ජනපති රනිල් වික්‍රමසිංහ වසර දෙකකට පසු දේශපාලන වේදිකාවකට පළමුවරට ගොඩ වූවේ ඉකුත් ඉරිදා කුලියාපිටියේදීය. එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් සංවිධානය කළ “සැබෑව” ජනරැලියට ඔහු සහභාගීවූවේ එක්සත් ජාතික පක්ෂයේ ආරාධනයෙනි. ජනපති එහිදී සට්ටැඹිරාළ කෙනෙකු හා ගොඩ පෙරකදෝරුවෙකු ගැන කීවේ වත්මන් විපක්ෂයට සිදුව ඇති ව්‍යසනය ගැන සිහි කරමිනි.
ගොඩ පෙරකදෝරු සහ සට්ටැඹිරාළ
එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන ගිහ සැටිත් නව පක්ෂයට රිංගා ගත් දේශපාලන අනාථයන් නිසා පැරණි එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදුව ඇති හානියත් ඔහු එහිදී ගෙන හැර පෑවේය. ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට තිබූ පක්ෂ ප්‍රතිපත්තිය පසෙකලා රාජපක්ෂ ආණ්ඩුවේ සට්ටැඹිකම් කළ අය සමඟ කටයුතු කරන ආකාරය ගැනත් ජවිපෙ, ජාතික ජනබලවේගය බවට පත්වූ පසු ඔවුනගේ ප්‍රතිපත්ති වෙනස් වී ඇති ආකාරයත් ජනපති රනිල් එහිදී පෙන්වා දුන්නේ යූ.එන්.පීකාරයන්ගේ හයිය ද කියා පාමිනි.
රැලිය නිමවා කුලියාපිටියේ පිහිටි අකිලගේ මහගෙදරට ගිය ජනපති දිස්ත්‍රික් සංවිධායකයන් සමඟ සුළු වේලාවක් සාකච්ඡා කොට තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විදීමෙන් අනතුරුව පිටත්ව ගියේය. කොළඹ පැමිණි ජනපති රනිල් සඳුදා පෙරවරුවේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් මුණ ගැසී සාකච්ඡා කළේය.
සුමන්තිරන් ජනපති හමුවෙයි
ආණ්ඩු පක්ෂය සමඟ එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුණ ගැසීමට ජනපති රනිල් විපක්ෂයට කළ ආරාධනය පිළිගෙන තිබුණේ දෙමළ සන්ධානය පමණකි. දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැමිණ සිටි බැවින් ජනපති රනිල් ඇතුළු පිරිස ඔහු සමඟ සාකච්ඡා කළ අතර සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලු සියලු ලේඛන ඔහු වෙත පිරිනැමීමට ද ජනපතිවරයා එකඟතාව පළ කළේය. මේ අතර මෙරට තානාපතිවරයකු ලෙස පත්වීම් ලැබ පැමිණි තායිලන්ත තානාපතිවරයාගේ හා පකිස්ථාන මහකොමසාරිස්වරයාගේ අක්ත පත්‍ර භාර ගැනීම සිදු වූවේ කොටුව ජනාධිපති මන්දිරයේදීය.
විපක්ෂය කර ඇරියේ ඇයි?
අයි.එම්.එෆ් වැඩසටහන ගැන කතා කරන්න කළ ආරාධනාවෙන් විපක්ෂය කර ඇරීම ගැන මැති ඇමැතිවරු ජනපතිගෙන් විමසන්නට වූහ.
“විපක්ෂය හැමදාම කිව්වේ අපට රහස් ගිවිසුමක් තියෙනවා කියලනේ. ඒක ඇත්ත ද නැත්ත ද කියලා හරි දැන ගන්න තිබුණා මෙතනට ආවා නම්? ජනතාව ළඟට ගිහින් එකක් කියනවා, එන්න කිව්වාම මග හරිනවා.” ඇමැති බන්දුල කීවේ සෙසු පිරිස දෙස බලමිනි.
