Home » ග්‍රීසිය ණය අර්බුදයෙන් ගොඩ ගිය හැටි

ග්‍රීසිය ණය අර්බුදයෙන් ගොඩ ගිය හැටි

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ණය අර්බුදයෙන් ගොඩගිය රටවල්

ග්‍රීසිය බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි ගිනිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැඟෙනහිරට තුර්කිය ද, වශයෙනි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එසේම ග්‍රීසිය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භක ස්ථානය ලෙසය. එසේම ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදු වන්නේද ග්‍රීසියෙන් බවට සැලකෙයි.

ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි ආර්ථික හා මූල්‍ය සංගමයේ’ සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය කළු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගිතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අග නගරය වනුයේ ඇතන්ස්ය.

කෙසේ වෙතත් 2009 වසරේදී ග්‍රීසිය අතිවිශාල ආර්ථික අර්බුදයට පත් විය. එවැනි දරුණු ආර්ථික කඩා වැටීම කලාපයේ රටක් මුහුණ දීම යනු සෙසු රටවලටද රතු එළි දැල්වීමක් වැනිය. ග්‍රීසියේ ආර්ථිකය ඔසවා තැබීමට IMF, සහාය දුන් අතර ඒ සඳහා යුරෝපා සංගමයේ මෙන්ම යුරෝපා මහ බැංකුවේද දායකත්වය හිමිවිය. මේ සංවිධාන තුන එක්ව ග්‍රීසියට ලබා දුන් ණය ආධාර මුදල් ප්‍රමාණය යුරෝ බිලියන 80ක් විය. ඔවුන්ට මේ අර්බුදයෙන් පූර්ණ වශයෙන් ගොඩ ඒමට සැලකිය යුතු කාලයක් ගතවිය.

මේ ආර්ථික අර්බුදයෙන් නැවත ගොඩ ඒමට ග්‍රීසිය යොදන ලද උපාය උපක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර එම අර්බුදයට පත් වූ ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළ යුතුයි.

අමෙරිකාවේ 2009 වසරේදී ඇති වූ මූල්‍ය අර්බුදය ග්‍රීසිය මේ අර්බුදයට පත්වීම ආරම්භ විය. අ‍ෙමරිකාවේ මූල්‍ය අංශය කඩා වැටීමත් අමෙරිකාවට වඩා සම්බන්ධව පැවති රටවලට එම අර්බුදය විශාල ලෙස බලපාන ලදි. විශේෂයෙන් ලෝකයේ සියලු රටවල් සම්බන්ධ වූ රටක් ලෙස අමෙරිකාවේ කඩාවැටීම අඩුවැඩි වශයෙන් ලෝකයේ රටවල්වලට බලපානු ලබයි. එහිදි ආර්ථීකමය වශයෙන් වඩාත්ම සම්බන්ධ වී තිබූ යුරෝපා රටවලට එය ඍජු ලෙසම බලපෑම් කරන ලදි. ඒ අනුව ග්‍රීසියේ අර්බුදය මතුවීමට ඍජු ලෙසම හේතු වූයේ ග්‍රීසිය යනු යුරෝපා හවුලට අයත් රටක් නිසාය.

කෙසේ වුවත් ග්‍රීසිය ණය මුදල් නිකුත් වීම සිදු වන්නේ යුරෝ මඟිනි. ඒවන විටත් ග්‍රීසිය ජාත්‍යන්තර මුදල් ඒකකයකින් ණය ලබා ගැනීම සිදුවිය. ලංකාව රුපියල්වලින් සහ ඩොලර්වලිනුත් ණය ගනුදෙනු සිදු කරනු ලබයි. නමුත් ග්‍රීසිය එවැනි රටක් නොවෙයි. දේශීය ණය සහ විදේශීය ණය යනුවෙන් දෙයාකාරයක් එහි නොවිණි. සියලු ගනුදෙනු යුරෝ මඟින් සිදුවෙයි.

මේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ග්‍රීසියේ ණය බර විශාල වශයෙන් වැඩි වූ බව දක්නට ලැබිණි. ඒ නිසා ආණ්ඩුවේ බැඳුම්කර විකිණීමෙන් ණය සොයා ගැනීම සිදුවිය. මේ අර්බුදය වන විට ඩොලර් බිලියන 350ක පමණ ණය ප්‍රමාණයක් තිබිණි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් වශයෙන් නම් 100% වඩා විශාල ප්‍රමාණයකි. මේ ණය සම්බන්ධයෙන් වන සැබෑ තත්ත්වය හෙළිදරවු වීමෙන් පසුව ණය ලබා දී ඇති රටවලට එම සම්බන්ධයෙන් විශ්වාසය බිඳෙන ලදි. එහිදි ණය ගෙවා ගැනීමට ග්‍රීසියට නොහැකි යන මතය ගොඩනැඟෙන්නට විය. එය ග්‍රීසිය කඩා වැටීමට ප්‍රධාන කරුණක් විය. එහිදී බැඳුම්කර රඳවාගෙන සිටින අය ඒවා යුරෝපයේම බැංකුවල රඳවාගෙන සිටි අනෙකුත් පිරිස ඒවා නැවත ග්‍රීසියටම ලබා දීමට කටයුතු කරන ලදි. මේ මඟින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමෙන් ඔවුන්ට වන හානිය වළක්වා ගැනීමට මෙවැනි පියවර ගනු ලැබිණි.ඒ අනුව ග්‍රීසියේ බැඳුම්කර මිල අඩුවීම ආරම්භ වන අතර පොලී අනුපාත අඩුවීමද සිදුවිය. 2012-2013 පමණ වන විට ග්‍රීසියේ පොලී අනුපාතය 30% වඩා ඉහළට යන ලදී. නමුත් යුරෝ කලාපයේ පොලී අනුපාතය 3% වඩා ඉහළට ගෙන යා නොහැකි බවට කොන්දේසියක් එම රටවල් අතර පනවා ගෙන සිටින ලද අතර අය වැය පරතරය, ණය බර කොපමණද යන්න පිළිබඳව සහ උද්ධමනය සම්බන්ධයෙන් එකඟතාවයන් විය; එවැනි එකඟතා මත යුරෝ කලාපය එකට එකතු වී සිටියි. ග්‍රීසියේ පොලී අනුපාතය 30% කට වඩා ඉහළ යනවිට එය සම්පූර්ණයෙන් ම ගිවිසුම් උල්ලංඝනය වීමකි.

මෙය අර්බුදයක සැබෑ තත්ත්වය විය. අපේ රටේ ණය ගෙවා ගැනීමට නොහැකි වන විට විදෙස් ණය ශේෂය, ඩොලර්වලින් එකතු කර ඇති ණය ශේෂය, ජාත්‍යන්තර බැඳුම්කර පහළ බැසීම සිදුවිය. ඩොලරයක බැඳුම්කරයක් ඉතා පහළට වැටිණි. පොලී අනුපාත පහත වැටිණී. ග්‍රීසියේ මෙන් අපේ රටේද පැවැතියේ එයයි.

කෙසේ නමුත් ග්‍රීසිය නැගිසිටීමට කාරණා කිහිපයක් බලපානු ලැබිණි. ග්‍රීසිය තනිව සිටි රටක් නොවේ. ග්‍රීසිය යුරෝපා කලාපයේ රටකි. එම මුදල් ඒකකය භාවිත කරන ඒකාබද්ධ වූ තවත් රටවල් ගණනාවක් වෙයි. දේශපාලනික වශයෙන් පමණක් යම් වෙනස්කම්වලට භාජනය වුවත් ඒවා එකම රටක් ලෙස පවති. එහි භාණ්ඩ හා සේවා විවෘත වෙළෙඳ පොළක ආනයන අපනයන සිදුවෙයි. මිනිසුන්ගේ මුදල් එහා මෙහා සංසරණය කළ හැකියි. පුද්ගලයන්ට රැකියා කිරීමේ නිදහස් පරිසරයක් වෙයි. එලෙස සම්මුතියක් ලෙස එකගතාවයකට පැමිණි කලාපයක මෙය පවතී. මේ තත්ත්වය ග්‍රීසියට ශක්තියක් විය. ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ නෙදර්ලන්තය බෙල්ජියම එකම කලාපයේ තිබුණ ශක්තිමත් රටවල් වෙයි. එසේම ග්‍රීසියට දෙවැනි ශක්තිය ලෙස ආයතන තුනක් සහය වන ලදි. එනම් IMF,යුරෝපා මහ බැංකුව සහ යුරෝපා හවුලයි. මේ ආයතන තුනම ඒ අවස්ථාවේදී ග්‍රීසියේ සහ­ායට සිටින ලදි. ඒ රටවල් මූල්‍යමය ණය ආධාර ලබා දෙන ලදි. එසේම අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති තීරණය කරන ලදි. ඒ තීරණ නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීමේ කටයුතු ද එම ආයතන විසින් සිදුකරන ලදි. මේ අනුව මේ අර්බුදය අවස්ථාවේදී සිදුවූ වැදගත් කරුණක් නම් ග්‍රීසිය ලංකාව මෙන් අර්බුදය අවස්ථාවේදී හුදකලා වීමක් දක්නට නොලැබීමයි. එහෙත් එවක ග්‍රීසියේ අර්බුද විශාල සංඛ්‍යාවක් පැන නැඟී තිබුණි.

