“මොන ප්‍රශ්න තිබුණත් මං එයාව මාසෙකට දෙකකට සැරයක් ‘හිල්ටන්’ එකට හරි ‘ගලදාරි’ එකට හරි අරන් යනවා. හිතේ හැටියට වියදම් කරල විනෝද වෙනවා. එයා සතුටින් ඉන්නව දකින්නයි මට ඕනැ…“
රැකියාවක් නොකරන පුද්ගලයෙකු වුවත් ඔහුට වුවමනා වූයේ තමන්ට යහමින් අතමිට මුදල් ඇති බව තම බිරියට ඒත්තු ගැන්වීමටය. පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස රැකියාව කරන ඇය ඔහු සමඟ ඇති කරගත් මිතුරුකම විවාහය දක්වා ගලා ගියේ ඔහු කිසි විටෙකත් කිසිම අඩුපාඩුවක් නොකර තමන්ට ආදරයෙන් සැලකීම නිසාය. ඒ ආදරය දිගටම එක ලෙස තබා ගත යුතුය. එසේ නම් ඇයට හිතේ හැටියට වියදම් කළ යුතුය. මත්ද්‍රව්‍ය පානයටද ඇබ්බැහි වී සිටි ඔහු මුදල් ඉපයීමට තෝරා ගත්තේ පහසු මාර්ගයකි. ඒ කවුරුන් හෝ දහදිය මහන්සියෙන් උපයා ගත් දේපළ හෝ මුදල් කොල්ලකෑම හෝ සොරකම් කිරීමය.
මේ සඳහා හොඳම ක්‍රමය වන්නේ ත්‍රිවිධ හමුදාවේ අයෙකු සේ වෙස් ගැනීමය. එවිට කිසිවෙකුත් සැක නොකරන බව සැබෑය. පොලිස් විශේෂ කාර්ය බළකා ඇඳුමක් ඇඳ ගත් ඔහු හැඳුනුම්පතක්ද සකස් කරගත්තේ නිවැරදිවම තම කාර්ය ඉටු කරගැනීම සඳහාය. හොඳින් කැපෙන මන්නා පිහියක්ද රැගෙන යාම ආරක්ෂාවටත් විශාල ශක්තියක් මෙන්ම අනුබලයක් නොවන්නේද?
ඔරලෝසුවේ අලුයම 3.00 හෝරාව සටහන්ව තිබිණි. සැවොම සුව නින්දක සැතපෙන මොහොත එය විය හැකිය. එදින ඔහුගේ වාසනාව උරගා බලන දිනය වී තිබිණි. නිවෙසේ උඩුමහලට නැඟගත් ඔහු මන්නා පිහියෙන් ජනේලය කඩා ඇතුළු වූයේ සූක්ෂ්ම ලෙසය. ඒත් කෙසේ හෝ නිදා සිටි සැමියා බිරිය සහ දරු තිදෙනා බය වී අවදිව දුවගෙන ආවේ ඇසුණු ශබ්දය කුමක්දැයි බැලීමටය.
“මං එස්. ටී. එෆ්. එකෙන්. ගේ සර්ච් කරන්න ඕනෑ. මේ මගෙ අයිඩෙන්ටිය…”
නිවැසි පුද්ගලයාට හැඳුනුම්පත පෙන්වා තමාව හඳුන්වා දීමටද ඔහු අමතක කළේ නැත. නිවැසි පුද්ගලයා එක්වරම ඔහුගේ වචන පිළිගැනීමට සූදානම් වූයේ නැත. ඔහු හැඳුනුම්පත ඡායාරූප ගත කිරීමට සැරසුණේ එබැවිනි.
“මොනවද යකෝ තෝ කරන්නෙ. මගෙ අයිඩෙන්ටිය ෆොටෝ ගහන්නෙ. මං කවුරු කියල හිතාගෙනද?. මං එස්. ටි. එෆ්. කියල උඹලට පිළිගන්න බැරිනං කපනව තොපි සේරම අද මෙතනම එකට…“ ඔහු මන්නය එළියට ඇදගත්තේ දරුවන් බියෙන් මරහඬ දී විලාප දෙද්දීය.
