වැඩේ අනා ගත්තා’ කියලා කියන්නේ කුමන අදහසකින් ද කියලා අපි කවුරුත් දන්නවා. ඒත් වැඩේ අනාගත්ත බොහෝ දෙනෙක් පසුව හැසිරෙන්නේ ඒ ගැන අබමල් රේණුවක තරම්වත් වගක් නැති ගානටයි. කොටින්ම තමන්ට ‘භාර දුන්න හෝ භාර ගත්ත වැඩේ අනාගෙන හත්පොළේ ගා ගාත්ත බව’ මේ කිසිවෙක් කියන්නේ නැහැ. ඒ වගක් පේන්න තියන්නෙත් නැහැ. ඒක තමයි පොදු ස්වභාවය. සාමාන්‍ය ජන ජීවිතයේදී වැඩක් අනාගත්තට ඒ හැටි හානියක් නොවෙන්න පුළුවන් වුණත් දේශපාලනයේදී නම් වැඩක් අනාගත්තොත් ඒක නිවැරදි කරන එක පහසු නැහැ.
දේශපාලනයේ දී තමන් හැර සෙසු සියලු දේශපාලන පක්ෂ බරපතළ ලෙස විවේචනය කිරීම, අඩුපාඩු පෙන්වා දෙමින් ‘අපිට දුන්නොත් කරන හැටි පෙන්නනවා’ කියලා කියන එක ජවිපෙ විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. අද වුණත් ‘අපිටත් දීලා බලන්න’ කියලා ජවිපෙ සහ වත්මන් ජජබ නායකයෝ කියන්නේ ඔවුන් අනාගත්ත හැටි බොහෝ දෙනෙක් නොදන්න නිසා වෙන්න පුළුවන්.
කොහොමටත් ජවිපෙ කියන්නේ ‘හොඳ හැටි අනාගත්ත පක්ෂයක්. 1971 දී වගේම 1986-90 දීත් ජවිපෙ හොඳ හැටි අනාගත්තා. ඒ නිසා දස දහස් ගණනක් තරුණ ජීවිත සහ බිලියන සිය ගණනක දේපළ විනාශ වුණා. රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වුණා. ජවිපෙ කැරලිවලින් අහිමි වූ මිනිස් ජීවිතවල වන්දිය කිසිදාක ගෙවා නිමකළ නොහැකියි. ජාතික ආර්ථිකයත් තවත් දශක ගණනවක් ගියත් පූර්ණය කළ නොහැකියි.
ඒ වගේම තමයි ජවිපෙ 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ කැබිනට් සහ නියෝජ්‍ය ඇමැතිකම් අරගෙන ‘අනාගත්ත’ කතාවත්. අද බොහෝ දෙනෙකුට අමතක, තමන්ගේ කුලුඳුල් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින තරුණ ඡන්දදායකයින් වගේම ‘අන්ධානුකරණයෙන්’ මාලිමාවට ප්‍රශස්ති ගී ගයන බොහෝ දෙනෙක් නොදන්න හෝ අමතක කළ මේ කතාව අපි යළිත් කියවා බැලිය යුතුයි.
ජවිපෙ – ශ්‍රීලනිප සන්ධානය
පොදුජන එක්සත් පෙරමුණ සමඟ 2001 සැප්තැම්බර් මාසයේ දී (05 වැනිදා) ‘පරිවාස ආණ්ඩුවක් පිහිටුවා ගෙන ‘සභාග දේශපාලනය’ ගැන අලුත් අත්දැකීමක් ලබාගෙන සිටි ජවිපෙ 2001 දෙසැම්බර් 05 මහමැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩව විරෝධතා ගෙන ගියා.
එජාප ආණ්ඩුවට එරෙහිව විරෝධතා කරන අතරතුර පොදුජන එක්සත් පෙරමුණ සහ ජවිපෙ අතර නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන් මාස 10කට ආසන්න කාලයක් පුරා සාකච්ඡා සිදුවුණා. ඒ අනුව ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004 ජනවාරි 20 වැනිදා ‘සන්ධාන ගිවිසුමකට’ අත්සන් තැබුවා.