අර්බුදයක් ඇති වූ විට ඕනෑම රටක සමාජයීය අර්බුද උත්සන්න වෙයි. ග්‍රීසියේ අර්බුද තිබුණේ ආර්ථික අර්බුදය හේතුව නිසාමත් නෙවෙයි. ආර්ථික අර්බුදය හේතුවෙන් ගෙන එන ලද පිළියම් නිසාත් තවත් අර්බුද මතු වූ බව දක්නට ලැබෙයි. 2016 දී ග්‍රීසියේ මේ අර්බුදය අවස්ථාවේදී ඒ රටේ ආණ්ඩුවට යුරෝපා හවුලෙන් සහ යුරෝපා මහ බැංකුවෙන් කොන්දේසි පනවයි. මේ කොන්දේසිවලට ග්‍රීසියේ ආණ්ඩුව කැමැත්තක් දැක්වුවේ නැත. ඒ නිසා ග්‍රීසිය 2016 දී ජනමත විචාරණයක් පැවැත්විය. එම කොන්දේසි භාර ගන්නවද නැද්ද. යන්න ජනමත විචාරණයේ දී නැඟුණ ප්‍රශ්නයයි. එයින් ජයග්‍රහණය කළේ එය බාර නොගන්නා බවට එකඟතාවයට වැඩි ජන්ද ප්‍රමාණයක් හිමි විමෙනි. එහිදී ග්‍රීසිය පැහැදිලිව සඳහන් කරන ලද කරුණක් නම් යුරෝ හවුලේ කොන්දේසී අවශ්‍ය නැත. නමුත් ඔවුන්ගේ මුදල් අවශ්‍ය බවයි.

නමුත් ග්‍රීසියට එවැනි තීරණයකට යා හැකි වුවත් එය එතරම් සාර්ථක නොවිණි. ඔවුන්ට අනෙක් රටවල උපකාර කරන ලදි. එයට හේතුව ග්‍රීසියේ කඩා වැටුණොත් ග්‍රීසිය පමණක් නොව යුරෝපා හවුලේ ඇති අනෙකුත් රටවල්ද කඩාවැටීමට ලක්වෙයි. ඒ නිසා සියලු දෙනාම ග්‍රීසියට උපකාර කරන ලදී. එසේ උපකාර කිරීමෙන් අනෙක් රටවල් අර්බුදයට පත් නොවී ගැලවී සිටීමට හැකිවිය. එසේ නොවන්නට එම රටවල් සමඟම කඩා වැටීමට හැකියාව ඇති බව ඔවුන්ගේ අදහසයි. එය ග්‍රීසිය පැත්තෙන් සලකා බැලූ විට එය යහපත් තත්ත්වයකි. ග්‍රීසිය එවැනි කඩාවැටීම් තත්ත්වයක් මත සිටියද විශාල වශයෙන් ණය ආධාර දෙන ලදී. විකුණා ගැනීමට නොහැකිව එම අවස්ථාවේ පැවති අගතියට පත්වී තිබූ බැඳුම්කර මිලදී ගැනීමත් යුරෝපා හවුල හා මහ බැංකුව වැනි ආයතන සහ රටවල් කටයුතු කරන ලදි. ඒ අනුව එක්තරා දුරකට අර්බුදය සමනය කර ගැනීමට හැකියාවක් ලැබුණි.