ශෙහාන් චෝදනා කළේ කාටද?
“හර්ෂ, එරාන් වගේම කබීර් පවා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක හැමෝම එකතු වෙලා කතා කරන්න ඕනා කියලා. ජනාධිපතිතුමා එන්න කිව්වාම දැන් බෑ කියනවා. එයාලව මෙතනට එන එක නවත්තන්නේ පොහොට්ටුවේ ඉඳලා ගිය කණ්ඩායම.” ඇමැති ශෙහාන් කීවේය.
“සජබෙ ඇතුළේ දැන් යු.එන්.පිකාරයන්ට ඉඩක් නෑ. ජනාධිපතිතුමා කුලියාපිටියේදි කියපු කතාව ඇත්ත.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේය.
IMF සමඟ වෙනම කතා කිරීම
“ආණ්ඩුව එක්ක වාඩි වෙලා කතා කළා නම් රටක් හැටියට අයි.එම්.එෆ් එකට මීට වඩා බලපෑමක් කරන්න තිබුණා. ජනතාවට සෙතක් කරන්න තිබුණ අවස්ථාව ඒ අය මග හැරියා.” ජනපති රනිල් කීවේ කනගාටුවෙනි.
“එයාලා වෙනම හම්බ වෙනවා කියන්නේ?.” එසේ කියමින් එහිදී ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න අලුත් පුවතක් ලබා දුන්නේය.
“එකතු වෙලා කතා කළා නම් බලය වැඩියි. වෙන වෙනම තතා කරන්න ගියා කියලා අයි.එම්.එෆ් එක වෙනස් වෙන්නේ නෑ. ඒකෙන් එයාලත් හිර වෙන එක තමයි වෙන්නේ.” ඇමැති ශෙහාන් සේමසිංහ කියද්දී සියල්ලෝම හිස සැලූහ.
ජතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කළේ ඉන් අනතුරුවය. කොළඹ වෙස්ලි විද්‍යාලයට අවුරුදු 150ක් සපිරීම වෙනුවෙන් පැවැති උත්සවයට ජනපති එක් වූවේ එදින සවසය. අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩලය මුණ ගැසුණු අතර එහිදී හමුදා භාරයේ තිබෙන උතුරේ ජනතාව සතු ඉඩම් නැවත ඔවුන්ට ලබා දීමේ ක්‍රමවේදය ගැන ද සාකච්ඡා කළෝය.
ගුවන් හමුදාවට බැඳීමට යාපනයේ දැඩි උනන්දුවක්
හමුදා සතුව තිබූ ඉඩම් අක්කර 109ක් ඊට දින දෙකකට පෙර ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක අතින් ජනතාවට බෙදා දුන් ආකාරය ගැන ද මෙහිදී කතා බහ කෙරිණි. ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමඟාමීව යාපනයේ පැවැති ප්‍රදර්ශනය ගැන ද මෙහිදී සිහිපත් කෙරිණ. ජාතික ආරක්ෂක උපදේශක සාගල කීවේ තමන් එහි යද්දී ගුවන් හමුදාවට බැඳීමට උතුරේ දරුවන් 250ක් අයදුම්පත් යොමු කර තිබූ නමුත් තමන් ඉන් පිටව එද්දී එය 450 දක්වා ඉහළ ගොස් තිබූ බවය.
ජනපති උපදෙසින් නව සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක්
ජනපති රනිල් කොටුව කාර්යාලයට පැමිණි පසු ඔහු මුණ ගැසීමට ගිය ලේකම් සමන් ඒකනායක කොළඹ ජාතික රෝහලට අඩුපාඩුවක්ව පවතින සී.ටි ස්කෑනර් යන්ත්‍රය ගැන කතා කළේය. ආසියානු සංවර්ධන බැංකුව හා කතා කොට එය ඉටු කළ හැකි බව දැනුම් දීමෙන් පසු ජනපති උපදෙස් මත ලේකම් සමන් ඒකනායක මැදිහත්වී ඒ.ඩී.බී ආධාර යටතේ එම යන්ත්‍රය ජාතික රෝහලට ලබාදීමට කටයුතු කළේය.