ශ්‍රීලනිපය සහ ජවිපෙ අතර ඇති වූ නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් ජවිපෙ තුළ පවා බරපතළ ප්‍රතිවිරෝධතා පැවැති බවත් ‘පක්ෂය’ (ජවිපෙ) පැත්තෙන් අනවශ්‍ය ඉක්මන්වීමක් සිදුවූ’ බවටත් විවේචන එල්ල වුණා. මේ ගැන වඩාත් නිරවුල් පැහැදිලි කිරීමක් අපට ‘2012 අප්‍රේල් මස ‘මාලිමා ප්‍රකාශන’ විසින් ප්‍රකාශයට පත්කළ ‘1978-2012 ජවිපෙ ගමන් මග’ කෘතියෙන් ලබාගත හැකියි. එහි මෙසේ සඳහන් වෙනවා, “සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වීමෙන් පසු මුල් වටයේදී ශ්‍රී.ල.නි.ප. පාර්ශ්වයෙන් මතු වූ නොකැමැත්ත පදනම් කර ගනිමින් සාකච්ඡා අසාර්ථක විය. සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, හදිසියේ නැවත ආරම්භ වීමත් සමඟ, පක්ෂය පැත්තෙන් අනවශ්‍ය ඉක්මන් වීමක් සිදුවූ බව අවධාරණය විය යුතුය. මෙහිදී මතු වූ දේශපාලනික නොවන හදිසිය විසින් අත්‍යවශ්‍ය දේශපාලන කරුණු පිළිබඳ වූ සැලකිලිමත්භාවය දුබල කරන ලදි” – 1978-2012 ජවිපෙ ගමන් මග – පිටුව 221.
ශ්‍රීලනිපය සමඟ නව දේශපාලන සන්ධානයකට යාමට ජවිපෙ මෙතරම් ‘අදේශපාලනික ලෙස ඉක්මන් වීම’ ගැන ජවිපෙ තුළ මෙන්ම පොදුවේ දේශපාලන සමාජය තුළ ද එම කාලයේ සැලකිය යුතු සාකච්ඡාවක් සිදු නොවීම විශේෂත්වයකි.
ජවිපෙ සහ ශ්‍රීලනිපය අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පිහිටුවාගත් අතර නව දේශපාලන සන්ධානය පිහිටුවීමෙන් පසු ජවිපෙ විරෝධතා වඩාත් තීව්‍ර වූ අතර ජනාධිපතිනියට බලපෑම් කිරීමේ හැකියාව ද වර්ධනය වුණා. මේ අතර එජාප ආණ්ඩුව වහාම විසුරුවා හරින ලෙස ජවිපෙ බලපෑම ද වර්ධනය වුණා. තම පක්ෂය තුළින් සහ ජවිපෙ විසින් සිදුකළ දැඩි බලපෑම හමුවේ තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගත් ජනාධිපතිනිය අවසානයේදී එජාප ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට අවදානම්සහගත පියවරක් ගත්තා. ඒ අනුව 2004 අප්‍රේල් මස 02 වැනි දින මහමැතිවරණය පැවැත්වුණා.
මෙම මහමැතිවරණයේදී ජවිපෙ විසින් අනුගමනය කළ දේශපාලන උපාය මාර්ගය සහ ‘තම ගොඩ වැඩිකර ගැනීමට’ ගත් අතිශය සටකපට උත්සාහය ගැන අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු නොකර නව ආණ්ඩුව තුළ ජවිපෙ ලබාගත් අමාත්‍ය ධුර සහ වෙනත් වරප්‍රසාද ගැන මෙතැන් සිට සාකච්ඡා කළ යුතුයි.
අමාත්‍ය ධුර භාර ගැනීම
2004 අප්‍රේල් මස 06 වැනිදා 13 වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂයන් දිවුරුම් දුන් අතර අප්‍රේල් මස 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නා.
13 වැනි පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය ලංකාවේ සුවිශේෂ අමාත්‍ය මණ්ඩලයක් ලෙස සැලකිය හැකියි. ඒ 1965 සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ දා සිට දශක හතරකට පමණ පසු ජවිපෙ ආණ්ඩුවට ‘ඍජුව’ සම්බන්ධ වී කැබිනට් අමාත්‍ය ධුර 04ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 04ක් භාරගත් නිසයි. ඒ අනුව ජවිපෙට පහත දැක්වෙන කැබිනට් අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවුණා.
