ධීවරයින් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර වෙරළාශ්‍රිතව ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හම්බන්තොට දිස්ත්‍රික්කයේද ව්‍යාප්ත වෙමින් තිබුණේ එම ජාවාරම්කරුවන්ගේ සූක්ෂ්ම ක්‍රියාකාරකම් සමඟය. හුංගම පොලිස් වසමේ ගුරු පොකුණ ප්‍රදේශයේ ද තරුණ ප්‍රජාව දිනෙන් දින මත් රකුසාගේ ගොදුරු බවට පත්වෙමින් සිටියේ මවුපියන් මෙන්ම බිරින්දෑවරුන්ගේ ද නෙත් අග කඳුළු රඳවමිනි.
ඒ අතර මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් නොයෙක් උපක්‍රමශීලී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියදී තංගල්ල සහකාර පොලිස් අධිකාරී 2 චන්දන විජේසේකරට තොරතුරුකරුවෙකුගෙන් ආරංචියක් ලැබුණේ හුංගම පොලිස් වසමේ ගුරුපොකුණ ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම අයුරින් පවත්වාගෙන යනු ලබන මත්කුඩු ජාවාරමක් පිළිබඳවය. මහා පරිමාණ අයුරින් බෙදාහැරීම මෙම ස්ථානයෙන් සිදුවන බව එම තොරතුරේ සඳහන් විය.
තමාට ලද මේ විශේෂ තොරතුර වන්දන විජේසේකර වහා තම උසස් නිලධාරීන් දෙදෙනා වන තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ තංගල්ල සහ මාතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරට දැනුම් දුන් අතර ඔවුන්ගේ උපදෙස වූයේ ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක කර ජාවාරම්කරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එම උපදෙස් අනුව ක්‍රියාත්මකවූ සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර එම මොහොතේම හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහට මේ පිළිබද දැනුම්දී උපදෙස් ලබා දුන්නේ සැණින් මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසයි.
“ක්‍රිෂාන්ත ඔයා මේ දැන්ම ටීම් එකක් අරන් ගිහින් වැඩේ කරන්න. හැබැයි ප්‍රවේශමෙන්. වෙපන් තියෙන්න පුළුවන්. මම පුළුවන් තරම් ඉක්මනට එතනට එන්නම්“ ඒ.එස්.පී. චන්දන විජේසේකර පොලිස් ස්ථානාධිපතිවරයා දිරිගන්වමින් එසේ පැවසුවේය.
තම උසස් නිලධාරියාගේ අණින් වහා ක්‍රියාත්මකවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ, උප පොලිස් පරීක්ෂක සමීර රංගන, සැරයන් (964) ජයසිංහ, කොස්තාපල් (89408) ප්‍රියදර්ශන සහ සිවිල් ආරක්ෂක (14489) මල්ලිකාරච්චි ඇතුළු කණ්ඩායම සමඟ ගුරුපොකුණ ප්‍රදේශයට ගියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීමේ සූදානම ද සමඟය.
තොරතුරේ සඳහන් නිවස ආසන්නයට ගිය පොලිස් කණ්ඩායම ආරක්ෂිත උපක්‍රම භාවිත කරමින් නිවස වටකර ඒ තුළට ඇතුළු වෙද්දී ජාවාරම්කරුගේ ඉහමොළ රත්වූයේ ඔහු ඒ වන විටත් කුඩා ප්‍රමාණයේ කුඩු පැකට් සකස් කරමින් සිටි බැවිනි.
සැකකරුවන් දෙදෙනා අල්ලා දෑත්වලට මාංචු දැමූ පොලිස් කණ්ඩායම සැකකරුවන් දෙදෙනා සිටි කාමරයේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී අලෙවිය සඳහා සූදානම් කරමින් තිබූ මත්කුඩු පැකට් අත්ඩංගුවට ගත්තේ ක්ෂණිකවය. මත්කුඩු පැකට් කරමින් සිටි තැනැත්තා සතුව තිබී මත්කුඩු ග්‍රෑම් හයක් සොයාගත් අතර ප්‍රධාන සැකකරු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 460ක් ද සොයා ගන්නා ලදි. ඊට අමතරව මත්කුඩු පැකට් කිරීම සඳහා භාවිත කළ තරාදියක්, කතුරු, පොලිතින් සහ ග්‍රොසරි බෑග් පොලිසිය විසින් සොයා ගත්තේය.
පොලිස් කණ්ඩායම මෙහෙයුම සිදු කරමින් සිටියදී සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකරද එම ස්ථානයට පැමිණි අතර වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ අත්අඩංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ දහයක් වන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මත්කුඩු පැකට් කරමින් සිටි තැනැත්තා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් මත්කුඩු පැකට් කිරීමේ සූරයකු වූ ඔහු මුදල් ගෙවීමේ පදනම මත වැඩට ගත් අයෙකු වන බවයි. ඔහු සකසමින් සිටි මත්කුඩු පැකට්ටුවක් රුපියල් පන්දහසකට අලෙවි කරනා බව ද එහිදී අනාවරණය විය. පොලිස් මෙහෙයුම සිදුවන්නට පෙර මත්කුඩු පැකට් දෙසිය පනහක් සකසා අලෙවි කර ඇති බව ද පොලිසිය අනාවරණය කර ගත්තේය. මොවුන් මේ ආකාරයට ලක්ෂ ගණනින් මුදල් උපයන්නට ඇතැයි පොලිසිය පැවසුවේය.
“අපි අත්අඩංගුවට ගත් කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයා මෙම ක්‍රියාවට ලොකු පළපුරුද්දක් තිබූ අයෙක් බව පෙනී ගියා. ඔහු ස්වයංක්‍රීය යන්ත්‍රයකින් වගේ ඉතා වේගයෙන් එම කාර්යය කරනවා. මෙම ජාවාරමේ මෙවැනි අතුරු ක්‍රියාකාරකම් ද තිබෙන බව ඉන් පැහැදිලි වුණා“ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය.
පොලිස් කණ්ඩායම දිගින් දිගටම සිදුකළ සොයා බැලීමේදී ප්‍රධාන සැකකරු කලක සිට මෙම ජාවාරම සිදු කරමින් සිට ඇති බවත් විදේශයන්ගෙන් ලැබෙන මත්කුඩු ඔහු විසින් කුඩා පැකට්වලට අසුරා බෙදාහැරීම සිදුකරනා බවත් අනාවරණය විය. ‘සංජු’ නමින් ජනප්‍රියව සිටි සැකකරු කළමැටිය ධීවර වරායේ ආපණ ශාලාව පවත්වාගෙන යමින් ධීවරයින් ඉලක්ක කර මෙම කුඩු ජාවාරම ද ක්‍රියාත්මක කර ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර හුංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