සට්ටැඹිරාල කියන්නේ කවුද?
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව එදින සවස ජනපති මුණ ගැසුණේ කොටුව කාර්යාලයේදීය. කුලියාපිටිය රැලිය ගැන කතා කළ අතර එහිදී ද සට්ටැ රාලගේ කතාව ඇදී ආවේය. “මගෙන් බොහෝ දෙනෙක් අහනවා සට්ටැඹිරාල කියන්නේ කවුද කියලා” වෙනත් කටයුත්තකට එහි පැමිණ සිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසා සිටියේ කාගේත් සිනා හඬ මධ්‍යයේය.
නවීන්ට කතාව නොදුන් හේතුව රනිල් පහදයි
රැලියට හරීන් ප්‍රනාන්දුගේ නොපැමිණීම ගැන කතා කරද්දී හරීන් කීවේ තමන්ට යෙදුණු වෙනස් කළ නොහැකි කටයුත්තක් නිසා පැමිණීමට නොහැකි වූ බවය. මේ අතර නවීන් දිසානායකට කතාවක් නොදීම ගැන ඔහු සමාජ මාධ්‍යයට යොමු කළ පණිවුඩයක් ගැන තවත් අයකු කීවේය.
“ආණ්ඩුකාරතුමෙකුට මම ඉන්න දේශපාලන වේදිකාවක කතා කරන්න මම කොහොමටත් ඉඩ දෙන්නේ නෑ. මේක දේශපාලන රැලියක්.” ජනපති කීවේ දැඩි ස්වරයෙනි.
පක්ෂය විසින් සංවිධානය කර තිබූ අනුරාධපුර තරුණ දේශපාලන හමුව ගැනත් නුවර වෘත්තිකයන්ගේ රැලිය ගැනත් කළ කතාබහේදී ජනපති උපදෙස් දුන්නේ මෙය නිදහස් තැනක පවත්වන ලෙසය.
එ.ජා.ප.යට සංවිධායකවරුන් 1,000ක්
තරුණ හමුවක් බැවින් පක්ෂයකට සීමා නොකර සියලු පක්ෂවල තරුණයන් එකතු කරගත් හමුවක් පවත්වන ලෙස ද උපදෙස් ලැබිණි.
පක්ෂයේ ආසන හා කලාප සංවිධායකවරුන් පත් කිරීම ගැන කතාබහක් ඇතිවූ පසු රංගේ කීවේ අලුත් මුහුණු දැමිය යුතු බව බොහෝ අය කීවත් කොළඹ දිස්ත්රික්කයටවත් තවම අලුත් මුහුණු ලැබී නැති බවය. කොට්ඨාස හා කලාප සංවිධායකවරුන් 1,000 ක පිරිසක් ලබන සතිය වන විට පත් කළ හැකි බව මහලේකම් කීවේය.
ඔවුන්ට පත්වීම් ලිපි ලබා දීමේ වගකීම රංගේ හා මනූෂට පැවරු ජනපති මැයි දිනය ගැනද විමසා සිටියේය. ඊට දීර්ඝ පිළිතුරක් හරීන් ප්‍රනාන්දු විසින් ලබා දුන්නේය. යුනයිටඩ් තරුණ එකමුතුව සංවිධානය කළ සාකච්ඡාවකට ද ජනපති රනිල් සහභාගී වූවේ එදින සවස් යාමයේය.
