– මීට පෙර ඕනෑතරම් අවුරුදුවල මේ විදියට රෑ නැකැත් යෙදී තිබෙනවා
– වෙනත් පිරිසක් ඉදිරිපත් කර ඇති නැකත අතිශය අසුබයි
අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා රාජ්‍ය නැකැත් කමිටුව විසින් ලබාදුන් රාත්‍රී නැකැත් වේලාවන් පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් මේ වන විට සමාජයේ පැන නැඟී තිබේ. එනිසාම මේ වන විට විකල්ප නැකැත්පත් ද කරළියට පැමිණ තිබේ. කෙසේ නමුත් අලුත් අවුරුද්ද සඳහා සැකැසුණු නැකැත් වේලාවන්ගේ යෝග්‍යතාව පිළිබඳ රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය ජී. ඇම්. ගුණපාලයන්ගෙන් විමසා බලන්නට අපි කටයුතු කළෙමු.
මේ වන විට නැකැත් කමිටුවෙන් ලබාදුන් නැකැත් යම් අර්බුදයට ලක්ව තිබෙනවා නේද?
හැම ශාස්ත්රයකම වගේම හැමදේකම මතභේද ගැටුම් ඇති කිරීම හා ඇති වීම ස්වභාවිකයි. ලෝක පූජිත බුදුන් වහන්සේ ලෝකයේ මහා ඉහළම ශ්‍රේෂ්ඨතම විද්වතා වුවත් උන්වහන්සේටත් එදා විරුද්ධවාදීන් හිටියා.
වෙන කවුරුත් නෙමේ තමාගේම මස්සිනා විරුද්ධව කටයුතු කළා. විරුද්ධ වීමේ ස්වභාවය පැවැතියා. විරුද්ධ වීම කියන්නේ ලෝකයේ පවතින ප්රත්යක්ෂභාවයක්. ඉතින් අද ගැන කවර කතාද?
මේ නැකැත් රාත්‍රී කාලයේ යෙදුණේ ඇයි?
ජ්‍යොතිෂයේ තිබෙන විශේෂ නියමයක් තමයි සූර්ය සංක්‍රාන්තිය සිදු වී ඉදිරියට පැය හයකුත් මිනිත්තු විසිහතරක් තුළ ළිප ගිනි මෙළවීම ඇතුළු නැකැත් චාරිත්‍ර එම සුබ වේලාව තුළ කළ යුතුයි යන්න. මෙවර සූර්යය සංක්‍රාන්තිය සිදුවන්නේ දහතුන් වැනි සෙනසුරාදා රාත්‍රී නමයයි පහටයි. මෙම සූර්ය සංක්‍රාන්තිය සිදු වී නිමවූ මොහොතේ සිට පැවතෙන්නේ රාහු කාලයයි. එවිට කොහෙත්ම සුබ නැකතක් ගන්න බැහැ. රාහු කාලය ඉවර වූ විගස එන්නේ අගහරු හෝරාව. අඟහරු කියන්නේ යුද්ධයට සම්බන්ධ ග්‍රහයා.
‘යුද්දේ ච භෞමේ‘ කියලයි කියන්නේ. භෞමේ කියන්නේ අඟහරු. අඟහරු හෝරාවෙන් නැකතක් හදන්නේ යුද්ධය වෙනුවෙන්. අලුත් අවුරුදු නැකැත් කියන්නේ යුද්ධයක් නෙමෙයිනේ. සමඟිය, සමාදානය, ලෙන්ගතුකම, ශ්‍රද්ධාවෙන් යුතුව කරනු ලබන සද්කාරියක්. ඒ නිසා රාහු කාලයත් අඟහරු හෝරාවත් අත්හැරලා නැකතක් සැකසිය යුතුයි.