කැබිනට් අමාත්‍ය ධුර
1. අනුර කුමාර දිසානායක – කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග
2. විජිත හේරත් – සංස්කෘතික හා ජාතික උරුමයන්
3. කේ.ඩී. ලාල්කාන්ත – ග්‍රාමීය ආර්ථික සංවර්ධන
4. චන්ද්‍රසේන විජේසිංහ – ධීවර හා සාගර සම්පත්
නියෝජ්‍ය අමාත්‍ය ධුර
1. බිමල් රත්නායක – කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග
2. සමන්ත විද්‍යාරත්න – සංස්කෘතික හා ජාතික උරුමයන්
3. සුනිල් හඳුන්නෙත්ති – ග්‍රාමීය ආර්ථික සංවර්ධන
4. නිහාල් ගලප්පත්ති – ධීවර හා සාගර සම්පත්
2004 ආණ්ඩුවේ ජවිපෙට හිමි වුණේ ‘ප්‍රබල’ කැබිනට් අමාත්‍ය ධුර හතරක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග කියන්නේ දේශපාලනයේ ඉහළට යන්න බලාපොරොත්තුවෙන් සිටින දේශපාලනඥයින් ‘සිහින දකින’ විෂයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එසේම ලාල්කාන්තට හිමි වුණ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජවිපෙ වැනි ‘බිම් මට්ටමේ’ දේශපාලනය කරන පක්ෂයකට ‘වැඩක් කර ‘පෙන්වීමට හැකි ප්‍රබල අමාත්‍යාංශයක්. විජිත හේරත්ට ලබා දුන් සංස්කෘතික හා ජාතික උරුමයන් බොහෝ අංශවල ‘කැපී පෙනෙන’ වැඩක් කළ හැකි තැනක්. බහුතරයක් කැබිනට් ඇමැතිවරුන්ට මුහුණ දීමට සිදුවන ‘කරදරයක්’ ජවිපෙ කැබිනට් ඇමැතිවරුන්ට තිබුණෙම නැහැ. ඒ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනාම ජවිපෙන්ම පත්කර තිබීමයි.
ජවිපෙ අමාත්‍ය ධුර භාරගැනීම එවකට දේශපාලන සහා මාධ්‍ය සමාජය තුළ ‘අති උත්කර්ෂයට’ නංවා තිබුණේ ‘රටට දැනෙන වැඩක්’ කළ හැකි අමාත්‍ය ධුර ඔවුන්ට හිමිවීම නිසා පමණක් නොව, ජවිපෙ කැබිනට් අමාත්‍යවරු සිවුදෙනාට කැබිනට් මණ්ඩලය තුළ සහ පොදුවේ ආණ්ඩුව තුළ ‘ප්‍රබල’ වැඩ කොටසක් ඉටුකළ හැකි වේවි යන මතය ජනතාව තුළත් දැඩිව තිබුණ නිසයි.
වැඩ පෙන්වීම සහ මැසිවිලි
අනුර කුමාර දිසානායකට කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය ලබා දුන්න ද මහවැලි සංවර්ධන අධිකාරිය ලබා නොදීම ගැන ආරම්භයේ සිටම, එනම් අමාත්‍යාංශ නම් කිරීමේ සිට මැසිවිලි තිබුණේය. මේ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අදහසක් අපට පහත ප්‍රකාශයෙන් ලබාගත හැකිය.