එසේම ග්‍රීසිය අනුගමනය කරන ලද තවත් ක්‍රියාමාර්ගයක් නම් ප්‍රතිපත්ති සංශෝධන ගෙන ඒමයි. එනම් අය වැය අතර පරතරය නැවත සකස් කර ගැනීම සිදු කරන ලදි, එම රටට එවකට ගෙවා ගැනීමට නොහැකි මට්ටමට ණය වී තිබූණි. ඒ ණය වීමට හේතුව නම් එරට ආණ්ඩුව ලබන ආදායමට වඩා වියදම වැඩි වීමයි. ආදායම් වියදම් අතර පරතරය සකස් කර ගැනීමට නම් ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් කපා හැරිය යුතුයි. ග්‍රීසිය එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. ආදායම් වැඩි කරගැනීමට බදු පදනම පුළුල් කර ගැනීමට බදු ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරන ලදි. එමෙන්ම වියදම් කපා හරින ලදී. විවිධ විෂයන් යටතේ තියෙන ප්‍රවාහනය නිවාස, සෞඛ්‍ය ආදී වියදම් සහ විශ්‍රාම වැටුප් කපා හරින ලදි. යම් මට්ටමකට වඩා ඉහළ ගිය විශ්‍රාම වැටුප් අඩු කරන ලදි. ඒ මෙන්ම වැටුප් සීමාවන් පනවන ලදි; අවම වැටුප් කොන්දේසිය පහළ අගයක් දක්වා ගෙන එන ලදි.

එ රටේ තිබූ බොහෝ සහනාධාර ඉවත් කිරීම සහ එසේම රාජ්‍ය දේපළ විකිණීම ආරම්භ කරන ලදී. ආණ්ඩුවේ තිබුණු ගෑස් කොම්පැනි එසේම අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ සහ වරාය පෞද්ගලික අංශයට පැවරීම සිදුවිය. එසේ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කරන ලදි. අනිත් පැත්තෙන් ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ සහ නිෂ්පාදනය වැඩි කිරීමට අපනයන වැඩි කිරීමට අවශ්‍ය වන ව්‍යාපාරික විශ්වාසය දිනා ගැනීමටත් ආයෝජනය වැඩිකර ගැනීමටත් හැකියාව ලැබුණි. මේ මත ආර්ථිකය නැවත ඍණ ආර්ථික මට්ටමින් ධන ආර්ථිකයක් බවට පත්වී යහපත් ආර්ථික මට්ටමක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබුණේ 2018 වසරින් පසුවයි. කෙසේ වුවත් පසුගිය 2023 වසර වන විට තිබූ ණය ප්‍රමාණය වැඩි වී ඇත. එයට හේතුව ඒ කාලය තුළ ණය ගැනීම් තවත් වැඩි වීමයි. නමුත් ණය තිරසාර බව ඒ සමඟම වැඩි වී තිබේ. එනම් ණය ගෙවා ගැනීමේ හැකියාව වැඩි වී ඇත. මේ ක්‍රියාමාර්ග අනුව ග්‍රීසියට ආර්ථීකමය වශයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට හේතු කාරණා විය. එසේම පැවැති පොලී අනුපාත 30% වැනි ප්‍රතිශතය පහළට පැමිණ ඇත. බැඳුම්කර පොලී අනුපාත පහළට පැමිණ ඇත. මේ වන විට අමෙරිකාවටත් වඩා පොලී අනුපාත පහළ මට්ටමක පවති. කෙසේ වුවත් එය අඩුවීම යහපත් වන්නේ යුරෝපා හවුලේ අනෙක් රටවල් සමඟ සමගාමීව පැවතිය යුතු වීම නිසයි.

මේ රටේ යුරෝපා හවුලේ පවතින නීතිරීති පද්ධතීන් ග්‍රීසිය අනුගමනය කෙරෙයි. කම්කරු නීති රීති, අධිකරණ පද්ධතිය ආදිය ග්‍රීසියට සුවිශේෂීව කතා කිරීමට නොහැකියි. මක් නිසාද යත් ග්‍රීසිය යුරෝපා කලාපයේ සාමාජික රටක් නිසා වෙති. ප්‍රතිසංස්කරණ පිළිබඳව විරෝධයක් මතු වුවද ඒවා කරගෙන යාමට හැකියාව එම රටවලට ලැබුණි. විශේෂයෙන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ග්‍රීසියේ ජනතාවගේ තිබූ කැප කිරීම ඒ රට යථා තත්ත්වයට පත් කිරීමට විශාල පිටිවහලක් විය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division