නොමිලේ ඩේටා දිය නොහැකියි
කලක් ජනපති රනිල්ගේ හිටපු ලේකම්වරයකු වූ සුදත් චන්ද්‍රසේකර එය සංවිධානය කර තිබුණි. එම සාකච්ඡාවේදී තරුණයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති කීවේ නොමිලේ ඩේටා දිය නොහැකි බවය. සාකච්ඡාවෙන් පසුව පැවැති සුහද හමුවේදී ජනපති ඔහු අසලට ගොස් “රටට හොඳ ආර්ථිකයක් හැදුවට පස්සේ ඔයාලට කාගෙන්වත් නිකන් දේවල් ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නෑ.” කියා කියද්දී තරුණයන් අත්පොලසන් දුන්හ.
ජනපති සමඟ සෙල්ෆි ගැනීමට දැඩි උනන්දුවක්
තරුණ තරුණියන් ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට දැඩි උනන්දුවක් දැක්වීම නිසා ජනපති රනිල්ට වැඩි වේලාවක් එහි ගතකිරීමට ද සිදු විය. රාත්‍රී ආහාරය ද තරුණ තරුණියන් සමඟ එක්ව ලබාගත් ජනපති ඉන් පිටව ගියේ මාධ්‍යම රාත්‍රියට ද ආසන්න වෙද්දීය.
වී මිලදී ගැනීමට රුපියල් මිලියන 50ක්
බදාදා දහවල් ඇමැති රමේෂ් පතිරණගේ ආරාධනයෙන් ගාල්ලට ගිය ජනපති රනිල් පරිසර උද්‍යානයක් විවෘත කරමින් සංචාරක කර්මාන්තයේ දියුණුව ගැන කතා කළේය. එදින සවස ඉදිකිරීම් ක්ෂේත්රයේ පිරිසක් හා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ ජනපති රනිල් කෘෂිකර්ම ඇමැති ඇතුළු නිලධාරීන් හා සාකච්ඡාවේදී වී මිලදී ගැනීමට රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට වගබලා ගත්තේය.
ගෝලයා අගමැති, ගුරා ඇමැති
බ්‍රහස්පතින්දා පුරුදු පරිදි මුදල් අමාත්‍යාංශයට පැමිණි ජනපති රනිල් එහිදී වත්මන් ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළේය. එහි පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ කුලියාපිටියේදි කී කතාවට මහාචාර්ය ජී.එල් පීරිස් දුන් පිළිතුර ගැන විමසා සිටියේ ජනපතිගෙනි.
“ගෝලයා අගමැති කාලේ ගුරුතුමා කැබිනට් එකේ ගෝලයා යටතේ වැඩ කළානේ.” යැයි කී ජනපති රනිල් ඉන් නික්ම ගියේ කට කොනකට සිනහවක් ද නඟාගෙනය.
නව සන්ධානයේ නම හා ලාංඡනය
දේශපාලන කැබිනෙට්ටුවෙන් පත් කළ මැතිවරණ මෙහෙයුම් අනුකමිටුව මඟින් නව සන්ධානයට නම හා ලාංජනය සකස් කිරීම ගැන කළ සාකච්ඡාවේ විස්තරයක් ජනපතිට ඉදිරිපත් කළේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය.
අගමැති දිනේෂ්, රදගුරු හිමි හමුවී විශේෂ සාකච්ඡාවක
අගමැති දිනේෂ් පසුගිය අඟහරුවාදා(12) පුත්තලම බලා පිටත් වූයේ, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමටය.
එම ගමනේදී හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැදුරට පැමිණ, පසුගිය දෙසැම්බර් මාසයේ අභිනවයෙන් පත්වූ හලාවත රදගුරු අතිඋතුම් ආචාර්ය දොන් විමල් සිරි ජයසූරිය මාහිමිපාණන් හමුවීමට දිනේෂ්ට අවස්ථාව ලැබිණි. හලාවත පදවියේ සිවුවැනි රදගුරු හිමිපාණන් වන උන්වහන්සේ සිය පත්වීමෙන් පසු කිසිදු දේශපාලන නායකයකු හමුවී තිබුණේ නැත.