එතැනදී ලැබුණු හොඳම වෙලාව රාත්‍රී එකොළහයි දෙකෙන් පස්සේ අපි සැකසුවා. ඒ අනුව රටටම ගැළපෙන සුදුසු ආකාරයෙන් එකොළහයි හය වශයෙන් ළිප ගිනි දැල්වීමේ වේලාව සැකැසුවා. කිරිබත් ඉදෙන්නත් වෙලාවක් යනවා. ඒ නිසා ආහාර අනුභවය දොළහයි හය ආදී වශයෙන් චාරිත්‍ර සඳහා නැකැත් යොදනු ලැබුවා.
මේ නැකැත් යෙදෙන්නේ ප්‍රායෝගික නොවන වේලාවක කියා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව මේ වේලාවන් ඉතාම ශාස්ත්රීයයි. නමුත් ප්‍රායෝගිකත්වය ශාස්ත්‍රීය නැහැ. මේ තත්ත්වය හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ සූර්ය සංක්‍රාන්තිය මධ්‍යම රත්‍රී 12ට පෙර සිදුවී ඇති නිසා තමයි මේ විදිහට නැකැත් සැකසී තිබෙන්නේ. එළඹෙන වසරේදී එය වෙනස් වෙනවා. ලබන වසරේදී සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ උදේ පාන්දර තුන පසු වෙලයි. ඊළඟට එන වසරේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ උදේ නමයට පමණ. ඉන් පසු ඉදිරියට එන වසරේ සූරිය සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ හවස තුනට පමණ. මේ විදිහට වෙනස්වීම සිද්ධ වෙනවා.
මේ වසරේ රාත්‍රී නමයයි පහට සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙනවා. ඒ වුණහම නැකැත් මේ ආකාරයට ගත යුතුයි. මට කියන්නට තිබෙන්නේ මේ නැකැත් සියයට සීයක්ම සුබ නැකැත් කියලයි. ඉතාම ප්රශස්ත නැකැත්. හෝරාව යහපත්. රටට හොඳයි. ජනතාවට හොඳයි, රටේ අනාගතයට හොඳයි.
මේෂ සංක්‍රාන්තිය වඩා වැදගත් වන්නේ ඇයි?
ලෝකයේ පැවැත්මට ප්‍රධාන වන ග්‍රහයා වන්නේ සූර්යයායි. ඒ සූර්යයා වසරක් මුළුල්ලේ රාශි දොළහකට ගමන් කර අවසානයේදී ආපෝ රාශියක් එනම්
ජල රාශියක් වන මීන රාශියෙන් තේජෝ රාශියක් වන සූර්යයාට ඉතාම බලවත් රාශිය වූ මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. ඒ අප්‍රේල් මාසයේ 13 හෝ 14 වැනිදායි.
මෙවර සම්ප්‍රාප්ත වූයේ අප්‍රේල් 13 වැනිදා රාත්‍රී 09.05 ටයි. රවි කියන්නෙත් තේජෝ ග්‍රහයෙක්. සූර්යයාව හඳුන්වන්නේ ත්‍රෛලෝක දීපෝ රවි: කියලයි. ( තුන් ලොවටම රජු රවි කියලයි) මේ නිසා සූර්යයා ග්‍රහ මඬුල්ලේ ප්‍රධානම ග්‍රහයෙක් වෙනවා. මේ සූර්ය සංක්‍රාන්තිය පදනම් කරගෙන අලුත් වර්ෂයක් ආරම්භ වෙනවා.
අප්‍රේල් මාසේ 13 වැනිදා රාත්‍රී නමයයි පහට ආරම්භ වුණු මේ වර්ෂය අප හඳුන්වන්නේ ශක වර්ෂ 1946 ලෙසයි. එනිසා සූර්යා වර්ෂයක් මුළුල්ලේ ගත කරලා ඔහුට
බලවත්ම බලවත් රාශිය වන මේෂයට සම්ප්‍රාප්ත වීම නව වර්ෂයක ආරම්භයක් වෙනවා.
