ලටත් එවැනි ලක්සලක් එන බවත්, එය Laks Ella ලෙස සන්නාම ගතවන බවත් දැන ගන්නට ලැබීම අලුත් ආරංචියකි.
මේ පිළිබඳ ලක්සල සභාපති, රුෂාන් මාරඹගේගෙන් විමසූ වෙමු.
” දිනකට සංචාරකයන් දාහකට ආසන්න සංඛ්‍යාවක් යනෙන ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ මේ අලුත් ලක්සල ඉදිවන්නේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගෙන. මේක දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමියක්. අලුත් ලක්සලේ රථගාල ලෙස භාවිත කෙරෙන්නේ මේ ඇල්ල දුම්රිය ස්ථාන පරිශ්රයමයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම්, ආයෝජකයන් හට නව ව්‍යාපෘති සඳහා ලබා දීමේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ගේ නව සංකල්පයට අප ඉදිරිපත් කළ ඇල්ල ප්‍රදේශය සඳහා ලක්සලක් ඉදි කිරීමේ යෝජනාවට අනුවයි, අප ආයතනයට මේ පරිශ්‍රය ලැබුණේ. මින් උපයන ලාභය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලක්සල ආයතන දෙක අතර බෙදෙනවා. ඇත්තටම ඇල්ල ප්‍රදේශයේ ලක්සලක් ඉදි කිරීමට අවශ්‍ය බිමක් සොයමින් සිටින විටයි, අමාත්‍යවරයා හරහා ලක්සලට මේ අවස්ථාව ලැබුණේ.
මම සභාපතිවරයා ලෙස ලක්සල බාර ගත්තේ 2023 ජනවාරි මාසයේ. ඒ වන විටත් 2018 සිට 2022 දක්වා අවුරුදු පහක් එක දිගටම ලක්සල පාඩු ලබමින් තිබුණේ. 2022 වසරේ විතරක් පාඩුව රුපියල් මිලියන 99 ක්. මෙවැනි පසුබිමක් තුළ පඩි ගෙවා ගැනීම පවා ප්‍රශ්නයක් වුණා. සැපයුම්කරුවන් හැමදාම ඇවිත් මුදල් නොලැබෙන බවට චෝදනා කළා. බැනලා ගියා. ඇත්තටම ලක්සල වසා දමන තත්ත්වයේ තිබුණේ. අපි ඉතා ඉක්මනින් ප්‍රතිව්‍යුහගත කිරීම් කළා. අලුත් සංකල්ප හඳුන්වා දුන්නා. ටීම් වර්ක් එකක් විදියට වැඩ කළා.
2023 මම එන විට එම වසරට ආයතනයේ ආදායම් ඉලක්ක හදා තිබුණේ රුපියල් මිලියන 315ක් ලෙසින්. නමුත් මේ වෙනස් කිරීම් එක්ක 2023 අවුරුද්ද අපි අවසන් කළේ, රුපියල් මිලියන 660ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කරලා. ඒ කියන්නේ ආදායම දෙගුණයක් කළා. ඒ තුළ ලක්සල රුපියල් මිලියන 70ක ශුද්ධ ලාභයක් ලැබුවා.
2024 සඳහා අපේ ආදායම් ඉලක්කය රුපියල් මිලියන 800 ක්. ඒ තුළ ශුද්ධ ලාභය රුපියල් මිලියන 100ක් අපි අපේක්ෂා කරනවා. ඇත්තටම මේ ඉලක්කයට යන්න නම් තව අලුත් ප්රදර්ශනාගාර දෙක තුනක්වත් තිබෙන්නට ඕනේ.
මේ අලුත් ඇල්ල ලක්සලෙන් අපි මාසයකට රුපියල් මිලියන 40ක පමණ ආදායමක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නිර්මාණකරුවන්ගෙන් වැඩිපුර භාණ්ඩ අප මිල දී ගත යුතුයි. ඒවා වැඩි වැඩියෙන් සංචාරකයින්ට අලෙවි කළ යුතුයි. කොහොමටත් ඇල්ල ලක්සල ඉදිවීමත් සමඟ ඇල්ල, බදුල්ල සහ අවට පළාත්වල හස්ත කර්මාන්තකරුවන්ගේ නිර්මාණවලට වැඩි ඉඩක් දීමටයි අප සැලසුම් කර තිබෙන්නේ.
ඒ වගේම ඒ හස්ත කර්මාන්ත ගම්මානවලට ගිහින් වෙළෙඳපොළ අලෙවිය, ජාත්‍යන්තර මිලකට අලෙවි කර ගැනීමට තරම් තත්ත්වයෙන් උසස් ලෙස නිර්මාණය කිරීමට උපදෙස් සහ නව තාක්ෂණික දැනුම ලබා දෙන වැඩ පිළිවෙළකුත් අප මේ සමඟම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. සාම්ප්‍රදායික ශිල්පීන්ගේ නිර්මාණවලට හොඳ මිලක් ලැබීම ගමක් දියුණු වෙන්න හේතු වනවා. ඒ හරහා රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩි දායකත්වයක් දෙන්නටත් අපට හැකියාව ලැබෙනවා. දැනටමත් ලියාපදිංචි ශිල්පීන් 5,000කට වැඩි ප්‍රමාණයක් ලක්සල සමඟ සිටිනවා.