“පදවියට පත්වීමේ අවස්ථාවේදී මේ අයටවත් එන්න කිව්වෙ නෑ” රදගුරු හිමිපාණන් සිනාසෙමින් කීවේ දිනේෂ් සමඟ එහි ගොස් සිටි පුත්තලම නියෝජනය කරන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරු පෙන්වමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද එහි සිටියේය.
“පාර්ලිමේන්තුවේ කරන කතාවලදි ඒ කරුණු කොහෙන් ද හොයාගන්නෙ? අනික අලුත් දේ ගැනත් අගමැතිතුමා හොඳ අවදියකින්නෙ ඉන්නෙ. ඒ කතා අහනකොට මට පුදුමත් හිතුනා”
“පොත්පත් කියවීම එදා ඉඳන්ම මගෙ ජීවිතේ කොටසක්නෙ” දිනේෂ් පිළිතුරු දුන්නේය.
“තලවිල පූජා භූමියක් කළේ ඔබතුමාගෙ කාලෙදි, ඒක අපිට මතකයි. රාගම තේවත්ත දේවස්ථානය සංවර්ධනයටත් ඔබතුමා උදවු කළා” රදගුරු හිමිපාණන් කීවේ දිනේෂ් ගුණවර්ධන පූජා භූමි සංවර්ධන ඇමැති සමයේ කළ වැඩ කිහිපයක් සිහිගන්වමිනි.
“මෙරට පළමු සහ එකම පූජා භූමි ඇමැතිවරයා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමානෙ” එහි සිටි අයෙකු තවත් කරුණක් එකතු කළේය. අගමැති සහ රදගුරු හිමිපාණන් ආගමික මෙන්ම ජාතික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ ටික වේලාවක් සාකච්ඡා කළහ.
අගමැති දිනේෂ් උන්වහන්සේගෙන් සමුගෙන කෙළින්ම ගියේ අග්‍රාමාත්‍යවරයා පුත්තලම, නවදන්කුලම විද්‍යාලයට සහ හලාවත ශාන්ත මේරි විද්‍යාලයටය. එහි සිසු දරු දැරියන්, ගුරුවරුන් සමඟ සුහද කතාබහක නිරත වූ අගමැති, එම විද්‍යාලවල පුස්තකාල සඳහා පොත් කට්ටල ද ප්රදානය කළේය.
ප්‍රසන්න ප්‍රංශයේදී සමාජ මාධ්‍යයට දෙහි කපයි
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ දිනවල සිටින්නේ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වෙමිනි.සංචාරය අතරතුරදී ඔහු ඉඩ ලැබෙන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් හමුවීමද සිදු කරයි.
“සර්..දැන් ලංකාවේ මොකද වෙන්නෙ” ඒ, බොහෝ තැන්වලදී පාක්ෂිකයෝ විමසති.
“දැන් අපිට ඉන්ධන, ගෑස්, විදුලිය තියෙනවා. හැකි උපරිමයෙන් ජනතාවට සහන ලබාදෙනවා. අපි දැන් අර්බුදකාරී සීමාව පහුකරගෙන ඉදිරියට එමින් ඉන්නේ. අලුත් අවුරුදු සමය වෙනකොට ලංකාවේ තත්ත්වය තවත් හොඳ වෙයි” ඇමැතිවරයා කීහ.
“ඒත් ඇමැතිතුමා අපිට ආරංචි වෙන විදියට ප්‍රශ්න තවම විසඳිලා නෑ” සාකච්ඡාවකදී ලාංකිකයකු කීය.
“ඔය සෝෂල් මීඩියාවල යන දේවල් විශ්වාස කරන්න එපා. ඔය නිවුස් සල්ලිවලට ප්ලාන්ට් කරන ඒවා. මාලිමාව තියෙන්නේ හරි දිසාව පෙන්වන්න. ඒත් අපේ රටේ මාලිමාවෙන් කෙරෙන්නේ මිනිස්සුන්ට වැරදි පාර පෙන්වන එක. එක පාරක් හඳුන්නෙත්ති කිව්ව ලංකාවට පිටරට සල්ලි එවන්න එපා කියල. එකෙන් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙලා දුක් වින්ඳේ අහිංසක මිනිස්සු.” ඇමැති ප්‍රසන්න කීවේ ජ.වි.පේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ උදාහරණද ගෙනහැර පාමිනි.
