Home » මොන ප්‍රශ්න ආවත් සතුටින් ජීවත් වෙන්න ඇයට පුළුවන්

මොන ප්‍රශ්න ආවත් සතුටින් ජීවත් වෙන්න ඇයට පුළුවන්

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ඔහු සිය සිනමා රංගනය වෙනුවෙන් මුලින්ම සම්මානයක් ලබන්නේ 2004 වර්ෂයේ ආදරණීය වස්සානයයේ කසුන් වූ නිසයි. ඉන් පසුව ඔහු සිනමා නිර්මාණ කිහිපයක් සඳහාම සම්මාන ලබන අතර වීරයා ගෙදර ඇවිත්, ඉඩෝරයක මල් පිපිලා, කඩදොර, දස්කොන්, සහෝදරයා, තාත්තේ අපි ආවා, නිර්මාණ සඳහාත් බොහෝ සම්මාන හිමි කරගත් සම්මානිත රංගන වේදියෙක් බවට පත් වෙනවා, ඔහු අධ්‍යක්ෂණය කරන තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට ඔහු දෙවතාවක් සම්මාන ලබා ගන්නවත් හැකි වෙනවා. කලා කෘති බොහෝමයක් වෙනුවෙන් ඔහුගේ රංගනය අගයමින් ලැබුණු සම්මාන රාක්කයක් පුරා පුරවන ඔහු රොෂාන් රවින්ද්‍ර. පුංචි තිරය ආක්‍රමණය කර ගත් පුංචි තිරයේ අහංකාරයා වූ ඔහු ගැනයි මේ කතාබහ.

– එයාලා එයාලගේ තාත්තා නළුවෙක් කියන එක ගැන හිතන්නේ නැහැ මගේ නළුකම දරුවෝ හිසරදයක් කරගෙන නැහැ
– ඇගේ සතුට මගේ කැමැත්තට ඉඩ දීම ඒ නිසා අපි සතුටින් ජීවත් වෙනවා ආදරේ තේරුම් අරගෙන
– රට ගැන හිතලා වැඩ කරපු කෙනෙක් හැටියට මම කවදාවත් පොකට් එකට සල්ලි වැටෙන විදිහ හිතුවේ නැහැ
– චැනල්වලට ඕන විදිහට නිර්මාණ කරන ඒවාට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ
– වැඩේ කරමු කියලා කන බොන වෙලාවට කියපු දෙතුන් දෙනෙක් හිටියට තවම වැඩේට බහින්න කෙනෙක් මුණගැහුණේ නැහැ

වේදිකාවෙන් රංගනයට ආරම්භය ගත් රංගන ශිල්පියෙක් වුණත් ඔබ දශක දෙකකට පමණ පසුවයි ආයේමත් වේදිකාවෙන් දකින්න ලැබෙන්නේ, කොහොමද ඒ අත්දැකීම රොෂාන් ..?    

රාජ්‍ය ළමා නාට්‍ය හා යෞවන නාට්‍ය සම්මාන සඳහා රඟපෑවට පස්සේ ආර්. ආර් සමරකෝන් මහතාගේ අහසින් වැටුණා වේදිකා නාට්‍යයේ එක ෂෝ එකකට සම්බන්ධ වුණා. ඊට පස්සේ එයට කාලය යොදවන්න වේලාවක් නැතිකම නිසා වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ නැහැ. අවුරුදු විස්සකට පස්සේ තමයි මම ආයෙමත් වේදිකාවට එන්නේ. වේදිකාවෙන් ඈත් වෙලා ඉඳලා ආයෙමත් සම්බන්ධ වුණේ ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ වේදිකා නාට්‍යයට. මම හරි කැමැත්තෙන් රඟපානවා කියන්න පුළුවන්.

රංගනයේ දක්ෂයින් කිහිපදෙනෙකුගේ රංගන එකතුවකින් මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා ගත වෙන්නේ?

මේ වේදිකා නාට්‍යට ආරාධනා කළාම මම ඊට සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුවත් ඒක තමයි. සේවියර් කණිෂ්ක එක්කත් මම වැඩ කරලා තියෙනවා , අනිත් අය වගේම ඔහුත් දක්ෂයෙක්, ඔහුත් එක්ක රඟපාන්න මට කිසිම ඩවුට් එකක් තිබ්බේ නැහැ. අධ්‍යක්ෂ හා රංගන ශිල්පීන් හැමෝගෙම දක්ෂතා එක්ක හොඳ වැඩක් එළියට එනවා කියන විශ්වාසයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම සාර්ථක දර්ශන වාර කිහිපයක් පසු කරා. දිවයින පුරා එය වේදිකා ගත කරන්න සූදානම්.

