– සැත්කම සිදු කළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මීට පෙරත් මෙවැනි විස්මිත සැත්කම් කිහිපයක්ම සිදුකළ වෛද්‍යවරයෙක්
– සැත්කමට මුහුණ දුන් රෝගියා වූ 72 හැවිරිදි මුතුමැණිකේ සැත්කමෙන් පැය 12කට පසු රෝහලෙන් පිටව යෑම විශේෂත්වයක්
– ENDOSCOPIC සැත්කම සිදු කරන්නේ රෝගියා සිහි නැති නොකර අදාළ ස්ථානය හිරිවට්ටවා කුඩා කැපුමක් පමණක් සිදු කරමින්
බදුල්ල මහ රෝහලෙන් ඉකුත් සතියේ විස්මිත පුවතක් අසන්නට ලැබිණ. ඒ නිර්වින්දනය කිරීමෙන් තොරව සුෂුම්නාව ආශ්‍රිතව සිදු කළ එන්ඩොස්කොපික් (ENDOSCOPIC) සැත්කමක් සම්බන්ධ පුවතකි. බදුල්ල රෝහලටත් පොදුවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයටත් කීර්තියක් අත්කර දුන් එම සැත්කම සිදු කළේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමකි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල නිර්වින්දනය කිරීමෙන් තොරව කොඳුඇට පෙළ ආශ්‍රිතව ENDOSCOPIC සැත්කම් සිදු වුවද එවැනි සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව ලෙස මෙම සැත්කම මෙරට වෛද්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇත.
ශ්‍රී ලංකාවේදී පළමුවරට නිර්වින්දනය කිරීමකින් තොරව සුෂුම්නාව ආශ්රිත එන්ඩොස්කොපික් සැත්කමට මුහුණ දුන් රෝගියා වූයේ 72 හැවිරිදි මුතුමැණිකේ නමැති කාන්තාවකි. අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය කලක සිට කොඳුඇටපෙළ සම්බන්ධ රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර ඒ සඳහා හෙළ වෙදකම් ඇතුළු විවිධ ප්‍රතිකාර ලබා තිබුණද එයින් සුවයක් නොලැබ වසර තුනක පමණ කාලයක් තිස්සේ රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටියාය. සැත්කමක් මඟින් රෝගය සුව කර ගැනීමට මුතුමැණිකේට තිබූ බාධාව වූයේ ඇය ඒ වන විට හෘදය රෝගයකින් පෙළෙමින් සිටීමය. එබැවින් නිර්වින්දනය කර සිදු කරන සැත්කමකට යොමු වීම ඇයට ජීවිත අවදානමක් ගෙන දෙන්නක් බවට පත්ව තිබිණ. කොඳුඇටපෙළ සම්බන්ධ රෝගවලින් පෙළෙන්නන්ට එහි ඇති වේදනාත්මක බව අමුතුවෙන් කිව යුතු නොවේ. අම්පාරේ මුතුමැණිකේට බදුල්ල රෝහලේදී විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ හමු වන්නේ මෙවැනි පසුබිමක් යටතේය. ඒ පිළිබඳ අප ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ ගෙන් අපි වැඩිදුර තොරතුරු විමසුවෙමු.
“මේ සැත්කමට භාජනය කළ කාන්තාව දීර්ඝ කාලයක් පුරා කොඳු ඇට පෙළේ ඇතිව තිබූ ආබාධයක් නිසා ඇවිදීමේ අපහසුතාවක් ඇතුළු දැඩි වේදනාවකින් පෙළුණු කෙනෙක්. ඇය හෘද රෝගියෙක් නිසා සිහි නැති කිරීමකින් ශල්‍යකර්මයක් සිදු කිරීමේ අවදානමක් ද තිබුණා. ඒ නිසා සිහි නැති කිරීමකින් තොරව මේ ENDOSCOPIC සැත්කම සිදු කිරීමට තීරණය කළා. ඒ අනුව පසුගිය මාර්තු 10 වැනි ඉරිදා අප ඇයගේ සැත්කම සිදු කළා. පැය දෙකක පමණ කාලයක් ඒ සඳහා ගත වුණා. පසුදින (11 වැනිදා) උදෑසන 10 වන විට රෝගියාට රෝහලෙන් පිටත්ව යෑමටත් අවස්ථාව ලැබුණා. සැත්කම සාර්ථකව සිදු වුණා වගේම මේ වන විට රෝගියාත් සුවයෙන් පසු වෙනවා.”
නිර්වින්දනය කිරීමකින් තොරව සිදු කරන එන්ඩොස්කොපික් (ENDOSCOPIC) සැත්කම පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා කරුණු රැසක් පිළිබඳ ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් මෙසේ අනාවරණය කළේය.
“ලෝකයේ බොහෝ රටවල වගේම ඉන්දියාවේ පවා මෙම සැත්කම් ක්‍රමය ඉතා ප්‍රචලිතයි. නමුත් මෙවැනි සැත්කමක් ශ්‍රී ලංකාවේ කළ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලක මේ සැත්කම සිහි නැති කිරීමකින් තොරව සිදු කර නැහැ.