“පූර්ව සන්ධාන ක්‍රියාවලිය හා සන්ධාන අත්දැකීම යථාර්ථයක් බවට පත්වීමත් සමඟ පක්ෂය (ජවිපෙ) මඟින් ඉතා හදිසියෙන් අවතීර්ණ වූ දේශපාලනමය වශයෙන් නිවැරදි නොවූ මෙම සන්ධාන ක්‍රියාමාර්ගය තුළ ප්‍රායෝගික ගැටලු ගණනාවක් ද මතුවිය. අර්බුදය ආරම්භ වූයේ අමාත්‍යාංශ නම් කිරීමේදී පක්ෂය වෙත ලබාදුන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත මහවැලි අධිකාරිය ලබා නොදීමත් සමඟය. මෙසේ පක්ෂය සතුව තිබූ අමාත්‍යාංශ හතරට විවිධ ආයතන ගලවා වෙනත් අමාත්‍යාංශ වෙත ලබාදීමේ සැලැස්මානුකූල ක්‍රියාමාර්ගයක් වෙත චන්ද්‍රිකා බණ්ඩාරනායකයන් අවතීර්ණ වූවාය. මෙම අවස්ථාවත් සමඟ පක්ෂය ගොදුරු වූ මානසිකත්වය වූයේ, හැකි ඉක්මනින් උගුලෙන් ගැලවීම, එනම් සන්ධානයෙන් ඉවත්වීමයි” – 1978 -2012 ජවිපෙ ගමන් මග, පිටුව 226
ජවිපෙ මේ ආකාරයෙන් ආරම්භයේ සිටම තම අමාත්‍යාංශ ගැන, එහි විෂය පථය ගැන මැසිවිලි නඟමින් සිටිය ද ජනතාවගේ අපේක්ෂාව වූයේ ‘ජවිපෙ වැඩක්කර’ පෙන්වනු ඇති බවය. 2003 පළාත් පාලන මැතිවරණයෙන් ජවිපෙ ජයග්‍රහණය කළ ‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව’ ගැන ඒ වන විට සමාජගත කර තිබූ ‘ප්‍රවාදය’ නිසා ජනතාව ද අනුර – විජිත ඇතුළු කැබිනට් ඇමැතිවරු සිවුදෙනාගෙන් ‘තිස්සමහාරාම පන්නයේ’ සංවර්ධනයක් හෝ ‘වැඩ’ බලාපොරොත්තු වූවා විය හැකිය. ඒ නිසාම අලුත් වැඩ පෙන්වීමට දෝ ජවිපෙ කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනා සහ නියෝජ්‍ය ඇමැතිවරු සිවුදෙනා ‘අභියෝගාත්මක’ කටයුතු වෙත පිවිසුණේය. මේ අතර වඩාත් ජනතා හා මාධ්‍ය ආකර්ෂණය දිනාගත් ව්‍යාපෘතිය වූයේ, කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් ආරම්භ කළ ‘වැව් 10,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි’.
ග්‍රාමීය ගොවි ප්‍රජාව ජවිපෙ ඡන්ද පදනම තුළ ප්‍රමුඛ බලවේගයක් වූ නිසාම පමණක් නොව කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ සිදුකරන සංවර්ධනය ‘ඡන්ද බැංකුවක්’ විවෘත කිරීමක් හා සමාන වන හෙයින් ද කෘෂිකර්ම ඇමැති අනුර කුමාර දිසානායක ‘වැව් 10,000ක් සංවර්ධනය කිරීම’ වැනි අති දැවැන්ත ව්‍යාපෘතියකට අත ගැසුවා විය හැකිය. මේ සම්බන්ධයෙන් ජජබ නායක අනුර කුමාර දිසානායක 2020 නොවැම්බර් 30 වැනිදා ඉරිදා සිංහල පුවත්පතක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ අදහස්වලින් වැව් 10,000 ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජවිපෙ අදහස වටහා ගත හැකිය.
“වැව් දස දහස කියන්නේ අවුරුදු කිහිපයක ව්‍යාපෘතියක්. එක අවුරුද්දකින් අපේ රටේ වැව් දස දහසක් ප්‍රතිසංස්කරණය කරන්න බෑ. එකක් අපේ වැව් ප්‍රතිසංස්කරණය කළ හැක්කේ වැහි කාලයේ නෙවෙයි. ඉතාමත් කෙටි නියං කාලයේදී විතරයි. ඒ සඳහා වූ කාර්ය මණ්ඩලය ගත්තාම මෙය දිගුකාලීන ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේදී අපි පළමු වසරේදී වැව් දාහක් හඳුනාගෙන එයින් වැව් 842ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළා. එය සියයට 85ක ප්‍රගතියක්. එතෙක් ලංකාවේ වැඩිම වී අස්වැන්න ලබාදෙන්න හැකිවුණා.” මේ ජජබ නායකයා වැව් 10,000 ව්‍යාපෘතිය ආරම්භ කර වසර 16කට පසු කියන කතාවයි.