මිස්ටර් ප්‍රසිඩන්ට් එක්ක මුලින්ම යන්නේ ඕස්ට්‍රේලියාවට ..?

අපේ මුල්ම දර්ශන වාරය ඇතුළු දර්ශන වාර හතක් ඕස්ට්‍රේලියාවේ වේදිකාගත කරන්න පුළුවන් වුණා. ඉදිරියේදිත් බලාපොරොත්තු වෙනවා විවිධ රටවල මෙය වේදිකාගත කරන්න.

මිස්ටර් ප්‍රසිඩන්ට් කියූ සැණින් කාගෙත් ඔළුවට යන්නේ මෙය දේශපාලන වැඩක් කියලා?

නම එහෙමයි කියලා මෙය දේශපාලනයට සම්බන්ධ යි කියලා හිතන එක වැරදියි. මේ නාට්‍යය අපි පක්ෂයක්, මූලික කරගෙන කරන දේශපාලන වැඩක් නෙමෙයි කියලා මතක් කරන්න ඕන. මෙය ප්‍රහසනය එක්ක කරන රංගනයක්, ආදරණීය ජනතාවට රසවිඳින්න පුළුවන් නිර්මාණයක් විතරයි.

වසර ගණනකට පෙර වේදිකා නාට්‍ය බලන්න ආසාවෙන් මුදලක් ගෙවා රඟහලකට ආ පිරිස දැන් අඩු වෙලා කියලා හිතන්නේ නැද්ද ..?

97, 98 වර්ෂවල ජනතාව හරි කැමැත්තෙන් දරුවොත් අරගෙන වේදිකා නිර්මාණ නරඹන්න ආවා. දැන් මුදලක් ගෙවලා ඒ සජීවී අත්දැකීම් විඳගන්න එන පිරිස හරි අඩුයි. බොහෝ රඟහලවල් වැහුණා. නාට්‍ය නිර්මාණ කිරීම් අඩු වුණා. ඒ පරිහානිය එක්ක ආර්ට් එක නැති වීමයි වුණේ. මම ආදරණීය ජනතාවට කියනවා මහන්සි වෙලා කරන වේදිකා නාට්‍ය බලන්න කියලා. ආයෙමත් නාට්‍ය පෙන්වීමට එය උදව්වක් වෙයි.

රොෂාන් රවින්ද්‍ර කියන නම එක්ක ඔබ හදාගත් අනන්‍යතාවක් තියෙනවා තෝරා බේරාගෙන රඟපාන රංගන ශිල්පියෙක් කියන එක. තෝරා ගැනීම් නිසා ඔබව දකින්නේ අඩුවෙන් ..?

මට ලැබෙන නිර්මාණවලින් මම ගොඩක් තෝරා බේරාගෙන රඟපාන්නේ. මට පුළුවන් නම් මම තෝරා ගත් නිර්මාණ වලිනුත් තව තෝරා ගැනිමක් කරන්න මම කරනවා. චැනල්වලට ඕන විදිහට නිර්මාණ කරන ඒවාට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ. අතපය බැදලා වතුරට වීසි කරලා පීනපං කියනවා වගේ කලාකරුවන් ඇදලා දානවා නම් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා තමයි මම අවුරුදු පහක් නිර්මාණයකට සම්බන්ධ නොවි හිටියේ. ගිය අවුරුදු පහ ආයේ ගන්න බැහැ අපරාධයක්. ඒත් හොඳම දේට තමයි මගේ රංගන දායකත්වය ලබා දෙන්නේ.

සහෝදරයා, වීරයා ගෙදර ඇවිත්, තණමල්විල කොල්ලෙක් වැනි ඔබ රඟපෑ හා සම්මාන ලබා ගත් කලා කෘති බොහෝමයකට අදටත් ප්‍රතිචාර ලැබෙනවා..?