සාමාන්‍ය ආකාරයට කොඳුඇට පෙළ ආශ්‍රිතව සිහි නැති කර සැත්කමක් සිදු කිරීමේදී පේශී කැපීමක් සිදු වෙනවා. ඒ නිසා රෝගියාට දැඩි වේදනාවක් ද ඇති වෙනවා. කොඳුඇට පෙළේ රෝගී තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කොඳු ඇට පේළියේ මාංශපේශීවල තිබෙන දුර්වලතා. එවැනි දුර්වලතා සහිත රෝගියකුට මුලින් කී ආකාරයේ සාමාන්‍ය සැත්කමක් කළ විට පේශී කැපීමක් සිදු වන නිසා එයින් එම පේශි තවත් දුර්වල වනවා. ඒ නිසාම සැත්කමෙන් රෝගය සුව වුණත් නැවත නැවත එම තත්ත්වය ඇති වීමේ ඉඩකඩ වැඩියි.
නමුත් එන්ඩොස්කොපික් (ENDOSCOPIC) සැත්කම් ක්රමයේ වාසි කිහිපයක්ම තිබෙනවා. සිහි නැති කිරීමක් සිදු නොකරන නිසා නිර්වින්දනය කිරීමේ විශාල අවදානමක් ඇති රෝගීන් සඳහා මෙම සැත්කම් ක්‍රමය භාවිත කළ හැකියි. ඒ වගේම සාමාන්‍ය සැත්කමකදී මෙන් විශාල වශයෙන් පේශී කැපීමක් සිදු නොවන නිසා සැත්කම සිදු කළ ස්ථානයේ දැඩි වේදනාවක් ඇතිවන්නේ නැහැ. පේශී කැපීමක් සිදු නොවන නිසා පේශී දුර්වල වීමට ඇති ඉඩ අඩුයි. ඒ නිසා නැවත නැවත රෝගියා එම රෝගයට ගොදුරු වීමේ අවදානමත් අඩුයි.
සිහි නැති කිරීමක් සිදු නොකර අදාළ ස්ථානය හිරි වැට්ටවීමක් පමණක් සිදු කර කුඩා කැපුමක් පමණක් යොදා ශල්‍යකර්මය සිදු කිරීම මෙම සැත්කම් ක්රමයේ ඇති විශේෂත්වයයි. සමෙහි කුඩා කැපුමක් සිදු කරන්නේ කැමරාව සිරුර තුළට ඇතුළු කිරීමට පමණයි. මේ සැත්කමේදී මම එන්ඩොස්කොපි කැමරාවට අමතරව තවත් කුඩා කැපුමක් තුළින් සැත්කම සිදු කරන උපකරණයක් ඇතුළු කළා. ඒ අනුව කැමරාවෙන් නිරීක්ෂණය කරමින් අනෙක් උපකරණවලින් සැත්කම සිදු කළා. සැත්කම සිදු කිරීමේදී රෝගියා සමඟ කතාබහ කරමින් ඇයගේ කකුලේ ඇති වේදනාව අඩු වෙනවාද කියා විමසමින් සැත්කම සිදු කළා. ඒ නිසා සැත්කමේදී රෝගියා බිය වීමට හෝ මානසික පීඩනයකට ලක්වීමේ ඉඩත් අවම වෙනවා.
සැත්කම සඳහා කුඩා කැපුමක් පමණක් සිදු කරන නිසා එයින් රෝගියාට දැඩි වේදනාවක් ඇති වන්නේ නැහැ වගේ විශාල කැපුම් කැළලක් ඉතිරි වන්නේත් නැහැ. විශාල කැපුමක් සිදු නොකරන නිසා විශාල ලෙස මැහුම් යෙදීමට අවශ්‍ය වන්නේත් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි ශල්‍යකර්මයක් සිදු කළොත් රෝගියා දින ගණනාවක් රෝහලේ නේවාසිකව තබා ගනිමින් ප්‍රතිකාර ලබා දීමට සිදු වෙනවා. නමුත් මේ සැත්කම සිදු කර පැය 24ක් යෑමට පෙර රෝගියාට රෝහලෙන් නිවෙස කරා යෑමට අවස්ථාව ලැබෙනවා. එයත් මේ සැත්කමෙන් ලැබෙන වාසියක්. අපි සැත්කමට ලක්කළ රෝගියා සැත්කමින් පැය 12ක් වැනි කෙටි කාලයක් ඇතුළත රෝහලෙන් පිටව ගියා. ”
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මෙවැනි විස්මිත සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ අතර නිර්වින්දනය නොකළ රෝගියා සමඟ කතාබහ කරමින් සිදු කරන සැත්කමක් විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ විසින් 2021 වසරේදී සිදු කළේය. එවැනි සැත්කමක් මෙරට සිදු කළ දෙවැනි අවස්ථාව එය වූ අතර බදුල්ල මහ රෝහලේදී එවැනි සැත්කමක් සිදු කළ පළමු අවස්ථාව එය විය. එම සැත්කමට ලක් වූයේ කුඩා කල සිට අපස්මාර රෝගයෙන් පීඩා විඳිමින් සිටි 31 වියැති හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සාමාන්‍යයෙන් සැත්කමක් සිදු කරනු