ඒ නව වර්ෂයේ ආරම්භය ලෝකයේම ජනතාවට කිසියම් විදිහක නවෝදයක් ඇති කරන වර්ෂයක් වශයෙන් තමයි සලකන්නේ. ඒ නවෝදය පාදක කරගෙන හුඟක් හොඳ වෙලාවක තමයි චාරිත්‍ර සඳහා නැකැත් සකසන්නේ. ඒ අනුව පැය හයකුත් මිනිස්සු විසිහතරක් තුළ නැකැත් සකසන්න ඕනෑ.
මීළඟ කාරණය තමයි සූර්යය සංක්‍රාන්තිය සිද්ධ වන්නේ මධ්‍යම රාත්‍රී දොළහෙන් පසුව නම් ඊට පසුදින තමයි නැකැත් සැකසිය යුතු වන්නේ. නමුත් මෙවර සිදුවන්නේ රාත්‍රී නමයයි පහට නිසා සංක්‍රාන්තිය සිදුවී පැය 6යි මිනිත්තු 24ක් තුළ සියලු නැකැත් ගත යුතු වෙනවා. මෙය ජ්‍යොතිෂ නියමයක්.
මේ සිද්ධාන්තයට පිරිසක් චෝදනා එල්ල කරනවා?
ප්‍රතිවාදීන් පවසන්නේ රාත්‍රීයේ මේ වෙලාවල්වලට නැකැත් ගත් විට යක්කු ගස් නඟිනවා, පවුල් කැඩෙනවා, මිනිස්සුන්ට ගැටලු සහගත බවක් ඇති වෙනවා කියලයි. ඒ අය එහෙම කියන්නේ කොහොමද? පදනමක් නැති කතා. එහෙම බලලා හරියන්නෙ නැහැ.
සූර්ය සංක්‍රාන්තියට සාපේක්ෂව නක්ෂත්ර මූල ග්රන්ථයන්ට අනුව මා ඉහත පැවසූ ආකාරයට පැය 6යි විනාඩි 24ක් තුළ නැකැත් ගත යුතුයි. ඒ අනුව ගන්න පුළුවන් හොඳම වෙලාව තමයි අපි අරගෙන තිබෙන්නේ.
මධ්‍යම රාත්‍රිය සොයා ගැනීමත් සමහරුන්ට ගැටලු සහගත වී තිබෙන බව පෙනෙනවා?
ඔව්. ඔවුන් සූර්ය බිම්බය පදනම් කරගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. එය සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට අදාළම නැහැ.
සාමාන්‍යයෙන් දවල් කාලයේ මධ්‍යාහ්නය කියන්නේ දවල් 12ට. එය සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න දෙයක්.
මධ්‍යම රාත්‍රී 12 තෝරන්නේ පසු දින සූර්ය උදාවෙන් අදාළ දිනයේ සූර්ය අස්තය අඩු කොට එම පිළිතුර දෙකෙන් බෙදා යළිත් එන පිළිතුර සූර්ය අස්තයට එකතු කිරීමෙනුයි. ඒ අනුව බලන කළ මෙවර සූර්ය සංක්‍රාන්තිය සිදු වූයේ රාත්‍රී මධ්‍යාහ්නයට පෙරාතුවයි. එවිට ලැබෙන පිළිතුර සාමාන්‍යයෙන් කිව්වොත් එය රාත්‍රී දොළහ වෙනවා. සමහරවිට 12.15 වෙන්නත් පුළුවන්. දොළහයි දහය, එකොළහයි පනස් පහ පවා වෙන්න පුළුවන්. මේ විදිහට මිනිත්තු ගානක් එහා මෙහා වෙන්න පුළුවන්. මේ ගණන් හරියට හදාගන්න බැරිව මේ පිළිබඳව හරි හැටි වැටහීමක් නැති අය නොයෙක් කතා කියනවා. එනිසා අපි ඒ අනුව කටයුතු කළ යුතුයි.
මේ නැකැත් සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියාද?