සහෝදරයා නිර්මාණ ය වුණේ 2016 අවුරුද්දේ , ඒත් තවමත් ඒ නාට්‍යයේ රඟපෑමට ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍යයේ කොටස් තවමත් සමාජ මාධ්‍යෙය් ෂෙයාර් වෙනවා. මට හරි සතුටු යි ඒ ගැන. ඒ වගේ මම සම්බන්ධ වූ බොහෝ නිර්මාණ ගැන තවමත් කතා කරනවා. තෝරා බේරාගෙන රඟපෑමේ ප්‍රතිඵලය තමයි ඒ.

ඔබ රඟපාන්න වගේම අධ්‍යක්ෂණයටත් දක්ෂයෙක්. ඔබේ තණමල්විල කොල්ලෙක් නිර්මාණයට දෙවතාවක් සම්මාන ලැබුවා. අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද ..?

අලුත් කතාවක් ලියලා අතේ තියාගෙන ඉන්නවා. ඒකට ලොකු වියදමක් දරන්න ඕන. වැඩේ කරමු කියලා කන බොන වෙලාවට කියපු දෙතුන් දෙනෙක් හිටියට තවම වැඩේට බහින්න කෙනෙක් මුණගැහුණේ නැහැ. අලුත් නිර්මාණයක් කරන්න මුල්‍ය පැත්තෙන් කෙනෙක් සම්බන්ධ වෙනකල් බලාගෙන ඉන්නවා.

රංගනය වෘත්තිය කරගත් ඔබට නිර්මාණ තෝරා බේරාගෙන රඟපෑමෙන් ආර්ථිකයට බලපෑමක් ඇති..?

මට මීට වඩා නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන්න තිබ්බා නම් මම ඒ දේත් කරනවා. මම ජීවත් වෙන්නේ රංගනයෙන් ලැබෙන මුදලින්. ආර්ථික ප්‍රශ්න එනවා. මට හොඳටම ආර්ථිකය දැනෙන කෙනෙක්. ඒත් මට මගේ යාළුවෝ හයියක් වෙලා. මම නිසා යාළුවෝ තමයි කරදර වෙන්නේ. බෙහෙත් ගන්න ඩිස්පැන්සරියකට ගියත් මගෙන් සල්ලි ගන්නේ නැහැ. රට ගැන හිතලා වැඩ කරපු කෙනෙක් හැටියට මම කවදාවත් පොකට් එකට සල්ලි වැටෙන විදිහ හිතුවේ නැහැ. ඒ නිසා කොහේ ගියත් අපිට ගරුකරන මිනිස්සු ඉන්නවා. උදව් කරනවා. ආර්ථික ප්‍රශ්න ආවත් මම මගේ තෝරා ගත් ගමනේ තමයි යන්නේ.

බිරිඳ කියලා නැද්ද ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නත් බැරි නම් රස්සවක් කරලා ආර්ථිකය ශක්තිමත් කර ගන්න කියලා ..?

මගේ අරමුණ මොකක්ද, මට මොනවද ඕන කියන එක මගේ බිරිඳ හරියට තේරුම් ගත් කෙනෙක්. ඇගේ නම සංජීවනී. ඇය රැකියාවක් කරන්නේ නැහැ. දරුවෝ තුන් දෙනා බලාගෙන ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ආර්ථික ප්‍රශ්න ආවත් කවදාවත් මට එයා දොස් කියලා නැහැ මට දෙසීයක් දීලා පන්සියයක වැඩ කරන්න කියන්න නම් එපා. ඒ වචන ටික විතරයි එයා කියන්නේ. ඒ ටික කියන්නෙත් හිනා වෙලා විහිළුවට. ඇගේ සතුට මගේ කැමැත්ත ට ඉඩ දීම. ඒ නිසා අපි සතුටින් ජීවත් වෙනවා ආදරේ තේරුම් අරගෙන.

දහම් පාසල් කාලේ දි පැටළුණු ප්‍රේමය විවාහ කර ගත් නිසා ඔබ තුළින් දක්ෂ නළුවෙක් බිහි කරන්න නිදහස ලැබුණා කියන එකද නොකියා කියන්නේ ..?