ඇත්තටම අපි ගිය අවුරුද්දේ ආරම්භ කළ Lak Craft Village වැඩසටහන දිස්ත්‍රික්ක මට්ටමේ ශිල්පීන්ව ගෙන්වා කළ සාර්ථක වැඩසටහනක්. මේ වැඩසටහන තුළින් එම ශිල්පීන් ගෙන්වා, මොහොතේම ඇතැම් නිර්මාණ සඳහා ඔවුන්ට ඇණවුම් ලබා දුන්නා. අපගේ ලක්සල සැපයුම් ජාලයට ඔවුන් බඳවා ගත්තා. ඒ වගේම ගම්මාන 60ක් ලක්සල සමඟ කටයුතු කරන්න පටන් ගෙන තිබෙනවා.
විදෙස් සංචාරකයින්ගෙන් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ, වෙස් මුහුණු, කැටයම් අලි ඇතුළු Art and Crafts කියන විචිත්‍රවත් හස්ත කර්මාන්ත නිර්මාණවලට. ඒ හා බැඳුණු Lak Craft Village වැඩසටහනේ තවත් දිගුවක් ලෙස ඈත ගම්මානවල සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ගේ ගම්මානවලටම ගොස් ඔවුන්ගේ අඩුපාඩු සොයා බලා ලක්සල සමඟ අඛණ්ඩව සම්බන්ධ කර ගන්නා වැඩපිළිවෙළකුත් ඉදිරියේ දී අප ක්‍රියාත්මක කරනවා.
මේ සඳහා දැනට අපිට සිටින්නේ සීමිත කාර්ය මණ්ඩලයක්. අවුරුදු අටකින් ලක්සල වෙත නව බඳවා ගැනීම් සිදු කර නැහැ. ඒ නිසා එම අඩුපාඩු සම්පූර්ණ කර ගනිමින් කාර්ය මණ්ඩලය සඳහා නව සේවකයින් 18, දෙනකු පමණ බඳවා ගැනීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඒ ඒ පළාත්වල අයට මුල් තැනක් දීමටයි අප අදහස් කරන්නේ.
නුවරඑළිය ප්‍රදර්ශනාගාරය හැර, දැනට ලක්සල සතු රට පුරා තිබෙන ප්රදර්ශනාගාර දහයෙන් නවයක්ම ලාභ ලබන තත්ත්වයේ ඒවා. 2025 දී නුවරඑළිය ලක්සල ප්‍රදර්ශනාගාරයත් ප්‍රතිව්‍යුහගත කර වඩාත් හොඳ තත්ත්වයකට ගෙන ඒමට අප කටයුතු කරනවා.
මේ වනවිට තුම්මුල්ලේ ප්‍රධාන ශාඛාව හැරුණු කොට, කටුනායක ගුවන්තොටුපොළ, කොළඹ කොටුව, ගාල්ල, පේරාදෙණිය, බත්තරමුල්ල අපේ ගම, නුවරඑළිය, පින්නවල සහ කටුබැද්ද ඇතුළු ලක්සල ප්රදර්ශනාගාර නවයක් ක්‍රියාත්මක වනවා.
මේ වසර අවසන් වීමට පෙර ආරුගම්බේ, මිරිස්ස සහ මීගමුව වැනි සංචාරකයින් බහුලව ගැවසෙන පළාත්වලත් අලුතින් ප්රදර්ශනාගාර ඇති කරන්න අප කටයුතු සැලසුම් කරනවා.
මේ සියල්ල අතරේ ලක්සලට තිබුණු චෝදනාවක් තමයි, ලක්සල සමඟ කටයුතු කරන ශිල්පීන් ව බලා ගන්නේ නැහැ, කියන එක. ඇත්තටම ඒ සඳහා අපි නව වැඩපිළිවෙළක් දැන් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඔවුන් අපට ලබා දෙන, අලෙවි වන සෑම භාණ්ඩයකින් ම 1%ක් අරමුදලක තැන්පත් වනවා. අවුරුදු දහයකට පසු මේ මුදල් ඒ ශිල්පීන්ට ගන්නට පුළුවන්. එය, තිඹිරිගස්යාය ලංකා බැංකු ශාඛාව හරහා ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක්. එම මුදල බැංකු ගිණුමක සෘජුව තැන්පත් වන නිසා ඊට පොලියක් ද එකතු වනවා. ඒ 1%ක අප ලබා දෙන්නේ ලක්සලට ලැබෙන ලාභයෙන්.
ඊට අමතරව අපගේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික පුහුණුව දෙන වැඩසටහනක් ලෑස්ති කර තිබෙනවා. සංචාරකයින්ට කතා බහ, සංග්‍රහ කරන ආකාරය සහ හස්ත කර්මාන්ත ශිල්පීන් ගේ ආකල්ප, වෙළෙඳපොළ පිළිබඳ දැනුම අවබෝධය ඇතුළු කාරණා රැසක් පිළිබඳ ඔවුන්ට දැනුම දෙන්නට අප බලාපොරොත්තු වනවා. ඒ සමඟ ම ඔවුන්ට සෞඛ්‍ය රක්ෂණයක් ද ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. මේ මඟින් ශිල්පියා සහ ලක්සල අතර සබඳතාව තවත් වැඩි කර ඔවුන්ගේ ආර්ථිකය නඟාසිටුවන ගමන් රටේ ආර්ථිකයට ඔවුන්ව දායක කර ගන්නට තව තවත් පෙළැඹවීම යි, ලක්සල අපේ අරමුණ…”
lඉනෝකා පෙරේරා බණ්ඩාර