කිසිසේත්ම නැහැ. ඇමතිතුමා කිව්වා මෙය ප්‍රායෝගික නොවන බව. ප්‍රායෝගික නොවන බව ඇත්ත. නමුත් මෙතැනදී වැදගත් වන්නේ ප්රායෝගිකත්වයට වඩා ශාස්ත්රීයත්වයයි. හැමදාම අප්‍රේල් මාසේ 14 වැනිදා රෑට කන්න වෙන්නේ නැහැ. රාත්‍රියේ ලිප ගිනි දල්වන්න වෙන්නේ නැහැ. මේ දවස අවුරුද්ද වෙනුවෙන් පමණක් ශාස්ත්රීයත්වයට මූලිකත්වය දෙමින් සිදු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි සුදුසුම නැකැත් තමයි ලබාදී තිබෙන්නේ.
නොනඟතය හා පුණ්‍ය කාලය පිළිබඳවත් කතාබහට ලක්වෙනවා?
අප්‍රේල් මස 13 වන සෙනසුරාද අපරභාග දෙකයි හතළිස් එකේ සිට 14 වන ඉරිදා අලුයම තුනයි විසනවය දක්වා පුණ්‍ය කාලය පවතිනවා.
මෙහිදී සූර්යය සංක්‍රාන්තිය රාත්‍රී නමයයි පහට සිද්ධ වෙනවා. සූර්ය සංක්‍රාන්තියට පෙර පැය හයයි මිනිත්තු විසිහතරක් තුළ තමයි නොනගතය ආරම්භ වන්නේ. මේ කාලසීමාව සුබ නැහැ. ඒතුළ අපි පුණ්‍ය කටයුතුවල නිරත විය යුතුයි. ඉන් පසු නමයයි පහට සූර්ය සංක්‍රාන්තිය සිදු වෙලා ඉදිරියට එන පැය හයයි මිනිත්තු විසිහතර තුළ අපි චාරිත්‍ර නැකැත් අනුව ඉටු කළ යුතුයි.
මීට පෙරත් රාත්‍රී කාලයේ අවුරුදු සමරා තිබෙනවාද?
අනන්ත අප්‍රමාණව ඉතිහාසයේ අලුත් අවුරුද්ද රාත්‍රී කාලයේ සමරා තිබෙනවා. නමුත් එය හැමදාම සමරන්න වෙන්නේ නැහැ. වසර ගණනාවකට පසුව සිදුවන දෙයක්. එය සූර්ය සංක්‍රාන්තිය මත සිදුවන දෙයක් නිසා අපිට වෙනස් කරන්න බැහැ. සූර්ය සංක්‍රාන්තිය පිළිබඳ කිසිම ජ්‍යොතිෂවේදියෙක් අතර මතභේදයක් නැහැ.
ජ්‍යොතිෂවේදීන් පිරිසක් මෙම නැකැත් රටට අහිතකර බව පවසනවා?
මම දකින්නේ මේ ඔවුන්ගේ නූගත්කමයි මානසික ඌණතාව හා ශාස්ත්‍රය නොදන්නාකම නිසා පවසන දෙයක් ලෙසයි.
මෙම නැකත පවතින මොහොතේ පවතින ග්‍රහ තත්ත්වය කෙබඳුද?