කෝච්චියට බෙල්ල තිබ්බේ කවුද?
“අර්බුදය වෙලාවෙ රට භාර ගන්න කියල ගෝඨාභය ජනාධිපතිතුමා අනුරට, සජිත්ට කිව්වා. හැබැයි එයාල අර්බුදය ඉස්සරහට දාල මගහැරියා. කෝච්චියට බෙල්ල තිව්වෙ රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි. දැන් ආර්ථිකය හරි ට්‍රැක් එකට වැටිලා. මේ වෙලාවේ රට පාලනය කරන්න සුදුස්සා තමන් කියල ජනාධිපතිතුමා ඔප්පු කරමින් ඉන්නවා.රටට ආදරේ නම් අපි කරන්න ඕන ඒ මනුස්සයයට සහාය දෙන එකයි. හැබැයි ජ.වි.පෙයි, ස.ජ.බයි කරන්නෙ ආණ්ඩුවෙ කකුලෙන් අදින එක. ඒ නිසා ඒ වගේ කුහක මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්න එපා. ඔයාලත් පුළුවන් උපරිම සහාය අපිට දෙන්න” ඇමැතිවරයා කීය.
“පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඡන්දය දුන්නේ ගෝඨාභය මහත්තයට. හැබැයි අපිට වැරදුණා” තවකෙකු කීහ.
“එතුමා කළ දේවල් හරිද වැරදිද කියල අනාගතය තීරණය කරාවි. පහුගිය කාලේ ඇතිවුණ අර්බුදවලට එතුමා විතරක් වග කියන්න ඕන නෑ. රට පාලනය කරපු හැමෝම වග කියන්න ඕන. දැන් රටත්, ආර්ථිකයත් අවදානම් සීමාවෙන් ඈත්වෙලා. අපි මේ මැච්එක හෙමිහිට ගහගෙන යනවා.ඔයාල අපිට සහයෝගය දෙන්න. සෝෂල් මීඩියාවල යන දේවල් විශ්වාස කරන්න එපා.” ඇමැති ප්‍රසන්න යළිත් කීවේය.
නාමල් හමුවූ එ.ජා.ප. ප්‍රබලයා කවුද ?
පසුගියදා නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු මුණ ගැසුණේය. මෙම හමුව සිදුවී තිබුණේ එම එක්සත් ජාතික පක්ෂ ප්රබලයාගේ මල් පාරේ නිවසේදීය.
” මේ වෙලාවෙ ජනාධිපතිවරණයක් තිබ්බොත් අපි උදවු කළත් පරදිනවා. එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයට වෙන්නෙ කලින් වුණා වගේම පල්ලෙහාට යන්න. ඒ වගේම මහ මැතිවරණයකට ගියොත් අවාසියි.” නාමල් එසේ පවසද්දී එජාප ප්‍රබලයා එය ඉතා සාවධානව ඇහුම්කන් දුන්නේය.
“ඔව් එතකොට මොකක්ද කරන්නෙ?” එජාප ප්‍රබලයා ඇසීය.
“මුලින්ම මහ මැතිවරණයක් තිබ්බොත් දිනන්න පුළුවන්. නැතිනම් කරට කර සටනක් දෙන්න පුළුවන්. ආසන අඩු වුණොත් ජනාධිපතිට පුළුවන් සජබෙන් හරි දෙමළ මුස්ලිම් පක්ෂවලින් කට්ටිය අරන් ජාතික ආණ්ඩුවක් හදන්න. එහෙම මහමැතිවරණයක් තියලා ජනාධිපතිවරණයක් තිබ්බොත් තිබෙන වාසිය ඒකයි” නාමල් පැහැදිලි කළේය. “ඔව් ඒකත් ඇත්ත තමයි” එජාප ප්‍රබලයා පැවසීය.