ජවිපෙ නායකයා වසර 18කට පසුව මෙවැනි වර්ණවත් කතා කීව ද ජවිපෙ – ශ්‍රීලනිප මධුසමය අවසන් වූ වහාම ජනාධිපතිනිය අනුරගේ වැව් 10,000 ව්‍යාපෘතියට බරපතළ චෝදනාවක් කළාය. 2005 ජුනි 16 වන දින මහනුවර පැවති රැලියක් අමතමින් ඇය කියා සිටියේ ජවිපෙ නිසා රජයට බොහෝ ගැටලු ඇති වූ බවත් ඉන් එකක් වන්නේ වැව් දස දහසක් ව්‍යාපෘතිය බවයි.
වැව් දස දහසේ ව්‍යාපෘතියට බරපතළ චෝදනා
“මම ජවිපෙ ඉවත්වීම සමරන්නේ නැහැ. ඔවුන් අපේ කරමතට බොහෝ ප්‍රශ්න එකතු කළා. කුඹුරු ගොවිතැන සහ ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳිය යුතුයි. ඔවුන් (ජවිපෙ) කියා සිටියේ වැව් 10,000ක් සෑදීමට යන බව. නමුත් මෙතෙක් ඔවුන්ට හැකි වුණේ වැව් 300ක් හදන්න පමණයි. එයින් දෙකක් පමණක් නිසි ලෙස වැඩ නිමකර ඇති අතර ඉතිරි ඒවා කාන්දු වෙමින් පවතිනවා.
වැව් 10,000 ව්‍යාපෘතිය ගැන දීර්ඝ විවේචනයක් සන්ඩේ ලීඩ(ර්) පුවත්පතට මන්දනා ස්මයිල් අබේවික්‍රම ලියු ලිපියක තිබුණේය. ඇය සිය ලිපිය මඟින් බරපතළ විවේචනයක් සමඟ තවත් කරුණු රැසක් හෙළි කළාය. එහි සංක්ෂිප්ත උපුටා ගැනීමක් මෙසේ දැක්විය හැකිය.
“ජාතියේ පුනර්ජීවනය’ යන තේමාව යටතේ හිටපු කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් ආරම්භ කරන ලද ජවිපෙ දස දහසක් වැව් ව්‍යාපෘතිය සමාරම්භක දිනයේ සිටම විහිළුවක් බව ඔප්පු වුණේය. ව්‍යාපෘතියේ පළමු අදියර 2004 අගෝස්තු 29 වන දින යාපහුව හවන්පැලැස්ස හි දී ඉතා උත්කර්ෂවත් අන්දමින් හා පෙරහැරකින් ආරම්භ කරන ලද අතර මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් මිලියන 350කින් ආරම්භ කළ ව්‍යාපෘතියට පසුව තවත් අමතර රු. මිලියන 50ක් ලබා දෙන ලදි. මෙම ව්‍යාපෘතියට ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලියන 500ක් ආයෝජනය කළ කළේය.
සමාරම්භක උලෙළෙන් දින 10කට පසු, සන්ඩේ ලීඩර් සහ එහි සහෝදර පුවත්පත වන ඉරුදින හවන්පැලැස්සෙහි කළ සංචාරයකදී පහුරුගා අතහැර දමා ඇති වැව් භූමිය නිරීක්ෂණය කළහ. දස දහසක් වැව් සමාරම්භක ව්‍යාපෘතියේ දක්නට ලැබුණේ ජාතියක් පුනර්ජීවනය කිරීමක් නොව අතහැර දැමීමකි. මේ සියල්ල මධ්‍යයේ, මූල්‍ය කළමනාකරණය හා වැව් අලුත්වැඩියා කිරීමට අදාළ ටෙන්ඩර් ප්‍රදානය කිරීම සම්බන්ධ අක්‍රමිකතා මතුවීමට පටන් ගත්තේය.
පසුගිය ඔක්තෝ්බර් මාසයේදී (2004) මෙම අක්‍රමිකතා මුලින්ම පෙන්වා දුන්නේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. වැව් දස දහසක් වැව් ව්‍යාපෘතියේ අරමුදල් හා ටෙන්ඩර් වෙන්කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බව සඳහන් කරමින් ඇය ඔක්තෝබර් මාසයේදී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළාය. හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ කැබිනට් යෝජනාවට මුදල් අමාත්‍යවරයා ලෙස ඇය විසින් මූලික යෝජනාවේ දක්වා ඇති ඇතැම් මාර්ගෝපදේශ යටතේ අනුමැතිය ලබාදුන් බව එම සංදේශයේ සඳහන් වේ. ජනාධිපතිවරයා සිය කැබිනට් සංදේශයේ දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව, අදාළ ප්‍රදේශවල පළාත් සභා විසින් පිහිටුවන ලද විශේෂ යාන්ත්‍රණයක් මඟින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුව තිබුණි.