මෙම නැකැත් යෙදෙන මොහොතේ උදාව පවතින්නේ ධනු ලග්නයයි. ධනු ලග්නයට අදාළව ගත්තහම ග්‍රහ පිහිටීම් පහත පරිදි වෙනවා. තුන්වැන්නේ ශනි, කුජ ද හතරවැන්නේ රාහු, සිකුරු, බුධ ද පස්වැන්නේ ගුරු, රවීද හත්වැන්නේ චන්ද්‍රයා දහවැන්නේ කේතුද යෙදී තිබෙනවා. මේ ග්‍රහ පිහිටීම අනුව ලග්නාධිපති ගුරු ඉන්නේ පස්වැන්නේ. එනම් පෙර පින් ඇති තැනයි. නමවැන්නාධිපතියා වන රවි ඉන්නේත් පස්වැන්නේ. මෙතනම භාග්‍යත් භාග්‍ය යෝගයක් උදාව පවතිනවා. එය ඉතා හොඳ පිහිටීමක්. සෙනසුරු සහ කුජ තුන්වැන්නේ ඉන්නවා. අපේ පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් වෙනවා පාපීන් තුන, හය, එකොළහ ස්ථානවල සිටීම හොඳ බව. ඒ අනුව ශනි, කුජ තුන්වැන්නේ ඉන්නවා. මම දකින විදිහට මෙය වසර ගණනකින් යෙදුණු හොඳම නැකතක්. මහජනතාව ගැන පෙන්වන්නේ කේන්දරයක හතරවැන්නෙන්. රජතුමා ගැන පෙන්වන්නේ කේන්දරේ දහවැන්නෙන්. මේ හතර වැන්නාධිපතියා ගුරු මේ ග්‍රහ පිහිටීම් සුබදායකයි. මේ නැකතට වැඩ පටන් ගත්තහම මුළු ලංකාවෙම මිනිසුන්ගේ නිද්‍රාශීලී බව, අකර්මණ්‍ය බව නැතිව යනවා. පණක් ඇතුව උනන්දුවක් ඇතුව රට ගැන හිතලා තමන් ගැන හිතලා තම පවුල ගැන හිතලා වැඩ කරනවා.
තවත් පිරිසක් විසින් මේ වන විට නව නැකැත් පත්‍රයක් ලබාදී තිබෙනවා නේද?
ඔව්. ඔවුන් නැකතක් ඉදිරිපත් කර තිබෙනවා. එය අතිශය අසුබයි. දහතුන් වැනිදා රාත්‍රී එනම් 14 වැනිදාට එළි වන්නට දොළහයි තිස් අටට අතිගණ්ඩ යෝගය ලබනවා. අතිගණ්ඩ යෝගය කියන්නේ මහා ගැටලු සහගත බව. එනිසා ඊට පෙර තිබෙන ශෝභන යෝගයෙන් තමයි අපි නැකත හැදුවේ. ශෝභන යෝගය සුබයි, වචනයෙන්ම තේරුම් යනවා. මේ විදිහට රට අවුළුවන එක ඔවුන්ට සාපයක් බවට පත්විය හැකියි. අපි සාධාරණව ජීවත් විය යුතු මිනිස්සු. මේ විදිහට රටම බය කරන එක පාපයක්.
නැකැත් කමිටුව පිළිබඳවත් විවිධ චෝදනාවන් එල්ල වෙනවා?
නැකැත් කමිටුව ගැන මගෙත් ප්‍රසාදයක් නැහැ. මම කියන්නේ පඤ්ඩාංග ලිත්වල කර්තෘවරු හතර දෙනයි. ඔවුන් නිර්දේශ කරන ජ්‍යොතිෂ ශාසුත්රය මනාව දන්නා ජ්‍යොතිෂවේදීන් හතර දෙනකුයි. තවත් ප්‍රවීණයන් දෙදෙනෙක් පමණ උපරිම 10 දෙනෙක් පමණක් නැකැත් කමිටුවේ සිටිය යුතුයි. දැන් මෙතැනම 42ක් ඉන්නවා. මේ විදහට පිරිස වැඩි වෙන්න වැඩි වෙන් එතැන ව්‍යාකූලත්වය වැඩි වෙනවා.
මේ නැකැත් චාරිත්‍ර ගැන අවසාන වශයෙන් මහජනතාවට ඔබට පවසන්නට ඇත්තේ කුමක්ද?
මේ නැකැත් වර්ෂ ගණනාවකින් යෙදුණු අතිශය විශිෂ්ට සුබ නැකැත්. කිසිදු සැකයකින් තොරව විශිෂ්ටම ගණයේ ළුලදායක නැකැත් යන්න හිතාගෙන අවුරුදු උදාවේ චාරිත්‍ර ඉටු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා.
ජායාරූප- රංජිත් අසංක
තුෂාරි නේරංජා වික්‍රමසිංහ