ඊළඟට ඔහු කළේ ලහි ලහියේ රැගෙන යා හැකි අතට අහුවන අහුවන දේ බෑග්වලට පුරවා ගැනීමය. මේ අතර පණ බයේ ගැහෙමින් සිටි දරුවෙකු කෑගසමින් පහත මාලයට දුවගෙන ගියේ ඔහු අහක බැලූ ඇසිල්ලකින් ප්‍රයෝජන ගෙනය. ඔහු සිතුවේ දරුවා පොලිසියට ඇමතුම් ගනීවි කියාය. බඩු පිරවූ බෑග් සියල්ල රැගෙන යාම වෙනුවට අතට හසු වූ එක් බැගයක් පමණක් රැගෙන කලබල වූ ඔහු අඩියට දෙකට පලා ගියේ පොලිසිය පැමිණේ යැයි බියටය. ඒ අතර ඔවුන්ගේ මෝටර් රථයේ ‘රිමෝට්’ එකද අතේ තිබුණද වාහනය ධාවනය කිරීමට හැකියාවක් නොමැති නිසා සිදු වූයේ මෝටර් රථයද දමා පලා යාමටය. මේ නිසා ඔහුට රැගෙන යාමට හැකි වූයේ ලැප්ටොප් පරිගණකයක්, මත්පැන් බෝතල් දෙකක් සපත්තු ජෝඩු දෙකක් වැනි දෙලක්ෂ තිස්දාහක් පමණ වටිනා දේපළ පමණි.
ඊළඟ පිම්ම ඔහු පැන්නේ ජනවාරි 27 වනදාය. ඒ නුගේගොඩ වැලි පාරේ බෝඩිමකටය. එය තරුණයන් හතර දෙනෙකු ලැගුම් ගත් බෝඩිම් කාමරයකි. එහි තිබී පැහැරගෙන යන්නේ මුදල් පසුම්බි දෙකක්, ජංගම දුරකතන දෙකක් සහ යතුරුපැදියකි. මුදල් පසුම්බිවල තිබී බැංකු තුනකට අයත් ඒටීඑම් කාඩ්පත් තුනක් ද ඔහුට හමු වූයේ දෙවියන් මුහුණ බැලූ ලෙසිනි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ‘බවුන්සර්’ කෙනෙකු ලෙස රැකියාව කළ අයෙකුට ඔහුගේ නිවසේ කාමරයක් කුලියට ලබා දී තිබුණේ වැඩිපුර ගාණක් අතට ලැබෙන බැවිනි. ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නිසා මෙම නවාතැන ගමන් පහසුව සලසා දී තිබිණි. ඔහුද විශ්වාසවන්ත හොඳ මිතුරෙකු බවට පත් වූයේ කාලයත් සමඟය.
මේ නිසා කොල්ලකෑ යතුරුපැදිය රුපියල් හතළිස්පන් දාහකට විකුණා දැම්මේ ඔහුටය. එමෙන්ම අනෙකුත් සොර බඩුද ලබා දුන්නේ ඔහුටය.
කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ නවාතැන් සපයන ආයතනයක හිමිකරුවකු වන ව්‍යාපාරිකයෙකු දෙවැන්නාගේ මිතුරෙකි. දෙවැන්නා යතුරුපැදිය තෙවැන්නාට විකුණන්නේ රුපියල් හැත්තෑපන් දහසකටය. අනෙකුත් හොර බඩුද විකුණන්නේ දෙවැන්නා විසින් තෙවැන්නාටය.
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක විමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් නොව සියලුම අපරාධකරුවන්ට අත්වී ඇති දුක්ඛිත ඉරණම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත් නිලධාරියාට විශේෂ කාර්ය බළකා නිලධාරි වෙස් ගත් මෙම අරුම පුදුම පුද්ගලයා පිළිබඳ තොරතුර ලැබෙන්නේ ඒ අනුවය. බොරැල්ලේ, ගෝතමී පාරේ නිවෙසක රැඳී සිටියදී සැරයන් (38723) රංජිත් දැල එළා මොහු කොටු කරගත්තේ අපහසුවකින් තොරවය. ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම් හා මංකොල්ලකෑම් සිදු කිරීම සම්බන්ධයෙන් පවතින නඩු 11කට ඇප මත සිටින මොහු පිළිබඳ අනාවරණය වී ඇත්තේ බිරියට තමන් වත්පොහොසත් අයෙකු බව පෙන්වීමටත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයටත් මුදල් සොයගැනීම සඳහා මෙම අපරාධ සිදු කර තිබෙන බවය.
කෙසේ වුවද නාවල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන මොහු සමඟම ඔහුගේ හොර බඩුවලින් සැප ලැබූ අම්පාරේ සහ මාකොළ පදිංචි අනුගාමිකයින් දෙදෙනාටද සිදු වූයේ මහඋළුගෙදර කූරු ගනිමින් පසුතැවෙන්නටය.
බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකරගේ අධීක්ෂණයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මඟ පෙන්වීමෙන් ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ මෙහෙයවීමෙන් සැරයන් (38723) රංජිත්, (69598) අනිල්, (21284) බණ්ඩාර, කොස්තාපල් (104619) කිත්සිරි යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