“මේක අපි ජනාධිපති එක්ක කතා කරමු. ඒකට වෙලාවක් දාලා හම්බ වෙමු. අනික නාමල් ඔයත් ජනාධිපති එක්ක කතා කරනවනෙ. ඒ වෙලාවෙදි ඔයත් කියන්න” එජාප ප්‍රබලයා නාමල්ට එසේ ද කීවේය.
කාටුන් පොත් රැගෙන වජිර පන්සල් යයි
වජිර පසුගිය සති අන්තයේ අනුරාධපුරය බලා පිටත්ව ගියේ අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත“Press Vs. Prez” කෘතිය පිළිගැන්වීමටය.උන්වහන්සේ බැහැදුටු වජිර පොත උන්වහන්සේ වෙත පිළිගන්වා ඒ පිළිබඳ උන්වහන්සේ දැනුම්වත් කළේ පොතේ ඇති විශේෂ කාටුන් පෙන්වා ඒ ගැන උන්වහන්සේ දැනුම්වත් කරමිනි.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත පොත පිළිගැන්වීමෙන් අනතුරුව හෙතෙම රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක උන්වහන්සේද පොත පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේය.
අනුරාධපුර සිට නැවත කොළඹ පැමිණි වජිර ඉන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමාධිපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුව ආනන්ද හිමියන්ට කෘතියක් පිළිගැන්වීමට අභයාරාමය වෙත පැමිණියේය. එතැනින් නික්මුණු වජිර ඉන් අනතුරුව රුක්මලේ පන්සල වෙත පැමිණියේ “Press Vs Prez“ කෘතිය පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් වෙත පිළිගැන්වීමටය.
මුලින්ම පැවැත්වෙන්නේ කුමන මැතිවරණය ද යන්න පිළිබඳ මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රෙය් කතාබහ වෙමින් පවතින අතරතුර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඉන් කැඩී ගොස් පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡා මේ දිනවල සිදු වේ.
රහසිගතව සිදු වන මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විය යුතුය යන මතය ජනගත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළ යම්කිසි බියක් ඇතිකොට ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට බල කළ යුතුය යන කාරණය සම්බන්ධයෙන් මෙම හමුවීම්වලදී අදහස් හුවමාරු කරගෙන ඇත.
ඔවුන්ගේ අදහස් වී ඇත්තේ ජුනි, ජුලි මාස වනවිට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කරගත හැකි බවයි. එහිදී විපක්ෂයේ සජිත්ගේ ගොඩ ඉස්මතු වී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීන් සංඛ්‍යාව දෙකට පල්ලම් බහින බව ඔවුන්ගේ නිගමනය වී ඇති බවද වාර්තා වේ. එසේ ජාතික ජන බලවේගය දුර්වල වීමෙන් පසු ජනාධිපතිවරණයකට යෑම වඩාත් සුදුසු බවට සාකච්ඡාවට සහභාගී වූ එම පිරිසගේ අදහසයි.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බල කෙරෙන පෙත්සමකට අත්සන් ලබාගැනීම ආරම්භ කළ යුතු බව මෙහිදී යෝජනා වී තිබෙන බව ද වාර්තා වේ.
අභයාරාමයට අලුත් යෝජනාවක්
නාරාහේන්පිට අභයාරාමය පදනම් කරගෙන 69 ලක්ෂයේ ජනවරම රැක ගැනීමට වෙනත් කඳවුරු දරන උත්සාහය පරාජය කිරීම සඳහා අභයාරාමය මැදිහත් විය යුතු බව ජාතික බලවේගය තීරණය කර ඇත.එහි තවත් පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැනුම්වත්කර තිබෙන බව ද වාර්තා වේ.
