මවකට පියකුට තම දූ දරුවන් දෙනෙත් වැනිය. තම දරුවන් කෙරෙහි සෑම මවක්ම පියෙකුම දක්වන ඇල්ම ආදරය කරුණාව කොතෙක්ද යන්න ඉන් මොනවට පැහැදිලි වේ. මේ සෑම මවකගේම පියකුගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා අවංක එමෙන්ම ගුණයහපත් අයකු උගතකු බුද්ධිමතෙකු ලෙස සමාජයට දායාද කිරීමයි.
එහෙත් එවැනි අම්මලා තාත්තලා අතර තම දරුවන් හඳුනන්නේ නැති මවුපියන්ද සිටීම කනගාටුවට කරුණකි. තම දූ දරුවන් සලෙළුන්ට මුදලට විකුණන දරුවන් තළන පෙළන හිංසා පීඩා සිදු කරන ඇතැම් අවස්ථාවලදී දරුවන් ඝාතනයට පවා පෙලඹෙන අම්මලා තාත්තලා ගැන නෑසූ අයෙක් මේ ජන සමාජයේ නැත.
තම දරුවන් ඇස් දෙක මෙන් බලාකියාගෙන ඔවුන් සමාජයට වැඩදායක අය සේ අනාගතයට ඉදිරිපත් කිරීමට ඕනෑම මවකගේ පියකුගේ අභිලාෂය වුවත් තිරිසනුන්ටත් අන්ත ලෙස කටයුතු කරන අතළොස්සක් මවුපියන් නිසා ඔවුන්ගේ දූ දරුවන්ට අත්වන ඉරණම නම් ඛේදජනකය.
තමන්ගේ 15 හැවිරිදි දියණිය සලෙළුන්ට මුදලට විකිණූ තරුණ මවක ගැන ගල්කිස්ස ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ කතාව මුළු රටම පාහේ කම්පාවට පත්කරන්නට සමත් වූ බව හැම දෙනාම දන්නා කාරණයකි. තම දරුවන් යොදා ස්වර්ණාභරණ හලකින් රන් ආභරණ සොරකම් කළ මවක ගැනද පසුගියදා අසන්නට ලැබිණි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අය සතු ජංගම දුරකතන තම පුංචි පුතු යොදාගෙන සොරකම් කළ මවක් පසුගියදා නීතියේ රැහැනට හසු වූ සිද්ධියද ලොකු ආන්දෝලනයක් ඇති වූ කතාවකි.
බොරැල්ල පොලිසියෙන් වාර්තා වූ අන්දමට මේ සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.
ගම්පහ දිසාවේ දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිය සමඟ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට එන්නේ තම පුතුට වැලඳුණු උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. දරුවාට නේවාසිකව ප්‍රතිකාර ලබා දෙන අතරතුරේ නාඳුනන කාන්තාවක් ළමයකු සමඟ දෙකටන පුද්ගලයාගේ බිරිය ළඟට පැමිණ ඇය සමඟ කතාබහක නිරත වෙමින් සිටියාය.
නාඳුනන කාන්තාව සමඟ පැමිණි ළමයා එක්වරම දෙකටන පුද්ගලයාගේ බිරිය අත තිබූ ජංගම දුරකතනය උදුරාගෙන රිජ්වේ රෝහලට පැමිණ සිටි සෙනඟ අතරින් පලා ගියේ කාන්තාව කෑගසද්දීය. මේ අල්ලපනල්ලේ දරුවා සමඟ පැමිණි කාන්තාවද සෙනඟ අතරින් පලා ගියාය.
මේ ළමයා පැහැරගෙන ගිය ජංගම දුරකතනයේ වටිනාකම රුපියල් හතළිස්දාහක් පමණ විය.
මේ අඹුසැමියන් සිද්ධිය රෝහල් බලධරයන්ට සහ එහි ආරක්ෂක නිලධරයන්ට පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලිසියට ගොස් පොලිසියේද මේ ගැන පැමිණිලි කරන ලදි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආරක්ෂක නිලධාරින්ද මේ සිද්ධිය ගැන වෙනම විමර්ශනක් ආරම්භ කර තිබුණේ ඊට පෙර මෙවැනිම සිදුවීම් කිහිපයක් එම නිලධරයන්ට වාර්තා වී තිබූ නිසාය. අදාළ දින රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි මේ ළමයා සහ ඔහුගේ මව ගැන ඒ වන විට ආරක්ෂක නිලධාරීන් කිසියම් හඳුනාගැනීමක් සිදු කර තිබුණු අතර නැවත මේ මව සහ ළමයා අනිවාර්යයෙන්ම රෝහල වෙත පැමිණෙන බවට අනුමාන කළ ආරක්ෂක නිලධරයෝ එවැනි අවස්ථාවක ඔවුන් දෙදෙනා අතටම අල්ලා ගැනීමට සැලසුම් සකස් කළහ.
ආරක්ෂක නිලධරයන්ගේ අනුමානය සනාත කරමින් සැකකාර මව සිය දරුවා සමඟ පසුගිය දිනෙක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු වෙද්දී ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදි.
මේ කාන්තාව සහ ඇගේ හත් හැවිරිදි ළමයා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට භාර දෙන්නේ ඉන් අනතුරුවය.
බොරැල්ල පොලිසියේ නිලධාරීන් මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ සැකකාරිය තම හත් හැවිරිදි පුතු යොදවා රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන අය සතු ජංගම දුරකතන සොරකම් කිරීම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බවකි.
සැකකාර කාන්තාව ඇගේ ළමයා සහ සැමියා සමඟ පදිංචිව සිටින්නේ පෑලියගොඩ දුටුගැමුණු මාවතේ නිවෙසකය.
සැකකාරිය සිය හත් හැවිරිදි පුතු අසනීපයෙන් පසුවන බව කියමින් රිජ්වේ ආර්යා ළමා රෝහලට කැඳවාගෙන පැමිණ එහි වාට්ටුවල ගමන් කරන අතරේ එහි පැමිණ සිටින ඇතැම් අය සතු ජංගම දුරකතන සිය ළමයා ලවා සොරකම් කරවන බව පොලිසිය අනාවරණය කර ගන්නේ ඉන් අනතුරුවය. මේ ළමයා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කරද්දී එවැනි ජංගම දුරකතන සොරකම් පහක් පමණ මීට පෙර සිදුකර තිබිණි.
හත් හැවිරිදි ළමයාගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන්නේ ඉන් අනතුරුවය.
‘ෆෝන් එකක් හොරකම් කරගන්න බැරිවුණොත් අම්මා මට හොඳටම ගහනවා. මම හොරකම් කරලා අම්මට ගෙනල්ලා දෙන ෆෝන් අම්මා තාත්තට දෙනවා. තාත්තා ඒවා විකුණලා අම්මාට සල්ලි දෙනවා. දරුවා පොලිසියේදී හෙළි කර ඇත්තේ එවැනි අනූවේදනීය කතාවකි.
බොරැල්ල පොලිසිය මේ සිද්ධිය ගැන සිදුකරන ලද දීර්ඝ විමර්ශනය ගැන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නේ සැරයන් (70344) සරත්චන්ද්‍ර විසිනි. සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ අධිකරණ නියෝග මතය.
දීපාල් සමරසේකර