ව්‍යාපෘති වෙන්කිරීම මුදල් අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව විනිවිදභාවයෙන් යුතුව සිදුකළ යුතු අතර සමෘද්ධි සහ ග්‍රාමීය නියාමකවරුන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ විය යුතුය. 2004 අගෝස්තු 11 වන දින තමාගේ මාර්ගෝපදේශවලට එකඟ වූ බව අනුර දිසානායකට මතක් කළ ජනාධිපතිවරිය සිය සංදේශය මඟින් පළාත් සභා සාමාජිකයින්ගෙන් බොහෝ දෙනෙක් තම ප්‍රදේශවල සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳව නොදන්නා බවට චෝදනා කළේය.
ඇතැම් ව්‍යාපෘතිවල මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු විසින් තමාට දන්වා ඇති බව ඇය පවසන්නීය. ජනාධිපති කුමාරතුංග සිය සංදේශය අවසන් කරන්නේ සති දෙකක් ඇතුළත කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙස අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිමිනි.
චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කරන විට, වැව් ව්‍යාපෘතිවල අක්‍රමිකතා පිළිබඳව පළාත් සභා සාමාජිකයින් නිතර නිතර පැමිණිලි කරමින් සිටියහ. පැමිණිලිවලට අනුව, ජේවීපී සාමාජිකයින්ට ටෙන්ඩර් ප්‍රදානය කරන ලද අතර එමඟින් ව්‍යාපෘතියේ සම්පූර්ණ පාලනය ජවිපෙ විසින් අත්පත් කර ගන්නා ලදි. දිසානායක පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකර ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා කළේ ඇගේ චෝදනා නොමඟ යවන සහ පදනම් විරහිත යැයි පවසමිනි.
අල්ලස් හා දූෂණ පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට ඔක්තෝ්බර් මාසයේදී දස දහසක් වැව් ව්‍යාපෘතියට අදාළ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පැමිණිල්ලක් ලැබුණි. අල්ලස් හා දූෂණ පැමිණිලි විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියසේන රණසිංහ පැමිණිල්ල ලැබුණු බව සනාථ කළ අතර ඔවුන් ඒ පිළිබඳව සොයා බලන බව පැවසීය. ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිළිබඳව සොයා බැලීමට කොමිසන් සභාවක් පත් කරමින් ජනාධිපතිවරයා නොවැම්බර් මාසයේ දස දහසක් වැව් ව්‍යාපෘතියට පළමු වෙඩි මුරය එල්ල කළේය.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අනපේක්ෂිත ලෙස සංචාරය කිරීම සහ වැව් ව්‍යාපෘතියට අදාළ මූල්‍ය හා ටෙන්ඩර් කටයුතු පිළිබඳ ලිපිගොනු රාජසන්තක කිරීමත් සමඟ කාරණය උච්චතම අවස්ථාවකට පැමිණියේය.
මේ සියලු මතභේද මධ්‍යයේ වුවද, දස දහසක් ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගියේ නැත. ඇත්ත වශයෙන්ම, මෙම ව්‍යාපෘතිය කොතරම් සාර්ථකද යන්න පිළිබඳව ජනතාවට දැනගන්න ලැබුණේ අනුර කුමාර දිසානායක සහ ඔහුගේ සෙසු ජවිපෙ සාමාජිකයන් වේදිකාවල කරන ලද අදහස් වලින් පමණි. එය කෙසේ වෙතත්, වැව් 10,000 වැඩසටහන විහිළුවක් බව ඔප්පු වුවද, මේ වසර (2005) සඳහා රු. මිලියන 765ක් වෙන්කර ඇත”
ජවිපෙ කියන්නේ කුමක්ද ?