69 ලක්ෂයේ ජනවරම නිර්මාණය කිරීමට ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වූයේත් ඒ වෙනුවෙන් වැඩිම වෙහෙස මහන්සියක් ගත්තේත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. ඒ අනුව ඒ ජනවරම වෙනත් අරමුණු සඳහා මෙහෙය වන්නට ඉඩ නොදී සිටිය යුතු බවට ජාතික බලවේගවලින් සැදුම්ලත් දේශප්‍රේමී කඳවුරේ පිරිසක් විසින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට යෝජනා කර ඇති බවද වාර්තා වේ.
ලාන්සාගේ සන්ධානයට වෘත්තීය සමිති 58ක්
මේ වන රටේ පිළිගත් වෘත්තීය සමිති 58ක් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අනුබද්ධ සංවිධාන රාශියක් නිමල් ලාන්සාගේ නව සන්ධානය සමඟ එක්ව තිබීම ද විශේෂත්වයකි.
පක්ෂයක් ලෙස මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ පොදුජන පෙරමුණටය. එහි බලපෑම කෙතරම් උත්සන්න වේ දැයි කිවහොත් දැනට නව සන්ධානය සමඟ එක්ව කටයුතු කරන ප්‍රබල වෘත්තීය සමිති නායකයකුට සහ දීර්ඝ කාලයක් රාජපක්ෂ කඳවුර සමඟ කටයුතු කර එය කලකිරී පැමිණි වෘත්තීය සමිති නායිකාවකට ද නෙළුම් මාවතින් දුරකථන ඇමතුම් ගලා එමින් තිබේ.
නෙළුම් මාවත කාර්යමණ්ඩලය ලවා ඔවුන් යළි සම්බන්ධ කර ගැනීමට ගත උත්සාහ ව්‍යාර්ථ වූ පසු එහි පැමිණෙන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දුරකතනවලින් පවා එම වෘත්තීය සමිති නායකයන්ට ඇමතුම් ලබා දෙන්නට පටන් ගෙන ඇති බව ද වාර්තා වේ.
පැපිලියානේ නාහිමි හදන්න යන අලුත් දේශප්‍රේමී කඳවුර
රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම නතර කිරීම, ඉක්ටා ගිවිසුමට එරෙහිවීම සහ යම් ඉන්දියානු විරෝධී මතයක් ගොඩනැංවීම, දේශීය ව්‍යාපාරිකයන් හා දේශීය කර්මාන්තකරුවන් එක්කර ගැනීම සඳහා මෙම නව දේශප්‍රේමී කඳවුර ඇති කිරීමට සූදානම් වේ.
දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, යුතුකම සංවිධානය, විමල් වීරවංශ, වෛද්‍ය නවරත්න බණ්ඩාර ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් සිදු කර ඇති බව ද වාර්තා වේ. මේ ආකාරයට දේශ හිතෛශි බලවේග එක් කිරීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර බවද දැන ගන්නට ඇත.
ඕමල්පේ සෝභිත හිමිට සුගීෂ්වරගෙන් උත්තර
මේ දිනවල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ‘ජනාධිපති පුටුවෙන් මා නෙරපූ කුමන්ත්‍රණය’ යන ග්‍රන්ථය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හුවමාරු වන අතර, උණුසුම් වාද විවාද ද දේශපාලන ක්ෂේත්රය තුළ දැකිය හැකිය.
අරගලකරුවන්ගේ බාධා වළකාලමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රටින් පිටවීමට ඉඩ සැලසුවේ තමන් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කොට තිබුණි. ඊට හැරෙන තැපෑලෙන්ම පිළිතුරක් ලබාදුන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වූ සූගීෂ්වර බණ්ඩාර විසින් සෝභිත හිමියන්ගේ එම ප්‍රකාශය අසත්‍ය බව ප්‍රකාශ කරන ලදී. සුගීෂ්වර බණ්ඩාර, ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විමසා සිටින්නේ රටේ ජනාධිපතිවරයා රටින් පිටවීමට කාගෙන්වත් උදවු අවශ්‍ය නොවන බවයි.