තිස් වසරක යුද සමයේදී පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කළ සේවය අති විශිෂ්ටය. ඒ අතරින් යුද හමුදාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ගොඩබිම් මෙහෙයුම්වලදී ප්‍රමුඛස්ථානය ගත්තේ යුද හමුදාවයි. ඉන් අත්කරගන්නා ලද ප්‍රතිඵල ජාතියක් වශයෙන් සියලු දෙනා මේ වන විට භුක්ති විඳිමින් සිටී.
එහෙත් රට ජාතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකළ මෙන්ම දැනටමත් සිදුකරන හමුදාවේ, පොලිසියෙ අති විශාල පිරිසක් අතර නරක පුද්ගලයින් ද ස්වල්පයක් සිටින බව නොදන්නා කෙනෙක් නැත. පසුගිය කාලයේ මෙරට සිදුවූ අපරාධ ගණනාවක් පසුපස සිටියේ හමුදා සේවයෙන් නීත්‍යනුකූල නොවන අන්දමින් ඉවත්වූ සහ මේ වනවිටත් සක්‍රිය සේවයේ නිරත පුද්ගලයන් වීම කනගාටුවට කරුණකි.
මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව හමුදා සේවයෙන් නීත්‍යනුකූල නොවන අන්දමින් ඉවත්වූ පුද්ගලයන් 40,000ක් පමණ සිටිති. ඔවුන්ගෙන් ඇතැමුන් විදේශගතව සිටින අතර ඇතැමුන් විවිධ රැකියාවල නිරතව සිටිති.
මෙසේ නීත්‍යනුකූල නොවන අන්දමින් හමුදා සේවයෙන් ඉවත්ව පාතාල ක්‍රියාකාරකම්, කොල්ලකෑම්, සොරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගැන මේ වනවිට විමර්ශනය කැරෙන්නේ විශේෂයෙන් මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීවය.
විශේෂයෙන් පසුගිය වසර පහක කාලය ඇතුළත සක්‍රිය හමුදා සේවයේ සිටියදී නිවාඩු නොලබා සිටින පිරිස 25,000ක්ම පමණ වන බවට තොරතුරු වාර්තා වී ඇති අතර මේ අතරින් අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන් හමුදා සේවයෙන් ඉවත් කිරීම සඳහා ද මේ වන විට සුවිශේෂී වැඩපිළිවෙළක් සකස් කර ඇත.
හමුදා සේවයෙන් නීත්‍යනුකූල නොවන ලෙස ඉවත්වූ අය සහ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අය සම්බන්ධ විමර්ශන ද පොලිසිය යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදු කරන්නේ මේ ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන අනීතික ක්‍රියා අඩාළ කිරීම සඳහාය.
මැදවච්චිය පොලිසිය ද යුක්තිය මෙහෙයුම යටතේ අත ගසන්නේ එවැනි ක්‍රියාවකටය.
උතුරු පළාතේ යාපනය, කන්කසන්තුරේ, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව ප්‍රදේශවලින් කොළඹ, අනුරාධපුරය, මහනුවර, මොනරාගල, අම්පාර, අක්කරපත්තුව, මාතර, ගාල්ල ඇතුළු රටේ ප්‍රධාන නගර බලා ධාවනය වන මගී බස් රථ පරික්ෂා කිරීම සඳහා මැදවච්චිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කටයුතු කරන්නේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායකගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුවය.
ඒ අනුව මැදවච්චිය නගරයේ මාර්ග බාධක යොදන පොලිස් නිලධරයෝ විශේෂයෙන් උතුරු පළාතේ සිට පැමිණෙන දුර ගමන් සේවා බස් රථ සහ ඒවායේ ගමන් කරන මගීන්ගේ බඩු බාහිරාදිය සහ අනන්‍යතාව පරික්ෂා කරන්නේ සැක කටයුතු පුද්ගලයන් සහ භාණ්ඩ ඇත්නම් ඒවා අත්අඩංගුවට ගැනීම සඳහාය.
යාපනයේ සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබුණ මගී බසයක් පොලිස් නිලධරයන්ගේ පරික්ෂාවට ලක්වන්නේ ඔන්න ඔය අතරතුරදීය.
බස් රථයේ ගමන් කළ මගීන් සතු බඩු භාණ්ඩ, ගමන්මලු සහ ඔවුන්ගේ අනන්‍යතාව පරික්ෂා කළ පොලිස් නිලධරයන්ට එම බසයේ ගමන් කළ පුද්ගලයකුගේ ගමන් බෑගය පරික්ෂා කරද්දි හමුවන්නේ ටී එන් ටී වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍යයයි.
මේ පුද්ගලයාගේ ගමන් බෑගයේ තිබී එසේ හමුවන ටී එන් ටී අධිබල පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් ගණන 5කි. ඊට අමතරව ඩෙඩ් කෝඩ් වයර් අඩි 20ක්, විදුලි ඩෙටනේටර් 4ක් පොලිසිය විසින් සොයා ගන්නේ සැකකරුගේ ගමන් බෑගයේ තිබියදීය.
මෙසේ පුපුරන ද්‍රව්‍ය ගෙන යමින් සිටින පුද්ගලයාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ඔහු දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කිලිනොච්චිය, තිරුමුරුක්කන්ඩි කඳවුරේ සේවයේ නිරත සෙබළකු බවයි. සැකකාර සෙබළා මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද ඔහු 33 වන වියේ පසුවන අයකු බවද පොලිසිය සොයා ගන්නේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.
ඉන් අනතුරුව මොනරාගල මගී බසයේ අස්සක් මුල්ලක් නෑර පොලිසිය සෝදිසි කරන්නේ එහි තවත් මෙවැනි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි සෙවීම සඳහාය. මගීන්ගෙන් ඊට නොමඳ සහය ලැබිණි. පොලිසිය එසේ කළේ මගීන්ගේ ආරක්ෂාව සඳහාය.
සෙබළා සතුව තිබී සොයාගත් පුපුරන ද්‍රව්‍ය බැලූ බැල්මට පෙනෙන්නේ කිසියම් විනාශකාරී ක්‍රියාවක් සිදු කිරීමට ගෙන යමින් තිබුණු ඒවා බවට නිසා පොලිසිය කරන්නේ සැකකාර සෙබළා මැදවච්චිය පොලිස් ස්ථානයට ගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමය. ඉන් අනතුරුව පොලිසිය කරන්නේ මේ සෙබළා තමන්ගේ අත්අඩංගුවේ පසුවන බවට ඔහු සේවය කළ කඳවුරට දනුම් දීමයි.
සැකකාර සෙබළා සහ ඔහු සන්තකයේ තිබී සොයාගන්නා ලද පුපුරන ද්‍රව්‍ය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අවසර ලබා ගැනිණි.
සැකකාර කමාන්ඩෝ සෙබළා සතුව තිබියදී සොයා ගන්නා ලද TNT අධිබල පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 5ක ප්‍රමාණය ද ලොකු විනාශයක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් බවද පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන්ගේ අදහසයි.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.
දීපාල් සමරසේකර