ජවිපෙ 2004 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාරගෙන ‘අනාගත් හැටි’ තවත් පුළුල් ලෙස සාකච්ඡා කළ හැකි වුව ද පුවත්පතේ ඉඩ සීමාවීම හේතුවෙන් ජවිපෙම කියන කරුණුවලින් මේ ‘අනාගැනීම’ සනාථ කළ හැකියි.
මීට පෙර ද උපුටා දක්වන ලද මාලිමා ප්‍රකාශනයක් වන ‘1978- 2012 පෙවිපෙ ගමන් මග’ කෘතියේ 227 වැනි පිටුවේ ජවිපෙට කැබිනට් අමාත්‍ය ධුර ‘බර’ වැඩි වූ ආකාරය ගැන මනා පැහැදිලි කිරීමක් තිබෙනවා.
‘…අනෙක් අතට අමාත්‍යාංශ ක්‍රියාවලියේදී අපගේ ඇමැතිවරුන්ගෙන් විද්‍යාමාන වූ නොහැකියාවේ අර්බුදය ද ක්‍රමානුකූලව පක්ෂයට බලපාමින් තිබුණි. මේ සම්බන්ධයෙන් පැනනැඟුණු බලවත්ම නිශේධනීය අත්දැකීම වූයේ, මුළුමහත් පක්ෂයම, පක්ෂයේ සමස්ත බලවේගයන්ම, පක්ෂය විසින් භාරගත් අමාත්‍යාංශ සාර්ථක කොට ජනතාව ඉදිරියේ පෙන්වීමේ අභියෝගය සඳහා වෙන් කිරීමට සිදුවීමයි”
මේ කියන්නේ කුමක් ද ? “….අමාත්‍යාංශ ක්‍රියාවලියේදී අපගේ ඇමැතිවරුන්ගෙන් විද්‍යාමාන වූ නොහැකියාවේ අර්බුදය’ ගැනය. එපමණක් නොව ජවිපෙ එදා අමාත්‍ය ධුර භාරගෙන ඇත්තේ ආණ්ඩුවක් ලෙස සිතා නොවන ‘පක්ෂය’ ලෙස සිතා ජනතාවට වැඩ පෙන්වීමටය. ජනතාවට වැඩ පෙන්වීමට ගොස් අනාගත් තරම මොන තරම් සාටෝපකාරී කතා කීව ද ජනතාවට පහසුවෙන් වටහා ගත හැකියි.
මෙහිදී 2004 දී ජවිපෙ බලවත්ම චරිතය සහ වර්ණවත්ම කථිකයා වූ විමල් වීරවංශ විසින් කළ ප්‍රකාශයක් ද උපුටා දැක්වීම වැදගත්ය. සිය ‘නැත්ත වෙනුවට ඇත්ත -2008 කෘතියේ 143 වැනි පිටුවේ ‘සන්ධානයේ අපේ ප්‍රධාන අරමුණ වූයේ’ මැයෙන් සටහනක් තබමින් විමල් වීරවංශ මෙසේ කියන්නේය. “…ධනේශ්වර ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කිරීම හා විශේෂයෙන් අමාත්‍යාංශ කීපයක් හරහා අපේ හැකියාව රටට පෙන්වා ජවිපෙට ‘රට පාලනය කළ හැකි බව ඒත්තු ගන්වා ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම’ විමල් වීරවංශ මේ කියන්නේ කුමක් ද ? ‘විශේෂයෙන් අමාත්‍යාංශ කීපයක් හරහා අපේ හැකියාව රටට පෙන්වා ජවිපෙට ‘රට පාලනය කළ හැකි බව ඒත්තු ගන්වා ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම’යි.
ඉතින්, අපට තවත් යමක් කීමට අවශ්‍ය ද ? මහමැතිවරණයෙන් පසුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂයන්ගේ ජයග්‍රහණයට ද දරදිය අදිමින් කටයුතු කළ ජවිපෙ අවසානයේ ආණ්ඩුවෙන් ‘ඉවත්වී’ තම පව් සෝදා ගැනීමට බොහෝ දේ කළේය.
මෙවැනි ඉතිහාසයක් ඇති පක්ෂයක් හා නායකත්වයක් තව දුරටත් විශ්වාස කළ හැකිද ? ඒ ගැන ඉදිරියට කතා කරමු.
මාධව විජේසේන