ඔව්. සංජීවනීට ආදරේ කරන්න පටන් ගන්නේ, ඇයව මුණගැහෙන්නේ දහම් පාසලේදී. අපි දෙන්නා එකම ගමේ. ඒ හඳුනා ගැනීම එක්ක අපි ආදරේ කරන්න පටන් ගන්නවා. එයාව විවාහ කරන්න හේතුවත් අපි අතර ගැළපීමයි. මට අවශ්‍ය වුණේ රංගන ශිල්පියෙක් වෙන්න, තෝරා ගත් නිර්මාණ වල රඟපාන්න. හොද නිර්මාණ බිහි කරන්න. ඒකට අවශ්‍ය පසුබිම ලැබෙන්නේ ඒවා තේරුම් ගත් කෙනෙක් සහකාරිය කරගත්තොත් තමයි. මගේ තේරීම හරියට හරි. මොන ප්‍රශ්න ආවත් සම සිතින් දරාගෙන සතුටින් ජීවත් වෙන්න ඇයට පුළුවන්. රණ්ඩු වෙවී යාළු වෙවී අපි පවුල් ජීවිතේ හොඳින් ගෙවනවා. අනිත් එක මාත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.

ලෙහෙසිපහසු නැහැ කියලා කිව්වේ පිට පෙණුම වගේම ඔබ අහංකාර රෞද්‍ර කෙනෙක් ද..?

මාත් එක්ක ටිකක් ජීවත් වෙන්න අමාරුයි. නමුත් මම එහෙම නපුරු කෙනෙක් නෙමෙ. මාව දන්න අය මම ගැන දන්නවා. අද වෙනකල් මාව ආශ්‍රය කරන අය මාව ආශ්‍රය කරන්න අමාරුයි කියලා අත හැරලා නැහැ.

ඔබ දරුවෝ තුන් දෙනෙක් ඉන්න පියෙක්. කොහොමද දරුවන්ගෙන් ඔබට ප්‍රතිචාර..?

ලොක්කා නේතෘ එයාගේ වයස 17ක්. දෙවැනි දුව කේතකී එයාට වයස 15ක්. පොඩ්ඩා තිරූ. එයාගේ වයස හතරාමාරයි. මේ අපේ දරුවෝ තුන් දෙනා. ප්‍රතිචාර කියන්නේ එයාලාට එයාගේ තාත්තා නළුවෙක් කියන එක ගැන හිතන්නේ නැහැ. මගේ නලුකම හිසරදයක් කරගෙන නැහැ. මම ඉන්න නිර්මාණ බලනවා, ඒවා බලලා සතුටු වෙනවා. මම ගෙදර ආවට පස්සේ සාමාන්‍ය මනුස්සයෙක්.

කාර්යබහුල නළුවෙක් නොවන නිසා දරුවන්ට ඔබව මඟ හැරිලා නැතුව ඇති..?

ගොඩක් වෙලාවට මම ඉන්නේ ගෙදර. ඒ නිසා එයාලට තාත්තා මිස් වෙලා නැහැ. නොතේරෙන වයසක ඉන්න දරුවෝ දවසක තේරුම් ගනියි ඇයි එයාලගේ තාත්තා ගොඩක් නාට්‍ය වල ඉන්නේ නැතුව ගෙදර හිටියේ කියලා . මම එයාලට තහංචි දාලත් නැහැ රඟපාන්න එපා, මේ දේවල් කරන්න, මේවා කරන්න එපා කියලා. ලොකු පුතාට පුංචි කාලේ ඉදලා රඟපාන්න ආරාධනා ආවා. ඒත් මම යොමු කළේ නැහැ. ඒ එයාලගේ ළමා කාලේ නාස්ති කරන්න හොඳ නැති නිසා . තේරුම් ඇති කාලෙක එයාලා එයාලගේ ගමන තීරණය කරයි.

කලාත්මක සිනමා කෘති කිහිපයකට සම්බන්ධ වුණත් ඔබේ රංගන පරාසයෙන් පුළුල් තිරය වැඩක් ගත්තේ අඩුවෙන් කිව්වොත්..?

ටෙලි නාට්‍ය ගැන නම් දුකක් නැහැ. අවශ්‍ය රංගනය ටෙලි නිර්මාණ ඔස්සේ කරන්න පුළුවන් වුණා. ඒත් සිනමාවට මගෙන් වැඩක් හරියට ගත්තේ නැහැ කියලා හිතෙනවා. මට ඇත්තටම සිනමාව මඟහැරුණා. සමහර විට ප්‍රධාන ධාරවේ නිර්මාණකරුවන් පස්සේ ගිහිං අවස්ථාව ඉල්ලන්නේ නැති නිසා වෙන්න ඇති. මාව ඒ පංතියට නොගැළපෙනවා ඇති. ජීවිතේ දැන් භාගයක් ගෙවිලා ඉවරයි. ඉතුරු කාලේ හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division