ලබන්නේ රෝගියා ශල්‍යාගාරයේ ශල්‍ය ඇඳේ දිගාකර වුවද එම සැත්කම සිදු කර තිබුණේ රෝගියා පුටුවක වාඩිවී සිටින ආකාරයටය. එයට හේතු වී තිබුණේ සැත්කම සිදු කර තිබුණේ රෝගියාගේ මොළයේ දෘෂ්ටිය පාලනය කරන කොටසේ වූ නිසාය. එමෙන්ම නිර්වින්දනය කිරීමෙන් තොරව මොළය ආශ්‍රිතව සැත්කම් 8ක් මේ වන විට විශේෂඥ වෛද්‍ය ලක්මාල්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මහ රෝහලේදී ඉතා සාර්ථකව සිදු කර ඇත. එම සැත්කම්වලට ලක්වූවන් අතර විදේශිකයකු වේ. එමෙන්ම විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ විසින් මීට වසර දෙකකට පමණ පෙරදී බිබිල ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ කොඳුඇට පෙළේ හට ගෙන තිබූ කිලෝග්‍රෑම් එකහමාරක පමණ ගෙඩියක් ද බදුල්ල රෝහලේදී සැත්කමකින් ඉතා සාර්ථකව ඉවත් කළේය. එම සැත්කම් සාර්ථකව සිදු කිරීම සඳහා අගනා සහායක් ලබා දුන් බදුල්ල මහ රෝහලේ අධ්යක්ෂ නිර්වින්දන වෛද්‍යවරුන්, සහායක වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කිරීමට ද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ අමතක නොකළේය.
සැත්කමක් යනු අවදානමක් සහිත කාර්යයකි. ඊට හේතුව ඉතා සුළු අතපසුවීමකින් රෝගියාගේ ජීවිතයට පවා අවදානමක් ඇතිවිය හැකි නිසාය. විශේෂයෙන් මෙවැනි නව සැත්කම් ක්‍රමවේද භාවිත කිරීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳව ද අප ස්නායු ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ ගෙන් විමසුවෙමු.
“බදුල්ල රෝහලේ මොළයේ සැත්කම් සඳහා භාවිත කරන එන්ඩොස්කොපි කැමරාවක් තිබුණත් කොඳුඇට පෙළ ආශ්රිත සැත්කම් සඳහා භාවිත කරන බොහෝ උපකරණ අප සතුව නැහැ. විදේශ රටවල රෝහල්වල සුෂුම්නාවේ සැත්කම් සඳහා භාවිත කිරීමට ඒ සඳහා විශේෂිත වූ කැමරා තිබෙනවා. බදුල්ල රෝහලේ තිබෙන මොළයේ සැත්කම් සඳහා භාවිත කරන කැමරාව සහ කොළඹ පෞද්ගලික ආයතනයක් විසින් නොමිලේ ලබා දුන් උපකරණ යොදාගෙනයි මම මේ සැත්කම කළේ. දැනට අපට තිබෙන අභියෝගය මෙවැනි සැත්කම් සඳහා අවශ්‍ය වන උපකරණ නොමැති වීමයි”
ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලබා දහතුන් වසරකි. මේ වන විට ප්‍රධාන වශයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔහු බදුල්ල මහ රෝහලට සම්බන්ධ වන්නේ මෙවැනි සැත්කම් සඳහාය. වෛද්‍ය ක්ෂේත්රයේ නව මං සොයා යමින් එමඟින් සුවහසක් ජනතාවට සුවය සැලසීම සිය මූලික අරමුණ කරගත් ඉසිවරයකු වන ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මේ වන විට පසුවන්නේ හතළිස් වැනි වියේය. නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යෑමට කැමති කාටත් වැදගත් වන පණිවිඩයක් ද අවසාන වශයෙන් ඔහු අප හමුවේ තැබුවේය.
“ඇතැම් රෝගීන් ශල්‍යකර්මවලට අනියත බියක් දක්වනවා. නමුත් කළ යුතු සැත්කමක් නොකර සිටීමෙන් සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම සිදු කරමින් කල් මැරීමෙන් සිදු වන්නේ තිබෙන රෝගී තත්ත්වය තවත් උත්සන්න වීමයි. ඒ නිසා විශේෂයෙන්ම කොඳුඇට පෙළ, සුෂුම්නාව සම්බන්ධ රෝගයක් තිබෙනවා නම් රජයේ රෝහලක ස්නායු ශල්‍ය රෝග වෛද්‍යවරයෙක් හමුවෙලා ඉක්මනින් ප්‍රතිකාරවලට යොමුවන ලෙස කිව යුතුයි. ”
සුරේකා නිල්මිණි ඉලංකෝන්